The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පොරවා සිටි බැටළු සම ගැලවී විසිව ගියාද? - (කාන්ති කාරියවසම්)

T

The Leader Desk

July 26, 2022 • 8:29 AM

 පොරවා සිටි බැටළු සම ගැලවී විසිව ගියාද? - (කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සෑම සුරංගනා කතාවකම වෘකයා නරක, කපටි, වංචාකාරී චරිතයකි.
  • ළමා කාලය ඉක්මවද්දී, "බැටළු සම් පොරවා ගත් වෘකයින්ගෙන් ප්‍රවේසම් වෙන්න" යැයි වැඩිහිටියන් අපට කොතෙකුත් අවවාද කොට ඇත.
  • නමුත් අප සැවොම පාහේ අහම්බෙන් යහළුවෙක් ලෙසින් පැමිණි, ඇතැම්විට ආගම දේශනා කරමින් පැමිණි හෝ බොහෝවිට දේශපාලකයකු මෙන් පැමිණි බැටළු සමක් පොරවාගත් කිසියම් වෘකයකුට රැවටී ඇතුවාට සැකයක් නැත.
  • නමුත් තම තමන්ගේ අවශ්‍යතා වලට අනුව මිත්‍රශීලී, අහිංසක, හිතවත්, මෘදු මොළොක්, බැටළු චරිත රඟපෑමට උපන්ගෙයි දක්ෂතා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සෑම සුරංගනා කතාවකම වෘකයා නරක, කපටි, වංචාකාරී චරිතයකි.

ළමා කාලය ඉක්මවද්දී, "බැටළු සම් පොරවා ගත් වෘකයින්ගෙන් ප්‍රවේසම් වෙන්න" යැයි වැඩිහිටියන් අපට කොතෙකුත් අවවාද කොට ඇත. නමුත් අප සැවොම පාහේ අහම්බෙන් යහළුවෙක් ලෙසින් පැමිණි, ඇතැම්විට ආගම දේශනා කරමින් පැමිණි හෝ බොහෝවිට දේශපාලකයකු මෙන් පැමිණි බැටළු සමක් පොරවාගත් කිසියම් වෘකයකුට රැවටී ඇතුවාට සැකයක් නැත.

මෙවැනි බැටළු සම් පොරවාගත් වෘකයින් ව්‍යාජ, උපායශීලී, නිර්දය, හැඟීම් දැනීම් රහිත සත්ත්ව කොට්ඨාශයකි. නමුත් තම තමන්ගේ අවශ්‍යතා වලට අනුව මිත්‍රශීලී, අහිංසක, හිතවත්, මෘදු මොළොක්, බැටළු චරිත රඟපෑමට උපන්ගෙයි දක්ෂතා ඇත.


ගෙවීගිය සතියේ දිනෙක අලුයම් කාලයේ අරගල භූමියේ හුන් නිරායුධ පුරවැසියන්ට රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකල අමානුෂික පහරදීමෙන් පසු මෙවැනි බැටළු වෙස් ගත් වෘකයින් ගැන නැවතත් සිහියට නැඟුනි.


පුරවැසි අයිතිවාසිකම් ඉල්ලා හඬ නගන ජනතාව පුරවැසියන් මිස අරගලකරුවන් ලෙස හැඳින්වීමට මම පැකිලෙමි.


කිසිම අයුරකින් ප්‍රචණ්ඩත්වයේ නොයෙදි, නිරායුධ, සුළු පිරිසකට පහර දීමට පැමිණ සිටි බර අවි දරාගත් අති විශාල සන්නද්ධ භට පිරිස වඩාත් සුදුසු වනු ඇත්තේ විදේශ ආක්‍රමික සතුරු සේනාවක් හා සටන් කිරීමටය. එය අතිශයින්ම හද කම්පා කරවන, ආවේගශීලී හැඟීම් දනවන දර්ශනයකි.

පුරවැසි අරගල යේ අග්‍රගන්‍යය ප්‍රතිලාභය ලැබුවේ නූතන ජනාධිපතිවරයාය. ජන වරමින් එම තනතුරට පත්වීම හුදෙක් සිහිනයක්ව තිබියදී අරගලයේ අතුරු ප්‍රථිපලයක් ලෙස ඔහුගේ සිහිනය මල්පල ගැනුණි.

