The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'මගේ තාත්තාගේ නිදහස ඔබ පතන නිදහසෙහි කොටසක් නොවේද?'

T

The Leader Desk

October 6, 2022 • 8:35 PM

'මගේ තාත්තාගේ නිදහස ඔබ පතන නිදහසෙහි කොටසක් නොවේද?'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යළි යළිත් එල්ලවන ප්‍රචණ්ඩ පහරදීම්වල බියෙන් ඇළලුණු කුරුණෑගල දිවියට වඩා කිලිනොච්චියේ දිවිය වඩා ආරක්ෂිත යැයි සදීෂ්ගේ දෙමව්පියෝ කල්පනා කළහ.
  • කොටි සංවිධානයට ආධාර සැපයීමේ චෝදනා මත 2008 අවුරුද්දේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සදීෂ්කුමාර් 2011 වසරේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවීමට පෙර කිලිනොච්චි රෝහලේ ගිළන් රථ රියදුරෙක් ලෙස රැකියාව කරමින් සිටියේය.
  • විවාහ වී තුන් අවුරුද්දකින් පසු සිය බිරිඳ හා දියණියගෙන් වෙන් කෙරුණු ඔහු දැන් 14 අවුරුද්දත් තිස්සේ මැගසින් බන්ධනාගාරයේ සිරබත නියමව දිවි ගෙවන්නේය.
  • හැවිරිදි ඔහුගේ මවත්, දැන් යොවුන් දැරියක්ව පිටුවහලේ හිඳ ඉගෙනුම ලබන ඔහුගේ දියණියත්, බිරිඳත් යුක්තිය පිළිබඳ සිය සටන 14 වසරකට පසුත් අත් හරින්නට මැලිවෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

 


යළි යළිත් එල්ලවන ප්‍රචණ්ඩ පහරදීම්වල බියෙන් ඇළලුණු කුරුණෑගල දිවියට වඩා කිලිනොච්චියේ දිවිය වඩා ආරක්ෂිත යැයි සදීෂ්ගේ දෙමව්පියෝ කල්පනා කළහ.

නමුත් එයින් පසු එළඹි කාලයේ ඇවිළ ගිය යුද්ධය ඔවුන්ගේ දිවි මං සදහටම වෙනස් කළේය.

කොටි සංවිධානයට ආධාර සැපයීමේ චෝදනා මත 2008 අවුරුද්දේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සදීෂ්කුමාර් 2011 වසරේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවීමට පෙර කිලිනොච්චි රෝහලේ ගිළන් රථ රියදුරෙක් ලෙස රැකියාව කරමින් සිටියේය.

විවාහ වී තුන් අවුරුද්දකින් පසු සිය බිරිඳ හා දියණියගෙන් වෙන් කෙරුණු ඔහු දැන් 14 අවුරුද්දත් තිස්සේ මැගසින් බන්ධනාගාරයේ සිරබත නියමව දිවි ගෙවන්නේය. සිරගතව සිටියදීම ලේඛන කලාවට යොමු වූ සදීෂ්කුමාර් විසින් මේ වනවිට කවි හා කෙටිකතා සංග්‍රහ කිහිපයක්ම පළකොට තිබේ.

67 හැවිරිදි ඔහුගේ මවත්, දැන් යොවුන් දැරියක්ව පිටුවහලේ හිඳ ඉගෙනුම ලබන ඔහුගේ දියණියත්, බිරිඳත් යුක්තිය පිළිබඳ සිය සටන 14 වසරකට පසුත් අත් හරින්නට මැලිවෙති. මෙහි පළවන ලිපිය ඊට සාක්ෂියකි.

සරණාගත දිවියක් ගෙවන ඔහුගේ දියණිය රටින් බැහැරව සිට දකුණු ලංකාවේ සිංහල ජනයා අමතා ලියූ විවෘත ලිපියක් මගින් ඉල්ලා සිටින්නේ යුද්ධයේ නිල නිමාව නිවේදනය කළ 13 වසරකින් පසු හෝ නිදහස දකින්නට තම පියාට ඉඩ දෙන ලෙස ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දකුණේ ආණ්ඩු විරෝධී ක්‍රියාකාරිකයන්ට එරෙහිව යොදා ගැනීම පිළිබඳ දැන් දැන් පැතිර යන මහජන කෝපය සදීෂ්කුමාර් වැනී පීඩිතයන්ගේ දිවියට යුක්තියක් ඉටු කරනු ඇතිද?

