The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හීනය හීලෑ කරගැනීම මිස වෙනත් උත්තර දැනට නැත - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

November 11, 2022 • 8:53 AM

හීනය හීලෑ කරගැනීම මිස වෙනත් උත්තර දැනට නැත - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අත්කර දීමේ හැකියාව ඇත්තේ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හෝ තවත් එවැනි නාමධාරී අයගෙන් කාටද?
  • එහි අදහස වන්නේ, පවතින තත්වයන් සැලකිල්ලට නොගෙන හුදෙක් ආශාවේ පමණක්ම එල්බ සිටීමෙන්, සිහිනයේ අවකාශය හැකිළෙන බවයි.
  • මෙතෙක් කල් මිනිස් සංහතිය පැමිණ ඇති ගමන වනාහී, පවතින තත්වයන් වෙනස් කරගැනීමේ ගමනකි.
  • එනම්, ‘පවතින තත්වයන්’ පිළිබඳ නිවැරදි තක්සේරුවක් ඇති කරගැනීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අත්කර දීමේ හැකියාව ඇත්තේ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හෝ තවත් එවැනි නාමධාරී අයගෙන් කාටද? එසේත් නැත්නම්, ඒ සියලු දේශපාලනඥයන්ගෙන් තොරව, අරගලයේ අස්වැන්නෙන් බිහි කරගන්නා ‘නිර්-පාක්ෂික’ සිවිල් එකමුතුවකටද? ඒ සියල්ලන්මත් නොවේ නම්, පාරිශුද්ධ මාක්ස්වාදීන් යැයි කියාගන්නා කණ්ඩායමකටද?


හිට්ලර් කෙනෙකු හරහා රට ගොඩගැනීමක් ගැන කලකට කලින් දේශනා කළ අස්ගිරියේ භික්ෂුවගේ අපේක්ෂාව තරම් මේ ප්‍රශ්න තුළින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂාව කුරිරු නැත, අනර්ථකාරී නැත. එහෙත් එසේ වූ පමණින් ඒ අපේක්ෂා යථාවාදී නොවේ.

 

අපේක්ෂාව යනු, සිහිනය සහ යථාර්ථයේ මිශ්‍රණයකි. සෑම ලොකු අපේක්ෂාවක් තුළම, සිහිනමය කොටසක් තිබේ. සිහිනමය යන්නෙන් මෙහිදී අදහස් කෙරෙන්නේ අපේක්ෂිත ආශාව ය. පවතින තත්වයන් සමග මේ ආශාව සමපාත වන තරමට, ආශාව සාක්ෂාත් කරගැනීමේ අවකාශය පුළුල් වෙයි. එහි අදහස වන්නේ, පවතින තත්වයන් සැලකිල්ලට නොගෙන හුදෙක් ආශාවේ පමණක්ම එල්බ සිටීමෙන්, සිහිනයේ අවකාශය හැකිළෙන බවයි. අනිත් අතට, පවතින තත්වයන් වෙනස් කරගැනීමේ හැකියාවත් අපට තිබේ. ඒ අතින් මනුෂ්‍යයා තරම් දක්ෂ වෙනත් ප්‍රාණියෙකු නැත. මෙතෙක් කල් මිනිස් සංහතිය පැමිණ ඇති ගමන වනාහී, පවතින තත්වයන් වෙනස් කරගැනීමේ ගමනකි.

 

එහෙත් ඒ ගමන සාර්ථක වීම සඳහා සපුරාගත යුතු අත්‍යාවශ්‍ය කොන්දේසියක් තිබේ. එනම්, ‘පවතින තත්වයන්’ පිළිබඳ නිවැරදි තක්සේරුවක් ඇති කරගැනීමයි. එසේ නොවුණොත්, එම තත්වයන් වෙනස් කරගැනීමේ හැකියාව අපෙන් වියැකෙයි. තවත් විදිහකින් කිවහොත්, අපේක්ෂාවේ සිහිනයට අමතරව, එම සිහිනය සාක්ෂාත් කරගැනීමේ මාර්ගය පවා හුදු සිහිනයක් බවට පෙරළීමට ඉඩ තිබේ. 

