The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජුලි නෝනගේ හාල් මිට - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

September 25, 2022 • 7:24 AM

ජුලි නෝනගේ හාල් මිට - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා ගාල්ලේ පාසැලක පළමු ශ්‍රේණියේ සිසුවෙකු ව සිටින කාලයේ, මගේ භාරධුර වගකීමක වූයේ හෙඩ් මාස්ටර්ගේ කාමරයට ගොස් අපගේ පංතියේ ළමුන්ට වෙන්වුණු 'ඇදිහැස' විස්කෝතු කෝටාව ගෙන ඒම ය.
  • නොකැඩුණු විස්කෝතු නම් එකෙකුට හයක් ලබෙනාකාරයටත්, කැඩුණු ඒවා නම් දහයක් දොළහක් ලෙසත් හෙඩ් මාස්ටර් විස්කෝතු මගේ සූට් කේසයට අඩුක් කරයි.
  • වාමාංශික ඇසුරට මා පසු කලෙක ඇබ්බැහි වුණේ මේ නිසා ද බව නොදනිමි.
  • මා කළ සේවයට මට ලැබුණු වරප්‍රසාදය වූයේ, ඇදිහැස විස්කෝතු පංතියට බෙදා දී සූට්කේසයේ අඩියේ ඉතිරි වී ඇති බිස්කට් කුඩු තට්ටුව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

යුතු ය. ඒ මේ නිසා ය.

මා ගාල්ලේ පාසැලක පළමු ශ්‍රේණියේ සිසුවෙකු ව සිටින කාලයේ, මගේ භාරධුර වගකීමක වූයේ හෙඩ් මාස්ටර්ගේ කාමරයට ගොස් අපගේ පංතියේ ළමුන්ට වෙන්වුණු 'ඇදිහැස' විස්කෝතු කෝටාව ගෙන ඒම ය. මේ සඳහා මගේ පොත් ගෙනියන සූට්කේසය හිස් කර ගෙනයාම  මගේ සිරිත විය.

නොකැඩුණු විස්කෝතු නම් එකෙකුට හයක් ලබෙනාකාරයටත්, කැඩුණු ඒවා නම් දහයක් දොළහක් ලෙසත් හෙඩ් මාස්ටර් විස්කෝතු මගේ සූට් කේසයට අඩුක් කරයි.

වම් අතින් කිලෝ කිහිපයක් බර විස්කෝතු සූට්කේසය මා ගෙනියන්නේ වමට තරමක් ඇළ වෙලා ය. වාමාංශික ඇසුරට මා පසු කලෙක ඇබ්බැහි වුණේ මේ නිසා ද බව නොදනිමි.

මා කළ සේවයට මට ලැබුණු වරප්‍රසාදය වූයේ, ඇදිහැස විස්කෝතු පංතියට බෙදා දී සූට්කේසයේ අඩියේ ඉතිරි වී ඇති බිස්කට් කුඩු තට්ටුව ය. සීරුවට සූට්කේසය පැත්තකට ඇළ කළ විට බිස්කට් කුඩු අහුරක් දෙකක් එකතු කර ගත හැක.

ඇමෙරිකානු රජයේ ප්‍රදානයක ලෙස පිළිගැන්වුණු මේ විස්කෝතු ආහාර වේලට සීඅයියේ කුමන්ත්‍රණකාරීන් විසින් ජප කර දමන ලද රසායනික ද්‍රව්‍යයක් පසුකාලීන ව මා මෙතරම් බටහිර ගැත්තෙකු හා අනුකාරකවාදියෙකු කළා ද කියා ද වරෙක සිතේ.  



නලින් මහැදුරන් පානදුර සාන්ත ජෝන් පාසැලට යන කාලයේ මේ විස්කෝතු කනවා මෙන් හඟවා ඒවා ඩැස් එකේ අස්සට විසි කළා විය හැක. එතුමා අනුකාරක උගුලෙන් ගැලවුණේ එලෙස යී අනුමාන කළ හැක.

ඇදිහැස විස්කෝතු රට පුරා බෙදිණ විස්කෝතු සඳහා අවැසි ප්‍රධාන අමුද්‍රව්‍ය වන තිරිඟු පිටි ලැබුණේ ඇමෙරිකා එක්සත් ජනපද රජයෙනි. ඔවුන්ගේ ම වියදමෙන් මේ විස්කෝතු නිෂ්පාදනය කළේ දැන් මංචි ලෙස පරසිඳු සිලෝන් බිස්කට් ආයතනයෙනි.

1968 සිට 1988 දක්වා මේ ව්‍යපෘතිය ක්‍රියාත්මක වූ අතර එම නිත්‍ය කොන්ත්‍රාත්තුව ලද අදාළ සමාගමට ඇදිහැස රන් ආකරයක් මෙන් විය. බොරැල්ලේ මල්ශාලාව දශක තුනක පමණ ලද රණවිරු ඇණවුම මෙනි.

