The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වසන්ත මුදලිගේට විවෘත ලිපියක් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

November 8, 2022 • 4:42 PM

වසන්ත මුදලිගේට විවෘත ලිපියක් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔබ වෙනුවෙන් කවි ගී නිසඳැස් ලියූ රැඩිකල් සහෝදර සහෝදරියන් අද ලියන්නේ ඒ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ රැඩිකල් ලිංගිකත්වය ගැනයි.
  • එදා ඔබ පිටුපසින් පැමිණි තරුණ තරුණියන් මෙදා ඔබව නිදහස් කරගන්නට කියා සංවිධානය කළ පාගමනට පැමිණ සිටියේ නැහැ.
  • එදා ඔබට සහාය දැක්වූ චේම්බර් ඔෆ් කොමර්ස් එකේ ධනපතීන් අද ප්‍රකාශ නිකුත් කරනවා “මේ වෙලාවේ අරගල කරලා හැදීගෙන එන ආර්ථිකය වට්ටන්න එපා” කියලා.
  • ධනපති ප්‍රභූන් විසින් ඔබව දේශපාලන මෙවලමක් හැටියට භාවිතා වෙන හැටි මා නිරීක්ෂණය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):



ඔබ වෙනුවෙන් කවි ගී නිසඳැස් ලියූ රැඩිකල් සහෝදර සහෝදරියන් අද ලියන්නේ ඒ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ රැඩිකල් ලිංගිකත්වය ගැනයි. එදා ඔබ පිටුපසින් පැමිණි තරුණ තරුණියන් මෙදා ඔබව නිදහස් කරගන්නට කියා සංවිධානය කළ පාගමනට පැමිණ සිටියේ නැහැ. ඒක මහා විහිළුවක් වෙලයි ඉවර වුණේ. නාගමුව සහෝදරයා නාගත්තා.

එදා ඔබත් සමග අරගල කළ නළු නිළියන් ගායක ගායිකාවන් යූටියුබ් ව්‍යාපාරිකයන් දැන් ඉතා සතුටින් ඔවුන්ගේ වෘත්තියේ නියැලී සිටිනවා. බොහෝ අය මේ දවස්වල පිටරට සංචාරවල යමින් ඉතා සතුටින් සිටින පින්තූර ෆේස්බුක් එකේ උජාරුවෙන් පෙන්වනවා. ඒවා ඔබට පෙනෙන්නේ නැහැ. ඔබ කුඩා සිරමැදිරියක තනිවම කල්ගත කරනවා.



එදා ඔබත් සමග අරගල කළ කොළඹ ධනේශ්වර ප්‍රභූන්ට නැවතත් ඔවුන්ගේ පැය විසිහතරම වායුසමනය කළ නිවාස ලැබිලා. හැම සති අන්තයේම තමන්ගේ සුඛෝපභෝගී වාහනවල නැගලා විනෝද චාරිකා යන්න පුළුවන් වෙලා. එදා ඔබට සහාය දැක්වූ චේම්බර් ඔෆ් කොමර්ස් එකේ ධනපතීන් අද ප්‍රකාශ නිකුත් කරනවා “මේ වෙලාවේ අරගල කරලා හැදීගෙන එන ආර්ථිකය වට්ටන්න එපා” කියලා. කොහොමද ඒක!



එදා ඔබ අරගලය කළේ “දුක් විඳින ජනතාව සංවිධානය කරනවා” කියලයි. මා ඔබ දෙස බලා සිටියා සහෝදරයා. ධනපති ප්‍රභූන් විසින් ඔබව දේශපාලන මෙවලමක් හැටියට භාවිතා වෙන හැටි මා නිරීක්ෂණය කළා. ඔබව කුළුගන්වා ඉදිරියට යවා අවසානයේ සිරගත කරන හැටි මට පෙනුණා. ඔබේ සැබෑ මිතුරෙකු නම් කවදාවත් “වසන්තට දරුණු කුෂ්ඨ රෝගයක් වැළඳී තිබෙනවා” යැයි ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. සැබෑ මිතුරෙකු නම් අඩුම ගානේ ඔබේ පුද්ගලිකත්වය රකින්න ඕනා.

