The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෙය මෙසේ නොවුණා නම් පුදුමයකි - රංජිත් හේනායක ආරච්චි

T

The Leader Desk

July 28, 2022 • 7:17 AM

මෙය මෙසේ නොවුණා නම් පුදුමයකි - රංජිත් හේනායක ආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හොඳම විග්‍රහයක් වන්නේ එයයි.
  • රාජ්‍ය දේපළ විශාල වශයෙන් අවභාවිතා කිරීම මගින් කෝටිපතියන් බවට පත්වූ දේශපාලනඥයින් සහ ඔවුන් වටා සිටින කණ්ඩායම සියලු බලය තම අතට ගෙන තිබුණි.
  • මෙය එතෙක් මෙතෙක් ලංකාවේ පැවතුණු විශාලම ජනතා අරගලය ලෙස හැඳින්විය හැක.
  • මෙම අරගලය විවිධ හැඩ විවිධ අවස්ථාවලදී ලබා ගත්තද අවසානයේදී පැවතුනු දේශපාලන සංස්කෘතියේ යම් කිසි වෙනසක් ඇති විය හැකි යයි මා වැනි සමහර විට මා මෙන් ම සිතන අය බලාපොරොත්තු වන්නටත් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

හොඳම විග්‍රහයක් වන්නේ එයයි.

නීතිය නමා ගැනීම, රටෙහි දේපළ තම හිතවතුන් කල්ලිය අතර බෙදා හදා ගැනීම, ඉවවහා ගිය දූෂණය, ඥාති සංග්‍රහය රාජපක්ෂ රෙජීමයට සාමාන්‍ය දේ විය.

රාජ්‍ය දේපළ විශාල වශයෙන් අවභාවිතා කිරීම මගින් කෝටිපතියන් බවට පත්වූ දේශපාලනඥයින් සහ ඔවුන් වටා සිටින කණ්ඩායම සියලු බලය තම අතට ගෙන තිබුණි. රට විනාශය මුඛයට ගියේ දූෂිත රාජපක්ෂ දේශපාලනය සහ එහි හෙංචයියන් බලය අවභාවිතා කිරීම නිසාය.

මේ සියලු තත්ත්වයන් තුළ බංකොලොත් වූ රටෙහි ජනතාවගේ බඩට වැදුනු තැන ඔවුන් පාරට බසින තත්ත්වයකට පත් වන මොහොතේ රටෙහි තරුණ ජනයා අලුත් දේශපාලනයක් සඳහා, මගේ වටහා ගැනීම් අනුව නම් අලූත් දේශපාලන සංස්කෘතියක් ඉල්ලා සිටියෝය.

එයට රටෙහි මහ ජනයාගේ සහයෝගය ලැබුණු අතර එය පුළුල් බහුජන නැගිටීමක  මට්ටමෙන් රට තුළ මතුව ආවේය. මෙය එතෙක් මෙතෙක් ලංකාවේ පැවතුණු විශාලම ජනතා අරගලය ලෙස හැඳින්විය හැක.

මෙම අරගලය විවිධ හැඩ විවිධ අවස්ථාවලදී ලබා ගත්තද අවසානයේදී පැවතුනු දේශපාලන සංස්කෘතියේ යම් කිසි වෙනසක් ඇති විය හැකි යයි මා වැනි සමහර විට මා මෙන් ම සිතන අය බලාපොරොත්තු වන්නටත් ඇත.

 

පාර්ලිමේන්තු ඡන්දයකින් නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම කරා මේ විරෝධතාකරුවන්ගේ අරගලය හේතු වී අලුත් තත්ත්වයක් උදා වී තිබුණි. එනමුත් පාර්ලිමේන්තුවෙහි බහුතරය වූයේ බලය අව භාවිතා කර විවිධ දූෂණයන් සහ අපරාධ වලට උසාවි වලින් දඬුවම් කරන මට්ටමට පැමිණ සිටි රාජපක්ෂ හෙංචයියන්ගෙන් බව අප අමතක නොකළ යුතුය. මෙවැනි කණ්ඩායමකට රාජ්‍ය බලය තමන් අතින් ගිලිහීම මාරකයකි.

 

2015-2019 යහපාලන ආණ්ඩු සමයෙහි රාජපක්ෂ පවුල සහ එහි ගජ මිතුරු කල්ලිය දඬුවම් නොලබා බේරා ගත් පුද්ගලයා මේ අවස්ථාවේදීත් ඔවුන්ගේ පිහිටට තෝරා ගත්තේ ඒ නිසාය.

