The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ පරිහානිය ආර්ථිකයෙන්ම පමණක්ද? -(කාන්ති කාරියවසම්)

T

The Leader Desk

July 20, 2022 • 10:58 AM

අපේ පරිහානිය ආර්ථිකයෙන්ම පමණක්ද? -(කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දියණියගේ විභාග උත්තර පත්‍ර බැලීමට හොඳ ගුරුවරු ලැබේවා, ලැබේවා, ලැබේවා යැයි තෙවරක් ආයාචනා කොට තිබිණි.
  • නමුත් දියණිය ලිවූ පිළිතුරු වල වැරදි හෝ නිවැරදි භාවය එය පරීක්ෂා කරන ගුරුවරයාගේ හොඳ නරක මත වෙනස් වියහැකි යැයි දියණියගේ පියාට හෝ මවට සිතීම මෙන්ම, උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරයා වෙනස් කිරීමට ගස් ගල් වලට හැකියාවක් ඇතැයි සිතීම වෙනස්ම කරුණකි.
  • මා සිසුවියකව සිටි හැත්තෑව දශකය මැද භාගයේදීත්, විභාගයක් ආසන්නයේදී ඇතැම් සිසු සිසුවියන් ආගමික සිද්ධස්ථාන වලට යෑම සිදුවිය.
  • මහන්සිවී පාඩම් කොට අවසාන දිනයේදී සිත සන්සුන් කොට ගැනීමට එය උදවු වන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

දියණියගේ විභාග උත්තර පත්‍ර බැලීමට හොඳ ගුරුවරු ලැබේවා, ලැබේවා, ලැබේවා යැයි තෙවරක් ආයාචනා කොට තිබිණි.

 

ගස්, ගල්, මැටි පිළිම, දේව ලිංග වැනිදේ වලින් මෙන්ම, නොපෙනෙන අද්භූත බලවේග වලින් පිහිට පැතීම අතීත මානවයාගේ සිට අපේ නූතන රාජ්‍ය නායකයින් දක්වාම පැවතෙන්නක් බැවින් ගසකින් වරප්‍රසාද ඉල්ලා සිටීම වෙනම කාරණාවකි.

 

නමුත් දියණිය ලිවූ පිළිතුරු වල වැරදි හෝ නිවැරදි භාවය එය පරීක්ෂා කරන ගුරුවරයාගේ හොඳ නරක මත වෙනස් වියහැකි යැයි දියණියගේ පියාට හෝ මවට සිතීම මෙන්ම, උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරයා වෙනස් කිරීමට ගස් ගල් වලට හැකියාවක් ඇතැයි සිතීම වෙනස්ම කරුණකි.

මා සිසුවියකව සිටි හැත්තෑව දශකය මැද භාගයේදීත්, විභාගයක් ආසන්නයේදී ඇතැම් සිසු සිසුවියන් ආගමික සිද්ධස්ථාන වලට යෑම සිදුවිය. මහන්සිවී පාඩම් කොට අවසාන දිනයේදී සිත සන්සුන් කොට ගැනීමට එය උදවු වන්නට ඇත. එසේම එයින් තම උත්සාහයට ආශීර්වාදයක් වනු ඇතැයි තමන් අදහන ආගමට අනුව විශ්වාසයක් තිබෙන්නටද ඇත. නමුත් ගසක කොඩියක් එල්ලා උත්තර පත්‍ර පරීක්ෂා කරණ ගුරුවරයාගේ දෘෂ්ඨියේ වෙනසක් ඇති කිරීමට හැකි වෙතැයි සිතීමට තරම් මොළය කොලොප්පම් වූ අය එවකට සිටි බවක් නම් අසා තිබුනේම නැත.

ලෝකය විද්‍යාත්මකව වේගයෙන් ඉදිරියට ඇදී යද්දී, එවකට කලාපයේ වැඩිම සාක්ෂරතා අනුපාතයක් තිබූ අපේ රට, දැන් අවිද්‍යාවට මෙන්ම මිත්‍යා විශ්වාසයන්ට බෙහෙවින් ඇදී ගොස් ඇත. එකල මෙවැනි විශ්වාසයන් ඇතිව සිටියේ වැඩි උගත් කමක් නැති පිරිසකි.

