The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

ගෝඨාභය යළි පැමිණීම සමග වහල් මානසිකත්වය යළි හිස එසවීම - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

September 9, 2022 • 6:15 AM

ගෝඨාභය යළි පැමිණීම සමග වහල් මානසිකත්වය යළි හිස එසවීම - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වැනි වහල් හිමියනුත්, රාජපක්ෂවාදී අන්තේවාසිකයනුත් අද කතා කරන සැටි සහ පෙනී සිටින සැටි දකින විට, ලංකාවේ දේශපාලනික ලෝකය තුළ මැරිලා ඉපදීම වනාහී, අවුරුදු ගණනකින් නොව සති ගණනකින් පවා සිදුවිය හැකි අපූරු පුනරුත්පත්ති ප්‍රභේදයක් යැයි සිතේ.
  • ඒ වහල් භාවය, ආර්ථික කරුණුවලට පිටස්තර දෘෂ්ටිවාදීමය ඇලීමක් බවට පරිවර්තනය කෙළේ මහින්දගෙන් පටන්ගත් රාජපක්ෂ පවුල්වාදයයි.
  • වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රතිපාර්ශවයේ වීරයා බවට මහින්ද රාජපක්ෂ පත්වන්නේ එබැවිනි.
  • මේ කතාව වෙනත් ආකාරයකින් ප්‍රකාශයට පත්වන තවත් ‘බයිලා’ වර්ග ගණනාවක් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):



මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වැනි වහල් හිමියනුත්, රාජපක්ෂවාදී අන්තේවාසිකයනුත් අද කතා කරන සැටි සහ පෙනී සිටින සැටි දකින විට, ලංකාවේ දේශපාලනික ලෝකය තුළ මැරිලා ඉපදීම වනාහී, අවුරුදු ගණනකින් නොව සති ගණනකින් පවා සිදුවිය හැකි අපූරු පුනරුත්පත්ති ප්‍රභේදයක් යැයි සිතේ.

ඩී. එස්. සේනානායක සහ බණ්ඩාරනායක නින්දගම්වල වහල් පරම්පරා සිටියේ හුදෙක් ආර්ථික සහ සමාජ කරුණු පෙරදැරිවයි. ඒ වහල් භාවය, ආර්ථික කරුණුවලට පිටස්තර දෘෂ්ටිවාදීමය ඇලීමක් බවට පරිවර්තනය කෙළේ මහින්දගෙන් පටන්ගත් රාජපක්ෂ පවුල්වාදයයි. සේනානායක-බණ්ඩාරනායක පරවේණියට ඔවුන්ගේ රදල පවුල් ඉතිහාසය රුකුලක් විය.

 

එවැනි රදල පරවේණියක් අහලකින්වත් නැති රාජපක්ෂලා විසින්, සැබෑ රදලයන්ටත් වඩා ජවසම්පන්න වහල් සේනාවක් රට තුළ බිහි කරගත්තේ, දකුණේ සමාජය තුළ බණ්ඩාරනායකලා විසින්ම බිහි කළ ‘සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු’ යන ඒක-වාර්ගික ජාතිකත්ව මාන්නය අනුසාරයෙනි. වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රතිපාර්ශවයේ වීරයා බවට මහින්ද රාජපක්ෂ පත්වන්නේ එබැවිනි.

 

මේ කතාව වෙනත් ආකාරයකින් ප්‍රකාශයට පත්වන තවත් ‘බයිලා’ වර්ග ගණනාවක් තිබේ. බෙදුම්වාදයට සහ ත්‍රස්තවාදයට දක්වන විරෝධය වැනි, බැලූ බැල්මට යහපත් යැයි පෙනෙන විවිධ අවසරයන් අස්සේ සැඟව සිටින්නේ, සැබවින්ම මහජාතික අධි-මාන්නය බව, ඒ කතාව තවදුරටත් හාරාගෙන ගියොත් අපට පෙනෙනු ඇත.


