The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අයවැය යථාර්ථය හා විපක්ෂයේ තප්පුලෑම - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

November 18, 2022 • 8:50 AM

අයවැය යථාර්ථය හා විපක්ෂයේ තප්පුලෑම - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යෝජනාවන්ට ඡන්දය නො දෙන බව ඔහු ඍජුව කීය.
  • එහෙත් 22 සම්මත වීම හරහා රනිල් කොතරම් ප්‍රබලද යන්න සජබේ තේරුම් ගෙන හමාරය.
  • පළවැන්න 2020දී තමන්ට මඟ හැරුණ නායකයා රටබ භාරගෙන ඇති නිසාය.
  • දෙවැන්න සජිත් යනු වගකීම භාර ගැනීමට බිය මනෝ විකාරයක් බව ඔප්පු කර ඇති බැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

යෝජනාවන්ට ඡන්දය නො දෙන බව ඔහු ඍජුව කීය. හේතුව බලය සහ තනතුරු ලෝභය පිළිබඳ ඔහු තුළ පැවති මුග්ධ භාවයයි. සජබ සහාය අවශ්‍ය නම් මහ මැතිවරණයක් පවත්වා තමන්ට බලය ලබා ගැනීමට අවස්ථාව දිය යුතු යයි හර්ෂ සිල්වා ජනාධිපති වික්‍රමසිංහට කළ අනියම් තර්ජනයක් ද කළේය.


නවසිය පනස් හැට ගණන්වල ටයිකෝට් දමා කොළඹ නගරයේ රස්තියාදූ වෙමින් ජනතාව හිනැස්සූ ටිප් ටොප් සිල්වා නම් ප්‍රසිද්ධ පිස්සාත් ආර්ථික විද්‍යාඥ හර්ෂ සිල්වාත් ඤාතීන්දැයි අසන තරමට තත්වය බරපතලය. ටිප්ටොප් කාලයක් තමන් දියසේන වෙතැයි කල්පනා කළේය. හර්ෂ මේ නලියන්නේ සජිත්ගේ ආණ්ඩුවක රටේ මුදල් ඇමති වීමටය.


රට කර වූ රාජපක්ෂලාගේ වැරදි කළමනාකාරිත්වය නිසා ඇද වැටුණ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට කොන්දේසි රහිතව පොදු ජන පෙරමුණ කැප වී සිටියි.  ඒ කාර්ය වඩාත් පහසුවෙන් කළ හැකි හර්ෂලා මාස ගණනක් උත්සාහ කළේ රාජපක්ෂ මළකුණ රනිල්ගේ බෙල්ලේ බැඳ දමා බලය ඇල්ලීමටය. එහෙත් 22 සම්මත වීම හරහා රනිල් කොතරම් ප්‍රබලද යන්න සජබේ තේරුම් ගෙන හමාරය. ගොඩ නැගෙමින් පවත්නා රටට හදිසි මැතිවරණයකට උවමනා යයි ජනතාව කල්පනා නො කරති.


හේතු දෙකකි. පළවැන්න 2020දී තමන්ට මඟ හැරුණ නායකයා රටබ භාරගෙන ඇති නිසාය. දෙවැන්න සජිත් යනු වගකීම භාර ගැනීමට බිය මනෝ විකාරයක් බව ඔප්පු කර ඇති බැවිනි. විපක්ෂයට අවශ්‍ය ශක්තිමත් රටක් නොවේ. බලය උරගා බලන මැතිවරණයකි. රටේ ජනතාව අයවැය දකින්නේ රනිල් වික්‍රමසිංහ හරහා මිස, විපක්ෂයේ තප්පුලෑමට අනුව නොවේ.  