 

‘හීනය හීලෑ කරගැනීම’ යනුවෙන් මා අදහස් කරන්නේ, ඉහත කී දෙපැත්තෙන්ම අප ‘සංවර’ විය යුතු බවයි. මෙය උදාහරණයකින් පැහැදිලි කරගමු. ඉහත කී පුද්ගලයන්ගෙන් (හෝ මාක්ස්වාදය හෝ ජාතිකත්වය වැනි දෘෂ්ටිවාදවලින්) අපේ වර්තමාන පරිහානියට විසඳුම් බලාපොරොත්තු වීම එක සිහිනයකි. ඔවුන් කවුරුත්, ඒ ඒ අයට අනුව, අවංක පුද්ගලයන් විය හැකිය. සමගි ජන බලවේගයට සජිත් ප්‍රේමදාස අවංක පුද්ගලයෙකි. එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණට අනුර කුමාර දිසානායක අවංක පුද්ගලයෙකි. එසේම, ඒ ඒ අනුගාමිකයන්ට ඔවුන් තරම් උගත් සහ දක්ෂ වෙනත් කිසි කෙනෙකුද නැත. පුද්ගලයන් පිළිබඳව ඇති එකී තක්සේරු වුවද වැරදි විය හැකි ශක්‍යතාව ගැන මේ ලිපියේ සාකච්ඡා නොකෙරේ. ඒ වෙනුවට මෙහිදී සාකච්ඡා කෙරෙන්නේ එකී හැකියාවන් සහ ගුණාංග ඔවුන්ට සැබවින්ම ඇතැයි විශ්වාස කළත්, අප අපේක්ෂා කරන ආශාව/අපේක්ෂාව සංසිඳවීමට, පවතින තත්වයන් විසින් ඔවුන්ට ඉඩ දෙනු ලැබේද යන්න ගැනයි.


පවතින තත්වයන් යනු කුමක්ද?


ඒ නිසා, පවතින තත්වයන් අපි සැලකිල්ලට ගමු. මුලින්ම, ප්‍රජාතන්ත්‍රවාදය තිබේ. එනම්, ප්‍රාථමික තලයේදී ජනතාව විසින් තමන්ගේ පාලකයන් තෝරාගැනීමේ මොඩලයයි. ප්‍රභාකරන් ලවා උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනය කොට, 2005 දී රනිල් වික්‍රමසිංහ පරාජය කරමින් මහින්ද රාජපක්ෂ ජයගත් මැතිවරණය හැරුණු කොට ඉන්පසු මේ රටේ පාලකයන් පත්කරගත් කිසි මැතිවරණයක් විකෘති ඒවා වශයෙන් සැලකිය හැකි නොවේ. එනම්, සාපේක්ෂ වශයෙන් සැබෑ ජනතා අභිලාෂයන් ඒ මැතිවරණවලින් ප්‍රකාශයට පත් වූ බවයි. 2010 මැතිවරණයේ රාජපක්ෂ ජයග්‍රහණය අනිවාර්යයක් විය. යුද්ධය අවසන් කොට තිබූ තත්වය තුළ ඊට වෙනත් ප්‍රතිඵලයක් අපේක්ෂා කිරීමේ හැකියාවක්, අපේ සමාජ සංස්ථිතිය තුළ එදා නොතිබුණි. ජයග්‍රාහී දකුණ ‘රණවිරුවාට’ සලකනු ඇත. ඊළඟට, ඒ ජයග්‍රහණය අපයෝජනය කිරීම හේතුවෙන් 2015 දී රාජපක්ෂලා පරාජය කිරීමත් අනිවාර්ය කෙරුණි. එහෙත්, 2019 දී නැවත වරක් ඒ පවුලේම රාජපක්ෂ කෙනෙකු පත්කරගැනීම, එක සංසිද්ධියක් (පාස්කු) නිසා මිස, අනිවාර්යයක් විය යුතුව තිබුණේ නැත.


 109720976 gotha

ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන්නේ, ජාතික ආරක්ෂාව නමැති තනි සාධකය ඔස්සේ ය. ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණය, යුද්ධයක් අවසන් කොට තිබුණු රටක එතරම් පහසුවෙන් ඉස්මත්තට ආවේ ඇයි? ජාතික ‘ප්‍රශ්නය’ නොවිසඳී තිබුණු බැවිනි. ජාතික ප්‍රශ්නය යනු, ‘දෙමළා‘ සහ ‘මුසල්මානුවා’ පිළිබඳ අනියත බිය සිංහලයා තුළත්, සිංහලයා පිළිබඳ අනියත බිය අර දෙගොල්ලන් තුළත් නොනැසී පැවතීමයි. එය හංවඩුවකි. (පාස්කු ප්‍රහාරය වැනි) ප්‍රමාණවත් සිදුවීමක් තුළින්, ඕනෑම මොහොතක ඒ හංවඩුව ලංකාවේ මහජාතික රජා තේරීමේ සටනකදී තීරණාත්මක කරගත හැකිය.
 
