The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බත ඉදෙන තෙක් සැහැල්ලු අහරකින් කුස පුරවා ගනිමු - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

August 7, 2022 • 5:58 AM

බත ඉදෙන තෙක් සැහැල්ලු අහරකින් කුස පුරවා ගනිමු - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සූදානම්ව නොපැවතියේ නම්, අසීරුවෙන් සපයාගත් හාල්, තුන-පහ, එළවළු යනාදිය නිසි පරිදි සකසා බත සූදානම් කර දෙන තුරු කුඩා ආහාර වේලක් හෝ සපයා ඔවුන් සැනසිය යුතු ය.
  • හැත්තෑ හතරවසරක සාපයට වගකිව යුත්තෝ හැත්තෑ හතර වසරක සාපයක් යැයි කීව ද එකී සාපය වර්ධනය වීම ඇරඹෙන්නේ ඊනියා නිදහස ලබා තිස් වසරක් ඉක්ම ගිය පසු 1978 වසරේ ආරම්භ කළ විවෘත ආර්ථිකය හේතුවෙනි.
  • රට පාලනය කළ පාලකයන්ට පමණක් දොස් පවරා අත් සෝදා ගැනීමට යට සඳහන් කිසිවකුට නොහැකි ය.
  • එවන් එකතාවකට නොපැමිණ, පුද්ගල සාධකයක් අහෝසි කිරීම ඒකායන පරමාර්ථය ලෙස ගෙන කටයුතු කරන්නේ නම් එවිට සිදුවන්නේ අගාධයේ පතුලට ම ඇද වැටීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සූදානම්ව නොපැවතියේ නම්, අසීරුවෙන් සපයාගත් හාල්, තුන-පහ, එළවළු යනාදිය නිසි පරිදි සකසා බත සූදානම් කර දෙන තුරු කුඩා ආහාර වේලක් හෝ සපයා ඔවුන් සැනසිය යුතු ය.

ඔවුන් ද බත සුදානම් කර දෙන තෙක් මඳක් ඉවසිය යුතු ය.


එසේ නොකර ඔවුන් අතුරෙන් කිහිප දෙනෙකු හෝ ‘‘නෑ නෑ අපිට මේ දැන් ම බත් ම දියයුතු ය’’ යැයි කලහ කරමින් ලිප ඇති බත ද, සුදානම් කරන ව්‍යංජන ද සුනු විසුනු කරන්නට යත්න දරන්නේ නම්, එසේ සුදානම් කරන පුද්ගලයන් හට හිරිහැර කරන්නේ නම් ඔවුන්ට සිදුවන්නේ බත් කෑමට නොව තව දුරටත් කුසගින්නේ ම කල් ගෙවන්ට ය. සොයාගත් ආහාර වේල ද අනාගතයේ සොයාගැනීමට වෙහෙස දරන ආහාර වේල ද අහිමි වීම ය. මේ වන විට රටේ ජනතාවගෙන් කොටසක් කරමින් සිටින්නේ ද එවන් අකටයුත්තකි.


හැත්තෑ හතරවසරක සාපයට වගකිව යුත්තෝ



හැත්තෑ හතර වසරක සාපයක් යැයි කීව ද එකී සාපය වර්ධනය වීම ඇරඹෙන්නේ ඊනියා නිදහස ලබා තිස් වසරක් ඉක්ම ගිය පසු 1978 වසරේ ආරම්භ කළ විවෘත ආර්ථිකය හේතුවෙනි.

එතැන් සිට පැවති සියලු ආණ්ඩු ද, එකී ආණ්ඩු පත් කිරීමට සහය දැක්වූ: පැරණි, නූතන සහ පශ්චාත් නූතන වාමාංශික ව්‍යාපාර ද, රටේ පුර වැසියෝ ද ඒ සාපයට වගවිය යුතු ය.

 

රට පාලනය කළ පාලකයන්ට පමණක් දොස් පවරා අත් සෝදා ගැනීමට යට සඳහන් කිසිවකුට නොහැකි ය. එදා මෙදා තුර තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩු බලයට පත් කළ, පත් කිරීමට මාර්ග තැනූ වාමාංශික හෝ දක්ෂිණාංශික බලවේගවලට මෙන් ම ජනතාවට ද මෙම වගවීමෙන් බැහැර විය නොහැකි ය.

 

එහෙත් මේ සියලු බලවේග එක තැනකට එක්ව, පොදු මතයකට එළඹ කිසියම් එකඟතාවකට පැමිණෙන්නේ නම් අගාධයේ පතුල කරා ඇදෙන රට ඒසේ ඇදීම නවතා ක්‍රම ක්‍රමයෙන් යළි ඉහළට එසවිය හැකි ය.

