The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මධුර බස් චාරිකා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

September 10, 2022 • 5:51 AM

 මධුර බස් චාරිකා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය අනාවරණ හෙවත් එක්ස්පෝෂර් වැඩසටනක් ලෙස හැඳින්විණි.
  • ඉන් හඟින්නේ මගේ කර්මාන්තයේ ම කටයුතු වෙනත් රටක කෙලෙස කෙරෙන්නේ ද කියා නිරීක්ෂණයෙන්, අත්දැකීමෙන් හා අදහස් හුවමාරුවෙන් උගෙන ගැනීම යි.
  • ඒ කාලයේ සමාජ පරිවර්තනයේ ප්‍රතිමානය ලෙස නිතරඟයෙන් ස්ථාපිත වී තිබුණේ මාක්ස්වාදය ය.
  • තේ පානයෙන් අනතුර ව අප බසයට ගොඩ වුණු අතර, පිටත රැඳුණු කිහිපදෙනකු යම් කලබලයකින් සිටින බව මට හැඟිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

එය අනාවරණ හෙවත් එක්ස්පෝෂර් වැඩසටනක් ලෙස හැඳින්විණි. ඉන් හඟින්නේ මගේ කර්මාන්තයේ ම කටයුතු වෙනත් රටක කෙලෙස කෙරෙන්නේ ද කියා නිරීක්ෂණයෙන්, අත්දැකීමෙන් හා අදහස් හුවමාරුවෙන් උගෙන ගැනීම යි.

මේ සඳහා මට මෙන්ටර්වරයෙක් හෙවත් ගුරු-සුපරීක්ෂකයෙක් විය. ආචාර්ය බෙනට් බෙන්ජමින් අත්දැකීමෙන් බහුල බහුශ්‍රුතයෙක් වූ අතර ඔහු ජීවත් වුණේ තමිල්නාඩුවේ කඳුකර පෙදෙසක වන යේලගිරි හිල්ස් හී ය.

බෙනට් ද ඔහුගේ බිරිඳ වෛද්‍ය ශීලා බෙන්ජමින් ද තමිල්නාඩුව පුරා බොහෝ සමාජාර්ථික මැදිහත්වීම් කළ හ. ඔවුන් දෙදෙනා හා ක්ෂේත්‍ර මට්ටමින් සේවය කරන විශාල පිරිසක් වූ හ.

මගේ වැඩසටහන අතරවාරයේ මේ ක්ෂේත්‍ර සේවක සේවිකාවෝ විනෝද ගමනක් යෑමට සුදානම් වූ හ. බහුතර සේවක සේවිකාවන් එකිනෙකා හා විවාහ වූ ජෝඩු ය. ඔවුන්ට දරු මල්ලන් ද විය.


ඒ කාලයේ සමාජ පරිවර්තනයේ ප්‍රතිමානය ලෙස නිතරඟයෙන් ස්ථාපිත වී තිබුණේ මාක්ස්වාදය ය. ඒ නිසා මේ ක්ෂේත්‍ර සේවක පවුල්වල දරුවන් ගේ නම් වූයේ ලෙනින්, ටොස්කි, මාක්ස්, රෝසා, ඇන්ගල් යනාදී ය.  

එකල ජයලලිතා හා තට්ටුමාරු ක්‍රමයට තමිල්නාඩු මහ ඇමතිකම් කළ කරුණානිධි තම පුත්‍රයා ස්ටැලින් ලෙස නම් කිරීම මේ නං-ඉස්ටැයිල් එකේ ආරම්භය විය හැක (අපේ කෙනා නිකං ඉස්ටැලිං නොව ජෝසප් ඉස්ටැලිං වුණේ කොහොම ද යන්න වෙන කොලමකින් බලාපොරොත්තු වන්න)

මේ මාක්ස්වාදී රුපියල් නඩය අස්සේ ගැසුණු අළුක්කාලක ලෙස මම දින කිහිපයක් ම දිග අශෝක් ලේලන්ඩ් බසයක විනෝද ගමනේ ගියෙමි. නැවතුණු විශ්‍රාම ශාලා අසල, බසයේ වහලෙන් බාගත් කල්දේරම්, අඩුම කුඩුම හා දරවලින් උණු ආහාර වේලක් පිස ගැනීම දිනකට තෙවරක් කෙරිණ.