 
දැන් මගේ තර්කය මෙයයි. ‘පවතින තත්වයන්’ තුළ ලංකාවේ මහා සාධකය වන මේ මහ(ජාතික) ජනතාවට පිටින් කිසිවක් කිරීමේ හැකියාවක් ඉහතින් කී කිසි නායකයෙකුට තිබිය නොහැක්කේය. ‘පිටින් කිසිවක් කිරීම’ යැයි කියන විට වරදවා තේරුම් නොගන්න: එහි අදහස වන්නේ මහජාතියට හානිකර දෙයක් කිරීම ගැන නොව, හානිකර යැයි එම මහජාතිය ‘සිතන’ දෙයක් කිරීම ගැන ය. වැදගත් සාධකය වන්නේ, මහජාතිය එසේ ‘සිතීම’ ය. (හෙවත් ඔවුන් ලවා එසේ සිතන්නට සැලැස්වීම ය). උදාහරණයක් වශයෙන්, එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත්, ලංකාව හරහා තනි කොරිඩෝවක් සැදී, එක පළාතක සිට තවත් පළාතකට යාමට වීසා ගැනීමටත් සිදුවෙතැයි ජනතාව සිතූහ. ලංකාවේ ඉඩම් ඇමරිකානුවන් විසින් අයිති කරගනු ඇතැයි ඔවුහූ සිතූහ. එසේ සිතන්නට පෙළඹුණු ජනතාව 2019 අවසානය වන විට, ජාතික ආරක්ෂාව පිළිබඳ සැබෑ ප්‍රශ්නයක් ඇතැයිද, ඒ ආරක්ෂාව සලසා දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂට යැයිද ‘සිතූහ’. තමන්ගේ ඒ සිතිවිල්ල වරදක් යැයි දැන් ඔවුහූ ‘සිතති’. ඊළඟ ඡන්දයේදී ඔවුන් හැසිරෙනු ඇත්තේ ඒ අනුව ය.
 
 
නායකයා යනු පෙර-ගමන්කරුවෙක්ද,
පසු-ගමන්කරුවෙක්ද?



ඉහත කී සියලු නායකයන් කටයුතු කළ යුත්තේ, මේ ජනතාවගේ අභිලාෂයන්ට අනුරූපව ය. එසේ නොකළොත් එම ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කරන බව නායකයෝ දනිති. ඉතිං ඔවුන් කරන්නේ, ජනතාව ඉල්ලා සිටින දේවල් ඉහටත් උඩින් ඔවුන්ට සපයා දීමයි. ලංකාවේ නායකයන් වූ කලී, ජනතාවට ඉදිරියෙන් ගමන් කරන්නන් නොව, ජනතාවගේ පස්සෙන් ගාටන, ජනතාවගේ අනුගාමිකයන් යැයි කිව හැකිය. ඒ අනුව, පාස්කු ප්‍රහාරය තුළින්, මුස්ලිම්-විරෝධී මහා රැල්ලක් හැදීමට ඔවුන්ට හැකි විය. ‘එක රටක්-එක නීතියක්’ සෙවීම සඳහා, ගලගොඩඅත්තේ ඥානසාර වැනි පුද්ගලයෙකු පත්කිරීම, දකුණු ආසියාවේ දීර්ඝතම ප්‍රජාතන්ත්‍රවාදී රටේ ජනතාවගේ හෘදසාක්ෂිය පෑරුවේ නැත. ඉතිං, මොන තරම් බලශක්ති අර්බුදයකට මුහුණදී සිටියත්, පන්සල්වලට නොමිලේ හෝ සහනදායි මිලට විදුලිය සැපයීමට ආණ්ඩුවට සිදුවෙයි. එසේ නොවුණොත්, එය බෞද්ධ-විරෝධී ක්‍රියාවක් වශයෙන් සැලකීමට ජනතාව පෙළගස්වනු ඇත. ගුරුවරියන් සාරිය පමණක් හැඳිය යුතු බව භික්ෂූන් වහන්සේලා සිතන්නේ නම්, වෙනත් කිසි ඇඳුමක් හැඳීම ගුරුවරියන්ට තහනම් කළ යුත්තේය. එසේ නොවුණොත්, එය අපේ සදාචාරය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් වශයෙන් සැලකෙනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ නම් මුලින්ම මල්වතු-අස්ගිරි පාර්ශ්වවලින් ඒවා අනුමත කරගත යුත්තේය. එසේ නොවන ඕනෑම අවස්ථාවක රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි අර ජනතාව ලවා පිළිගන්වනු ඇත. මෙතෙක් කීවේ, රටේ සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජාතිය සහ ආගම පැත්තෙන් නායකයන්ට මුහුණදෙන්ට සිදුවන සීමාවන් ය.
 