එවන් එකතාවකට නොපැමිණ, පුද්ගල සාධකයක් අහෝසි කිරීම ඒකායන පරමාර්ථය ලෙස ගෙන කටයුතු කරන්නේ නම් එවිට සිදුවන්නේ අගාධයේ පතුලට ම ඇද වැටීම ය.


විරොධතාව, අරගලය සහ කැරැල්ල

en.newswave.lk galle face prot 7 1024x683

සාමකාමී, නිර්මාණශීලී විරෝධතාවක්...

 

අප්‍රියල් නව වන දින ගාලු මුවදොරින් ඇරඹියේ: පක්ෂ, පාට භේදයකින් තොර, නිර්පාක්ෂික, සාමකාමී විරෝධතාවකි.

එම විරෝධතාව වඩ වඩාත් තීව්‍ර වූයේ ඒ මොහොත වන විට රටේ වෙසෙන දුප්පත් - පොහොසත්, උගත් - නූගත්, ගිහි - පැවිදි යනාදි සියලු ජන කොටස් වෙත බලපෑ පොදු පීඩනය දරාගත නොහැකි වීම ය.

එය ලොව මෙතෙක් පැවති සාමකාමි මෙන් ම නිර්මාණශිලි විරෝධතාව බවට පත්විය.

 

එම සාමකාමී, නිර්මාණශීලී විරෝධතාව අරගලයක් බවට පරිවර්තනය කළේ රාජපක්ෂ සනුහරයේ අධම, දුෂ්ට, අසීලාචාර වැඩ පිළිවෙළ හේතුවෙනි. ඉක්බිති අරගලය තීව්‍ර වන විට රාජ්‍ය බලය සිය ග්‍රහණයට නතු කරගන්නට මාන බලමින් සිටි පාර්ශ්ව කිහිපයක් විසින් ‘අරගලය’ යන වදනට මුවා වී එය ‘කැරැල්ලක්’ දක්වා වර්ධනය කරන්නට යත්න දැරී ය.

 

එම සිදුවීම වුව ද අහම්බෙන් මතු වූවක් නොව සැබෑ ජනතා අරගලයක් ජනනය වන්නේ නම් එය වෙනත් මාවතකට හරවන්නේ කෙසේ ද යන්න පිළිබඳ පාලක පෙළැන්තිය කලක සිට ම සකසා තිබු වැඩපිළිවෙළකි ය යන්න ලියුම්කරුගේ මතය යි.

පළමුව පුද්ගලික රුපවාහිනි නාලාකාවක් වෙත බලහත්කාරයෙන් ඇතුළු වන්නේ එම සැලසුමේ පෙරගමන්කරුවෝ ය. ඔවුහු ද කාලයක සිට ක්‍රියාත්මක වූයේ බළල් අතක් ලෙසින් ය යන්න ලියුම්කරුගේ පුද්ගලික අදහස ය.

ඒ සැලසුම්කරුවන්ගේ උපාය උපක්‍රම පල දරන්නේ අරගලයේ ම ක්‍රියාවක් යැයි හැඟෙන ලෙස ක්‍රියාත්මක වූ ජාතික රුපවාහිනි සංස්ථාවට කඩා වැදීම සහ පාර්ලිමේන්තුව ආක්‍රමණය කළ යුතු ය යනුවෙන් ජනතාව පෙළ ගැස්වීම ය.


වෙඩි නූලට ගිනි තැබූ සැලසුම්කරුවෝ තව දුරටත් අවස්ථාවාදීන් ලෙස කටයුතු කරමින් ජනතාවගේ විරෝධය අරගලය ඉක්මවා යන ප්‍රචණ්ඩකාරිත්වයට තල්ලු කළහ. තවත් ආකාරයකින් පවසන්නේ නම් රාජ්‍ය මර්දනයට අතවැනූහ. එය හේතුවෙන් සැබෑ ජන අරගලය යටපත් වී, එය කැරැල්ලක් බවට පත් වී පාලකයන්ගේ සැලසුම පල දැරී ය.

 

පෙර කී පරිදි ම මේ කිසිවක් අහඹු සිදුවීම් නොවේ; ඒ සියල්ල ධනේශ්වර පාලක පෙළැන්තියේ දූර දර්ශී, සැලසුම් සහගත දේශපාලන කුමන්ත්‍රණ ය. ඇතැම් විට එදා මෙදා තුර රජුන් තනන්නට දර දිය ඇදි වාමාංශික ව්‍යාපාර වුව ද මේ පසුපස සිටින්නට ඇතැයි යන සැකය බැහැර කළ නොහැකි ය.