පාර්ලිමේන්තුවේ රාජපක්ෂ බහුතරය 20 වැනිදා සිය ගැලවුම්කරුවා වන රනිල් වික්‍රමසිංහට ඡන්දය පාවිච්චි කළේ එළෙස සිය ආරක්ෂාව පතාය. අද ඔවුන් සිය ආරක්ෂාව සඳහා ඔවුනට වඩාත් සුදුසුම පුද්ගලයා වන රනිල් වික්‍රමසිංහ තමන්ගේ නායකයා ලෙස පත් කර ගෙන ඇත.

මෙම සන්දර්භය සහමුලින්ම අමතක කරන සමහර “ලිබරල්වාදී” පිරිස් රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයා විශ්වකර්මයකු බව කියමින් ඔහුට ප්‍රශස්ති ලියමින් සිටිති.

 

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ගැන කතා කරන අප අලුත් ලෝකය තුළ ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් සඳහා වැඩ කිරීම මිස පුද්ගලයින් ඉස්මතු කිරීම නොකළ යුතුය. එය ලංකාවේ පමණක් නොව ලෝකය පුරා ද එළෙස පුද්ගල ඉස්මතු කිරීම සිදු වේ. ප්‍රජාතන්ත්‍රවාදී නූතනත්වය සඳහා සාමූහික නායකත්වය පිළිබඳ දැක්මක් ඇත්තේ ටික දෙනෙකුට පමණි. අප තවමත් සහජයෙන් ම සොයන්නේ රැලක නායකයෙකු එනම් ශක්තිමත් නායකයකු අපේ ප්‍රශ්න විසඳීමට තෝරා ගැනීමටයි.

 

මේ තත්ත්වය මේ පිළිබඳව සමාජ සංවාදයක් සහ දීර්ඝකාලීන සාකච්ඡාවක් සිදු විය යුතු බව මගේ වැටහීමයි.

20වැනි දින රනිල් වික්‍රමසිංහ වෙනුවට ඩලස් සහ සජිත් (සහ දෙමළ සහ මුස්ලිම් පක්ෂ) සන්ධානය ජයග්‍රහණය කළේ නම්, අලුත් දේශපාලන සංස්කෘතියකට මඟපෑදීම සඳහා යම් පියවරක් එය විසින් ආරම්භ කරන්නට තිබූ බව මගේ වැටහීමයි.

ඩලස් අලහප්පෙරුම, රාජපක්ෂ කඳවුරේ මිනිසකු වුවත් ඔහු සජිත් සමඟ ඇති කරගන්නා දේශපාලන සන්ධානය අද රට පත් වී ඇති මෙම තත්ත්වයෙන් යම් කිසි වෙනත් මගකට ගමන් කිරීමට අවශ්‍ය වෙන මූලිකාංගයක් වන සම්මුතිවාදී දේශපාලනයක් දෙසට පියවරක් වන්නට ඉඩ තිබුණි.

sajith dullus 22.7.19

ඩලස් සහ සජිත් සන්ධානය ජයග්‍රහණය කළා නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති වන මට්ටමකට ඒමට එක්තරා ඉඩක් තිබුණි. වඩාත් හොඳ වන්නේ මේ පවතින තත්ත්වයේදී ඉතිරි කාලයේ ජනාධිපති වරයා වශයෙන් කෙනෙකු පත් වනවා මෙන්ම අගමැතිවරයා වශයෙන් දෙමළ සන්ධානයේ කෙනෙකු හෝ මුස්ලිම් සන්ධානයේ කෙනෙකු පත් කරගත්තා නම්ය.

තවත් කාරණයක් වන්නේ රාජපක්ෂවාදී බහුතරය ඡන්ද 134ක් පාර්ලිමේන්තුවෙහි උදම් ඇනීම කොතරම් දුරට වැදගත් ද යන්නයි. උදාහරණයකට එදා 69 ලක්ෂයක් ගෝඨාභයට ඡන්දය දීම ගැන රටේ ජනතාව කොතරම් උදම් ඇනුවා ද? කිරි බත් කෑවද? බිත්ති පුරා චිත්‍ර ඇනදා ද? වීදි පුරා රංගනයෙහි යෙදුණාද?