 
මේ කියන ජාතිය සහ ආගමට නොදෙවැනි තවත් මනෝභාවයක් අපේ සම්ප්‍රදායික වාමාංශය විසින් ඇති කරන ලදුව, නූතන වාමාංශිකයන් විසින් තවදුරටත් ප්‍රගුණ කොට පවත්වාගෙන යනු ලැබේ. එනම්, රාජ්‍යය යන්නයි. එක අතකින් රාජ්‍යය යනු මර්දනකාරී ආයතනයක් වශයෙන් සැලකේ. අනිත් පැත්තෙන් ඒ රාජ්‍යය ලොකු මහත් කොට තබාගත යුතු දෙයක් වශයෙන්ද සැලකේ. ඒ ඔස්සේ යමින් ජනතාව පුහුණු කොට ඇත්තේ, රාජ්‍ය-කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක් කෙරෙහි ය. ලංකාව මේ දක්වා කාර්මික දියුණුවක් අත්කර නොගැනීමේ ඉතිහාසය දෙස බලන විට, රාජ්‍යය විසින්ම රටේ කර්මාන්ත සංවර්ධනය සිදු කළ යුතු බවට එදා සිටම ගත් මතවාදය එහි හරි මැද්දේ ඇති බව පෙනෙනු ඇත. (මෙය, සෝවියට් සමාජවාදයෙන් අපට ලැබුණු උරුමයකි). කොටින්ම, ත්‍රිකුණාමලේ කැලේට ගිය තෙල් ටැංකියක් පවා, රජයට පිටස්තර ආයෝජන මාදිලියකින් සංවර්ධනය කිරීම සැලකෙනුයේ හෙන ගහන අපරාධයක් වශයෙනි. කෝටි ගණන් පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීම සැලකෙන්නේ ‘රාජ්‍ය සම්පත්’ තුට්ටු දෙකට විකිණීමක් වශයෙනි. (සම්පතක් යනු කුමක්ද ඇත්තටම?) දහසය ලක්ෂයක් (1,600,000) වන වර්තමාන රාජ්‍ය සේවය, ආර්ථිකයේ ප්‍රමාණයට කප්පාදු කිරීම හෙවත් ප්‍රති-ව්‍යුහගත කිරීම සැලකෙන්නේ නව-ලිබරල් කුමන්ත්‍රණයක් වශයෙනි. මහ බලවතුන්ටත් (බ්‍රිතාන්‍යය) නැති තරමේ විශාල නිත්‍ය හමුදාවක් නඩත්තු කිරීම සැලකෙන්නේ, ජාතික ආරක්ෂාව සඳහා නැතිවම බැරි දෙයක් වශයෙනි. කොටින්ම, ලංකාවේ ජාතිකවාදී සහ වාමවාදී යැයි කියාගන්නා ආකෘතිය, උතුරු කොරියානු මොඩලයට කිට්ටු එකක් මිස, ස්කැන්ඩිනේවියානු (නෝර්වේ, ස්වීඩන්, පින්ලන්ත, ඩෙන්මාර්ක ආදී) මොඩලයක ඡායාවක්වත් නොවේ. එනම්, ධනපති පුරවැසියන් බිහි කරගන්නවා වෙනුවට ධනපති රාජ්‍යයක් බිහි කරගැනීම පිළිබඳ ආශාවට අපි ලොල් කරමු.
 
 
මේ දක්වා අප සාකච්ඡා කළ ප්‍රධාන ධාරා දෙකක් තිබේ. එකක්, ජාතිය සහ ආගම විසින් ගොඩනඟා ඇති සමාජ සංස්ථිතියයි. දෙවැන්න, සමාජවාදය හෝ වාමාංශය යැයි පොදුවේ වහරන, නූතන ලෝකය සමග නොපෑහෙන, නටබුන් මතවාදයයි. මේ තුනම, එනම් ජාතිය, ආගම සහ සමාජවාදය යන තුනම, ලංකාවේ ව්‍යවහාරය තුළ, දූපත්වාදී ය.