ගමන අවසාන දිනයේ අප ගියේ පොන්ඩිචේරියට යි. එදා උදේ කෑමට තිබුණේ පොංගල් බත් ය. උණුවට හා රසට ඉදිණු පොංගල් බත අපගේ බඩ පමණක නොව උගුර ද පිරවී ය.  ඉන් අනතරුව කිහිප පොළකට ම ගිය අප, පොන්ඩිචෙරියේ වයිට් ටවුන් හී පිහිටි භාරති උද්‍යානයට බසය හැරවුයේ තේ පානයට යි.

මෙවැනි අවස්ථාවක ලෙනින් ලා රෝසා ලා සෙල්ලම් කිරීම සාමාන්‍ය සිරිත ය. තේ පානයෙන් අනතුර ව අප බසයට ගොඩ වුණු අතර, පිටත රැඳුණු කිහිපදෙනකු යම් කලබලයකින් සිටින බව මට හැඟිණ. දමිළ බස මට හොඳට ම නොතේරෙන බැවින් වෙන්නේ කින්ද මන්ද යන්න වටහා ගැනුමට වෙලාවක් ගත විය.

"කාල් මාක්ස්ස්ස්ස්, කාල්ල් මාක්ක්ස්ස්ස්ස්ස්" කියමින් හැඬු කඳුලින් මව්වරු මොර දුන් විට ය මට හැඟුණේ වීථි නාට්‍ය කණ්ඩායමේ නායක සන්තොසම්ගේ හා ප්‍රජා සෞඛ්‍ය සේවිකා රාජෙශ්වරීගේ සය හැවිරිදි පුතණු කාල් මාක්ස් නැති වී ඇති බව. බසයෙන් බැසගත් මා ද කාල් මාක්ස්ස්ස්ස් කියා මොර දෙමින් භාරතී උද්‍යානයේ අඟලක් නෑර මාක්ස් සෙවී ය.

අප කණ්ඩායම බලාපොරොත්තු විරහිත ව හිස කඩාගත් වන ම සිටිනා විට, එකිනෙහිම අසල පඳුරකින් ඇන තියාගෙන සිටි කාල් මාක්ස් නැගිට්ටේ, ගලවා ගත් තම කොට කලිසමෙන් තම ඉදිරිපස විලි මුවා කර ගනිමිණි. සියල්ලෝ සැනසුම් සුසුම් පොන්ඩිචෙරි වා තලයේ පාකර සතුටු කඳුළු සැලූ අතර, අයෙක් හනිකට කුඩා වතුර සෙම්බුවක් ගෙන අවුත් කාල් මාක්ස්ගේ පස්ස සෝදා නැවත කොට කලිසම ඇන්දුවෝ ය.

නැවත අපි යේලගිරි හිල්ස් දක්වා පැය හයක පමණක ගමනක ආවෙමු. තෙහෙට්ටු වී සිටි පැටි කාල් මාක්ස් තම දෙටු සොයුරිය වූ රෝසා ලක්සම්බර්ග්ගේ උරයට හිස තබා තද නින්දක නිමග්න ව සිටියේ ය.                      


මීට සතියකට පමණ පෙර, එනම් අගෝස්තු විසිහත හවස් කාලයේ ඉතාලියේ නාපොලි, රෝමය,මිලානෝ, ස්වීඩනයේ ස්ටොක්හෝම්, ජර්මනියේ බර්ලින්, එංගලන්තයේ ලන්ඩන්, ප්‍රංශයේ පැරිස් , ආදී යුරෝපයේ නගර කිහිපයක ම චාටර් කරන ලද (ලාංකී-සිංහල අරුතින් නොවේ. චාටර් කිරීම යනු තම කණ්ඩායමට ම වෙන් කරගත් ප්‍රවාහන සේවයකි) දිගු ගමන් බස් රථ ගාල් කර තිබෙනු දක්නට ලැබිණ.