පරිවර්තනය - ජී ජී සරත් ආනන්ද

------------------------------------------------



මගේ මව්බිමෙහි වෙසෙන සහෝදර සිංහල ජනතාව වෙත,‍

දැනට 12 වන ශ්‍රේණියේ ඉගනුම ලබන පාසැල් ශිෂ්‍යාවක වන කම්ෂා සදීෂ්කුමාර් වන මම යාපනයේ වඩමාරච්චි හින්දු බාලිකා විද්‍යාලයේ මගේ මූලික අධ්‍යාපනය හදාරමින් සිටියෙමි.

එහෙත් උපන් බිමේ සුවඳ විඳිමින් ගෙවූ ඒ පාසැල් ජීවිතය මා හට අහිමි වූයේ බලාපොරොත්තු නොවූ විලසිනි.

උපන් බිමෙන් වෙන් වී මව සමග අවතැන් වී පැමිණ මේ වන විට ප්‍රංශය නමැති පිටස්තර දේශයක සරණාගතයන් ලෙස ජීවත්වීමේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට මා හට සිදුවිය.

ඒ සඳහා හේතුවූයේ නපුරු යුද්ධයත්, ඒ නමින් අත්අඩංගුවට ගෙන සිර කරන ලද මගේ සදාදරණීය පියාණන්ගෙන් දුරස්වීමත් ය.

sadishkumarඒ 2008 වසර ය.

මා පීතෘ සෙනෙහසින් වෙලී පියාගේ උරතලයට පැන කෙළිදෙලෙන් පසු වූ යුගයේ, මා අවුරුදු තුනක දැරියකව සිටිය දී මගේ පියා කොටි සංවිධානයට උදව් කළ බවට චෝදනා කර ඔහුව අත්අඩංගුවට ගෙන සිරගතකර රඳවා තබා ගැනුණි.

සෙල්ලය්යා සදීෂ්කුමාර් නම් වූ මගේ පියා ඒ වන විට කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ රියැදුරකු ලෙස රාජ්‍ය සේවයේ නියැලී සිටියේ ය.

ඔහු පදවාගෙන ගිය වාහනයේ තිබී වෙඩි බෙහෙත් සුළු ප්‍රමාණයක් හමු වූ බවට චෝදනා කර එවකට ක්‍රියාත්මකව පැවති හදිසි නීතිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරුණි.

ඒ අනුව 2011 වසරේ දී අධිකරණය විසින් මගේ පියාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය.

දැනට මගේ පියා දේශපාලන සිරකරුවකු ලෙස (අංක P – 454) කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සිටියි.

එසේ සිරගතව සිටිින මගේ පියා අතින් කිසි කලෙක කිසිදු ජීවිත හෝ දේපල හානියක්, හෝ බෝම්බ පිපිරවීමක් නැතහොත් එවැන්නකට සම්බන්ධ ක්‍රියාවක් සිදු වී නොමැත.

එහෙත් මගේ ආදරණීය පියාණන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින්නට සිදු වී තිබේ.

එය අප මුළු පවුලට ම දරා ගත නො හැකි වේදනාවකි.

පියාගෙන් වෙන් වී ගත වූ අවුරුදු 14 පුරාවට ම මා විසින් විඳින ලද දුක් වේදනාවන්, මුළාවීම් වචන වලින් ලිවීමට නො හැකි තරම් ය.

එසේ ම මගේ පියා මුලින් රැඳවුම් භාරයේ සිටිය දී ඔහු බැලීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 4 වන තට්ටුවට අම්මා සමග ගිය දවසේ පියාගේ සිරුරේ තිබී මා නෙත ගැටුණු ඒ තුවාල කැළැල් මට මගේ ජීවිත කාලය පුරාවට ම අමතක කළ නොහැක්කකි.

ඒවා විසින් මගේ සිත තුළ ද නොමැකෙන කැළැල් ඇති කරනු ලැබුණි.

මා ජීවත් වූ කිලිනොච්චිය ප්‍රදේශය එවකට දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ පූර්ණ පාලනය යටතේ පැවතුණි.

එකල එහි පැවති යුදමය පරිසරය කෙසේදැයි යන්න ඔබ සැම හොඳින් දන්නා හු ය.