 

නමුත් දැන් නාථ දෙවියන්ගෙන් උපදෙස් ගන්නා ඇතැම් වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැනි දැනුමෙන් සමාජයේ ඉහල ස්ථරවල සිටින්නන්ද මිත්‍යා විශ්වාසයන්හි එල්බගෙන සිටිති. එවිට රටේ ජනතාව නිරායාසයෙන්ම ඒවාට ඇදීයාමට පෙළඹීම වැළකිය හැකිද? මෙවැනි මිත්‍යා විශ්වාසයන්හි එල්බ ගැනීම නිසා වසංගතයේදී සිදුවූ හානිය අපි රටක් ලෙස අත්වින්දෙමු.

 

Gotabaya and Gnakka

ලංකාවේ පළමු වරට පදවියෙන් ඉල්ලා අස්වීමට සිදුවූ අති බහුතරයක ජනවරමකින් බලයට පත්වූ ජනාධිපතිවරයා නොපෙනෙන බලවේග කෙරෙහි මහත් විශ්වාසයක් තිබූ අයෙක් බව නොරහසකි. නමුත් සිදුවුයේ කුමක්ද? අඩු තරමින් ඔහුගේ තනතුරවත් ආරක්ෂා කර දීමට එම බලවේග වලට හැකිවුනිද? පාලකයින් මිත්‍යාවෙහි ගිලී ඇති රටක ජන මනස කෙසේ දියුණු වෙයිද?

Mahinda Raja

එසේම උත්තරීතරයැයි කියනු ලබන සභාවේ බහුතරයකගේ මැණික් කටු වටා දේදුණු වර්ණ නූල්, අතේ ඇඟිලි වලටත් වඩා වැඩි මුදු, මෙන්ම වශී බෝලද දැකිය හැක.

 

තමා කැමති දෙයක් අතේ පයේ බෙල්ලේ එල්ලා ගැනීමට සැමට නිදහස තිබෙන බව සත්‍ය වුවත්, රටක සාමාන්‍ය ජනතාව නායකයින් අනුකරණය මෙන්ම අනුගමනය කිරීමේ ප්‍රවනතාවය වැඩිය.

මෑත යුගයේ තරම් රූපවාහිනී නාලිකාවල නක්‍ෂත්‍ර කරුවන් දුටු යුගයක් නැති තරම්ය. අපේ රට තරම් තමන්ගේ සෑම කුදු මහත් කටයුත්තක් සඳහාම සුභ නැකත් යොදා ගන්නා අන් කවර රටක්වත් ලෝකයේ නැතුවා වියහැක.

රාජ්‍ය නායකයින්ගේ පදවි ප්‍රාප්ති මෙන්ම රටේ සෑම රාජ්‍ය ව්‍යාපෘතියක්ම පටන් ගන්නේ හොඳ නැකතකින්ය. දේශපාලකයින් පමණක් නොව ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද තමන්ගේ නිල කටයුතු ආරම්භ කරන්නේ සුභ නැකතකින්ය. එවැනිවූ රටක් කෙතරම් සුඛිත මුදිත වී සෞභාග්‍යය කරා යායුතුව තිබුණිද? නමුත් සිදුව ඇත්තේ කුමක්ද?

බුදුන් වහන්සේගේ ගෝල පරම්පරාව වූ සංඝරත්නය ලෙස හැඳින්වියහැකි කීදෙනෙක් සිටීද යන්න පර්යේෂණ සමීක්ෂණයක් කොට නිබන්ධනයක් කළයුතු කාරණාවකි.

 

ජන මනස තුළ ක්‍රෝධය, වෛරය, මිත්‍යාව වපුරා රට අද පත්ව ඇති තැනට ඇද දැමීමට චීවර පොරවාගත් ගණින්නාන්සේලා (සිල්වත් භික්ෂූන් වහන්සේලාට ප්‍රණාමය පුදමි) බෙහෙවින්ම වගකිව යුතුය. බුදුන් වහන්සේ ඉගැන්වූ බෞද්ධ දර්ශනය පිලිපදිනවායයි හෘද සාක්ෂියට එකඟව කිව හැක්කේ කෙතරම් සුළු පිරිසකටද?