රාජපක්ෂ නාමය හුදෙක් දෘෂ්ටිවාදී එකකි...

mahinda gota

දීර්ඝ කතාවක් කෙටියෙන් කිව්වොත්, “කොච්චර වුණත්, යුද්ධය ඉවරයක් කළේ ඒ මිනිහානෙ” යන වශී ගුරුකම තවමත් මතුරන මිනිසුන් අස්සෙන් මතුවන රාජපක්ෂ නාමය හුදෙක් දෘෂ්ටිවාදී එකක් වන බව කිව යුතුය.



එක වහල් රංචුවක් එදා ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීමට කටුනායකට ගියහ. වහල් හිමියා තුළ නැති වහල් භාවයේ රාගයක් වහලා තුළ තිබේ. අපේ වහලාට තවමත් රජෙකු අවශ්‍ය කෙරේ. තමන්ගේ එකෙකු වෙනුවට උන් සොයන්නේ රජෙකුම ය.

රාජපක්ෂලා නැති ලෝකයක් ගැන සිතාගැනීමට පවා බැරි තරමට මේ වහලුන්ගේ ලෝකය අන්ධකාරයෙන් පිරී ඇත.

අනිත් අතට, ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට අද වන විට තමන් විරුද්ධ යැයි කෙඳිරිගාන (වාසුදේව, වීරවංශ, ගම්මන්පිල, අතුරලියේ රතන හිමි ආදී පිරිසක්) චීන යුද නෞකාවකට උත්තමාචාර පෑමට වරායට ගියහ.

 

ලංකාව ඇතුළේ අධි-මාන්නය දෙමළ-විරෝධයෙන් (සහ විටෙක මුස්ලිම්-විරෝධයෙන්) සතපාගන්නේ යම් සේද, ලංකාවෙන් පිටස්තර ලෝකය තුළ ඒ මාන්නය නඩත්තු කරගැනීමට බොහෝ විට පාවිච්චියට ගැනෙන්නේ ඉන්දියානු-විරෝධයයි. ඒ ඉන්දියානු-විරෝධය අද ප්‍රකාශයට පත්වන භූ-දේශපාලනික කේන්ද්‍රය චීනයයි.

 

ගෝඨාභය අගමැති කමට!: පිස්සුද, හැටිද?


වර්තමාන ආණ්ඩුව තුළ ගෝඨාභය රාජපක්ෂ අගමැති තනතුරට පත්කරගැනීමේ කතාව, මේ පුවත්පතේ පවා ගිය සතියේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වීමට තරම් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන තත්වයකට පත්ව තිබුණි.

දේශපාලනික තර්ක ඥානය අනුව, එය මේ ආණ්ඩුව යටතේ සිදුවිය හැකි දෙයක් යැයි මොහොතකටවත් සිතිය නොහැකි වූවත්, ලංකාවේ දේශපාලනය තුළ නොවිය හැකි දෙයක් නැති නිසා, ඒ කතාව එකහෙලා බැහැර කිරීමත් කළ හැකි නොවේ.

එහෙත් වැදගත් වන්නේ මෙයයි: මේ තරම් රට අගාධයට ඇද දැමූ පුද්ගලයෙකු නැවත වතාවක් තමන්ගේ රටේ අගමැති තනතුරට හෝ වෙනත් තනතුරකට මෙතරම් කෙටි කාලයක් තුළ නැවත පත්කර ගැනීමේ දවල් සිහිනය පවා දැකීමට තරම් මුග්ධ භාවයක් නූතන ලෝකයේ සාධාරණ මිනිස් සිතක් තුළ ඇති වන්නේ කෙසේද යන්නයි.

ළාමකයන් පාලනය හොබවන දේශයක, කොරෝනාව ධම්මික පැණියෙන් සුවපත් වෙතැයි කීමට තරම් අවිද්‍යාත්මක මහාචාර්යවරු සිටි රටක, තවමත් පාසල් විවාද කණ්ඩායමේ බොළඳ කථික විලාසය සෝබන අනුරාගයෙන් අනුකරණය කරන සීතා අරඹේපොල වැනි කාන්තාවක් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් තමන්ගේ මන්ත්‍රී ධුරය කැප කිරීමට සූදානම් යැයි කීම පුදුමයට කාරණයක් නොවේ.