ඒ වටා රැස් වූ අතිශයෙන් උනන්දු හෙළ පුතුන් පිරිසක් (කරපින්චා රම්පෙ ගානට හෙළ දූවරු ස්වල්පයක් ද යහමින් සිටිය හ) එම බස් රථය ගමනට සරසන්නට උත්සාහ කළ  හ. මව්බිමෙන් බැහැර ව සිටියත් මේ අව්‍යාජ හෙළ පුතුන්ගේ මනස තවමත් වසන්නේ තමන් උපන් හැදුණු වැඩුණු ගමේ ය.

දුර වන්දනා ගමනක් යන විට බස් හෝ වෑන් රථයේ 'සැල් එකේ'  පොල් මලක් ගැසීම සාමාන්‍ය සිරිත ය. තමන් අතර ගස් නගින්නට නම් ඕනා තරම් දස්සයන් ඇතත් නාපෝලියෙන් හෝ ලංඩනයෙන් පොල් මල් කපාගන්න පොල් ගස් ඇත්තේ කොහේ ද කියා තරමක බුද්ධිමත් පෙනුමේ කන්නාඩි කුට්ටමක් දමා ඇති හෙළයෙක් කී ය.

ඉතාලියේ ලාංකීය කොලනි (යුරෝපියන් නම් කියන්නේ ගෙටෝ කියා ය) පිහිටා ඇති නාපොලි වැනි සමහර ප්‍රදේශවල ලංකාවෙන් ආනයනිත 'මෑණිවරු' සිටිත්. ඒ මෑණිවරියකට කියා ලංකාවෙන් පොල් මලක් කල් තබා ම කුරියර් කර ගන්නට තිබුණා යී තවෙකෙක් කී ය.

ප්‍රැග්මතික් මනසක් ඇත්තියක් කීවා ඉතාලියේ ජාතික මල ලිලී බැවින්, ලිලී මල් පොකුරක් ලාභෙට කොනාඩ් එකෙන් හෝ සෙලෙක්ස් සුපර් මාරකැට්ටුවෙන් ගෙන බසය ඉදිරිපිට ගැසිය හැකි බව ය. බහුතර පුරුෂ හෙළ පිරිස මේ යෝජනාවලිය එකහෙලා ප්‍රතික්ෂේප කළෝ රුසියාව සිකුරිටි කවුන්සලේ වීටෝ කරනාකාරයට ය.

විප්ලවකාරී අදහස් ඇති පක්ෂයක වුවත් කාන්තාවන් වන තමන්ගේ භූමිකාව වන්නේ දිගු බස් ගමනේ මගීනට වැලිතලප හා සැන්විචස් තැනීම බව යතාර්ථවාදී ලෙස වටහා ගත් ඕ පසු බැස්සී අනෙකුත් කාන්තා දෙතුන් දෙනා වෙතට ය. ඔවුහු ලොකු තේ කොපි ප්ලාස්කු හා කෑම පුරවාගත් පික්නික් බාස්කට්අතින් කටින් ඔසවා ගෙන සිටිය හ.

මේ අතර තරමක් තරුණ පිරිසක රෙදි බැනරයක් බස් රියේ මුහුණතේ බඳින්නට තතනණු දුටු යුරෝපීය රියදුරු තෙමේ ඔවුන් බැණ එළවා ගත්තේ 'වට් ඩූ යූ තින්ක් යූ ආර් ඩුයින්"කියා ය. හිස් කඩා ගත් තරුණ පිරිස ඒ බැනරය මහත් භක්තියෙන් දෙකට තුනට නමා ඉතාලි සිලිසිලි බෑගයකට දා ගත් හ.