නමුත් අද එවැනි රංගනයක්  ජනතාව අතර නැතිවුණද දේශපාලන කරලියේ රාජපක්ෂවාදීන් සහ රනිල් වාදීන් ගේ රංගනයක් අද දකින්නට ලැබේ. රටෙහි ජනය‍ා එසේ රංගන මට්ටමක ඒමට වත් ඔවුන්ට සවියක් ඇතැයි මම නොසිතමි.

කෙසේ වුවත් හැට නම ලක්ෂය ඡන්දය දුන් මිනිසුන්ගේ බලාපොරොත්තු බිඳුනි. දැන් ඡන්ද 134 ජනාධිපතිවරයා රටේ ජනතාවගේ පැතුම් ඉටු කරනු ඇත්ද කියා ඉදිරි දිනවල දැකිය හැකි වනු ඇත.

පවතින ඒකාධිපති ව්‍යවස්ථාව තුළ තවදුරටත් ගමන් කළ නොහැකි බව මෙතෙක් ලංකා සමාජය මෙන්ම ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ එදා මෙදා තුර පවසා ඇත. බලයට ඒමට පෙර මෙම ඒකාධිපති ව්‍යවස්ථාව අහෝසි කරන බවට පොරොන්දු නොදුන් ප්‍රධාන දේශපාලන පක්ෂ හෝ බලයට ආ කිසිම දේශපාලඥයෙකු ලංකාවේ නොමැත. එසේනම්  මෙම පවතින ව්‍යවස්ථාවට අනුව රටෙහි ප්‍රජාතන්ත්‍රවාද ගොඩනැගිය හැකි යයි කතා කිරීම විහිළුවක් නොවන්නේද?

 

මෙතෙක් බලයට ආ දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයින් විසින් එම ව්‍යවස්ථාව වෙනස් නොකිරීම හේතුවෙන් එනිසාම රට තුළ උද්ගතව ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමට රටේ ජනතාව නැගී සිටීම සාධාරණය.

 

එසේම මෙම නැගී සිටිම ප්‍රචණ්ඩත්වයෙන් තොර වීම තවත් වැදගත් කරුනකි. නමුත් එම සාමකාමී අරගලවලට ඒකාධිපති ව්‍යවස්ථාව ට මුවා වන රනිල් සහ රනිල් සාධාරණීකරණය කරන බලවේග අරගලය නීති රාමුව නීතියට එකඟද යැයි ප්‍රශ්ණ කරති.  ‍

ජනතාව අවනත විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී නීතියේ ආධිපත්‍යට මිස ඒකාධිපතිවාදී නීති වලට නොවේ.

ඇත්තෙන්ම හැම දෙනෙකුම දන්නා පරිදි රනිල් වික්‍රමසිංහ යනු ලංකා සමාජය තුළ දේශපාලන වශයෙන් අලවංගුව ගිය කාසියකි. පසුගිය මැතිවරණයේ දී ඔහු නන්නත්තාර විය. එසේ තිබියදීත් රට තුළ ඇති වු අර්බුදය හේතුවෙන් ඔහුට ඉහගෙන කෑමට වළක් පෑදුණි. ඒ රජයේ සම්පත් කොල්ල කෑ මුළු රටක්ම විශාල අර්බුදයකට ගෙන ගිය ඇත්ත වශයෙන්ම රටක් කුසගින්න වෙත තල්ලු කර දැමූ දුර්දාන්ත රාජපක්ෂ පාලනය ජනතා නැගිටීමකින් එළවා දැමූ මොහොතක ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මුරකරුවකු අවශ්‍ය වූ නිසාය.

මේ අවශ්‍යතාවය සඳහා රාජපක්ෂ කල්ලිය විසින් සිය රෙජිමය ආරක්ෂා කර ගැනීමේ මුරකරු ලෙස රනිල් වික්‍රමසිංහ පත් කර ගත්තේය.

 

මෙහිදී අප අමතක නොකළ යුතු කරුණ වන්නේ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති කමට සහාය ලබා දෙන්නේ ජනතාව නොව පාර්ලිමේන්තුව තුළ සිටින මෙම රාජපක්ෂ කල්ලිය විසින් පමණක් බවයි. එය ප්‍රජාත්නත්‍රවාදයේ අත්‍යවශ්‍ය ලක්ෂණයක් වන දේශපාලන සුජාත බව නොවේ.