ස්වෛරීත්වය නමැති ඉනාව

     
දැන් මේ සියල්ල අප ගත යුත්තේ, ‘පවතින තත්වය’ වශයෙනි. ඒ සියල්ල, ජාතියේ නාමයෙන්, ජාතිකත්වයේ නාමයෙන්, ආගමේ නාමයෙන්, දෙදහස් පන්සිය වසරක සංස්කෘතියේ සහ සදාචාරයේ නාමයන් සහ කම්කරු පංතියේ නාමයෙන් ආරක්ෂා කරගැනීමේ ඔප්පුවක් ‘ස්වෛරී භාවය’ නමැති සංකල්පය තුළින් පිළිගැන්වෙයි. ලංකාව ස්වෛරී රාජ්‍යයක් නිසා, අයි.එම්.එෆ්. (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට) යාම නොහොබිනා ක්‍රියාවක් බව, ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු වූද, මහබැංකු අධිපතිවරයා වූද ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ රාජපක්ෂ පවුලේ කෞටිල්‍ය වශයෙන් පෙනී සිටි අජිත් නිවාඩ් කබ්රාල්ද, රට හොම්බෙන් යන තෙක්ම කියා සිටියහ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, පොහොර පෝලිම් ආදිය රට පුරා වසංගතයක් සේ පැතිරී ගොස් ඉහතින් කී සමස්ත ජනතාවම කබලෙන් ලිපට වැටී විසිහතර පැයේ පිළිස්සෙන්ට පටන්ගත්තේ නැතිනම්, අදටත් අයි.එම්.එෆ්. යාමක් ගැන සිතන්නට වාසුදේව වැනි උතුරු කොරියානු මොඩලයේ වාමාංශිකයන් ඉඩ නොදෙනු ඇත.
 

ඒ නිසා, රට ගොඩගැනීමේ දිව ඔසුව තමන් අතේ ඇතැයි, ප්‍රශ්නය වලිගයෙන් අල්ලාගෙන යමෙකු කියන විට පරිස්සම් වන්න. තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේ යැයි කීම එවැනි එක් ප්‍රවාදයකි. දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් තමන් බිහි කරන්නේ යැයි කීම තවත් එවැනි ප්‍රවාදයකි. ඒ කාරණා සියල්ල රටක දියුණුවට අත්‍යාවශ්‍ය වෙතත්, වර්තමාන ලංකාව ගොඩ දැමීමේ ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ ඊට වඩා සංකීර්ණ සහ දුෂ්කර පරාසයක බව අද නැතත් හෙට හෝ අප වටහාගත යුතුය. 
 
 
මේ සියල්ල සාරාංශගත කළොත් මෙසේ ය: මුලින් කී නායකයන් කිසිවෙකුට (හෝ දෘෂ්ටිවාද කිසිවකට) මේ ප්‍රශ්නවලට උත්තර නැත. එසේ වී ඇත්තේ, ඔවුන්ගේ විශේෂ නොහැකියාවක් නිසා නොව, (ඉහතින් විග්‍රහ කළ) දැනට පවතින සමාජ දේහය තුළ එවැනි හාස්කමක් කිරීමට සමාජය ඔවුන්ට ඉඩ නොදෙන බැවිනි. ඒ නිසා ජනතාවක් වශයෙන් අපට කිරීමට දැනට ඉතිරි වන්නේ, අපේ සිහිනය කප්පාදු කරගැනීම පමණි. දියුණු සංවර්ධිත රටක් නොව, පෝලිම් නැති රටක්, විදුලිය නොකපන රටක්, ගොවියාට පොහොර සපයන රටක්, උද්ධමනය ටිකක් පාලනය කරගත හැකි රටක් තිබුණොත් හොඳටම ඇති කියා සැනසිය යුතුය. ඒ දේවල් පවා කරන්නේ කෙසේද, එසේ කිරීමට තව තවත් ලෝකයාට ණය විය යුතුයි නේද ආදී හොම්බෙන් යන ප්‍රශ්න ඇසීමෙන් එහිදී අප වැළකිය යුතුය. ඒවා, අපේ දරුමුනුපුරන් බලගන්නවා ඇතැයි දැනට හිත හදාගැනීම යෙහෙකි.
 
 
(ප.ලි: ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් නායකයන් උතුරු කොරියාව උත්කර්ෂයට නැංවීම ජුගුප්සාජනක ය. එහෙත් රාජ්‍ය සේවක සංඛ්‍යාව කප්පාදු කළ යුතු බව පසුගිය දා ප්‍රසිද්ධියේ කියා සිටීමට තරම් අනුර කුමාර දිසානායකට හයියක් තිබීම ප්‍රශංසනීය ය).



අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා' - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...