ඔහුගේ දේශපාලන ජීවිත කාලය පුරා දකිමින් සිටි, නමුත් මුදුන් පමුණුවාගත නොහැකිවූ, සිහිනය සැබෑවී ජනපති තනතුරට පත්ව යන්තම් පැය 24ක් ඉක්ම යෑමටත් පෙර මුළුමනින්ම ප්‍රදර්ශනය වූයේ ඔහුගේ වෘක වේශය නොවේද?


මානව හිතවාදී, ප්‍රජාතන්ත්‍රවාදී, ලිබරල් නායකයෙක් ලෙස දශක හතරකටත් වඩා පෙන්වමින් සිටියේ පොරවාගත් බැටළු සමක් බව, අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධුරයට පත්වී දවසක් ගත වීමට මත්තෙන් ඔහු මුළු ලෝකයටම හඬගා නොපෙන්වූයේද?


දරුවා වැල් පාලමෙන් එතෙර කොට බේරා ගැනීමට ගෘෂා ඉදිරිපත් වූවාසේ, දුක් විඳින ජනතාව ගැන අනුකම්පාවෙන් ආර්ථිකය බේරා ගැනීමට අගමැතිකම ගත්තා යැයි කිවූ ඔහු, සියළු බලතල සහිත ජනාධිපතිධුරය ලත් සැනින් සිදු කලේ ෆැසිස්ට් ආකාරයේ මර්දන කියාවකි.

එය කිසිම අයුරකින් සාධාරණීකරණය කල නොහැක්කේ ඔහුගේ අණින් ප්‍රහාරයට ලක්වුනේ දරුවන්, කාන්තාවන්, ආබාධිතයින් ඇතුළු නිරායුධ, ප්‍රචණ්ඩත්වයකින් තොරවූ පිරිසක් වීම නිසාය. එම ප්‍රහාරය ව්‍යවස්ථා විරෝධී මිලේච්ඡ ප්‍රහාරයකි.

 දෛවයේ සරදම වනුයේ ඊට සති කිහිපයකට පෙර මයිනා ගෝ ගම දී සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරයට විරුද්ධව, හිටපු ජනාධිපතිට සහ අමාත්‍ය මණ්ඩලයට ඉවත්වන ලෙස ඔහු විසින් සිදුකොට තිබු ප්‍රකාශයයි.

අතීතයේදී ඔහු ගුරු පුහුණු අභ්‍යාස විදුහල් සම්බන්ධව ගත් අසංවේදී, මුරණ්ඩු මෙන්ම අමනොඥ තීරණ, බටලන්ද වධකාගාර යේ සිදුවූවා යැයි කියන සිද්ධීන් වැනි නොයෙකුත් කතා අසා තිබුනත් ඒවා සම්පුර්ණයෙන්ම සත්‍යයැයි පිළිගැනීමට නිසියාකාර සාක්කි නොවිණි.

සොරුන්, මිනීමරුවන් අල්ලනවා යැයි කියා බලයට පත්වූ 2015 යහපාලන ආණ්ඩුව බිඳ වැටීමට බෙහෙවින්ම හේතු පාදක වූයේ ත්, චෞරයන් නීතියේ රැහැනට හසුකර නොගත්තේත්, එවකට සිටි අගමැතිවරයා බව බොහෝ අය කීවත් එදා ජනාධිපතිවරයාගේ උභයජීවී ක්‍රියාකලාපය නිසා එයද එතරම් පිළිගත නොහැකිවිය.

ඔහු ජීවත් වන්නේ වෙනස්ම ඇවතුම් පැවතුම් ඇති ව්‍යාකූලවූ විශ්වයක යැයි අසා තිබුණත්, ඔප්පු කරන තෙක් යමෙක් පිළිබඳව විනිශ්චය නොකළ යුතුය යන න්‍යායයට අනුව ඔහුට චෝදනා කිරීමට බොහෝ අය (මාද ඇතුළුව) මැලි වූහ. නමුත් දැන් ඔහුගේ නියම ස්වරූපය ඔහු විසින්ම රටට පමණක් නොව, මුළු ලෝකයටම පෙන්වා දී ඇත.


