The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මංගල මතක සහ පෙන්ගුයින් දේශපාලන සංස්කෘතිය -(කාන්ති කාරියවසම්)

T

The Leader Desk

August 23, 2022 • 6:51 AM

මංගල මතක සහ පෙන්ගුයින් දේශපාලන සංස්කෘතිය -(කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය වසර පුරා ඔහු ගැන සිහියට නොනැඟුණ එකම දවසක්වත් නැති තරම්ය.
  • ගෝල්ෆේස් පිටියේ අරගල භූමියේ තරුණ ජවය දුටුවිට මංගල සමරවීරයන් යලි අප අතරට ආවා වැනි හැඟීමකින් යුත් ඉමහත් ප්‍රබෝධයක් ඇතිවුණි.
  • පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපත්‍ය බලය ඇත්තේ පුරවැසි ජනතාව සතුව වුවත්, අද දින පාර්ලි‌මේන්තු බල අධිකාරි‌යේ සං‌කේතය වන අජීවී සෙංකෝලයට ඇති බලයවත් පුරවැසියන්ට නැතුවා වැනිය.
  • රටට අවශ්‍යම වකවානුවක අකාලයේ වියෝවූ මංගල සමරවීරයන් තුල ඉහත සඳහන් මානව හිතවාදී නියමුවන්ගේ ලක්ෂණ දැකිය හැකිවිය.
අකුරු ප්‍රමාණය (Font Size):



පසුගිය වසර පුරා ඔහු ගැන සිහියට නොනැඟුණ එකම දවසක්වත් නැති තරම්ය. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු නික්ම යෑමට පෙර රට පත්විය හැකි ආර්ථික අවදානම ගැන, සංඝ කල්ලිය ගැන, කෝවිඩ් මරණ ගැන, අවිද්‍යාව සහ මිත්‍යා විශ්වාස පසුපස හඹායෑමේ ආදීනව ගැන කිවූ සෑම පුරෝකථනයක්ම පාහේ සැබෑවූ බැවිනි.  

වසරක් පුරාවට ඔහුට සමු නොදුන්නාසේ වසරක් ගෙවී යන අද දිනද මම ඔහුට සමු නොදෙමි. මක්නිසාදයත් ජීවිතයේ හයවන දශකයේ පසුවන මා ශිෂ්ඨ සම්පන්න පාලනයක්, සදාචාර සමාජයක්, අනාගත පරපුරට සෞභාග්‍යමත් රටක් පිළිබඳව වරින්වර ගොඩනගා ගත් ඉමහත් බලාපොරොත්තු සිඳී බිඳී බෙහෙවින් මානසික වෙහෙසට පත්වී ඇතත්, ඔහු විශ්වාස කල පරිදිම නවීන ලෝකය පිළිබඳව මනා දැනුමකින් යුක්තව එකමුතු වුවහොත් රටේ තරුණ පරපුරට කළ නොහැකි දෙයක් නොමැත යන්න තරයේ විශ්වාස කරණ බැවිනි.

SriLanka IB
ගෝල්ෆේස් පිටියේ අරගල භූමියේ තරුණ ජවය දුටුවිට මංගල සමරවීරයන් යලි අප අතරට ආවා වැනි හැඟීමකින් යුත් ඉමහත් ප්‍රබෝධයක් ඇතිවුණි. පිළුණුවී ජරාජීර්ණව යල් පැනගිය කෛරාටික අදහස් වලින් පිරි, ජීවගුණයෙන් තොර වියළීගිය බොහෝ දේශපාලකයින්ගේ මුහුණු වෙනුවට නව තාරුණ්‍යයේ ජවය, ප්‍රබෝධය, හැකියාව සහ කාලීන අදහස් අරගල භූමිය තුළ ප්‍රදර්ශනය වෙද්දී මංගල සමරවීරයන්ගේ වයස් පරම්පරාවට අයිති මා වැනි වැඩිහිටියන්ගේ පවා ආත්මයන් තුල සිරවී සිටි නිද්‍රාශීලී ජීවයන් අවදි වීමට පටන්ගති.


උත්තරීතර සභාවේ අනාදිමත් කාලයක් පුරා වැජඹෙන, ඇවිදීමට පවා අපහසු, සැසිවාරයන් අතරේ නිදා වැටෙන, කට ඇරියොත් අමන කතා කියන, ඇතැම් නියෝජිතයින් නිතිපතා දැකීමෙන් කරකුට්ටන්වී ගිය මානසිකත්වයක හුන් අපට අරගල භූමියේ මනා විශ්ව දැනුමකින් යුතු නැවුම් තරුණ පරම්පරාව දැකීමෙන් කාන්තාරයට ධාරාණිපාත වැස්සක් වැටෙන්නාක් මෙන් දැනුණි.