එකල අධ්‍යාපන සේවා අමාත්‍යංශය ලෙස හැඳින් වූ රාජ්‍ය ආයතන ජාලය ඔස්සේ මේ විස්කෝතු ලොරිවලින් දිවයින පුරා පාසල්වලට බෙදා හැරිණ. එක්සත් ජනපද ජනතාවගේ පරිත්‍යාගයකි යන්න විස්කෝතු පෙට්ටියේ පිටත ලියා තිබුණු අතර, ඊට උඩින් හර්ධය වස්තුවක හැඩැති ලෝගෝවක ඉරි හා තරු සහිත  සහිත එක්සත් ජනපද කොඩිය කළු හා සුදු වර්ණයෙන් මුද්‍රණය කර තිබිණ.


xdasxමේ දීප ව්‍යාප්ත ව්‍යාපෘතිය ඇමරිකානු රජය වෙනුවෙන් ක්‍රියාත්මක කළේ පසු කලෙක කෙයාර් ඉන්ටර්නැෂනල් ලෙස හැඳින්වුණු ජාත්‍යන්තර එන්ජීයෝව යි. කෙයාර් ඉන්ටර්නැෂනල් ලංකාවේ පැරණිතම ජාත්‍යන්තර එන්ජීයෝවක් ලෙස ඉතිහාසගත වන්නේ එබැවිණි. ඇට්ලාන්ටා ප්‍රාන්තයේ ප්‍රධාන කාර්යාලය පිහිටි කෙයාර් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර එන්ජීයෝව ලෝකයේ දුප්පත් රටවල් සිය ගණනක තම ආධාර ව්‍යාපෘති පවත්වාගෙන ගියේ ය. මීට අවුරුදු කිහිපයකට පෙර ලංකාවේ කෙයාර් ඉන්ටර්නැෂල් මෙහෙයුම් 'ක්‍රිසලිස්' නම් දේශීය යාන්ත්‍රණයකට පැවරී ය. කෙයාර් ඉන්ටර්නැෂනල් හී වසර ගණනාවක සේවය කළ අධ්‍යක්ෂිකාවක මේවන විට ක්‍රිසලිස් හි ප්‍රධානියා ලෙස කටයුතු කරන්නී ය.        

ඇමෙරිකානු රාජ්‍ය ආධාර ලෝකය පුරා බෙදා හරින යාන්ත්‍රණය වන්නේ යූඑස්ඒඩ් (USAID) ය. ලෝකයේ රටවල් සියයක පමණ ක්‍රියාත්මක වන යූඑස්ඒඩ් ඒජන්සියේ උපත සිදුවුණේ 1961 ය. ඒ කෙනඩි ජනපතිගේ කාලයේ ය.

එහෙත් මෙම ඒජන්සියේ හැඩ රුව නිමැවුණේ 'මාෂල් ප්ලෑන්' ලෙස පරසිඳු ජනපති හැරී ට්රුමන්ගේ කාලයේ ක්‍රියාත්මක වුණු දෙවන ලෝක සංග්‍රාමයෙන් බැට කෑ රටවල් යලි ගොඩනැගීමේ ව්‍යාපෘතියෙනි. ජෝර්ජ් මාෂල් නම් රාජ්‍ය ලේකම් ඒ ව්‍යාපෘතියේ මෙහෙයුම්කරු විය.


ඉන් පසුව උදා වුනු, සීතල යුධය ලෙස හැඳින්වෙන, එනම් ධනවාදී හා කොමියුනිස්ට් ගැටුමේ, එක්සත් ජනපදය විසින් භාවිත එක්තරා සුමුදු අවියක වූයේ  විදේශාධාර ය. යූඑස්ඒඩ් ආධාර ප්‍රතිපත්තිය සැකැසෙන්නේ සමස්ත එක්සත් ජනපද විදේශ, ආරක්ෂක හා ආර්ථික ප්‍රතිපත්තියේ අතුරු ඵලයක ලෙස ය.



උදාහරනයක ලෙස අසූව දශකයේ යූඑස්ඒඩ් ප්‍රතිපතියේ මුඛ්‍ය අරමුණ වුණේ නිදහස් වෙළෙඳපොළවල් (ෆ්‍රී මාර්කට්ස්) ප්‍රවර්ධනය කිරීම යි. මීට සමගාමී ව ලංකාවේ එන්ජීයෝ හතු මෙන් පිපීම අප හඳුනා ගත යුත්තේ ඒ පසු බිමේ ය.  

එහෙත් මේ ප්‍රතිපත්ති විලාසිතා මෙන් කලින් කලට වෙනස් වෙයි. අනූව දශකයේ තිරසරබව හා ප්‍රජාතන්ත්‍රවාදය ද, නව සහස්ශ්‍රයේ යුධ හා ප්‍රතිශ්ථාපනය ලෙස ආධාර ප්‍රතිපත්ති වෙනස් විය. නැවතත්, ඊට සමගාමී ව, ලාංකීය පරිසර හා මානව හිමිකම් සංවිධාන ප්‍රවර්ධනය වීම අපට තේරුම් ගත හැක.