 

මෑතකදී එක්තරා මැදිවියේ කාන්තාවක් ගෑස් පෝලිමකදී රට කරවන ඇත්තන්ට බැන වදිනවා විද්‍යුත් මාධ්‍යයක දක්නට ලැබිණි. පටන් ගැන්මේදීම ඇය ඉල්ලා සිටියේ සංස්කරණය නොකොට එය මාධ්‍යයට මුදාහරින ලෙසයි. ඇය යොදාගත් අශිෂ්ඨ භාෂණයෙන් එක් වචනයක් හෝ ලිවිය නොහැක. රටේ පවතින ආර්ථික තත්ත්වය නිසා ඇයගේ ආතතිය, තරහව, ක්‍රෝධය සාධාරණ වුවත් ඇය භාවිතාකල වචන කිසිසේත් සාධාරණීකරණය කල නොහැක.

මැදිවියේ පසුවූ ඇය මවක් සහ මිත්තණියක් විය හැකි අතර, භාවිතා කල භාෂණය බොහෝ දුරට සමාන කල හැක්කේ උත්තරීතර සභාවේ ඇතැම් ජනතා නියෝජිතයින් මෑතදී යොදාගත් භාෂණ ශෛලියටයි. එම සංස්කරණය නොකල වීඩියෝව විද්‍යුත් මාධ්‍යයන් හරහා අතිශයින් සංසරණය වී තිබුණේද කිසිම හිරිකිතයකින් තොරවය.

image 7ac0eaab06


ඇතැම්මු හැත්තෑව දශකයේ තිබූ ඉන්ධන, ආහාර සහ භාණ්ඩ හිඟය, පෝලිම් යුගය නූතන තත්ත්වයට සමාන කරති. බැලූ බැල්මට එසේ පෙනුණත් එදා එය සිදුවූයේ පාලකයන් රට සූරා කෑ නිසා හෝ කොමිස් ගැසූ නිසා නොව, එකල සිටි නායකයින් එදා තිබූ තත්ත්වයන් යටතේ රට ආර්ථික පරිහානියට යෑම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග නිසාය.

එවකට සිටි නායකයින් අද සිටින්නවුන් මෙන් හැන්ද අතේ තිබූ පමණින් ඔවුන්ට පමණක් බෙදා ගත්තේ නැත. අප අසා ඇත්තේ එවකට සිටි අගමැතිතුමිය ගුවන් චාරිකා සිදු කලේ ව්‍යාපාරික පන්තියේ නොව සාමාන්‍ය පන්තියේ බවයි. එසේම ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රටේ නායකයින් රට සූරා කෑ සොරමුලක් ලෙස හංවඩු ගැසී නොතිබුන අතර ඔවුන්ට ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ මනා ගෞරවයක් හිමිව තිබිණි.

 

එසේම සදාචාරාත්මක ස්වාභිමානය එදා බොහෝ නායකයින් තුල තිබිණ. ජනතාව ජන වරමින් ප්‍රතික්ෂේප කොට ගෙදර යැවූ පසු නැවත උපක්‍රමශීලිව මුල් පුටුවට නොව කිසිම පුටුවකට නැගගත් නායකයෙක් ගැන මගේ නම් මතකයේ නැත. නමුත් ඉල්ලා අස්වූ ජනතා නියෝජිතයින් ගැන මගේ මතකයේ තිබේ.

 

බොහෝ අයට විචාර බුද්ධිය, තාර්කික චින්තනය ඇත්තේම නැති තරම්ය. එසේ තිබුණිනම් එක් පුද්ගලයකුට හැටනව ලක්ෂයක ජනතාවක් නොරැවටිය හැකිව තිබුණි. රටේ ධනය මහ දවල් මංකොල්ල කෑම, දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ලෝකය සමග ඉදිරියට යාම, උපන් නූපන්  පරපුරේ අනාගතය, රට අගාධයට යාම, පුරවැසි සහ මානව අයිතිවාසිකම් ගැන මෙයට වඩා බෙහෙවින් දැනුවත් විය යුතුව තිබිණි.

මේ සියල්ල මෙන්ම නූතන සදාචාරාත්මක, ශිෂ්ඨසම්පන්න පුරවැසි සහ මානව අයිතිවාසිකම් පිළිබඳවද විමසා බැලීමේදී අප පරිහානියට පත්ව ඇත්තේ ආර්ථිකයෙන් පමණක්ම නොවන බව නම් ඉතා පැහැදිලිය.



ඔබ තවම අප සමගයි - (කාන්ති කාරියවසම්)(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...