 

එසේ රනිල් වික්‍රමසිංහ  ජනාධිපති බවට පත් කරන ලද්දේ රාජපක්ෂ පවුලේ සහ ගජ මිතුරු සමාගමේ හොර මැරකම් සහ ඔවුන් කළ දූෂිත ක්‍රියාවන්හි වගකීමෙන් ගැලවීම සඳහා බව අලුතෙන් කීමට අවශ්‍ය නැත. දේශපාලනයේ අ යනු ආ යනු දන්නා ඕනෑම අයකුටට එය එකවරම පෙනී යා යුතු නමුත් රනිල්වාදී “ලිබරල්” පිරිස් තර්ක කරන්නේ ඒ බව නොදන්නා ගාණටය.

රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බව කියමින් ජනාධිපති කමට පත්වූ පලවෙනි දිනයේ සිටම ඔහු ප්‍රජාතන්ත්‍රවිරෝධී එසේ නැත්නම් නිර් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට අවතීර්ණ වී ඇත. සාමකාමී අරගල කරුවන්ට ඒකාධිපති රාජ්‍යයක් ක්‍රියාත්මක වන ආකාරයෙන් රාජ්‍ය ත්‍රස්තවාදය මධ්‍යම රාත්‍රී මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබුයේ රනිල් වික්‍රමසිංහය.

මීට වසර තිස් ගණනකට උඩදී රාජ්‍ය ත්‍රස්තවාදය සියලු රාත්‍රීන් තම භීෂණයට යොදා ගත් ආකාරය අද තරුණ පරපුර නොදන්නවා වුවත් දැන් වයස 50 ක් පමණ වන සියලු දෙනාගේ එම භයානක දවස් අමතක නැත.

රනිල් වික්‍රමසිංහ එදා එම අඳුරු රාත්‍රීන් වල රුදුරු ක්‍රියාවන්වල නියැළුණු ප්‍රධාන නියමුවකු බව මුළු රටම දනී. දකුනු ලංකාවේ රට පුරා පැවති වධකාගාර පිළිබඳව මතකයන් තාමත් ලක්වැසියන් බොහෝදෙනෙකු තුළ ඇත. ඒ අඳුරු රාත්‍රීන්හි අතුරුදහන් වූවන් දස දහස් ගනනකි.

 

2016 ජනවාරි මාසයේ දිනක ඩොනල්ඩ් ට්‍රම්ප් සම්මුඛ සාකච්ජාවකදී මෙසේ කීවේය: “ මම දැන් පස්වෙනි වීදියට බැස කාට හෝ වෙඩි තියා මරා දැමූවත් මට ඡන්දය දෙන එකම ඡන්ද දායකයෙක් වත් ඡන්ද දායිකාවක් වත් මගෙන් ඉවත් වන්නේ නැහැ”.

 

මෙම කියමන මට මතක් වූයේ රනිල් වික්‍රමසිංහ තමන්ගේ පළවෙනි ක්‍රියාව ලෙස නිරායුධ තරුණයින්ට තරුණියන්ට පහරදීමට නියෝග දී තිබිවදීත් ලිබරල් දේශපාලනය පිළිබඳව කතා කරන අපේ සමහර හිතවතුන් එය සාධාරණීකරණය කිරීමට විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් කතා කරන විටයි.

ඇත්තෙන්ම ට්‍රම්ප් එදා කියන්නේ තමන්ගේ අනුගාමිකයින් යනු අන්ධානුකරණයෙන් තමා කරන ඕනෑම දෙයක් අනුමත කරන කණ්ඩායමක් මිස නිදහස්ව හිතන ලිබරල් ‍ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් නොවන බවයි.

මගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මිතුරනි, මා තවදුරටත් ආදරයෙන් අමතන්නේ අන්ධ භක්තිය පැත්තකින් තබා නිදහස් මිනිසුන් ලෙස සිතන ලෙසයි. ඔබ නිදහස් මිනිසෙකු නොවන තාක් කල් ඔබ ලිබරල් ‍ප්‍රරජාතන්ත්‍රවාදී අයෙකු නොවේ.


රනිල්ගේ බලහත්කාරය සහ ජනතා පැතුම - (රංජිත් හේනායක ආරච්චි)(රංජිත් හේනායක ආරච්චි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
lranjith@hotmail.de



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...