1963-64 වර්ෂයේ ඇන්.ඇම්.ගේ අයවැය කතාවේ  කිතුල් ගස් දෙකක් මැද ගැනීමේ අවසරය  ඇතුළත් යෝජනාව, සුරාමේරය නීතිගත කිරීමක් බව කියමින් ගමේ පන්සලේ හාමුදුරුවෝත් පරල වූහ. මේ අමුතු බණ දේශනාව අසා සිටි දායකයෙකු “හාමුදුරුවනේ පන්සල් වත්තේ කිතුල් ගස් මදින කව්රාළට සුරාමේර ලයිසන් තියෙවාදැයි උපහාසයෙන් විමසා බිම බලා ගත්තේය. පන්සල් වත්තේ කිතුලෙන් වෑස්සී පිරුණ තෙලි දිය මුට්ටිය විහාර මළුව මැදින් රැගෙන යන අතර පැසී රා බවට  පත් වේ. රා පමණක් නොව, තෙලිජ්ජ පැනි සහ හකුරු මෙන්ම කිතුල් ගසේ දැව වටිනාකමද හොඳින් දන්නා ගිහියන් තබා හාමුදුරුවෝත් අමතක කළ සුරාමේරය එදා ඇන්ඇම්.ගේ අයවැයට හරස් කිරීමත් හර්ෂගේ තප්පුලෑමත් එක සමාන ය. අදටත් කිතුල් ගස් දෙක තුනක් මැද ගැනීමත් පවුලක් හොඳින් නඩත්තු කළ හැකි ජීවිකා වෘත්තියකි. බදුල්ලේ චාමර සම්පත් දසනායක කිතුල් කර්මාන්තයට සහන  ඉල්ලා සිටියේත් ඒ නිසාමය. වී බුසලට සහතික මිලක් අවශ්‍ය වුවද අදටත් කිතුල් නිෂ්පාදන වලට සහතික මිලක් උවමනා නැත. එදාත් තම වාසියට රට මුලා කොට ධනාත්මක යෝජනා පරාද කළ දේශපාලන තක්කඩිකම් රනිල්ගේ අයවැය විවාදයේදීත් එක දිගට පෙළ ගැසෙනු ඇත.

 

8 1
ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය අපනයනය සඳහා වැවීමේ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියවන විට, සභාවෙන් නැගුණ අ ප්‍රසන්න ගෝසාව පාසල් දරුවන්ට අන්තර් ජාල පහසුකම් මෙන්ම උසස් පෙළ සමතුන්ට විදේශිය ශිෂ්‍යත්ව දීමේ යෝජනා හමුවේ අත්පොලසන් වී අසන්නට ලැබුණේ නැත. රනිල් කවදාවත් අත්පොලසන් බලා වැඩ කළේ නැත.


ඖෂධ හා ආහාර පිසීමට අදටත් ගමේ ගෙවතුවල කංසා පැලයක් දෙකක් උස් මහත් කර ගැනීමත් පන්සල් වත්තේ කිතුල් ගස් මැදීමත් මේ රටේ ජන ජීවිතයේ අංගයක් බව සජිත්ගේ තාරබර උසුලමින් තප්පුලනනෝ නො දනිති. ඩොලර් අපේක්ෂාවෙන් මැද පෙරදිග යන අපේ කාන්තාවන් අරාබි කරයේ තනිව අපා දුක් විඳි කතා නිතර ඇසෙන රටේ, ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය අපනයනය සඳහා වගා කිරීමේ ආර්ථික යෝජනාව දෙපරැන්ද අස්සෙන් ඔළුව දමා විග්‍රහ කරන පොන්සේකා කියන්නේ, යුද්ධයේදී ඉලක්කයට නොවැදී කානුවකට වැටුණ හිස් උණ්ඩයකට වැඩි යමක් නොවේ. රටේ යහපතට යෝජනා වූ බොහෝ පලදායි ආර්ථීක යෝජනා  කොට උඩ යැවීමට විපක්ෂය සමත් විය. ගෝල් පේස් පැමිණි සූපවේදින්ගේ භාෂාවෙන් කියයි නම් මේ කාලකන්නි හිවලුන් රටේ ආර්ථිකය ගැන දන්නේ මොනවාද?


මධ්‍යම පන්තික ඉඩම් හිමියෙක් තමන් සතු අක්කර විසි පහක ඉඩමේ වල්ලාපට්ට වැවීම සඳහා විශ්‍රාමික කෘෂිකර්ම නිලධාරියෙකුගෙන් උපදෙස් පැතීය. උක්ත විශ්‍රාමිකයා අර වැවිලිකරුට කීවේ වල්ලාපට්ට වැව්වොත් වසර අටකට පසුව නැවත හිස් ඉඩමක හිමිකරු වන බවය. වල්ලා පට්ටා වෙනුවට, අඹ සහ පොල් වගා කිරීමෙන් පරම්පරා දෙක තුනකට රටටත්, සිය පවුලටත් සැලසෙන වාසිය අවබෝධ කරවීමට සමත් වූ බව ඒ විශ්‍රාමික කෘෂි නිලධාරියා වැනි සිය දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළා නම් රටට මෙහෙම වෙන්නේ නැත.

 

“අපි ආපසු හැරි බලමු. පාට දේශපාලන කන්නාඩි ගලවා බලමු. අපට වැරදුණේ කොතැනද? අපට වැරදුණාද? එහෙම නැතිනම් වරද්දා ගත්තාද?'' තම අයවැය කතාව ආරම්භයේ ජනාධිපති වික්‍රමසිංහ, පීඩාවෙන් මිරිකෙන ජනතාවගෙන් විමසා සිටියේ පටු වාසි නිසා ඇද වැටුණ රටේ පූර්වාපර සන්ධි උදාහරණ සහිතව උපුටා දක්වමිනි. 2023 අයවැය යනු රටේ අනාගතය මිස, රාජපක්ෂලාගේ මැදමුලන පවුල් තෝම්බුවක් නොවේ.

 

හර්ෂ සිල්වා කියන්නේ මුන් එළවා අප සමග වැඩ කරන ලෙස ය. බලය සඳහා පක්ෂයක් විනාස කළ සජිත් යනු දේශපාලන හූනියමකි. කාගේවත් ඇඟේ ඇම්මට රටේ අනාගතය බිලිදිය යුතු නොවේ. ඇන්.ඇම්. නම් ආර්ථික විද්‍යාඥයා පෙරේ-රා කළ අතීතය රටට ඉතිරි කළේ විනාසය, පරිහානිය හා පසුතැවිල්ල පමණක් බව ජනාධිපති වික්‍රමසිංහ මෙසේ විස්තර කරයි.


“මා උපන් 1949 වසරෙහි ආසියාවේ දෙවන සංවර්ධිත රට ලංකාවය. එදා අපට වඩා ඉදිරියෙන් සිටි ජපානයේ වර්තමාන ඒක පුද්ගල ආදායම  ඇමෙරිකානු ඩොලර් 39,285කි. ලංකාවේ වර්තමාන ඒක පුද්ගල ආදායම  ඇමෙරිකානු ඩොලර් 3815කි. වියට්නාම කර්මාන්ත ඇමති 1991 ලංකාවට පැමිණ විවෘත ආර්ථිකය හැදෑරීය. 1995දී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිිකානු ඩොලර් බිලියන 2.1කි. එදා වියට්නාමයේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3කි. 2021 වියට්නාම විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 109.4කි. ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1කි.” වඳ කොත්තු රතන කියන්නේ වියට්නාමය දියුණු වුණේ කොමියුනිස්ට් නිසා බවය. රුවන්ඩාව ගොඩ ගියේ හොර පූජකයන් පළවා පල්ලි වසා දැමූ නිසාය.


