The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

උපදේශකවරුන්ගේ සිරි ලංකාව : කපිල කුමාර කාලිංග

T

The Leader Desk

November 6, 2022 • 7:48 PM

උපදේශකවරුන්ගේ සිරි ලංකාව :  කපිල කුමාර කාලිංග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේ ගිය සමහරු දැන් ඒ රටටත් මේ රටටත් ඇති හෝ නැති ඩුවල් සිටිසන්ලා නොහොත් ද්විත්ව පුරවැසියෝය.
  • ඉහත කී වෘත්තිකයන්ට වෛද්‍යවරු, ඉංජිනේරුවරු මෙන්ම, ශිෂ්‍යත්ව ලබා අමෙරිකාවට ගිය විශ්වවිද්‍යාල මහාචාර්යවරුද ඇතුළත්ය.
  • එනම්, සෑම සති අන්තයකදීම කාගේ හෝ නිවෙසකදී රුස්ව, සිරි ලංකාවේ පවතින කාලීන ප්‍රශ්න - අර්බුද ගැන කතා කරමින් ඒවාට විසඳුම් සෙවීමය.අපේ සෑම ප්‍රශ්නයකටම ඔවුන් ළඟ විසඳුම් ඇත.
  • නැති බැරි මිනිස්සු දහවල් 12 වන තුරුම නිදාගත යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):



එසේ ගිය සමහරු දැන් ඒ රටටත් මේ රටටත් ඇති හෝ නැති ඩුවල් සිටිසන්ලා නොහොත් ද්විත්ව පුරවැසියෝය. උභයජීවීන් විශේෂයක් බඳු ඒ ඩුවල් සිටිසන්ලාගෙන් සමහරු අපේ පාර්ලිමේන්තුවටද රිංගා සිටිති. රටේ තිබෙන සියලු අර්බුද අස්සේ ඒ ''දෙරට කාට්ටුවන්'' සෙවීමට කමිටු පත් කිරීමටද සිදුව තිබේ.

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වැඩිපුරම හමුවන්නේ ක්‍රිකට් උපදේශකවරුය. පුදුමය වන්නේ ඔවුන්ගෙන් සමහරු ක්‍රිකට් තියා එල්ලේවත් ගසා නැති අය වීමය.



මැච් දිනන විට අපේ ක්‍රීඩකයන්ට දස්සා, වනියා, මයියා ආදී වශයෙන් කතා කරමින් ඔවුන් පවුලේ සුරතලුන් කර ගන්නා ඒ උපදේශකවරු, මැච් පරදින විට ඔවුන්ට බැණ වදිමින් සිය උපදේශන සේවා පටන් ගනිති. එතැන් සිට කැච් මිස් කරන අයට කැච් අල්ලන හැටි කියා දෙති. එකෙන් දෙකෙන් අවුට් වූ අයට බැටින් කියා දෙති. පන්දුව දඟ කවන හැටි ඔවුන් තරම් මුරලිලා, වෝන්ලාවත් දන්නේ නැත.



ක්‍රීඩකයන් පසෙකින් තබමු. එල්.බී, වයිඩ් හා නෝ බෝල් දෙන හැටි ඔවුහු අම්පයර්ලාටත් කියා දෙති. ඒ අනුව බලන විට, සිරි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට තේරිය යුතු සුපිරි දක්ෂයන් සිටින්නේ ෆේස්බුක් ක්‍රිකට් සමාජයෙහිය. ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියා ගොස් සිටින්නේ අඳ බාල ආබාධිතයන් කණ්ඩායමකි.

එසේ හෙයින් සිරි ලංකා ක්‍රිකට් ගොඩගැනීමට නම් වහාම කළ යුත්තක් තිබේ. එනම් මෙම ෆේස්බුක් ක්‍රිකට් උපදේශකවරුන් ජාතික ක්‍රිකට් කණ්ඩායමටත්, පාලක මණ්ඩලයටත් පත් කිරීමය. දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල සිදුවන්නේ එබඳු ක්‍රියාවලියක්දැයි අපට සැක සිතේ.

ක්‍රීඩාව සම්බන්ධයෙන් පමණක් නොව, සෑම විෂයයක් පිළිබඳවම විශේෂඥ දැනුමකින් යුත් උපදේශකවරුන් සුලභ වීම රටක වාසනාවකි. අපටද ජනාධිපති උපදේශකවරුන්ගෙන්, ආර්ථික උපදේශකවරුන්ගෙන්, ව්‍යවස්ථා උපදේශකවරුන්ගෙන් අඩුවක් පාඩුවක් නැත. එහෙත් අවාසනාව වන්නේ රට ගොඩනැගීමට මේ දක්වා මේ කිසිවකුට නොහැකිව තිබීමය.

අමෙරිකාවේ දිගු කලක් ජීවත් වන ශ්‍රී ලාංකිකයකු මා සමඟ පැවසූ කතාවක් මගේ මතකයට නැගේ.