 

කෙසේ වුව ද අවසන සිදුවුයේ ජනතාවගේ අරගලය අඩක් ජයග්‍රහණය කළ ද පූර්ණ ජයග්‍රහණයක් කරා ගමන් කිරීමට තිබූ මාවත ඇහිරීම ය; ඒ මතින් එක් හෝ තවත් ධනේශ්වර පාලනයක් යළි ස්ථාපිත වීම ය; අවංක චේතනාවෙන් අරගලයට බට ජනතාව ඉතා සුක්ෂ්ම ලෙස අරගල භූමියෙන් වියුක්ත කිරීම ය.

ඒ සියල්ල සිදුවීමෙන් (සැබෑ ම තත්ත්වය නම් සිදු කිරීමෙන්) ඉක්බිති ධනේශ්වර පාලක පෙළැන්තිය එකාවන්ව, එක පෙළට සිටගැනීම ය. මේ වන විට අප අත් විඳිමින් සිටින්නේ ඒ යථාර්ථය යි.

යට දැක්වූයේ පූර්විකාවක් පමණි.


පාලක පෙළැන්තියේ සැබෑ සතුරා


මේ මොහොතේ එළඹ තිබෙන තත්ත්වය යනු මෙතෙක් මෙරට පෙර නොවූ විරූ තත්ත්වයකි. එහි දී පාලක පෙළැන්තිය ඔවුන්ගේ ඊනියා සතුරා කවුද සහ සැබෑ සතුරා කවුද යන්න නිවැරැදිව ම හඳුනාගෙන ඇත.

අභිමුඛ වූයේ ද

සැබෑ සතුරා

ශාන්තුවරයෝ ද

පහර දෙති

ඔවුන්ට

 

නිරයට ගියේ දෙව්දත්

එය පසක් කරමිනි


sat 10 22 pg02 khc sat‘‘සතුරා කවුද’’ යන මැයෙන් වූ මෙම නිර්මාණය 2017 වසරේ නිකුත් වූ ලියුම්කරුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන ‘‘අරුමැසි ම කවි’’ නමැති කෘතියට ඇතුළත් කළේ ද 2015 වසරේ බලයට පත් ‘යහපාලන’ ආණ්ඩුව බලය අත්පත් කරගත් සැණින් ම ඔවුන්ගේ සැබෑ ම සතුරාට එල්ල කළ ප්‍රහාරය (එය කුමක්දැයි දේශපාලන කියවීමක් සහිත ප්‍රජාව පසක් කරගනු ඇත) පදනම් කරගනිමිනි.

එදා සිට අද දක්වා ධනේශ්වර පාලක පෙළැන්තිය ද, එම පෙළැන්තියට වරින් වර මුක්කු ගැසූ පැරණි සහ නූතන ඊනියා වාමාංශිකයෝ ද තම පැවැත්මට සැබෑ ලෙස ම අභියෝගයක් වෙතැයි විශ්වාස කරන දේශපාලන ව්‍යාපාර වෙත මර්දනය මුදාහැරියේ ය.

එය හුදෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යුහය විසින් මෙහෙයවනු ලබන්නක් නොවන, ඉතා සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක කෙරෙන දේශපාලන ක්‍රියාදාමයකි.

 

අතීතයේ සිට මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සැබැ ජනතා පිබිදීමක් සිදුවන්නට ආසන්න මොහොතේ මෙබඳු අදිසි හස්ත ක්‍රියාත්මක විය. මෙවර එය ක්‍රියාත්මක වූයේ සැබැ ජනතා පිබිදීම ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතේ ය.

 

එය අපි මතුපිටින් දකින තරම් සරල හෝ සැහැල්ලු ලෙස සැලකිය නොහැකි ය. මන්ද ධනේශ්වර පෙළැන්තිය අද තම පැවැත්ම තහවුරු කරගෙන සිටින්නේ මීට වසර ගණනාවකට පෙර සැලසුම් කළ මෙහෙයුම් ක්‍රියාත්මක කරමිනි.

හෙට දිනයේ ඔවුන් සිය පැවැත්ම තහවුරු කරගන්නේ ද එලෙසිනි. ඉදින් මේ මොහොතේ පියවරක් පසුපසට යා යුතු ම ය. අනාගත ජනතා පිබිදීමකට මාර්ගය සලසා ගතහැකි වන්නේ ද පියවර දෙකක් ඉදිරියට යා හැකි වන්නේ ද ඒ අනුව ය.