සහෝදරයා නොදන්නවා ඇති මෑත කාලයේ ජනරජය සහ එහි පුරවැසි සමානාත්මතාවය ගැන කතා කරන්නට මා සෑහෙන්න උත්සාහ කළා. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තිබෙන අසමාන වරප්‍රසාද ගැන වරක් මා විවේචනය කළා. එක්තරා ක්‍රීඩකයෙකු බීමත්ව රිය පදවා මහමග ගමන් කරමින් සිටි දුප්පත් වැසියෙකු යටකර ඝාතනය කළ අවස්ථාවක ලක් සමාජය විසින් එම ක්‍රීඩකයා සාධාරණය කළා ඔබට මතකද? අනෙක් පුරවැසියන්ට නැති විශේෂ වරප්‍රසාදයක් ඔහුට දුන්නා. මා හිතන්නේ එය ජනරජයේ මූලික සංකල්පයට විරුද්ධයි. ඔබත් එහෙම හිතනවා ඇතැයි මා සිතනවා.

නමුත් මේ රටේ අතිමහත් තරුණ ප්‍රජාව එදා මට එරෙහිව අමු තිත්ත කුණුහරුපෙන් බැන වැදුණා. ජනරජය වැනි ගැඹුරු සංකල්ප ඔවුන්ට නොතේරෙන බව මා දන්නා නිසා මා ඔවුන්ට අනුකම්පා කරනවා. නමුත් ඔබ දන්නවද ලස්සනම වැඩේ! ඔබ නායකත්වය දුන් අරගලයට වැඩිපුරම සම්බන්ධ වුණෙත් අන්න ඒ තරුණයන්ම තමයි. ඒක හරිම උත්ප්‍රාසජනකයි නේද!



මා සිටින දේශපාලන කඳවුරේ ඇතැමුන් ඔබට අවමන් කළේ “වැද්දා” යනුවෙනි. ඔබේ ජාතික අනන්‍යතාවය මා නිශ්චිතව නොදනී. එය මට වැදගත් නැහැ. වැද්දන් යනු ලංකාවේ සමාන පුරවැසියන්. සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් ආදිවාසී වැදි ඇතුළු ඕනෑම අනන්‍යතාවයක පුරවැසියන්ට ඇත්තේ සමාන පරමාධිපත්‍යයකි. අපේ ශිෂ්ටාචාරය එළඹි විශිෂ්ටතම පොදු එකඟතාවය එයයි. එම යුක්තිය ඉෂ්ට කළේ මා නියෝජනය කරන දේශපාලන කඳවුරයි. මා ඉන්නා තැන මා සිටින්නේ එම සෛද්ධාන්තික පදනම මතයි. ඒ සමාජ ගිවිසුම හෙවත් “ව්‍යවස්ථාව” තමයි නිර්මාල් දේවසිරි "උල්ලංඝනය කළ හැකිය" කිව්වේ. ඔබ ඒකට කර ගැහුවා. නිර්මාල් එළියේ.



සහෝදරයා ඔබ සිටින්නේ මා සිටින තැන නොවෙයි. ඔබ සිටින්නේ ඔබේ දේශපාලන ප්‍රතිවාදියා ශාරීරිකව එළවා දමන අහෝසි කරන මර්දනය කරන ඝාතනය කරන තැනකයි. එය ජනරජය සහ එහි කාරක ක්‍රමය වන ප්‍රජාතන්ත්‍රයට පටහැණියි. ඔබේ දේශපාලනය වඩාත් සමාන වන්නේ ජර්මනියේ යුදෙව් සංහාරය කළ නාට්සිවාදයටයි. දැන් ඔබට ඔබේම බෙහෙතේ රස දැනෙමින් තිබෙනවා.

එක්තරා විදිහකට මා සිතුවා වැදි පරම්පරාවේ අයෙකු අරගලයේ නායකත්වය ගැනීම ඓතිහාසික විපාකයක ඵල දීමක්දෝ කියා. සැබැවින්ම වුණත් නැතත් කතාවේ එන පරිදි විජය රජු විසින් රාජ්‍යය බලය අල්ලා ගැනීමට කුවේණිය භාවිතා කර එළවා දැමූ කර්මයේ වාඩුව එම දෙපළගෙන් පැවත එනවා යැයි කියන වැදි පරම්පරාවේ තරුණයෙකු විසින් වසර 2,500 කට පසු ගැනීමක්දෝ මේ කියා මා සිතුවා. නමුත් මෙදා සිදු වුණෙත් එදා සිදු වුණ දෙයමයි නේද සහෝදරයා!

