The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

‘මර්දනය’ සහ පුරවැසි වගකීම - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

August 1, 2022 • 6:08 AM

‘මර්දනය’ සහ පුරවැසි වගකීම - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘අරගලය’ මෙවැනි තවත් යෙදුමකි.
  • අප ද යෙදී සිටින්නේ අප ද ඇතුළු සමස්ත ලංකාවම වෙනුවෙන් යහපත් අනාගතයක් උදාකරගැනීමේ අරගලයකය.
  • දැන් ‘අරගලයේ’ පියා බව පෙනෙන සරත් ෆොන්සේකා අගෝස්තු 9 දින පැමිණ වත්මන් ආණ්ඩුව ද පන්නා දමන්නැයි තම අරගල ‘දරුවන්ගෙන්’ පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ ඉල්ලීමක් කළේය.
  • අරගලකරුවන් ඔහු බලයට පත්කළ පසු ඔවුන්ට සිදුවන්නට ඉඩ තිබෙන්නේ නිකම්ම නිකම් කලවැද්දන් බවට පත්වීමට විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):



‘අරගලය’ මෙවැනි තවත් යෙදුමකි. අප ද යෙදී සිටින්නේ අප ද ඇතුළු සමස්ත ලංකාවම වෙනුවෙන් යහපත් අනාගතයක් උදාකරගැනීමේ අරගලයකය.

එහෙත් ‘අරගලය’ යනු වෙනස් සංදර්භයකි. එය කුමක් වෙනුවෙන් කරනු ලබන්නක්දැයි පැහැදිලි නැත. මුලින් ජනාධිපති ගෝඨාභය පැන්නීමටය. දැන් රනිල් පැන්නීමටය.

දැන් ‘අරගලයේ’ පියා බව පෙනෙන සරත් ෆොන්සේකා අගෝස්තු 9 දින පැමිණ වත්මන් ආණ්ඩුව ද පන්නා දමන්නැයි තම අරගල ‘දරුවන්ගෙන්’ පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ ඉල්ලීමක් කළේය. එසේ පැන්නීමෙන් පසු රටේ නායකත්වයට පත්විය යුතු හොඳම පුද්ගලයා ඔහුට අනුව නම් ඔහුම විය යුතුය.

අරගලකරුවන් ඔහු බලයට පත්කළ පසු ඔවුන්ට සිදුවන්නට ඉඩ තිබෙන්නේ නිකම්ම නිකම් කලවැද්දන් බවට පත්වීමට විය හැකිය.

කෙසේ වෙතත්, සරත් ෆොන්සේකාට රට ගොඩගැනීම සඳහා තිබෙන වැඩපිළිවෙල තබා ඔහුට සිටින කණ්ඩායමවත් කුමක්දැයි කිසිවෙකු දන්නේ නැත. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් ඔහු පවත්වන කතාවල නීත්‍යානුකූලභාවය පරීක්ෂා කළ නොහැකි වීම ඔහුට වාසිදායකය.


sff


අරගලය ‘සාමකාමී අරගලයක්’ ලෙස වරනැගීමක් තිබෙන අතර ඇමරිකා, කැනඩා තානාපතිවරුන් හා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවා එය එසේ යයි සිතන බවක් ඇතැම් ට්විටර් පණිවුඩවලින් පෙනිණි.

එහෙත්, ‘සාමකාමී අරගලය’ යනු පැනඩෝල් වැනි වෙළඳ සන්නාමයකි.

අරගලය යන ක්‍රියාකාරීත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පොලුගසා මරාදැමීම, තවත් මන්ත්‍රීවරයකුට ඒ අන්දමින්ම පහරදීම හා නිවාස රාශියක් ගිනිතබා විනාශ කිරීම ද, තවත් දේපළ රැසකට කළ හානි ද තිබේ.


අරගලය ‘කැරැල්ලක්’ ලෙස හැඳින්වීමට කැමති අය ද සිටිති. එහෙත්, සාධාරණව කල්පනා කර බැලූ විට සමස්ත අරගලය කැරැල්ලක් වන්නේ ද නැත. කිසිදු කැරැල්ලක් නායකත්වයකින් තොරව පවතින්නේ නැත. ස්වයං සිද්ධව පැනනැගුණ කැරැලිවලට පවා අවසානයේදී හෝ නායකත්වයක බලපෑම ඇතිවේ. මෙහි එවැනි වගකීම් භාරගැනීමක් නැත.