මඳ විරාමයක්...!


මේ මොහොතේ රටේ පවත්නා සියලු ධනේශ්වර පක්ෂ එක පෙළට සිටගෙන සිටින බව පැහැදිලි ය. ඒ, සැබැවින් ම ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ඇති වුවමනාවකින් නොවන බව ද පැහැදිලි ය.

 

එසේ දැන සිටිය ද රටේ සිටින බුද්ධිමත් පිරිස් කළ යුත්තේ මේ මොහොතේ මස් රාත්තල ම ඉල්ලා සිටින්නැයි ධනේෂ්වර පාලකයන්ට බල කරන ෂයිලොක්ලා බවට පත් නොවී පවතින යථාර්ථයට මුහුණ දීම ය. එසේ නොවුන හොත් යළි මෙරට ලේ විලක් බවට පත්වන බව සක් සුදක් සේ පැහැදිලි ය.

 

මන් ද ඉතිහාසය පුරා ම සිදුවූයේ එය ම ය; අනාගතයේ ද එය එසේ නොවේ ය යන්න පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි ය. නමුදු තාවකාලික පැලැස්තර ඇලවීමෙන් මේ තුවාලය සුව කළ නොහැකි බව ද අපි අවබෝධ කරගත යුතු ය.

වත්මන් පාලක පෙළැන්තිය අනාගතය පිළිබඳ කෙතරම් සැලසුම් සකස් කළ ද යළි මේ අර්බුදය පැන නැගෙනු ඒකාන්ත ය.


එදිනට විරෝධතාවට එක්වන්නේ ද, අරගල කරන්නේ ද නූතන පරම්පරාවේ පසු පෙළ පරම්පරාව ය. ඒ පරම්පරාව අදටත් වඩා නිර්මාණශීලි විය හැකි ය; උපායශීලි විය හැකි ය; එඩිතර විය හැකි ය. ඉදින් දැන් මඳ විරාමයකට ඉඩ තබමු; අවස්ථාවාදී ඊනියා වම්මුන්ගේ කුමන්ත්‍රණවලට නොරැවටෙමු; අනාගතය උදෙසා ම ඉවසිලිවන්ත වෙමු.


උපාසක බළල්ලු


ලිපිය අවසන් කිරීමට පෙර යමක් සිහිපත් කළ යුතු ය. එනම් මෙරට පවතින ඊනියා වාමාංශික පක්ෂ සිතා සිටින්නේ මෙරට විප්ලවීය වෙනසක් කළ හැකි වන්නේ ඔවුන්ට පමණක් ය යන්න ය. ඔවුන් ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අටියෙන් එක් වකවානුවක රාජ්‍ය මර්දකයන් වෙත නිල් මහනෙල් පැලැන්දුවේ ය.

මීට පෙර රහසිගතව ම දකුණේ වෙනසක් කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් ‘සිංහල කොටි’ ලෙස ලේබල් කරමින් එකී පිරිස් රාජ්‍ය මර්දකයන්ට පාවා දුන්නේ ය.

එපමණක් නොව තමන්ගේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ද පසුව වෙන්ව ගොස් වෙනත් දේශපාලන ව්‍යාපාරයක් ඇරඹි පුද්ගලයා රාජ්‍ය මර්දකයනගේ ග්‍රණයට නතු කරගැනීමට අවශ්‍ය ඔත්තු සැපයීමේ සිට අනෙකුත් සියලු මෙහෙයුම් ක්‍රියාත්මක කළේ ය.

 

මේ මොහොතේ ද ඊනියා විප්ලවවාදින් ලෙස පෙනී සිටිමින්, රට පුරා අර්බුද මතු කරමින්, තම නියෝජිතයින් ධනේශ්වර පාලකයින් සමග සාකච්ඡාවලට යොමු කරමින් ඉතාමත් සට කපට ලෙස ජනතාව රැවටීමට ලක් කරමින් සිටියි. එහෙයින් ජනතාව ළඟ නොබලා දුර දිග බලා කටයුතු කළ යුතු ය. බත ඉදෙන තෙක් සැහැල්ලු ආහරකින් කුස පුරවා ගත යුතු ය.




කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2022/08/07


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බත ඉදෙන තෙක් සැහැල්ලු අහරකින් කුස පුරවා ගනිමු - (ජයසිරි අලවත්ත) | The Leader