සහෝදරයා අපි අරගල කළ යුත්තේ ඉදිරියට මිසක් පසුපසට නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කළේ අරගලය ඉදිරියට කරන්නයි. මා සහ මා වැනි මිනිසුන් ඔහුට සහාය දුන්නේ එම සමාජ නව්‍යකරණයටයි. වසවිස නැති ආහාර රට තුළම හදන්න හැදුවේ ගෝලීය කෘෂි බූවල්ලාගෙන් ගැලවීමටයි. නමුත් ඔබ නොදැනුවත්ව කළේ නැවත පරණ සිස්ටම් එකම වඩාත් ශක්තිමත්ව ස්ථාපිත කිරීමයි. කළු ධනවාදයේ නරකම ව්‍යාපාරිකයන්ගේ අල්ලේ ඔබ නැටවුණා.

ස්වෛරී බැඳුම්කරවලට ණය නොගෙන අපේ ආර්ථිකය හදාගන්න තමයි අපි උත්සාහ කළේ. ඒක තමයි පෙරටුගාමී අරගලය. නමුත් ඔබ කළේ නැවතත් අපව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණින් වැට්ටවීමයි. නැවත හිතන්න තනිකමක් තිබෙන මේ මොහොතේ ඔබ විවෘතව කල්පනා කර බලන්න සැබවින්ම මොකද වුණේ කියා. පුද්ගලබද්ධ දේශපාලනයේ තිබෙන ගැටලුව ඕකයි සහෝදරයා. මතවාදීය සමානකම් අසමානකම් පෙන්නේ නැතුව යනවා.

xzdgre

ජනතා විමුක්ති පෙරමුණ අද සම්පූර්ණයෙන්ම ජාතික ජන බලවේගයට රූපාන්තරණය වෙලා ඉවරයි. විජේවීර සහෝදරයාව 1971 අත්අඩංගුවට අරගෙන යාපනේ සිරගත කරලා තියෙද්දී විපල්වය දියත් කළ ජවිපෙ ඔන්න අද නගරයක් නගරයක් ගානේ අරුමෝසම් රෝසපාට ඡන්ද රැස්වීම් තිය තියා ඉතාම සතුටින් ඔවුන්ගේ දේශපාලනය කරනවා. අනුර සහෝදරයා දැන් බය නැතුව ප්‍රසිද්ධියේ කියනවා ඔවුන් බලය ලබාගත්තම රාජ්‍ය සේවකයන් අඩු කරනවා වගේ කතා.

චතුරංග අබේසිංහ ඒ රැස්වීමෙන් පස්සේ ජිම් එකට ගිහිල්ලා, ගියා කියලා අපිට කියන්න සෙල්ෆි ගහලා ෆේස්බුක් දානවා. නිරූපලා ලස්සන හෝටල්වල මොඩල් පෝස් කරලා පින්තූර දානවා. බල්තසාර්ලා හැම පොකට් මීටීමකම සතුටින් හිනාවෙලා ඉන්න පොටෝ දානවා. කන්න නැතුව ඉන්නවයි කියූ මේක දැන් මගුල් සක්වලක් වෙලා සහෝදරයා! ඔබට මේ විච්චුර්ණ නොපෙනෙන එක හොඳයි. නැත්නම් හිතෙයි මේ ජනතාව වෙනුවෙන්ද මම සටන් කරලා හිරේ ඉන්නේ කියා.

පුබුදු ජාගොඩ සහෝදරයා අසාර්ථක වෙලා තිබෙනවා ඔබව ගලවා ගන්න. අන්තරේ ශිෂ්‍ය නායකයන් අන්න මාධ්‍ය ව්‍යාපාරිකයන්ට විව්ස් ගන්න වොයිස්කට් දෙනවා. තවමත් ඔබව භාවිතා වෙනවා, සහෝදරයා. සමහර විට ඔවුන් හිතනවා ඇති ඔබව හැකි තරම් කාලයක් සිරකර තැබීම ඔවුන්ට දේශපාලනිකව වාසියක්ය කියා. එනම් ඔබ විජේවීර නොවෙයි.



ලියන්නට බොහෝ දේ තිබුණත් දැනටමත් මේක දිග වැඩියි. දැන් තරුණයන්ට මේවා වැඩකට නැති හෑලි විතරයි. සිස්ටම් එක චේන්ජ් කරන්න අපි අවංක සහ ඍජු උත්සාහයක් ගත්තා. ආර්ථික අර්බුදය භාවිතා කරලා ඒක කරන්නත් අපිට තිබුණා. නමුත් ඔයා ඒක කෑවා මල්ලි. අරගලයේ ජයග්‍රහණය තමයි සිස්ටම් එක නැවත ස්ථාපිත කිරීම. ඔබව ගලවා ගැනීමට සුදුසු වන්නේ ඔබට ඔබව ගලවා ගත හැකි නම් පමණයි.




ධර්මය ඔබට මග වේවා!


Eranda ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 නොවැම්බර් 8

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...