The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මංගල : නැතුව බැරි මිනිහෙක් - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

August 24, 2022 • 4:51 AM

මංගල : නැතුව බැරි මිනිහෙක් - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගලව මං මුලින්ම දැනගන්නෙ අනූගනංවල.
  • විජේවීර‍ගේ උරුමය සහ කරුමය කියන ලිපිය මගේ අදහස්වල තීරණාත්මක වෙනසක් ඇති කළා.
  • ඒ තරම් දැවැන්ත වීරයෙක් වුනු විජේවීරව ඒ තරම් සංස්කෘතික දේශපාලනය ඇතුලෙ ලිහලා දාන්න නිර්භීතකමක් ඒ පුංචි සඟරාවට තිබුණ.
  • මේක පිටිපස්සෙ ඉන්නෙ මංගල කියල දැනගත්තම මට ඇතිවුනු මුල්ම ප්‍රශ්නෙ ඒක.
අකුරු ප්‍රමාණය (Font Size):


මංගලව මං මුලින්ම දැනගන්නෙ අනූගනංවල. අවුරුදු ගැන මගේ මතකය ඒ තරම් නිවැරදි නැති වුනත් ඒ දැනගැනීම සිද්ද වෙන්නෙ මාතොට සගරාව හරහා.

මාතොට කියන්නෙ ‍මගේ පරම්පරාවෙ සිතීමේ සංස්කෘතිය වෙනස් කරපු සඟරාව. විජේවීර‍ගේ උරුමය සහ කරුමය කියන ලිපිය මගේ අදහස්වල තීරණාත්මක වෙනසක් ඇති කළා. ඒ තරම් දැවැන්ත වීරයෙක් වුනු විජේවීරව ඒ තරම් සංස්කෘතික දේශපාලනය ඇතුලෙ ලිහලා දාන්න නිර්භීතකමක් ඒ පුංචි සඟරාවට තිබුණ.

මේ වගේ සඟරාවක් කරන්න සල්ලි දාන දේශපාලකයා කවුද? මේක පිටිපස්සෙ ඉන්නෙ මංගල කියල දැනගත්තම මට ඇතිවුනු මුල්ම ප්‍රශ්නෙ ඒක. කිසිම දවසක චන්දයකට පරිවර්තනය නොවන, මහා ජනතාවක් විසින් නොකියවන, බොහෝ දෙනෙකුට බහුබූත යැයි සිතෙන මේ වගේ සඟරාවකට මුදල් යෙදවීමෙන් දේශපාලකයෙක් අපේක්ෂා කරන්නෙ මොකක්ද?


mathota 2

ඒක තේරුම් ගන්න බැරි වුනත් මංගල මාතොට සඟරාව කිරීම හින්ද මට ඒ නොදන්නා දේශපාලකයා ගැන මොකක්දෝ ගෞරවයක් ඇතිවුනා. මං අද හිතන්නෙ මංගල එදා සල්ලි යෙදෙව්වෙ අවුරුදු විසිපහක් අනාගතයේ පරම්පරාවක් ගැන බලාපොරොත්තුවකින් කියල.

 

එතනින් එහා මං මංගල ගැන කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ. ඒත් අනිත් කිසිම දේශපාලකයෙකුට නැති මංගලට විතරක් ඇති අමුතු නිදහස් සංස්කෘතියක් ගැන කතා තැන තැන ඇහුන.

මාතොටින් පස්සෙ පාරාදීසය ඊට වඩා ලොකු පෙරලියක් කළා. ඒකෙන් මං සිරිමල්ව අඳුරගත්තා. සිරිමල්ගෙ කයිකතන්දර ඇතුලෙ ආපහු නිතර නිතර මංගලව ඉස්මතු වුනා. ඒක එක්තරා අදෘෂ්‍යමාන සංස්කෘතික ධාරාවක්. ලිංගිකත්වය, ජීවිතයේ ආස්වාදය, විඳීම, නිදහස ගැන කතිකාවක් ඒ පුංචි කණ්ඩායම් ඇතුලෙ තිබුන.

පස්සෙ එක්ස් කණ්ඩායම වෙන්නෙත් එතනින් එක එක නම් වලින් විවිධ නිකායන් හැදෙමින් කැඩී ‍යන්නෙත් මේ මංගල විසින් ඇති කරපු ප්‍රවණතාවය. ඉතාම පුංචි එකක් වුනත් එය විසින් ලංකාවෙ විශ්ව විද්‍යාල පද්ධතිය ආසාදනය කරනවා. මහ බලැති ජවිපෙ තමන්ගෙ පස්සෙන් ගෙන්වාගන්න සමත් වෙනවා. ඒක දැවැන්ත සංස්කෘතික පෙරලියක්. 