 

විය යුත්තේ මෙවැනි මිනිසුන්ට අගමැති තනතුරු දීම නොව, රට විනාශ කිරීම ගැන නීතිය ඉදිරියට පැමිණවීමයි. වී ගබඩාවක වී තොගයක් නරක් වීම ගැන අදාළ නිලධාරියා අනිවාර්ය නිවාඩු යවා විනය පරීක්ෂණයක් පටන්ගත් බව ඊයේ (7) මාධ්‍ය වාර්තා කෙළේය. කෙටිම කාලයක් තුළ වැඩිම විනාශයක් කළ, නූතන ලංකාවේ වාර්තාගත නාමය ගෝඨාභය රාජපක්ෂ ය. එක් පුංචි වී ගබඩාවක් නොව, වී ඇතුළු සමස්ත කෘෂිකාර්මික රටක්ම මාස කිහිපයකදී මොහු විනාශ කෙළේය.

 

අද ගොවි ජනතාව පාරට වැටී සිටින අතර, පාරිභෝගික අපි ආහාර හිඟයෙන් බැටකමු. ලෝක බැංකුව පෙන්වා දෙන පරිදි, ආහාර මිල ගණන් ලෝකයේ වැඩිම රටවල් 10 අතරින් ලංකාව පස්වැනි ස්ථානය ගෙන තිබේ.

ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනය සියයට 40-50 අතර ප්‍රමාණයකින් පහළ වැටී ඇත. එසේ තිබියදී, ඔහු නැවතත් රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගත යුතු යැයි කියන්නේ මොන කටකින්ද!


කිලී -මංගල- සුනිල් : 'රිදී රේඛාවක් පෙන්නලා ගිහින්..' - ක්‍රිෂාන්ත ප්‍රසාද්  කුරේ 

සුනිල් පෙරේරා (ජිප්සීස්), මංගල සමරවීර සහ මහරාජා වැනි සමාජයේ සිටි කැපීපෙනෙන මිනිසුන්ට අමතරව, තවත් දහස් ගණන් අහිංසක මිනිසුන් තම ජීවිතවලින් ගෝඨා ගේ පාපයට වන්දි ගෙවිය යුතුව තිබුණේ නැත.

 

කෙසේ වෙතත්, දිට්ඨධම්මවේදනීය කර්මය තමන් විසින්ම තමන්ට අත්කරගත් එකම නායකයාත් ඔහු ය. ඔහු එක දිගට වැරදි මාලාවක් කරගෙන ආවේය. කෝවිඩ් සඳහා එන්නත් ගෙන්විය යුතු නැතැයි පාර්ලිමේන්තුවේදී කීමට තරම් ‘විපලවීය’ වූ වාසුදේව නානායක්කාර වැනි කල් ඉකුත් වූ දේශපාලනඥයන්ගේ හිස්බස්වලට පවා අහුවෙමින් සිටි ඔහුගේ පාපයට වන්දි ගෙව්වේ ඔහු නොව, මේ රටේ අහිංසක ජනතාවයි.

සුනිල් පෙරේරා (ජිප්සීස්), මංගල සමරවීර සහ මහරාජා වැනි සමාජයේ සිටි කැපීපෙනෙන මිනිසුන්ට අමතරව, තවත් දහස් ගණන් අහිංසක මිනිසුන් තම ජීවිතවලින් එම පාපයට වන්දි ගෙවිය යුතුව තිබුණේ නැත.


ගෝඨාභයගේ ‘අභිනිෂ්ක්‍රමණය’ ඇතුන් ලවාවත් ආපසු හැරවිය හැකි නොවේ


එහෙත් ඒ කිසිවකට ගෝඨාභය රාජපක්ෂ අහුවුණේ නැත. ඊට වඩා බරපතල පලදීමක් ඔහු වෙනුවෙන් වෙන්ව තිබුණි.

බදු කප්පාදුව, ධම්මික පැණිය, කාබනික පිස්සුව සහ කබ්රාල්-සන්නිය වැනි මහා අපරාධ එක දිගට ගොඩගැසුණි.

ඒ සියලු සාපරාධීත්වයන්ට ලංකාව වැනි රටක සමාවක් තිබුණි.