594938bc8833422f923fcbee7874f957

ඒ අනුව බලන විට විදේශාධාර යනු හුදෙක් පිං-අතේ වැඩක් නොවන බව පැහැදිලි ය. මෑත දී ලංකාවට පැමිණි සමන්තා පවර් මැතිණිය යූඑස්ඒඩ් හී ප්‍රධානියා ය. ඇගේ පැරැණි රැකියාව වූයේ එක්සත් ජනපද රජයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කිරීම ය. එය රාජ්‍ය පරිපාලනයේ උසස් ම තනතුරකි. එවන් තනතුරක් හෙබ වූ කෙනෙකු යූඑස්ඒඩ් හී ප්‍රධානියා ලෙස පත් වීම අදාල ආයතනය කෙතරම් වැදගත්කමක් උසුළයි ද යන්න අපට ඉඟි කරයි.  


දිගු පූර්විකාවක මා සටහන් කළ ද, මේ කොලමේ නිමිත්ත වූයේ ලංකාවේ ඇමෙරිකානු තානාපතිණිය, ලක් රජයට එක්සත් ජනපද රජය විසින් දෙනු ලබන ආධාරයක දියත් කරන නිල උත්සවයක දී කළ සංඛේතාත්මක දෙයකි. ඇය කළේ සිනා මුසු මුහුණින් සහල් මිටක් දෑතින් ගෙන එහි ඇති සහල් ඇට සීරුවට හැළෙන්නට  ඉඩ දීම යි.  ඒ සහල් ඇටයකුදු බිම වැටෙනු ඉඩ  නොහැර, තානාපති දෑතට යටින් තම දෑත කඩුළු රකින කළුවිතාරණ සේ අල්ලාගෙන සිටියේ ආණ්ඩුවේ ප්‍රධාන ඇමැත්තෙකි.

ස්තුති පූර්වක හා නොන්ජලාත්මක මුහුනැතිව සිටි මේ ඇමැත්තා කලෙක එකල සිටි ජනපතිගේ අත්ල ස්පර්ශයෙන් කිති කැවී, එහි ප්‍රහර්ෂයට දෝ සිහි මුර්ජා වී, දින කිහිපයක් රෝහල් ගත ව සිටි බව මතක ය. ඒ නිසා ඇමැත්තාගේ හැසිරීම තාත්වික ය. මීට වඩා යමක් ඔහුගෙන් අපට අබලාපොරොත්තු විය හැකි ද ? එහෙත්, ප්‍රශ්නය ඇත්තේ දිප්ලොමැතික සහල් හළන්නියගේ ය.            

විදේශාධාර ඉතිහාසය දශක ගණනාවක පුරා පරිනාමය වූවකි. මුල් කාලයේ විදේශාධාර අනන්‍ය වුණේ ධනවත් දානපතීන්ගේ කරුණාවෙන් කෙරෙන අසරණ සරණ කර්තව්‍යක් ලෙස යි. පසු කාලීන ව මේ තත්ත්වය දැඩි විවේචනයට භාජනය විය. ආධාර ලබන්නාගේ විෂම තත්ත්වය නිර්මාණය වී ඇත්තේ, ඔහු (අදාළ රට) ලබා උපන් හැටි නිසා නොව, ක්‍රමික, ව්‍යුහාත්මක හා ඓතිහාසික සාධක මත බව විශේෂයෙන් ඉස්මතු කළේ ලතින් ඇමෙරිකානු චින්තකයින් ය.

ඒ අනුව විදේශාධාර ක්‍රමය දෙන්නා-ලබන්නා යන බයිනරියෙන් මිදී පර්ට්න(ර්)ශිප් හෙවත් සහකාරත්වය යන සංකල්පය මත ප්‍රතිසංවිධානය කර ගති. එහි දී ගෞරවය හා අභිමානය යන්න අදාල ආධාරලාභී රට හෝ සංවිධානයට ලබා දිණි.

මේ චින්තන වෙනස සිදුවුණේ අද ඊයේ නොවේ, දශක දෙක තුනකට පෙර ය. ඇමෙරිකානු තානාපතිණි උගත්තී කීර්තිමත් කැලිපෝනියානු (බී.ඒ, දේශපාලන විද්‍යාව) හා කොලම්බියා (ඇම්.ඒ, ජාත්‍යන්තර සබඳතා) සරසවිවලින් බව සැළ ය.


සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රයේ ශිල්ප හදාරණ විට හෝ ඉන් අනතුරු ව තානාපති පුහුණුවේ ආධාර ප්‍රදානය කරන්නා විසින් ලබන්නා වෙත දිය යුතු අවම ගෞරව ය පිලිබඳ අබැටක් හෝ වැරදිලාවත් තානාපතිණිය උගෙන ගෙන නැති බව ඇගේ අතපල්ලෙන් වැටෙන සහල් මිට අපට යෝජනා කරයි.  



ඩ්‍රින්කෙක බයිටෙක වී ද ?- (උදන් ප්‍රනාන්දු )(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


සබැඳි ලිපියක් :
ඇදිහැස විස්කෝතු -ඇටමැස්සා (79)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...