 

මංගල කියන්නෙ දේශපාලකයෙක් කියල මං හිතන්නෙ නෑ. දේශපාලකයෙක් කියන්නෙ ජනතාව කැමති දේ කියන, කැමති දේ කරන කෙනෙක්. ජනතාවගේ පස්සෙන් යන කෙනෙක්. ඒත් මංගලගේ දේශපාලනය වුනේ ජනතාව අකමැති වුනත් තමන් විශ්වාස කරන දේ කියන එක, කරන එක. ජනතාව පස්සෙන් යනවා වෙනුවට ජනතාවට තමන් පස්සෙන් එන්න අවස්තාව දෙන එක. ඒක ආර්ටිස්ට් කෙනෙකුගෙ කොලිටියක්.
 
 
මංගල කියන්නෙ පොලිටිකල් ආර්ටිස්ට් කෙනෙක්. චන්ද ගොඩක් අරගෙන බලය ගන්න ඕන හින්ද බොරු ගොඩක් කියන එක වෙනුවට එයා තමන් හිතන දර්ශනය ජනගත කරන්න දේශපාලනය පාවිච්චි කළා. තමන්‍ ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරන ලෝකය නිර්මාණය කරන්න දේශපාලනය කළා. ඒක ආර්ට් එකක්.
 
 
මංගල ගැන නිතර අහන්න ලැබුනෙ රැඩිකල් කතන්දර විතරයි. කිසිම දවසක මැද පතෝල තැනක පිහිටන්න එයාට ඕන වුනේ නෑ. ජාතිය ගැන, ආගම ගැන, බහුතරයේ බලය ගැන මංගල බය නැතුව කතා කළා. එයාගෙ කතාවක් කිව්වොත් ඒක බෝම්බයක්. ඒ එජ් එක තමයි මංගලගේ සිග්නෙචර් එක. ඒ කතාවලට ලොකු පොඩි ගොඩක් අය උදහස් වුනා. ඒත් කතා කිරීමේ නිදහස කියන එක මංගල ඒ හැම කතාවක් ඇතුලෙම ඔසවා තිබ්බා.

කවුරු උදහස් වුනත් මංගල අපි වගේ පරපුරක් ඉන්ස්පයර් කළා. ඒ Badass ගතිය අපිට ආකර්ශනීය විලාසිතාවක් වුනා.
 
mansghal
 
කවුරු උදහස් වුනත් මංගල අපි වගේ පරපුරක් ඉන්ස්පයර් කළා. ඒ Badass ගතිය අපිට ආකර්ශනීය විලාසිතාවක් වුනා.
 
 
බේට්ස් එක‍ට එකතු වෙද්දිත් මාව වඩාත් සතුටු කරන කාරණයක් වුනේ මංගලගේ ඥාතීත්වයක් එතැනට තිබුන එක. හැබැයි කිසිම දවසක මංගල බේට්ස් එකත් එක්ක සම්බන්ධතා පැවැත්වුවෙ නෑ. ඒකෙ වැඩ කරපු හැමෝම දන්න කාරණයක් තමයි මංගල ඇමති කෙනෙක් වෙද්දි බේට්ස් එකට ආණ්ඩුවෙ වැඩ ලැබෙන්නෙ නැතුව යනවා කියන එක.

ඒ ඉන්න අතරෙදි අහම්බෙන් මට මහින්ද රාජපක්ෂගෙ රැවුල කපලා පෝස්ටරයක් ගහන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක එලියෙන් එන වැඩක්. මහින්දට හිට්ලර් රැවුල දාපු පෝස්ටර් එකක් සහ රාජපක්ෂ සහෝදර සමාගම කතරගම දෙයියො වගේ ඔලු ගොඩක් සහිතව නිර්මාණය කිරීම මට පැවරුනා. රාජපක්ෂලා කොහොමත් පෙන්නන්න බැරි මං ඒකට උඩ පැනලා කැමති වුනා. ඒ පෝස්ටරේ ප්‍රින්ට් කරන්න පවා සියලු මුද්‍රණ ආයතන බෑ කිව්වා. අන්තිමට කොහොම හරි රහසින් පොඩි ප්‍රෙස් එකක ඕක ප්‍රින්ට් කරලා කොළඹ ඇලෙව්වා. මහින්දගේ සියලු පෞර්ෂය රැඳුනු රැවුල කැපීම මට මාර ආස්වාදයක් වුනා. පහුවෙනිදා වෙද්දි ඊට සම්බන්ද සියල්ලන් ආන්ඩුවෙන් අත්අඩංගුවට ගත්තා.
 
 
පෝස්ටරය තමන්ගේ වැඩක් බවත් අත්අඩංගුවට ගන්නවා නම් ගත යුත්තේ තමන් වගත් කියමින් මංගල උසාවියට ඉදිරිපත් වෙනවා. වැඩේ මංගලගේ වුනාට කලේ කවුද කියල මංගල කවදාවත් දැනගත්තෙ නෑ.
 
 
එතෙක් කිසිම දවසක සමීපව ‍මුන නොගැසුනු, කතාබහවත් නොකරපු මංගල මට ඇත්තට මුනගැහෙන්නෙ පාර්ලිමේන්තු දේශපාලනයෙන් අයින් වුනාට පස්සෙ. එයා පක්ෂ දේශපාලනය වෙනුවට සංස්කෘතික දේශපාලනය තෝරගත්තා. එතනදි ආපහු අනූගනංවල මංගල මාතොට කිරීමේ පසුබිම මට පැහැදිලි වුනා. පක්ෂ දේශපාලනය වෙනුවට රට වෙනස් කළ හැක්කේ සංස්කෘතික දේශපාලනයක් මගින් කියන ඉව එයාට ඈත ඉඳන් තිබුන.