මංගල සමරවීරයන්ගේ අපේක්ෂාව වූයේ, යල් පැනගිය, අකාර්යක්ෂම, මුග්ධ නියෝජිතයින් වෙනුවට රාජ්‍යය පාලනය සඳහා උගත් තරුණ තරුණියන් බහුතරයකගේ දායකත්වය ලබා ගැනීමයි.

 

ගෝල්ෆේස් අරගලය ප්‍රතිඵල රහිත යැයි කිසිසේත් කිව නොහැක. එයින් බොහෝ අරමුණු මුදුන් පමුණුවා ගැන්මට හැකිවිය. නමුත් පුරවැසියන්ගේ අවාසනාවට බැටළු සම් පොරවා ගත් වෘකයින්, සහ කල දුටු කල වළ ඉහ ගන්නන් පැමිණ බොර දියේ මාළු බෑමට පටන් ගත් නිසා අරගලයේ අග්‍ර ප්‍රතිඵලය ලබාගත නොහැකිවී කාලානුරූප විරාමයකට යෑමට සිදුවිය.

 

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපත්‍ය බලය ඇත්තේ පුරවැසි ජනතාව සතුව වුවත්, අද දින පාර්ලි‌මේන්තු බල අධිකාරි‌යේ සං‌කේතය වන අජීවී සෙංකෝලයට ඇති බලයවත් පුරවැසියන්ට නැතුවා වැනිය. නොඑසේනම් පරමාධිපත්‍ය බලය හිමි ජනතාව ඔවුන්ගේ චන්ද බලයෙන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කල අයෙක් රටේ විධායකයට කෙසේනම් පත්වේද?

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම විකෘතියක් බව ඔප්පු කිරීමට මෙයටත් වඩා සාක්ෂි අවශ්‍යද?

gandhi matin x mandela

සිවිල් අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් අවිහිංසාවාදීව සටන් කළ ඉන්දියාවේ මහත්මා ගාන්ධි තුමාට අකල් මරණයක් හිමිවිය. එසේම ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ නියමුවන්වූ මාටින් ලූතර් කිංග් සහ මැල්කම් X ටද අකල් මරණ  හිමිවුණි. දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ ස්වාධීනත්වයේ හා සමානාත්මභාවයේ සංකේතයක් බඳුවූ නෙල්සන් මැන්ඩෙලාට තම ජීවිතයෙන් අවුරුදු විසිහතක් සිරබත් කෑමට සිදුවිය.


මැන්ඩෙලාගේ ප්‍රකට කියමනක්වූ "do not judge me by my successes, judge me by how many times I fell down and got back up again" (මගේ සාර්ථකත්වයෙන් මාව නොමනින්න, මම කී වතාවක් වැටිලා ආපහු නැගිට්ටාද යන්නෙන් මාව විනිශ්චය කරන්න) යන්න මෙන්ම "it always seems impossible until it's done" (යමක් සිදු කරන තුරු එය කළ නොහැකි බව පෙනේ) යන කියමන්ද රටේ අනාගතය හිමි තරුණ පරම්පරාව කිසිසේත් අමතක නොකළ යුතුය.


රටට අවශ්‍යම වකවානුවක අකාලයේ වියෝවූ මංගල සමරවීරයන් තුල ඉහත සඳහන් මානව හිතවාදී නියමුවන්ගේ ලක්ෂණ දැකිය හැකිවිය. රටට හිතැති මානව හිමිකම් උදෙසා ක්‍රියා කළවුන් අතර දැකිය හැකි පොදු ලක්ෂණයක් නම් ඔවුන් බොහොමයක් අකාලයේ සමුගෙන හෝ සිරබත් කා ඇති බවය.

නමුත් අතීතයේ සිටම මනුෂ්‍යත්වය උදෙසා සටන් කිරීම සහාය දිවීමේ තරඟයක් වැනි බැවින්, එකකු අතින් ගිලිහෙන යෂ්ඨිය අහුලා ඉදිරියට දිවීමට තවෙකෙක් ඉදිරිපත් වන්නේ පළමු වැන්නාගේ ජවය මෙන්ම චිත්ත ශක්තියද කුළුගන්වා ගනිමිනි.

පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත් මංගල සමරවීරයන් වරක් සම්මුඛ සාකච්චාවකදී පැවසූ දෙයක් මගේ මතකයේ තිබේ. එනම් ඔහු පෙන්ගුයින් සමූහයක් දැකීමට කැමති බවයි.



මෙහිදී මගේ මතකයට නැගෙන්නේ, බ්‍රිතාන්‍ය ජාතික පරිණාමීය ජීව විද්‍යාඥයෙක් වූ Richard Dawkins විසින් රචිත The Selfish Gene නමැති ග්‍රන්ථයයි.