එහි ‘මොබ් ප්‍රචණ්ඩත්වයන්’ මාලාවක් තිබිණි. එහෙත්, සමස්ත අරගලය ‘මොබ් ප්‍රචණ්ඩත්වයට’ ඌනනය කරන්නට ද බැරි ය. එහි යම් යම් ආදරණීය හා සුන්දර සංස්කෘතික ලක්ෂණ තිබිණි. එහෙත් එය ‘ආදරයේ අරගලයක්’ ද නොවේ. ඕනෑ තැනක තිබෙන ආදරය සේම එහි තිබුණු ආදරය ද වෛරයට ඉතා සමීප එකකි.

‘අරගලටඅඅඅඅඅඅහ් ජයහ්වේවාහ්!’ යනු මේ අරගලයේ ප්‍රධානම මන්තරය විය. එහෙත්, එසේ මැතිරූ පමණින් අරගල ජයග්‍රහණය කරන්නේ නැත.

‘කපා කපා කෑලි කපා – අප වළකනු සිතනු එපා – ලේ හැලුණත් පාර දිගේ – අපේ ගමන අපි යනවා’ යි කීවාට, කවුරුවත් කෑලි කපන්නට ආවේත් නැත. පාරවල් දිගේ ලේ හැලුණේත් නැත. අපේ ගමන අපි යනවා ය කී අය දැන් වෙන වෙනම තම තමන්ගේ ගමන් යාම පටන්ගෙන තිබේ.

 

‘මර්දනය’ ගැන කියන්නට තිබෙන්නේ ද එහෙමම දෙයකි. 1971 හෝ 1989 හෝ දෙමළ අරගලයේ අවුරුදු 30 තුළ මර්දනය ගැන අත්දැකීම් ලබා තිබෙන අය වර්තමානයේ සිදුවන දෙය මර්දනයක් ලෙස නොදකිති. එය ද මර්දනයේ ප්‍රබන්ධයකි.

 

1983දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසු හදිසි නීතිය යටතේ අත්අඩංගුවට පත්වූ කිසිවකුට අවම මාස තුනක් පමණ ගතවන තෙක් ඇප ලබාගැනීමට නොහැකි විය.

1986දී මාත්, මනෝජ් ප්‍රේමකීර්තිත් බුලත්සිංහල අතුර පොළේ ජවිපෙ පත්‍රිකා බෙදමින් සිටියදී එවකට පැවති ආණ්ඩුවේ හිතවතුන් පිරිසක් මා පොලිසියට අල්ලා දුන් අතර, පොලිසියේ නීති විරෝධීව හා නීත්‍යානුකූලව දින ගණනක් තබාගෙන හරක් පයියෙන් පවා පහරදීමෙන් අනතුරුව මා මාස තුනක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තබන ලදී.

තහනම් සංවිධානයක පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් මා හට පවරන ලද නඩුවට මා 1989දී එළියකන්දේ සිටියදී මා අධිකරණයට ඉදිරිපත් නොකරන ලද අතර, එදා නෝඩේට් කළ නඩුව තවමත් නෝඩේට්ය.

1989 කැරැල්ල සමයේ හදිසි නීතියටත් වඩා ක්‍රියාත්මක වූයේ අනීතියයි. එළියකන්ද වධකාගාරයේ කලින් කල රඳවාගෙන සිටි පිරිස් අතරින් රැඳවුම් නියෝග තිබුණේ මටත්, වර්තමානයේදී දීර්ඝ කාලයක් තිස්සේ ඩලස් අලහප්පෙරුමගේ ලේකම්වරයකු වන සුමිත් චන්දනටත්, රැඳවුම් නියෝග තිබියදීම තලල්ල හමුදා කඳවුරේදී වධදී මරාදමන ලද ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ චම්ලි දිසානායකටත් පමණි. අප දීර්ඝ කාලයක් තිස්සේ නඩු නොමැතිව රඳවා තබාගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.

හමුදාව ඉවත් වී පොලිසිය මර්දනයේ සමස්ත වගකීම භාරගත් පසු, නීත්‍යානුකූලව රැඳවුම් කඳවුරුවල සිටි පුද්ගලයන් නිදහස් කර, අධිකරණ භූමියේදීම පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සුලබ තත්වයක් විය.

ඉහත දැක්වූයේ මර්දනයක් සිදුවූ ආකාරය පිළිබඳ ඉතා කෙටි විස්තරයකි. දෙමළ කැරැල්ල මර්දනය කළ ආකාරය එමෙන් සියගුණයක් බිහිසුණුය.