එවන් තත්ත්වයක දී පවා කිසිවකුට හෝ හානියක් නො කළ මගේ පියාට ‘අවස්ථාව හා පාරිසරික සාධක මත’ කෙටි කාලීන සිරකරුවකු ලෙස සිටින්නට පමණක් සිදු වේ යැයි දැරියක වූ මම දැඩි සේ විශ්වාස කළෙමි. එහෙත් සිදුවූයේ අන් දෙයකි.

ගිලන් රථ රියැදුරකු ලෙස සේවය කළ මගේ පියා ප්‍රදේශයේ පැවති යුද ගැටුම්වලට මැදිව ජීවිතය උදෙසා සටන් කළ සිය ගණනක් මිනිසුන්ගේ ජීවිත රැක දීමට දිවා රෑ නො බලා වෙහෙසුණු, විවේකයක් ගැන නොසිතා සේවයේ නියැලුණු මානව දයාවෙන් පිරි පුද්ගලයෙකි. එහෙත් ඔහු පසුපස පැමිණියේ අවාසනාවයි.

සිර ගෙදර දිවි ගෙවන මගේ පියා තම සිත් වේදනාවන් තුනී කරලීමේ අරමුණින් අධ්‍යාපන කටයුතු කරමින්, සාහිත්‍ය කලා කටයුතු වල නියැලෙමින් කාලය ගත කරයි. වියෝ දුක අස්වසා ගැනීමට උත්සාහ ගනියි.

සැමවිටම ආදරය, දයාව, අනුකම්පාව, සහජීවනය පිළිබඳ මා සමග කතා කරන මගේ දයාබර පියාණන් ‘ත්‍රස්තවාදියකු’ ලෙස අමතන විට මගේ ළපටි සිතට වාවාගත නො හැක.
sadishkumar book
මහත් දුක් වේදනාවන් විඳිමින් ගත කළ ඉකුත් 14 වසර පුරාවට රාජ්‍ය නායකයන්ගේ ද, බොහෝ දේශපාලන බලවතුන්ගේද දෙපා මුල වැඳ වැටී ‘මට පියා සමග ඉන්න එක අවස්ථාවක් හෝ ලබා දෙන්න’ යි බැගෑපත් ලෙස ඉල්ලා සිටිය ද මේ දක්වා එම ඉල්ලීම ඉටුවූයේ නැත.

පියා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිද්දී ගැහැණු දරුවකු වූ මම පිය සෙනෙහස වෙනුවෙන් හූල්ලමින් දිවි ගෙවමි. අම්මා තවමත් සියලු දුක් වේදනා තනිව ම විඳ ගනිමින් ළතවන්නීය.

අද අප අවතැන් වී අන්සතු දේශයක ‘සරණාගතයින්’ යන පහත් තත්ත්වයකට වැටී ජීවත්වීම ආදී සියල්ල ම මේ යුද්ධය නම් නපුරු රාක්‍ෂයා විසින් සිදුකරන ලද්දක් නොවේද?

එතරම් ම කුරිරු වූ යුද්ධය නිමා වූ බැව් පවසා වසර 13ක් ගෙවී ගිය පසුවත් අපේ පවුලට යුද්ධයේ වේදනාවන් දරා ගනිමින් ජීවත් වීමට සිදු වී තිබෙන්නේ ඇයි?

සංහිඳියාවේ පළමු පියවර ලෙස මගේ පියා වැනි යුද්ධයේ නාමයෙන් සිර ගත කරන ලද දේශපාලන සිරකරුවන්ට මනුෂ්‍යත්වයේ නාමයෙන් නිදහස ලබා දී සදාකාලික විශ්වාසනීයත්වයක් ඇතිකරලීම කාලීන අවශ්‍යතාවයක් ලෙස මම දකිමි.

එවන් යහපත් ක්‍රියා මාර්ග මගින් සිත් තුළ තිබෙන තුවාල සොයා සුවපත් කරමින් එක්ව ගමනක් යාමට හැකි වෙතියි විශ්වාස කරමි.

මා විවාහ ජීවිතයට එළඹීමට පෙර පියාට තුරුල්ව අපරිමිත පීතෘ සෙනෙහස විඳිමින් සතුටු වීමේ භාග්‍යය උදා වන්නේ නම් මා වැනි දියණියකගේ ජීවිත කාලයට ම එය ප්‍රමාණවත් වනු ඇත.

බලාපොරොත්තුව නෙතු දල්වාගෙන සිටින මම,

කම්ෂා සදීෂ්කුමාර්"


(jdslanka.org)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...