බැනරයේ ලියා තිබුණේ : මර්ධනය නවතනු ! ජනමතයට එරෙහි පාර්ලිමේන්තු විසිරවනු ශ්‍රී ලංකාවේ සිදුවන රාජ්‍ය මර්ධනයට එරෙහි උද්ඝෝෂණය. අගෝස්තු 28, පෙ.ව 11.00 සිට ප.ව 1,00 දක්වා, ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉදිරිපිට දී. යුරෝපයේ ශ්‍රී ලාංක්කියයෝ.


යට කී යුරෝපීය නගර සිට ජිනීවා වෙත බස් රියකින් ගමන් කරනට පැය පහළොවක් විස්සක් පමණ ගත වේ. එහෙත් තමන්ට මේ ගමන ඒ හැටි නුපුරුදු දෙයක නොවන බව වැඩිහිටි හෙළයෙකු තම මතක ය අවදි කරමින් තරුණ පිරිසට කීවේ වන්දනා නඩය ගයන 'සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා' ගීතයේ නාදය පහතට හෙළන ලෙස අතින් සංඥා කරමිණි.  

වැඩිහිටි හෙළයා මතක් කළේ 2012 දී ජිනීවා කවුන්සලයේ ලංකාවට එරෙහි ව රෙසලූශනයක් ගෙන එන විට තමන් ඇතුළු  පක්ෂයේ පිරිසක් මෙලෙස ම බස් එකක් චාටර් කරන් චාටර් වුණු බව යි. ඔහු ආඩම්බරයෙන් කීවේ, ජිනීවා හී මේ රෙසලූශනයට පක්ෂ කොටි හිතවාදී පිරිසට හා මව්බිම ඩොලර් යූරෝවලට පාවා දෙන ඇන්ජීයෝකාරයන්ට තමන් ඇතුළු පිරිසක් හූ කී හැටි ය.

ඒ කාලේ තම පක්ෂයේ සාමාන්‍ය ආකල්පය වුණේ ජිනීවා යන්නේ ආණ්ඩුවට එරෙහි, නිර්මල බුදු දහම කඩාකප්පල් කරනට තැත් කරනා බෙදුම්වාදී ත්‍රස්තවාදීන් බව ය. බස් රථවල කණ්ඩායම් නායකයෝ තමනට පැලවත්තෙන් වට්සැප් කරන ලද සටන්පාඨ සීට්ටු කටපාඩම් කරමින් සිටිය හ. මේ අතර බස් රථ ගායනා වෘන්දය වේරලියද්දේගේ 'දුම්රිය මොහොතක් නතර වුණේ' ගීතය සෘතියෙන් තරමක් බැහැර ව ගයමින් සිටියේ ය.

ගීතයේ ගේය පද අනුප්‍රාණයෙන් දෝ එක් අයෙකු ඉතාලි බසින් කීවේ 'ඩයිවර මහත්තයෝ පොඩ්ඩක් අයිනක් අල්ලලා නවත්තන්න බැරි ද? ' කියා ය. පුල් සූට් එකක් හැඳ බසය පදවන ඔරිජිනල් ඉතාලි ජාතිකයා කල්පනා කළේ මේ මොන වනාන්තරයකින් පැමිණි පිරිසක් ද කියා ය.

අවාසනාවක මහත; අප හෙළ පුතුන්ගේ හදබස තේරුම් ගැනීමට තරම් සංවේදී බවක විජාතික රියැදුරු තෙමේට නොතිබිණ. 'අයිනක් අල්ලලා නවත්තන්න' යනු දිගු ගමනක යන යන වන්දනා නඩයක හද පත්ලෙන් නොව වෙනත් ශරීරාංගයකින් නැගෙන ඩෙස්පරේටමය ආයාචනයක් බව දන්නෝ අව්‍යාජ හෙළ පුත්තු ම පමණි.

Udan
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි.)


 

 ***************

කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මධුර බස් චාරිකා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader