The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'පොත් කියවන හැන්දෑව' යළි කියවීම - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

November 13, 2022 • 7:20 AM

'පොත් කියවන හැන්දෑව' යළි කියවීම - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතින්නේ නම් ඒ අවස්ථාව යනු පාඨක ප්‍රජාවගේ ද ලේඛකයා හෝ ලේඛිකාවගේ ද යහපත පිණිස ම බලපානු ඇතැයි යන්න මගේ පුද්ගලික විශ්වාසය යි.
  • එය ද යට කී පරිදි පාඨක ප්‍රජාවගේ මෙන් ම ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ ද යහපත පිණිස ම බලපාන බව මගේ විශ්වාසය යි.
  • මෙම සංවාද මාලාවේ දෙවන පියවර පසුගිය 10වන දින පැවැත් වූයේ ප්‍රින්ස් සේනාධීර විසින් රචිත ‘‘කළු උස මනුස්සයෙක්’’ නමැති කෙටිකතා සංග්‍රහයපාදක කර ගනිමිනි.
  • සමස්තයක් වශයෙන් ගත් විට මේ තිදෙනා ම ‘‘කළු උස මනුස්සයෙක්’’ මැදහත් ලෙස කියවා, විඳ ඇති බව ඔවුන්ගේ අදහස්වලින් පිළිබිඹු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

පවතින්නේ නම් ඒ අවස්ථාව යනු පාඨක ප්‍රජාවගේ ද ලේඛකයා හෝ ලේඛිකාවගේ ද යහපත පිණිස ම බලපානු ඇතැයි යන්න මගේ පුද්ගලික විශ්වාසය යි. එමෙන් ම අදාළ කෘතිය එක් එක් පාඨකයකු හෝ පාඨකාවක කියවාගත් හෝ රසවිඳි ආකාරයේ පවත්නා වෙනස පිළිබඳව ද මෙබඳු අවස්ථාවල දී කියවාගත හැකි ය. එය ද යට කී පරිදි පාඨක ප්‍රජාවගේ මෙන් ම ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ ද යහපත පිණිස ම බලපාන බව මගේ විශ්වාසය යි.


දැනට මසකට පමණ ඉහත ආරම්භ කළ ‘‘පොත් කියවන හැන්දෑව’’ නමැති සංවාදශිලී වැඩ සටහන ද එබන්දකි. මෙය සංවිධානය කරනු ලබන්නේ ‘‘පොත් කියවන හැන්දෑව සහෘද සංසදය’’ විසිනි. එහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ සෝමසිරි ඒකනායක සහ කෝසල ද සිල්වා යන දෙපළ ය.

 

310516921 2287512128089483 409650231158403620 n

 


රට මෙතරම් ආර්ථික අගාධයක වැටී තිබිය දී, එක් වාහනයක් සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය සීමා කර තිබිය දී, බස් ගාස්තු මෙන් ම කුලි රථ ගාස්තු දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් තිබිය දී වුව පොතක් පිළිබඳ සංවාද මාලාවක් සංවිධානය කිරීම මෙන් ම එම සංවාදය සඳහා පාඨක ප්‍රජාව සම්බන්ධ කරගැනීම පිළිබඳව ‘‘පොත් කියවන හැන්දෑව සහෘද සංසදය’’ වෙත ස්තුති වන්ත විය යුතු ය. එමෙන් ම යටකී සමාජ, ආර්ථික වාතවරණය තුළ වුව මෙබඳු වැඩසටහනකට සහභාගි වන පාඨක ප්‍රජාව වෙත ද ස්තුති වන්ත විය යුතු ය. මන් ද මෙවන් අවස්ථාවක් යනු අකලට වට වැස්සක් බඳු ය.


185109550 1928171637329805 8308349181805884226 nමෙම සංවාද මාලාවේ දෙවන පියවර පසුගිය 10වන දින පැවැත් වූයේ ප්‍රින්ස් සේනාධීර විසින් රචිත ‘‘කළු උස මනුස්සයෙක්’’ නමැති කෙටිකතා සංග්‍රහයපාදක කර ගනිමිනි. එහි ආරාධිත සම්පත් දායකයන් ලෙස සහභාගි වූයේ: කාව්‍ය, කෙටිකතා සහ නවකතා රචකයෙකු මෙන් ම පරිවර්තකයෙක ලෙස පාඨක ප්‍රජාව අතර ප්‍රසිද්ධ සම්මානලාභී ලේඛකයෙකු වන කමල් පෙරේරා, සම්මානලාභී කෙටිකතා රචකයෙකු වන ප්‍රභාත් ජයසිංහ සහ ද්විභාෂා මාධ්‍යයෙන් ම සාහිත්‍යකරණයේ නියැළෙන ලේඛිකාවක වන කාන්චනා ප්‍රියකාන්ත යන තිදෙනා ය.


සමස්තයක් වශයෙන් ගත් විට මේ තිදෙනා ම ‘‘කළු උස මනුස්සයෙක්’’ මැදහත් ලෙස කියවා, විඳ ඇති බව ඔවුන්ගේ අදහස්වලින් පිළිබිඹු විය. ඒ අතර වුව ද ප්‍රභාත් ජයසිංහ සහ කමල් පෙරේරා යන දෙපළ ඔවුනොවුන්ට මතු වු ගැටලු කිහිපයක් ඉදිරිපත් කළේ ය. එහි කිසිදු වැරැද්දක් නොදකින අතර ඔවුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන්  මට කිසියම් පැහැදිලි කරගැනීමේ අවශ්‍යතාවක් පවතී. මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ ඒ වෙනුවෙනි.


‘සංවාද මණ්ඩපයේ දී පැන නැගුණ ගැටලුවක් වේ නම් ඒ මොහොතේ දී ඉදිරිපත් කළයුතුව තිබුණා නේ ද...?’ යනුවෙන් දැන් කිසිවකු විමසිය හැකි ය. එය ද එසේ නොවිය යුතු යැයි මම නොපවසමි. නමුදු මට වඩාත් අවැසි වන්නේ මෙවන් කථිකා අදාළ සංවාද මණ්ඩපයට පමණක් සීමා නොකර බහු පාඨක ප්‍රජාව අතරට රැගෙන යාම ය. මෙම අදහස් මෙසේ ප්‍රකාශ කරන්නට යෙදුණේ එබැවිනි.


චරිත ත්‍රිමාන විය යුතු ම ද...?


ප්‍රභාත් ජයසිංහ පළමුවෙන් ම ඉල්ලා සිටියේ චරිත පිළිබඳ සහනුකම්පිත බැල්මක් හෙළන ලෙස මෙන් ම ඒ ඒ චරිත ත්‍රිමාන ස්වරූපය වඩාත් මතුවෙන ආකාරයට ඉදිරිපත් කරන ලෙස ය. ඔහු ඒ සඳහා උදාහරණයක් ලෙස ගෙන හැර දැක්වූයේ ‘කළු උස මනුස්සයෙක් 02’ නිර්මාණයේ එන නිලධාරියා ය. එම චරිතය ඒකපාර්ශ්වීය කළු චරිතයක් ලෙස ගොඩනැංවීම ප්‍රභාත් ජයසිංහ ප්‍රශ්න කළේ ය.

 

මගේ පුද්ගලික අදහස නම් රචකයෙකු හෝ රචකාවක සිය නිර්මාණය තුළින් ඉදිරිපත් කරන චරිත කළු ද සුදු ද හෝ අළු ද යන්න තීරණය කළ යුත්තේ පාඨක ප්‍රජාව යන්න ය. අනෙක් පසින් ගත් විට අදාළ රචකයා හෝ රචකාව කිසියම් චරිතයක් ඉදිරිපත් කරන්නේ නිර්මාණයට අදාළ පසුබිම තුළ ය. තවත් සරලව පවසන්නේ නම් අදාළ චරිතය ඒ ඒ අවස්ථාවල නිර්මාණය තුළ පෙනී සිටින සහ ඔහු විසින් කරනු ලබන කාර්යයට සාපේක්ෂව ය. එහි දී ඇතැම් විට ඉතාම සුදු චරිතයක් වුව නිර්මාණයට අදාළ පසුබිම තුළ ඔහු හෝ ඇය කළ චරිතයක් විය හැකි ය. එසේත් නැතිනම් සුදු හෝ අළු චරිතයක් විය හැකි ය. අදාළ චරිතය ගොඩනැගෙන්නේ නිර්මාණකරුවාගේ හෝ නිර්මාණකාරියගේ පරිකල්පන ලෝකය තුළ ය. ඔහු අදාළ චරිතය ඉදිරිපත් කරන්නේ අදාළ අවස්ථාවේ අදාළ චරිතය හැසිරෙන ආකාරය පදනම් කරගනිමිනි. එහි දී අදාළ චරිතය ත්‍රිමාණ හෝ ද්විමාන වන්නේ ඔහු හෝ ඇය තවකෙක් සමග කරන ගනුදෙනුවක දී ය.

 

නමුදු මෙම නිර්මාණයේ දී රචකයා ඉදිරිපත් කරන්නේ නිලධරියා අනෙකා සමග සම්මුඛ වන ආකාරය යි. එහි දී නිලධාරියා තුළින් මතුවන්නේ කළු චරිතයක් විය හැකි ය. ඔහු තුළ සිටින අනෙක් චරිත පිළිබිඹු කරන්නට නම් කතුවරයා වෙනත් මානයකින් මිශ්‍රණය වන වෙනත් චරිතයක් හෝ සිදුවීමක් ඉදිරිපත් කළ යුතු ය. නමුදු කතුවරයාගේ අභිප්‍රාය වන්නේ නිලධාරියාගේ එක් අභිප්‍රයක් පමණක් පාඨකයා හමුවට ගෙන ඒම ය.


‘‘අනෙක් සපත්තුව’’ නිර්මාණයේ සිටින නිලධාරියා පිළිබඳව ද ප්‍රභාත් ජයසිංහ මෙවැනි ම අදහසක් ඉදිරිපත් කළේ ය. එම චරිතය ඉදිරිපත් කිරීමේ දී වුව ද කතුවරයා කටයුතු කර තිබෙන්නේ යට කී ආකාරයට ම ය. එහි දී මෙම චරිත ද්වය තුළ සිටින අනෙක් චරිත පාඨකයාට වුව ද අවැසි නොවන්නේ ය යන්න මගේ හැඟීම ය.


image e1aba436e3ප්‍රභාත් ජයසිංහ තම මතය තහවුරු කරගැනීම පිණිස ඉදිරිපත් කළේ ‘‘ලියුම් මාත්‍රාව’’ නිර්මාණයේ එන නිමල්සිරිගේ චරිතය යි. ඔහුගේ චරිතයේ එක් මානයක් නොව මාන කිහිපයක් ඉදිරිපත් කිරීම සහ අනෙක් නිර්මාණ ද්වයේ නිලධාරී දෙපළගේ චරිත ඒකමානීයව ඉදිරිපත් කිරීම එකිනෙකට සංසන්දනය කිරීම සාධාරණ නොවේ ය යන්න මගේ හැඟීම ය. මන්ද නිමල්සිරි තුළ සිටින අනෙක් චරිත පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට අවැසි වටපිටාව නිර්මාණානුභූතිය විසින් ම සම්පාදනය කර දෙනු ලැබ තිබේ. එහි දී නිමල්සිරි තුළ සිටින අනෙකා ඉදිරිපත් කළ යුතු ය. එය එසේ නොවුණා නම් නිමල්සිරිගේ චරිතය නොව ඔහු වටා ගොනුවි සිටින අනෙක් චරිත ඔහුට සහ ඔහු අනෙක් චරිත වෙත බලපා ඇත්තේ කෙසේ ද යන්න වටහාගැනීම අපහසු වනු ඇතැයි යන්න මගේ හැඟීම ය.


චරිත අනන්‍යතාව හෙළි කළ යුත්තේ ඇයි...?


kamalමෙම සාකච්ඡාවේ දී මතු වූ තවත් ප්‍රබල කරුණක් වූයේ (මෙය කමල් පෙරේරා විසින් ද මතු කරන ලදී) ‘‘කළු උස මනුස්සයෙක්’’ නිර්මාණයේ එන හඳුනාගත නොහැකි මළ සිරුරේ අනන්‍යතාව ‘‘කළු උස මනුස්සයෙක් 02’’ නිර්මාණය තුළින් පිළිබිඹු කිරීම නුසුදුසු ය යන්න ය.


මගේ කියවීමට අනුව නම් එය ද චිරන්තන කෙටි කතාවේ මෙතෙක් පැවති ශිල්පීය උපක්‍රම නව්‍ය මානයක් කරා රැගෙන යාමකි. මා මෙතෙතක් කියවා ඇති කිසිදු කෙටිකතා සංග්‍රහයක මෙවැනි ශිල්පීය උපක්‍රමයක් භාවිත කර නොතිබිණ. (කිසිවකු විසින් මීට පෙර එම තාක්ෂණික උපක්‍රමය භාවිත කර තිබුණේ නම් මෙම ලිපිය කියවන පාඨකයෙකුට හෝ පාඨකාවකට එබඳු නිර්මාණයක් සම්මුඛ වී තිබේ නම් ඒ සම්බන්ධයෙන් මා සහ අනෙකුත් පාඨක ප්‍රජාව දැනුවත් කළ හැකි ය). කතුවරයා මෙහි දී ඉදිරිපත් කරන්නේ වෙනස් ම ශිල්පීය උපක්‍රමයකි.  මවිසින් රචිත සිවුවන ප්‍රබන්ධය වන ‘‘මතඟනා’’ කෘතියේ ද භාවිත කළේ මීට සමගාමි උපක්‍රමයකි. එනම් පළමු කොටසෙන් පාඨකයා වෙත කිසියම් සිද්ධි සමූහයක් ඉදිරිපත් කර දෙවන කොටසෙන් අදාළ සිද්ධි සිදුවුවා ද, එසේත් නොමැති නම් කිසිවකු විසින් සිදු කරනු ලැබුවා ද යන්න හෙළිදරව් කිරීම ය.


ප්‍රින්ස් සේනාධිර ද අදාළ නිර්මාණ ද්වය තුළින් සිදු කර ඇත්තේ එම ක්‍රියාවලිය ම  ය යන්න මට හැඟේ. එහි දී පළමු නිර්මාණයේ දී අනන්‍යතාව හෙළි නොවූ චරිතයෙහි අනන්‍යතාව දෙවන නිර්මාණයෙන් හෙළිවූවා ය යන පටු ආකල්පයේ නොසිට එහි නොපෙනෙන ඉම හෙවත් යටි පෙළ කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් වඩාත් වටින්නේ ය.


කතුවරයා ද නොදන්නා යටි පෙළක්...?

 

හඳගම: විශ්‍රාමික කැඩපත - බූපති නලින් වික්‍රමගේ

‘‘ඇගේ ඇස අග’’


කමල් පෙරේරාගේ අදහස් දැක්වීමේ දී ඔහු ප්‍රශ්න කළේ  ‘‘CC TV’’ නිර්මාණයේ අවසානය සම්බන්ධයෙනි. ඔහුට අනුව මෙහි අවසානය අධිවේගී ස්වරූපයක් උසුලන්නේ ය. මෙහි දS මට ක්ෂනිකව ම සිහියට නැගුණේ අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘ඇගේ ඇස අග’’ සිනමා නිර්මාණයේ අවසානය යි. ඇතැම් ප්‍රෙක්ෂක පිරිස් එහි අවසානයට රුචිකත්වයක් නොදැක්වී ය. නමුදු මගේ පුද්ගලික කියවීමට අනුව නම් සමස්ත නිර්මාණයේ ම අරටුව පිහිටා තිබුණේ එම අවසන් දර්ශන කිහිපයේ ය. එමෙන් ම කමල් පෙරේරා අදහස් කළ පරිදි එම නිර්මාණයේ අවසානය වෙනස් ආකාරයකට වුව ද ඉදිරිපත් කිරීමට ඉඩ-කඩ තිබිණ. නමුදු සමස්ත නිර්මාණයේ ම අරටුව එහි අවසානය යන්න මගේ කියවීම ය.


මගේ කියවීමට සමපාත අදහසක් සභාවෙන් ඉදිරිපත් කෙරිණ. ඒ ප්‍රිදර්ශන දයාරත්න වෙතිනි. නමුදු බොහෝ වේලාවක් කමල් පෙරේරා සිය මතයේ ම එල්බගෙන සිටියේ ය. එහෙත් අවසන ඔහුගේ පිළිතුර වුයේ ‘එක් එක් පුද්ගලයාට එක් එක් ආකාරයෙන් අදාළ නිර්මාණය විඳිය හැකි ය’ යන්න ය. නමුදු අප උකහාගත යුත්තේ ඒ සරල අරුත නොවේ. ප්‍රිදර්ශන දයාරත්න ප්‍රකාශ කළ ආකාරයේ සමාජමය අර්බුදය යි. කතාවේ අවසානය එසේ නොවුණේ නම් බොහෝ විට පවතින සමාජ ආර්ථික අර්බුදය මේ ආකාරයෙන් පිළිබිඹු නොවන්නට ද ඉඩ-කඩ පැවතිණ. ඇතැම් විට රචකයා වුව ද මෙම නිර්මාණයේ අවසානයේ මෙබඳු සමාජ, ආර්ථික ව්‍යසනයක් සම්බන්ධයෙන් අදහසක් මතුවේ ය යන්න අදහස් නොකරන්නට ඇත. එහෙත් එම නිර්මාණය අවසන පැවසෙන්නේ ක්‍රමය විසින් ම නිර්මාණය කරන ලද ඇතැම් ක්‍රමවේද ක්‍රමය විසින් ම කිසියම් මොහොතක සුනු විසුනු කර දමන ආකාරය යි. එමෙන් ම ක්‍රමය පවත්වාගෙන යාම සදහා ආධාර උපකාර කරන පිරිස් ද ක්‍රමය විසින් ම ග්‍රහණය කරගන්නා බවයි.


නිර්මාණයක් රස විඳීමේ දී මෙන් ම කියැවීමේ දී එහි මතුපිටින් දක්නට ලැබෙන දර්ශන පමණක් කියැවීමෙන් එහි යටි පෙළ අරුත්ගන්වා ගැනීම ඉතා අසිරු කාර්යයක් බව කමල් පෙරේරා අදාළ නිරමාණයේ අවසානය කියවු ආකාරයෙන් අපිට පැහැදිලි කරගත හැකි ය. සංවාදයේ අවසන අදාළ නිර්මාණයේ අවසානය සම්බන්ධයෙන්  ඔහු කළ ප්‍රකාශය ඊට කදිම නිදසුනකි.


ඇය පුහුණු කියවන්නියක බව ප්‍රත්‍යක්ෂ කළා ය...


kanchanaකාන්චනා ප්‍රියකාන්තප්‍රභාත් ජයසිංහ මෙන් ම කමල් පෙරේරා ද මෙම ක්ෂේත්‍ර යේ අත්දැකීම් බහුල, පුළුල් පරිචයක් සහිත ලේඛක දෙපළකි. ඔවුන්ගේ කියැවීමේ පරාසය පුළුවල් බව ද සැබෑ ය. නමුදු ක්ෂේත්‍රයේ එතරම් අත්දැකීම් රහිත, නව පරපුරේ ලේඛිකාවක වන කාන්චනා ප්‍රියකාන්ත ‘‘කළු උස මනුස්සයෙක්’’ කෙටිකතා සංග්‍රහය කියවාගෙන තිබු ආකාරය ද පැසසුමට ලක් කළ යුතු ය.