පසුගිය සමයේ සුලබම ක්‍රියා වූයේ වහසිබස් දෙඩීම, මොබ් හෙවත් ආවේගශීලී ජන සමූහයන් ලෙස චලනය වීමයි. මෙම මොබ් ක්‍රියාකාරකම් බොහොමයක් නීති විරෝධී වනමුත්, ඒවා බොහොමයක් සුළු වැරදි ලෙස සැලකිය හැකිය. එහෙත්, ගෙවල් ගිනි තැබීම්, දේපළ හානි කිරීම් හා මිනීමැරීම්වල ද යම් පිරිසක් නියැලුණහ.

 

වැඩියෙන්ම සිදුවන්නේ ආවේගශීලී ජනරාශිවල බලය ඇඟට අරගෙන වහසිබස් දෙඩීමයි. විශේෂයෙන්ම දේශපාලන පක්ෂවල නායකයන් වහසි බස් ඔස්තාද්ලාය. ඒ හැරෙන්නට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා ගොනුකළ හැකි මට්ටමකින් ඔවුන් මේ ‘අරගලය’ සමග සම්බන්ධ වූ බවක් නොපෙනේ.

 

කෙසේ වෙතත්, දැන් රජය පැත්තෙන් පොලිසිය යම් යම් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවක් පෙනේ. එම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම් යනු සිදුවූ නීති උල්ලංඝනයන්ගෙන් නොගිණිය හැකි තරම් සුළු ප්‍රමාණයක් සම්බන්ධයෙන් ප්‍රතික්‍රියාය.

නීති උල්ලංඝනයන් සිදුවූ පරිමාණය අනුව විමර්ශන කිරීමට හෝ නීති ක්‍රියාත්මක කිරීමට පොලිසිය හා නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අනෙකුත් පද්ධති කිසිසේත්ම ප්‍රමාණවත් නැත.

රාජපක්ෂවරුන් සොරකම් කර ලෝකයේ සඟවා තිබෙන මහජන ධනය සොයන්නට අප කටයුතු ආරම්භ කළ යුත්තේ මෙවැනි යුක්තිය පසිඳලීමේ පද්ධතියක් සමගය.

 

‘මර්දනය’ යනුවෙන් හඳුන්වනු ලබන මෙම ක්‍රියාවලිය ද ඉතා දුර්වල රාජ්‍ය ක්‍රියාකාරීත්වයකි. එමගින් සිදුවන්නේ වැරදිකරුවන් හඹාගොස් දඬුවම් කිරීමකට වඩා යුක්තිය පසිඳලීමේ පද්ධතිය මුළුමනින්ම අක්‍රිය වී නැති බව පෙන්වීම පමණි.

 

‘මර්දනය’ යනුවෙන් හඳුන්වනු ලබන ක්‍රියාවලිය විසින් සිදුකර තිබෙන වැරදි සම්බන්ධයෙන් ද තත්වය මෙයමය. ඒ සම්බන්ධයෙන් ද නිසි විමර්ශන සිදුවන්නේ නැත.


වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින නීතියේ ආධිපත්‍යය බිඳවැටීමට සාපේක්ෂව යුක්තිය පසිඳලීමේ පද්ධතිය ඉතා දුර්වලය. මෙරට පුරවැසියන් විසින් කළ යුතුව තිබෙන්නේ තමන් හා තමන් ජීවත් වන සමාජය යළි නීතියේ ආධිපත්‍යයට අවනත වන තැනට ගෙනඒම සඳහා ස්වේච්ඡාවෙන් මැදිහත් වීමයි. පොලිසියට හෝ අධිකරණයට කළ හැකි දෙයට වඩා එය ඉතා වැදගත්ය.



ලංකාවේ මේ මොහොතේ බලවත් පාර්ශ්ව දෙකක් තිබේ. එකක් රජයයි. අනෙක විපක්ෂයේ සිට පහළට විහිදෙන ඉතා පුළුල්, අවිධිමත් ජන රාශියයි. මේ දෙපිරිසම නීතිය සියතට ගැනීම, බලහත්කාරය හා වහසි බස් බිනීම නවතා දමා සහකම්පනයෙන් යුතුව ක්‍රියා කළ යුතුව තිබේ.

අප හමුවේ තිබෙන්නේ නීතියේ ආධිපත්‍යය බිඳවැටුණු අරාජිකත්වයේ ගොදුරක් බවට පත් රාජ්‍යයකි. මේ රට ගොඩගැනීමට තිබෙන්නේ ආර්ථික අගාධයකින් පමණක් නොවේ. ආර්ථික, දේශපාලනික මෙන්ම සමාජ නරාවලකින් ද රට ගොඩගැනීම සඳහා අපගේ මැදිහත්වීම අවශ්‍යය.


මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...