මීට දශක ගණනාවකට පෙර අමෙරිකාවේ රුකියා අවස්ථා ලැබ, එහි ගිය ශ්‍රී ලාංකීය වෘත්තිකයන් පිරිසක් පුරවැසිභාවය ලබා එහිම පදිංචි වූහ. ඔවුන්ගේ දූ දරුවෝද අමෙරිකානු තරුණ තරුණියන් හා විවාහ වී එහිම වෙසෙති.

ඉහත කී වෘත්තිකයන්ට වෛද්‍යවරු, ඉංජිනේරුවරු මෙන්ම, ශිෂ්‍යත්ව ලබා අමෙරිකාවට ගිය විශ්වවිද්‍යාල මහාචාර්යවරුද ඇතුළත්ය.

සිය සේවා කාලය තුළ විශාල ධනයක් ඉපැයූ ඔවුහු, සුඛෝපභෝගී මන්දිර ඉදිකොට විශ්‍රාම යාමෙන් පසු නිදහස්, සැපවත් ජීවත ගත කරති.



උපතින් ලාංකික, පුරවැසිභාවයෙන් අමෙරිකානු මේ විශ්‍රාමික සමාජය තුළ අපූරු සිරිතක් පවතී. එනම්, සෑම සති අන්තයකදීම කාගේ හෝ නිවෙසකදී රුස්ව, සිරි ලංකාවේ පවතින කාලීන ප්‍රශ්න - අර්බුද ගැන කතා කරමින් ඒවාට විසඳුම් සෙවීමය.අපේ සෑම ප්‍රශ්නයකටම ඔවුන් ළඟ විසඳුම් ඇත. ඉඳහිට ඔවුන්ගෙන් කෙනෙක් මෙරට ඉංග්‍රීසි පුවත්පතකටද ලිපියක් ලියා එවයි. ඉන් එහාට කිසිවක් සිදුවන්නේ නැත. ඔවුන්ගෙන් කිසිවෙක් ලංකාවට එන්නේද නැත. එකම එක ඩොලරයකින් හෝ උදව්වක් කරන්නේද නැත.



රටේ ආර්ථික අර්බුදය විසඳීමට කෙරෙන අපූරු යෝජනාවක්ද පසුගිය දිනෙක මුහුණුපොතේ දිටිමි.

නැති බැරි මිනිස්සු දහවල් 12 වන තුරුම නිදාගත යුතුය. එවිට ඔවුන්ට උදෑසන ආහාරය සඳහා වැය වන මුදල ඉතිරි කරගත හැකිය. මේ උපහාසය පතුලේ ඇත්තේ කඳුළක් බව අමුතුවෙන් කිව යුතු නැත.

එක් මනෝ වෛද්‍යවරයකු ලබා දුන් උපහාසාත්මක විසඳුමක් මෙසේය. (ශ්‍රී ලංකාවට අදාළවය.)

මිනිසුන් ක්‍රම ක්‍රමයෙන් ප්‍රශ්න මැද ජීවත්වීමට හුරු පුරුදු වනු ඇත. දුකට පුරුදු වීමද දුක නැති කිරීමේ මාර්ගයකි.

ගමන් ගාස්තු වැඩි නම්, මිනිස්සු ගමන් බිමන් අඩු කරනු ඇත. සහල් මිල වැඩි නම් මිනිස්සු බත් කෑම අඩු කරනු ඇත. විදුලි බිල වැඩි නම් මිනිස්සු අඳුරට හුරුවනු ඇත.

ඒ සියල්ල ඉවසා දරාගත හැකිය.

එහෙත් වෛද්‍ය ගාස්තු, රෝහල් බිල්, ඖෂධ මිල හෝ හිඟය ඔවුන් විසින් දරාගනු ඇත්තේ කෙසේද?

සිය ජීවිත කාලය අඩුකර ගැනීමෙනි!

නැෂනල් ඩ්‍රෙස් නොහොත් ජාතික ඇඳුම් සභාවේ වැදගත් විවාදයකදී දිවා ආහාරය සඳහා නොනවත්වාම එය පවත්වාගෙන යමු යැයි විපක්ෂයේ කෙනෙක් යෝජනා කළේය. එවිට ආණ්ඩු පක්ෂය ඊට විරුද්ධ වූයේ ''අපොයි නොකා නොබී කොහොමද වාද විවාද කරන්නේ'' යැයි කියමිනි.

ධර්මසිරි බණ්ඩාරනායකගේ ''ඒකා - අධිපති'' නාට්‍යයේ සිටින ඒකාධිපති පාලකයා තම අමාත්‍යවරුනට මෙසේ පවසයි.

''උඹලා ඕන දෙයක් ඉල්ලපල්ලා. හැබැයි රට විතරක් ඉල්ලන්ඩ එපා. ඒක මට කන්ඩ ඕනෙ.''

සිරි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් වරින් වර රට කෑම සඳහා පුද්ගලයකු හෝ කණ්ඩායමක් පත්කර ගැනීමය.

(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී 

 
( උපුටා ගැනීම - deshaya.lk)
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...