The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)

T

The Leader Desk

November 17, 2022 • 7:55 AM

අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''පැය කීපයකින් නෙවෙයි රජතුමනි, තව සති කීපයකින්වත් කාලගුණයේ වෙනසක් වෙන්නෙ නෑ.'' ඇමැති පැවසුවේය.
  • තව පැයකින් විශාල සුළි කුණාටුවක් එක්ක මහා වර්ෂාවක් ඇතිවෙනවා.
  • ඒ නිසා පුළුවන් ඉක්මනට ආපහු මාලිගාවට යහපත් වෙන්න.'' කාලගුණ විද්‍යාව පිළිබඳව මනා දැනුමක් ඇත්තකු ලෙස සැලකෙන, කාලගුණ ඇමැති කියූ දෙය විශ්වාස කළ රජතුමා ඒ නූගත් ගැමියාගේ කීම නොතකා ඉදිරියට ගමන් කරන්නට විය.
  • ඒත් මගේ බූරුවා කන් දෙක උස් පහත් කරන විදිහෙන් මම දැනගන්නවා, ඉදිරියෙදි වහිනවද නැද්ද කියන එක.'' ඉන් සතුටට පත් රජතුමා ගැමියාගේ බූරුවා තම කාලගුණ ඇමැතියා ලෙස පත් කර ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):

තත්ත්වය කෙසේදැයි විමසීය.


''පැය කීපයකින් නෙවෙයි රජතුමනි, තව සති කීපයකින්වත් කාලගුණයේ වෙනසක් වෙන්නෙ නෑ.'' ඇමැති පැවසුවේය.


ඒ කෙරෙහි විශ්වාසය තැබූ රජු, තම පරිවාර ජනයා ද කැටුව මසුන් ඇල්ලීම සඳහා ජලාශයක් වෙත යාමට පිටත් විය.


අතරමගදී රජුට බූරුවකු පිට නැගී ඉක්මනින් ගමන් කරමින් සිටි ගැමියකු මුණගැසුණි. රජතුමා දුටු ගැමියා වහා බූරුවාගෙන් බැස රජුට හිස නමා ආධාර කොට මෙසේ කීය.


''රජතුමනි, ඔබතුමා මේ කොහෙද යන්නෙ. තව පැයකින් විශාල සුළි කුණාටුවක් එක්ක මහා වර්ෂාවක් ඇතිවෙනවා. ඒ නිසා පුළුවන් ඉක්මනට ආපහු මාලිගාවට යහපත් වෙන්න.''


කාලගුණ විද්‍යාව පිළිබඳව මනා දැනුමක් ඇත්තකු ලෙස සැලකෙන, කාලගුණ ඇමැති කියූ දෙය විශ්වාස කළ රජතුමා ඒ නූගත් ගැමියාගේ කීම නොතකා ඉදිරියට ගමන් කරන්නට විය.


හරියටම පැයකින් මහා වර්ෂාවක් පතිත වන්නට විය.


පසු දින උදෑසනම රජතුමා අර ගැමියා තම මාලිගයට ගෙන්වීය.


''මම අද සිට නුඹව මගේ කාලගුණ අමාත්‍ය ධුරයට පත් කරනවා. ඊට පෙර මම කැමතියි කාලගුණය ගැන නිවැරදි අනාවැකි කියන්න නුඹ උගත්තේ කාගෙන්ද කියා දැනගන්න.''


එවිට අහිංසක සිනාවක් පෑ ගැමියා මෙසේ කීය.


''අනේ රජතුමනි, මම දන්න කාලගුණයක් නෑ. ඒත් මගේ බූරුවා කන් දෙක උස් පහත් කරන විදිහෙන් මම දැනගන්නවා, ඉදිරියෙදි වහිනවද නැද්ද කියන එක.''


ඉන් සතුටට පත් රජතුමා ගැමියාගේ බූරුවා තම කාලගුණ ඇමැතියා ලෙස පත් කර ගත්තේය.


රටේ උසස් තනතුරු සඳහා බූරුවන් පත් කිරීමේ සම්ප්‍රදාය ඇරැඹුණේ එතැන් සිට යැයි ජනප්‍රවාද වූ විශ්වාසයක් ඇත.


සිරි ලංකාව කුඩා දිවයිනක් වුවද, සැමවිටම තම අනන්‍යතාව ආරක්ෂා කරගත් රටකි. එහෙයින් ලෝකයේ වෙනත් රටවල පැවති ඉහත කී බූරු සම්ප්‍රදාය ඒ ආකාරයෙන්ම භාවිත කළේ නැත. ඒ අනුව රජයේ උසස් තනතුරු සඳහා බූරුවන් පමණක් නොව, වෙනත් සතුන් ද පත් කර ගත්තේය.