 

එහෙත් අවසානයේ, පිටස්තරින් සමාවක් දිය නොහැකි එක් තනි (අවසාන?) මෝඩකමක් ඔහු කෙළේය. එනම්, ජීවිතය බේරාගැනීමට ලංකාවෙන් පලාගොස්, තත්වය සමනය වන තෙක් වැඩබලන තනතුරට රනිල් වික්‍රමසිංහ පත්කොට බලා සිටිනවා වෙනුවට, ඔහු තනතුරෙන් ඉල්ලා අස්විය. ඒ වෙනුවට, ජනාධිපති තනතුරේ රැඳී සිටිමින්ම, කිව්.ආර්. කේතයේ හාස්කම සහ රනිල් වික්‍රමසිංහගේ අනුග්‍රහය සහ මඟපෙන්වීම පමණක් ලබාගැනීමට තරම් ඔහුට ඥානයක් තිබිණි නම්, තවමත් ජනාධිපති තනතුරේ සිටිනු ඇත්තේ ඔහු ය.

 

කෙසේ වෙතත්, ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගැනීමට බැරි මෝඩකම සිදුවුණේ ජනාධිපති තනතුරෙන් ඔහු ඉල්ලා අස්වී, රනිල් වික්‍රමසිංහව ජනාධිපති තනතුරටත් ඔසවා තැබීමෙනි.

ඇත්ත, මේ කතාව වෙනස් ආකාරයකින්ද කියවාගත හැකිය. එදා පැවති භයානක ඉද්දරේදී, ඔහුගේ ඉල්ලා අස්වීමෙන් සමාජය තුළ යම් තාවකාලික සමනයක් ඇති කරගත හැකිව තිබීමේ ශක්‍යතාව වැදගත් සාධකයක් වශයෙන් ක්‍රියාත්මක වුණා විය හැකිය.

ඇත්තෙන්ම අරගලයේ ජවය කෙමෙන් බැස යාම ආරම්භ වන්නේ, එකී ඉල්ලා අස්වීම නිසා ය. අරගලයට මහා හයිය සැපයූ සාමාන්‍ය ජනතාව, එම ඉල්ලා අස්වීමෙන් පසු, අලුත් බලාපොරොත්තු ඇති කරගත්හ. අරගල භූමියෙන් සහ අරගල මාදිලියෙන් ඔවුහූ හැකිතාක් ඈත් වූහ.

 

තත්‍ය තත්වය එසේ විය හැකි වෙතත්, ගෝඨාභය ඉල්ලා අස්වීමට ගත් තීරණය එකී යථා ස්වභාවය සත්භාවයෙන් සැලකිල්ලට ගෙන රට වෙනුවෙන් ගත් තීරණයකට වඩා, ඊට කලින් ඔහු ගත් සෑම තීරණයක් සම්බන්ධයෙන් වාගේම මේ කාරණයේදීත්, ඔහුගේ කෙටි-දුර දැක්ම සහ අඥාන කම හේතුකොටගෙන සිදු වූවක් ය යන්න මේ ලියුම්කරුගේ අදහසයි.

 

ඒ කෙසේ වෙතත්, විනාශය සිදුව තිබේ. අප කැමති වූවත් නැතත්, ඊට අදාළ මහා වන්දිය රටක් වශයෙන් ගෙවීමට අපට අද බල කෙරී තිබේ. ඒ සඳහා පුරවැසියන් වශයෙන් අපට හිත හදාගත හැක්කේ, ඊට වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමෙනි.

ගෝඨාභය රාජපක්ෂගෙන් පටන්ගෙන, අජිත් නිවාඩ් කබ්රාල් සහ අතුරලියේ රතන හිමියන් දක්වා වන කිසිවෙකු කිසි දවසක අධිකරණයක් ඉදිරියේ වරදකරුවන් කොට දඬුවම් කෙරෙනු ඇතැයි විශ්වාස කළ හැකි නොවේ. අපේ අතීතය එවැන්නකට සාක්ෂි නොදරයි.

ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ

 126412214 bd1aa23cf9d0e2b89bc9ab932f63672c70ada0db

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්

 

2009 සිට 2018 දක්වා මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් පසුගිය අගෝස්තුවේ වසර 12 ක සිරදඬුවමකට නියම විය. ඊට අමතරව, ඩොලර් මිලියන 47 ක දඩයකටද යටත් කෙරිණ. වරද, ජනතාවගේ සහ රටේ ධනය සොරාකෑම ය. ඔහුගේ බිරිඳ, රොස්මා මන්සෝර්, පසුගිය 1 වැනිදා එම වරදටම අවුරුදු 10 ක සිර දඬුවමකට සහ ඩොලර් මිලියන 216 ක දඩයකට යටත් කරන ලදි. එහෙත් ඒ මැලේසියාවේ ය. 