එහි එම්පරර් පෙන්ගුයිනයන් (emperor penguin)  ගැන ඉතා රසවත් කරුණක් සඳහන් කොට තිබුණි. කෑම සොයාගැනුම පිණිස පෙන්ගුයිනයින්ට අයිස් තට්ටුවකින් වැසී ඇති වතුරට බැසීමට සිදුවේ. එම අයිස් තට්ටුව යට සීල් (seal), සී ලයන් (sea lion) වැනි විලෝපික සතුරන් සිටිය හැකි බව පෙන්ගුයිනයන් හොඳින් දනී. සතුරන් සිටීද නැද්ද යන්නතහවුරු කරගැනීම සඳහා පෙන්ගුයිනයා කරන්නේ තමා අසල සිටින සගයෙක්ව වතුරට තල්ලු කිරීම බව Dawkins සඳහන්කොට තිබුණි.

MS 22

මෑතක සිට පෙන්ගුයින් ගැන සිතද්දී මගේ සිතේ මැවෙන චිත්ත රූපයක් තිබේ. එනම් මංගල සමරවීරයන් එක් අතක විස්කි වීදුරුවකුත්, අනෙක් අතේ සුරුට්ටුවකුත් ඇතිව, කකුලක් පිට කකුලක් දමා පහසුවෙන් වාඩිවී, දුම්රොටු අහසට යවමින්, මඳ සිනාවක් ඇතුව උත්තරීතර සභාවේ සිටින ඔහුගේ ඇතැම් දේශපාලන සගයන් පෙන්ගුයින් කෑම සොයන්නාක් මෙන් හැසිරෙන අයුරු ඉහළ සිට බලා සිටින දර්ශනයයි.

 

මංගල සමරවීරයන් රටේ සහ අනාගත පරපුරේ අභිවෘධිය පිළිබඳ මැවූ සිහින සැබෑ කරගැනීම අපේක්ෂා කරන්නට ඇත්තේ ඔහු ආරම්භකළ රැඩිකල් සෙන්ටර් වැනි තරුණ, බහු වාර්ගික, සැබෑ දේශප්‍රේමීන්ගෙන් සමන්විත සංවිධාන වලින් මිස උත්තරීතර සභාවේ සිටින පෙන්ගුයින් වරුන්ගෙන් නම් විය නොහැක.

 

1950 සිට 1970 දක්වා ගෙවීගිය දශකයන්හි සිටියවුන් මෙන් නොව, ඉන්පසුව සහ 21 වන සියවසේ මේ දක්වා උත්තරීතර සභාවේ දක්නට ලැබෙන බහුතරයක් (සැවොම නොවේ) අති ජුගුප්සාජනක පෙන්ගුයිනයන්ය. පෞද්ගලික ප්‍රතිලාභ සඳහා ඔවුන් තම සගයන් මෙන්ම පුරවැසියන්වද කිසිම හිරිකිතයකින් තොරව බිල්ලට දෙන්නේ තමන්ගේ සහ සමීපතම ඥාතීන්ගේ පැවැත්ම සහතික කිරීම සඳහාම පමණි.

අවස්ථා කිහිපයකදීම මංගල සමරවීරයන් ඔහුගේම නායකයන් අතින් පෙන්ගුයින් දේශපාලන සංස්කෘතියේ ගොදුරක් වූ බව ප්‍රකට කරුණකි. ඔහු එවැනි උගුල් වලින් බේරුණේ ඔහුගේ විශ්වාසයේ ශක්තිය සහ අහිතකර තත්වයන් තුළ රැඳී සිටීමට ඇති හැකියාව නිසාය.

මංගල සමරවීරයන්, අද යුක්තිය සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවය, මානව හිමිකම් වෙනුවෙන් සටන් කරන පුරවැසියනට අභාග්‍යසම්පන්න ලෙස මඟහැරීගිය, සැබෑ සටන්කාමියෙක් මෙන්ම නූතන ලෝකයට ඔබින නායකයෙක්ද විය.

අකාලයේ වියෝ නොවුනි නම්, බොහෝ දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් අතර ප්‍රචලිත තම වාසිය සඳහා තමන්ගේම වර්ගයා ගැඹුරු දියට විසි කිරීමේ පෙන්ගුයින් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට පුරෝගාමිවන දුර්ලභ වර්ගයේ එම්පරර් පෙන්ගුයිනයකු වීමට අවශ්‍යතාවය මෙන්ම හැකියාවද ඔහු සතුව තිබිණි.

මංගල සමරවීර මැතිතුමනි;  පුරවැසියනට යුක්තිය, සාධාරණය ඉටුවී මානව හිමිකම් සාක්ෂාත් වනතුරු මම ඔබට සමු නොදීමට තීරණය කොට ඇත්තෙමි.



අපේ කලා කරුවන්ට ස්තුතියි (කාන්ති කාරියවසම්)(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මංගල මතක සහ පෙන්ගුයින් දේශපාලන සංස්කෘතිය -(කාන්ති කාරියවසම්) | The Leader