ප්‍රියදර්ශන දයාරත්න පැවසූ පරිදි ම කිසියම් සාහිත්‍ය කලා නිර්මාණයක් ‘‘තිරස් අතට’’ කියවිම වෙසෙස් කාර්යයකි. එකී වෙසෙස් කාර්ය කාන්චනා ප්‍රියකාන්ත ඉතා මැනවින් සිදු කර තිබුණා ය. ඇතැම් විට ඇය මෙම නිර්මාණය කිහිප වාරයක් ම කියවන්නට ඇත. එසේ නොවන්නට සමස්ත කෙටිකතා සංග්‍රහයේ ම පෙනී සිටින එකිනෙකට සමාන චරිත පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගත නොහැකි ය. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘‘කෘතිය කියවා’’ තිබුණා ය.


‘‘පොත් කියවන හැන්දැව’’ දෙවන වැඩසටහනේ සම්පූර්ණ විඩියෝව මුහුණ පොත වෙත මුදා හැර තිබෙනු දක්නට ලැබිණ. අදාළ විඩියෝව නරඹා, කාන්චනා ප්‍රියකාන්ත දක්වන අදහස් පිළිබඳව එක් වරක් දෙවරක් නොව කිහිප වරක් ම අවධානය යොමු කරන්නැයි මුහුණු පොත පරිහරණය කරන පාඨක ප්‍රජාව වෙත මම ආරාධනා කරමි. මන්ද සාහිත්‍ය නිර්මාණයක් කියවීම යන්න කෙතරම් සූක්ෂ්ම ආකාරයෙන් සිදු කළ යුතු ද යන්න කාංචනා ප්‍රියකාන්ත මැනවින් පිළිබිඹු කර ඇත.

 



ලියන පුද්ගලයා පාඨක අඩවිය ආක්‍රමණය කරන්නේ ඇයි...?


මෙහි දී සභාවේ සිටි සෝමසිරි ඒකනායක ඔහුගේ අදහස් මතුකර අවසන් කරමින් ‘‘පාඨකයාගේ අඩවිය ආක්‍රමණය කිරීමෙන් වළකින්න’’ යැයි කතුවරයාට යෝජනා කළේ ය.


මගේ අදහස නම් කිසියම් නිර්මාණයක් කරන පුද්ගලයා කළ යුත්තේ ම: පාඨක ප්‍රජාවගේ, රසික ප්‍රජාවගේ හෝ ප්‍රෙක්ෂක ප්‍රජාවගේ අඩවිය ආක්‍රමණය කිරීම ම ය. මන්ද කතුවරයාට පාඨකයාගේ අඩවිය ආක්‍රමණය කරන්නට ඉඩ නොදිය යුත්තේ පාඨකයා ම ය. නමුදු එය කළ හැකිවන්නේ පුහුණු පාඨක ප්‍රජාවකට පමණි. එසේ නොවන විට පාඨක ප්‍රජාවගේ අඩවියට පැමිණ එහි සිට විවිධාකාරයේ රැඟුම් රඟන්නට නිර්මාණකරුවා හෝ නිර්මාණකාරියට ඉඩ සැලසෙන්නේ ය. ඉදින් එයින් මිදීමට නම් පාඨක ප්‍රජාව නිරන්තරයෙන් ම ලේඛකයා හෝ ලේඛිකාවට ඉදිරියෙන් සිටිය යුතු ය. ‘‘මට නං ඒ පොතේ (හෝ වෙනත් නිර්මාණයක) තියෙන මෙලෝ දෙයක් තේරුණේ නැහැ’’ යැයි මැසිවිලි නගන්නේ නුපුහුණු: පාඨක, ප්‍රේක්ෂක හෝ රසික ප්‍රජාව ය. එය නිර්මාණකරණයේ යෙදෙන ප්‍රජාවගේ වරදක් නොව අදාළ නිර්මාණය කියවන, නරඹන, ශ්‍රවණය කරන ප්‍රජාවගේ දුර්වලතාවකි. එය වළකා ලිය හැකි වන්නේ වඩ වඩාත් සාහිතය කලා නිර්මාණ පරිශිලනය කිරීමෙන් ම පමණි.


ආලින්දයෙන් ඔබ්බට 16 : 'Inter නැසනල් 02' - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2022/11/13


''කළු උස මනුස්සයෙක්'' ඇසුරු කළ පසු...

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...