වර්තමානයේ පවා රටේ විවිධ ආයතනවල බූරුවන් මෙන්ම ගොනුන්, මී හරකුන්, නරියන්, කපුටන්, ඌරන් හා කුකුළන් ද දක්නට ලැබෙන්නේ එහෙයිනි.

 

දේශපාලනිකව ගත් කලද මෙය ඉතා විශිෂ්ට, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් බව පැහැදිලිය. වෙනත් රටවල මෙන් නොව, ඕනෑම ''බූරුවකුට, ගොනකුට'' මහ මැතිවරණයකට පවා ඉදිරිපත් විය හැකි යැයි සිරිලක්වාසීනට උදම් ඇනිය හැකිය. තවත් කෙනකුට එය ගොන් බූරු නිදහසක් ලෙස ද පෙනී යා හැකිය.


මෙරට පුරවැසියනට ලබා දී ඇති නිදහස භුක්ති විඳින ආකාරය ද ලෝකයට පූර්වාදර්ශ සපයයි.

♦ විනයක් නැති එකකුට පවා ක්‍රිකට් ක්‍රීඩා කළ හැක්කේ (සමහර විට ජාතික මට්ටමෙන්) මෙහිදීය.

♦ එහෙටත් නැති. මෙහෙටත් නැති නොහොත් දෙබිඩි පුරවැසියනට පාර්ලිමේන්තුවට පවා යා හැක්කේ මෙහිදීය.

♦ ඕනෑම කපටි නරියකුගේ හෝ නරි දෙනකගේ කපටි බස්වලට රැවටී, තමන්ගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් උන්ගේ ගිණුම්වලට ලබා දී අහිමි කර ගන්නා මුග්ධයන් සිටින්නේ මෙහිය.

♦ බලය හෝ වරප්‍රසාද වෙනුවෙන් පක්ෂ මාරු කිරීම (ජනප්‍රිය ප්‍රතිපත්තියක්) ලෙස සැලකෙන්නේ මෙහිදීය.

♦ රෑ වැටුණු වළේ දවල් වැටෙන සහ දැන දැනත් ඉල්ලාගෙන කන අපතයන් සිටින්නේ මේ රටේය.

♦ ජනතාවගේ මුදල් සොරාගෙන රටම බංකොළොත් කළ පට්ට හොරු බව දැනගෙනත්, තව තවත් උන්ගේ පසුපස යමින්, පශ්චාත් භාග සිඹිමින්, දෙපා මුල වැටෙමින්, වඳිමින් මල් මාලා පළඳන ගොබ්බසේනලා වසන්නේ මේ රටේය.

 


''ගොනා වණ ගින්නේ - කපුටා මස් ගින්නේ'' යැයි පිරුළක් ඇත. ගොනා වණයේ වේදනාවෙන් දුක් විඳී. ඒ අතර කපුටා තැත් කරන්නේ ගොනාගේ වණයට (තුවාලයට) කොටා මස් කඩා කෑමටය. පසුගිය කාලයේ රටේ හැම තැනින්ම (කපුටු කාක්) හඬ නැගුණේ එවැනි කපුටන් නිසාය.

 

මිනිසුන් කරන කියන මෝඩ, අමන වැඩවලට කොහේවත් සිටින ගොනුන්, බූරුවන්ගේ නම් ඈඳෙන්නේ කවර කලක සිට දැයි නිශ්චිතව කිව නොහැකිය. එහෙත් එයට මුල් වූයේ ඉහත කී රජතුමා වැනි උදවියගේ මෝඩ, තකතීරු, බූරු වැඩ සහ තීන්දු තීරණ විය හැකිය.


පරිණාමවාදීන්ගේ සංගමයේ විද්‍යාඥයෙක් මෑතකදී කළ පර්යේෂණයක අවසාන නිගමනය වූයේ මිනිසා පැවත එන්නේ වඳුරාගෙන් නොව බූරුවාගෙන් බවය. තම මතය සනාථ කරනු පිණිස ඔහු දැක්වූ මනුෂ්‍ය වර්ගයන් අතර, සිරි ලාංකිකයා ද සිටී. ඔහු රජය මගින් පටවන ඕනෑම බරක් කරපින්නාගෙන බූරුවකු ලෙස කරබාගෙන ගමන් කරන්නට හුරු පුරුදුව සිටින්නේ එම ජාන ලක්ෂණය නිසාය.


Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

(උපුටා ගැනීම - deshaya.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...