 

ගෝඨාභය රාජපක්ෂගේ කෙටි ධුර කාලය තුළ සීනි වංචාව, අශූචි නැව්වලට කෝටි ගණන් ගෙවීමේ වංචාව සහ අක්‍රමිකතා සියල්ල එකට ගත් විට, මහබැංකු සොරකම් සියයට අගයකටත් වඩා මේ රටේ ජනතාවගේ ධනය කොල්ලකෑමේ ඉතිහාසයක් අප ඉදිරියේ දිගහැරෙයි. මේ තත්වය මොන තරම් බරපතල වීද යත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පවා, මේ ආර්ථික ඝාතනයට වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවට පසුගිය දා යෝජනා කළාය.

 

“දණ්ඩාධිකරණ” සම්ප්‍රදායක් ...


ආර්ථිකය පමණක් නොව, සමස්ත සමාජ දේහයම රෝගී කළ වකවානුවත් එයයි. පොලීසියට සහ අධිකරණයට පවා එයින් ගැළවීමක් නොවුණි.

උපාලි අබේරත්න නමැති කුප්‍රකට ඉතිහාසයක් ඇති හිටපු විනිසුරුවරයෙකු යටතේ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරමින්, ඇමරිකානු-යුරෝපා ඉතිහාසයේ මීට සියවස් ගණනාවකට ඉහතදී කුණු කූඩයට වීසි කොට තිබූ “දණ්ඩාධිකරණ” සම්ප්‍රදායක් ලංකාවට හඳුන්වා දුන්නේත් මේ කාලයේ ය.

රාජපක්ෂලා නොවන සියල්ලන් වැරදිකරුවන් කිරීමත්, රාජපක්ෂලා නිfදාස් කොට නිදහස් කිරීමත් පමණක් නොව, ඒ දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට වන්දි ගෙවීමේ නිර්දේශයන් පවා මේ කියන උපාලි අබේරත්න නමැති කුප්‍රකට පුද්ගලයා යටතේ කරලියට ආවේය.  

මේ සමස්ත නස්පැත්තිය රට ඉදිරියේ නිරාවරණය විය යුතුය. දැනට ඉහත කී විවිධ සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා උසාවි ගොස් තිබෙන නඩු රාශියකි. විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ ඉතා දරුණු වාර්තාවක් රජයට ඉදිරිපත් කොට ඇත.

 

ඒ සියල්ලට සමගාමීව, දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු වගකිවයුත්තන් පිළිබඳ විභාග කිරීමේ “මහජන විමර්ශන කොමිසමක්” පත්කර ගැනීමට කාලය පැමිණ තිබේ. එවැනි කොමිසමක නිර්දේශ ක්‍රියාවට නැංවීමේ නෛතික හැකියාවක් නැති වූවද, ඉතිහාසය තුළ මේ සාපරාධී ක්‍රියාවලිය ජනගත කිරීමේ සාර්ථක අවස්ථාවක් ඒ මගින් ඇති කරගත හැකිය.

 

මේ සඳහා සෑහෙන බරපැනක් දැරීමට සිදුවනු ඇත. ආයතනික සහාය සහ මාධ්‍ය සහායත් අවශ්‍ය කරනු ඇත. පූර්ණ සිවිල් මැදිහත් වීමක් වශයෙන් ක්‍රියාවට නැංවිය හැකි මෙවැනි යාන්ත්‍රණයක් සඳහා මහජන සහයෝගය නොඅඩුව ලැබෙනු ඇති බවටත් සැකයක් නැත.

නූතනයේ ඓතිහාසික අරගලය විසින් මේ රටේ ජනතාව අද අවදි කොට ඇත. ඔවුන් නැවත නින්දට වැටෙන්ට කලින් මෙවැන්නකට යොමු වීම වැදගත් ය.


අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා' - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...