මා කතා කරන්නේ ජනරජය, ප්‍රජාතන්ත්‍රය, දීර්ඝකාලීන පැවැත්ම (sustainability), සමාජ ව්‍යවසායකත්වය වැනි සංකල්ප ගැනයි.
ඒවා මිනිස් ශිෂ්ටාචාරයේ වඩාත් ප්‍රගතිශීලී අදහස්ය.
මාගේ ප්‍රතිවාදීන්ට මූලිකව ඇත්තේ ඒවා ගැන අවුලක් නොවේ. පෞරුෂත්ව ඉරිසියාකාරකම් හැරෙන්නට ඔවුන්ට ගැටලුව වන්නේ මා රාජපක්ෂලා සමග ඒවා ගැන කතා කිරීමයි.
රාජපක්ෂලාට එල්ල වෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ ඔවුන් “හොරු” යන්නයි. සියල්ල සලකා බැලීමේදී රාජපක්ෂලාට එල්ල වෙන එකම චෝදනාවත් එයයි.
මාගේ ප්‍රතිවාදීන් කියන්නේ මා හොරු සමග වැඩකරන බවයි.
“හොරා” යන චෝදනාව ගැන මට ඇති මුල්ම මතකය වන්නේ මොරටුවේ ජීවත් වූ මාගේ මාමලා සහ ඔවුන්ගේ මිතුරු සමාගම ඇසුරෙහි සිද්ධියකි. මාගේ මාමලා නිර්මාල් දේවසිරිගේ සමකාලීනයන්ය. එකම පාසලේය.
අනූව දශකයේ මුල රැකියා විරහිත තරුණයන් වූ ඔවුන් මාගේ සීයාට අයත්ව තිබූ නෙල්සන් ගරාජයේ නිතර කල්ලි ගැසී සිකරට් බොමින් විනෝද වෙනු මා දැක ඇත.
එකල ජනප්‍රියව තිබූ බොකුටු කොණ්ඩා වවාගෙන සිටි ඔවුන් අතර ඇඟපතින් කුඩා තරුණයෙකු විය. “ෂෝටා” ලෙස ඔලොක්කුවට ආමන්ත්‍රණය කළ ඔහු එම කල්ලියේ සිටි දුප්පත් කොල්ලෙකි. අනෙක් උන් කියාත් එහෙම පොහොසත්කමක් තිබුණේ නැත.
මොරටුවේ එකල තරමක් ධනවත් ව්‍යාපාරිකයන්ගේ පුතුන් එකෙකු හෝ දෙන්නෙකු හැරෙන්නට මාගේ මාමලා ඇතුළු අනෙක් සියලු දෙනා දුප්පතුන්ය. නමුත් අර තරුණ කාලයේ “කූල් කිඩ්ස්”ලා වැනි ගතියක් ඒ කල්ලියේ විය. ෂෝටා ඔවුන් අතර දැවටෙමින් සිටීමට ප්‍රිය කළ අයෙකි.
මේ අතර ඒ කල්ලියේ කිසිවෙකුගේ රත්තරන් මාලයක් නැති විය. කිසිදු පමාවකින් තොරව “හොරා” යන චෝදනාව එල්ල වූයේ ෂෝටාටය. කිසිදු සාක්ෂියක් නොමැති වුවත් “ඇත්ත කියපන් උඹ නේද මාලේ ගත්තේ” කියා ඔහුගේ මිතුරන් ඔහුට පහර දී තිබේ. “මම ගත්තේ නැහැ මචං” කියා හඬා වැටුණු ෂෝටා එදින රාත්‍රියේ මොරටුව සහ ලුනාව අතර තැනක කෝච්චියට බෙල්ල තියා දිවි නසාගෙන තිබිණි.
එකල කුඩා මා හට එය මහත් කම්පනයක් ඇති කළ සිදුවීමකි. ෂෝටාගේ කෙසඟ රුව දැන් මාගේ මතකයෙන් ගිලිහෙමින් තිබේ. නමුත් කිසිවෙකුට “හොරා” යැයි චෝදනා කිරීමේදී මට වහාම මතකයට නැගෙන්නේ ෂෝටාවය.
මා හට පිළිගත හැකි සාක්ෂි නොමැතිව කිසිවෙකුටත් “හොරා” යැයි කියන්නට මම බිය වෙමි. මන්ද ඒ පුද්ගලයා අහිංසකයෙකු විය හැකි බැවිනි.
“වැරදිකරු යැයි ඔප්පු වෙන තුරු සෑම පුරවැසියෙකුම නිවැරදිකරුය” යන මූලික එකඟතාවයක් අපේ ව්‍යවස්ථාවේ තිබේ.
අනුර කුමාර ප්‍රමුඛ ආන්තික වාමාංශිකයන් කතා කරන්නේ “නිවැරදිකරු යැයි ඔප්පු වෙන තුරු සෑම පුරවැසියෙකුම වැරදිකරුය” යන වල් පදනමේ පිහිටාය.
චෝදනා ඔප්පු කරගත නොහැකි වූ විට ඔවුන් කරන්නේ “අධිකරණය දූෂිත” යැයි නැවත චෝදනා කිරීමයි.
රෝහණ රාජපක්ෂ නිදොස් කරන විට දූෂිත වෙන අධිකරණය සාෆි නිදොස් කරන විට ස්වාධීන වේ. මෙය දෙබිඩි පිළිවෙතකි. එතන මොරල් කන්සිස්ටන්සි එකක් නැහැ.
යථාර්ථය තමයි “රාජපක්ෂ හොරු” නොකියා වෙන කියන්නට දෙයක් අනුරලාට දේශපාලනිකව නැහැ. ඔවුන්ගේ දේශපාලනයේ සීමාව රාජපක්ෂවරුන්ගෙන් අවසන් වෙනවා.
සාක්ෂි නොමැතිව චෝදනා එල්ල කරන විට මා නිතැතින්ම හිටගන්නේ එලෙස චෝදනා ලබන්නා සමගය. අදටත් මා විශ්වාස කරන්නේ ෂෝටා අහිංසක බවයි.
සාක්ෂි නොමැතිව ස්ටේජ් මත චරිත ඝාතක චෝදනා කරන අනුරලා මට පෙනෙන්නේ අර සෙල්ලක්කාර බුලීලා එකතුව පහසුවෙන් පහර දීමට හැකි පුද්ගලයෙකු වටකරගෙන ගුටිබැට දෙන්නාක් මෙනි. අනුර ඒ චෝදනා කරන්නේ බුලීලා මෙන් සිනා සෙමිනි.
ධර්මය අපට මග වේවා!
(එරන්ද ගිනිගේ)සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
eranda.ginige@gmail.com
2022 සැප්තැම්බර් 20
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.