ඇතැම් හමුදා ඇඳුමින් සැරසී සිටියවුන්ගේ භාෂණය, මෙන්ම නිරායුධ පුරවැසියනට පහරදුන් අන්දමද ඉතාම අශිෂ්ඨය. මෙයින් පසු පුරවැසියන්ගේ රණවිරු ගාය සුව වන්නේ නම් අඩු තරමින් එය ධනාත්මක අතුරු ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැක.


යුධ හමුදා ඇඳුමක් ලා ගත් පමණින් ඔවුන් සිදුකරන ඕනෑම අනීතික ක්‍රියාවක් සාධාරණීකරණය කිරීමට බොහෝ ජනයා පුරුදුව සිටිති. එයින් සිදුවන්නේ දූෂිත අතලොස්සක් නිසා බහුතර හමුදාව ම අපකීර්තියට පත්වීම නොවේද?

එසේම මේ ජනාධිපතිවරයා විසිඑක්වන සියවසේ ලංකාවට පහළවූ ප්‍රජාතන්ත්‍රවාදියෙක් , නිදහස් චින්තකයෙක්, මානව හිතවාදියෙක්, ස්ත්‍රී පුරුෂ භේදය නොසලකන්නෙක් ලෙස ලොවටම මවා පෙන්වූ ප්‍රතිරූපයට කුමක් වීද?

නියෝජ්‍ය කථානායක තනතුරට කාන්තාවක් පත්කොට ගත යුතුව තිබුණේ යැයි ඔහු පැවසූයේ ඉතාම මෑතකදීය. ඔහුගෙන් පුරප්පාඩුවූ ජාතික ලැයිස්තු අසුනට කාන්තාවක් පත්කර ගැනීම හෝ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට එකම කාන්තාවක් හෝ ඇතුළත් කරගැනීම සිදු නොවුණේ ඒ සියළුම ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශිලී අදහස් ඇලවී තිබුණේ මෙදා ගැළවී ගිය බැටළු සමෙහිදැයි සාධාරණ සැකයක් ඇතිවීම අසාධාරණ නොවේ.

මෙහි බරපතලම තත්ත්වය වනුයේ ආර්ථික වශයෙන් අසීරුම අඩියක හිඳිමින්, රටේ පාලකයින් මානව හිමිකම් කඩකරන ආකාරය ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම පමණක් නොව, ජාත්‍යන්තර නියෝජිතයින් සිදුවූ සිද්ධිය පිළිබඳව ඔවුන්ගේ කණස්සල්ල පළ කරද්දී ඔවුනට වහසි බස් බිණීමයි.

ජනප්‍රිය නොවූ, ජන වරමක් නැති, පුරවැසි හදගැස්ම හඳුනා ගත නොහැකි, පාර්ලිමේන්තුවේ තනි අසුනක් පමණක් හිමි, මානව හිමිකම් අමු අමුවේ කඩකරන නායකයෙක් සිටින රාජ්‍යයකට ආර්ථික සහන, හෝ ආයෝජන ලැබිය හැකිද යන්න බරපතළ කාරණයක් ලෙස ජනාධිපතිවරයා නොසිතන බව පෙනෙයි.

නොඑසේනම්, වරක් මාධ්‍යවේදිනියක් සංස්කෘතිය ගැන ඇසූවිට ලංකා ඉතිහාසයේ සිටි මානවම්ම රජු ගැන කියා උපක්‍රමශීලිව ප්‍රශ්ණය මගහැරියාසේ ජාත්‍යන්තර නියෝජිතයින්ගේ කණින්ද රිංගා යාම ඉතා පහසුවනු ඇතැයි මේ ජනාධිපතිවරයා සිතනවා වියහැක.  

Kanthi kariwasa


(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com




 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොරවා සිටි බැටළු සම ගැලවී විසිව ගියාද? - (කාන්ති කාරියවසම්) | The Leader