මංගලව මට සැබවින් මුනගස්සන්නෙ රොහාන් සමරජීව. ඒක හරිම උණසුම් මුනගැසීමක්. අපි සංස්කෘතික කලාපයේ දේශපාලන වැඩ පටන් ගන්නවා. හැම සතියකම වගේ මංගලගේ ගෙදර සාදයක් පැවැත්වෙනවා. ඒ දේශපාලනයේ වැදගත්ම කාරණයක් සාද පැවැත්වීම. 
 
ඒ සාද ඇතුලෙ විවිධ වූ අපූර්ව මිනිස්සු මුනගැහෙනවා. විවිධාකර සුන්දර දේ කතාබහ කරනවා. නැවත නැවත සම්බන්ධතා ඇතිවෙනවා. මංගල කියන්නෙ පුදුම සුන්දර ආගන්තුක සත්කාර පවත්වන්නෙක්. ඉස්තරම් සුරුට්ටු සමග මධුවිත රස විඳින්න දන්නෙක්. සංගීතය, චිත්‍ර සහ කලාව සමග සැතපෙන්නෙක්. ශෘංගාර දේශපාල‍කයෙක්.
 

 

කවදා හරි මං කරන දේශපාලනය ඇහුවොත් මං කියන්නෙ ‘පාර්ටි පොලිටික්ස්’ කියල. ඒ කියන්නෙ පක්ෂ දේශපාලනය නෙමෙයි. සාද දේශපාලනය. ඒ තරම් මිනිස් ඇසුරු කිරීම් සහ ආදර ආස්වාද අතර දේශපාලන පරිණාමයක් ඇති කරන්න වෙන කිසිම විදිහක් ඇති කියල මං විශ්වාස කරන්නෙ නෑ.
 
 
මංගලගේ තිබුණු සුවිශේෂම ගුණය තමයි සවන්දීම. අන්තිම මෝඩකතාව දක්වාම එකම වැදගත්කමකින් අහන් ඉන්න එයාට පුළුවන්. කොටින්ම මේසෙ ඉඳන් ඉන්න අපිට ඇතිවෙලා තියෙද්දි පවා මංගල අවසානතමයාට කියන්න ඇති දේ පවා අහන් හිටියා. ඒ වගේම තමන් නිසා යම් හිත් රිදීමක් ඇතිවුනු කෙනෙකුට ආපහු ඇමතුමක් දීලා සමාව ඉල්ලන රටේ ප්‍රධාන දේශපාලකයෙකුගෙන් කිසි දවසක බලාපොරොත්තු විය නොහැකි ගුණයක් මංගල ළග තිබුන.
 
 
අපිට එකට ගත කරන්න වුනේ අවාසනාවන්ත විදිහට කෙටි කාලයක්.

දෙදාස් දෙකේ වගේ කාලෙදි ලංකාවෙ හදිසි උපත් වැඩිවීමක් සිද්ද වුනා. ඒ විදිහෙ උපත් වැඩිවීමක් සිදුවුනු හැමවතාවකදිම ඊට අවුරුදු විස්සකට විතර පස්සෙ කැරැල්ලක් ඇතිවුනා. මංගලගේ ගනං බැලීම වුනේ ගෝඨාභයගේ ආණ්ඩුව කාලෙදි මේ දෙදස් දෙකේ උපන් උන්ගේ කැරැල්ල සිද්ද වෙනවා කියන එක. මේ පවතින පක්ෂ, රාමු, න්‍යාය ඇතුලෙ කොටු නොවන තරුණ නැගිටීමක් එනවා කියල මංගල කල් ඇතුව ලෑස්ති වුනා. ඒ නැගිටීම ජාතිවාදය, ආගම්වාදය අවසන් කිරීමට වගේම එය අපොහොසත් වුනොත් මේ විෂබීජ තවත් ස්ථාපිත කිරීමටත් පාවිච්චි වෙන්න පුළුවන් කියල එයා නිතර අනතුරු ඇගෙව්වා.

මංගල ප්‍රාර්ථනා කරපු අරගලය සිද්ද වුනා. නමුත් කොරෝනා ඊට වඩා ඉස්සර වුනා.

මගේ ජීවිත කාලෙ මං ළගින් ඇසුරු කළ එකම දේශපාලකයා මංගල. මං එහෙම ඇසුරු කරන අවසාන දේශපාලකයාත් මංගල වේවි.


අරගලය ජයග්‍රහණයකින් අවසන් වුනා. ආතල් වැඩක් කරමු - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
vyadhadeva@gmail.com



 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මංගල : නැතුව බැරි මිනිහෙක් - (චින්තන ධර්මදාස) | The Leader