image 63990477f7


1956 වන විට උතුරේ පරන්තන්හී කෙමිකල්ද, කන්කසන්තුරෙයි සිමෙන්තිද රටේ ආදායම තර කළහ. 2010 තෙක් දසක තුනක් වව්නියාවෙන් එහාට දුම්රියක් ගියේ නැත. (මෙවර අයවැයෙන්ද යෝජිත ආර්ථික කලාපයක් උතුරට නැත.?) නවසිය අසූ ගණන් වල ද, ලංකාවට අවශ්‍ය තරම් රතු ලූණු මෙන්ම කටුවැල් බටු උතුරේ ගොවීන් වගා කළහ. දෙමළුන් පිටු දැකීම නිසා, රතු ලූණු කටුවැල් බටු සඳහා ඩොලර් වැය කිරීමට සිදුවිය. අගමැති බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ මංගල අයවැය විවාදයට එක් වෙමින් (රටේ සිදුවෙමින් පැවති විනාසය තේරුම් ගත්) මතුරට මන්ත්‍රි ඇම්.ඩී. බණ්ඩා “රජය ගමන් ගන්නා මාර්ගයේ ප්‍රබල භාවය මේ යයි පෙන්වා දීමට එය සමත් විණි නම් කෙනෙකුට මේ අයවැය ලේඛනය ගැන ප්‍රසාදය පළ කිරීමට ඉඩ තිබුණු බව කීය. පිළිතුරු කතාවේදී ඇම්.ඩී. බණ්ඩාට ඇඟිල්ල දිගු කොට, “මගේ ගරු මිත්‍රයාත් ඔහුගේ පක්ෂයත් බලයේ සිටියදී මීට වඩා වේගවත් ලෙසත්, දැඩි ලෙසත් (ජාතිවාදිව වර්ග වාදීව?) කටයුතු කිරිමට අසමත්වීම කොතරම් ලජ්ජාවක්දැයි ප්‍රශ්න කළ අගමැති බණ්ඩාරනායකට කුමක් වීද? ඩී.එස්. සේනානායක, රාජ්‍ය මුදල් කළමනාකාරණයේදී තමන්ට අගමැති ලෙස ආණ්ඩුවෙන්  දුන් පවුම් 150න් අත ඉතිරිය ආපසු භාණ්ඩාගාරයට දෙන තරමට අවංක විය. අපි ආපසු හැරි දේශපාලන කන්නාඩි ගලවා අපට වැරදුණාද? එහෙම නැතිනම් වරද්දා ගත්තාද? යනුවෙන් අප අපෙන්ම අසා ගත යුතු මේ තීරණාත්මක නිමේෂයෙහි එකිනෙකා හුදෙකලා නො විය යුතුවේ.
 
 
1970 මහ මැතිවරණයේදී අගමැති ඩඩ්ලි සේනානායක මින්නේරියේදී ජානපදික ගොවීන් සම්බන්ධ කෘෂිකාර්මික සමාජ හා ආර්ථීක ගැටළු ගැන පැහැදිලි කළේ මෙසේ ය.  “ගොවීන් වී බුසල සඳහා සහතික මිලක් අපේක්ෂා කරනවා. පාරිභෝගික ජනතාව අඩු මිලට හාල් පොල් අපේක්ෂා කරනවා. රට වෙනුවෙන් වී නිෂ්පාදනය කරන ගොවීන්ට සහතික මිලක් දිය යුතුයි.  එහෙත් සමහර විට කිසිම රස්සාවක් නො කරන පාරිභෝගිකයන්ට අඩු මිලට හාල් දෙන්න ආණ්ඩුවකට හැමදාම කළ හැකිද? 53දී හාල් විල වැඩි කළා කියලා හර්තාල් කළා. මම දාලා යන්ට ගියාට හාල් අඩු වුණේ  නෑ. මම 65 බලයට එන කල් වී නිෂ්පාදනය වැඩි වුණෙත් නෑ. කෘෂිකර්මය රටේ ශක්තිමත් කළේ මහාමාන්‍ය ඩී.ඇස්.සේනානායක මගේ පියා. ඉතිහාසය එසේ වුවත් රටට බත් දෙන ගොවීන් සහ සේනානායකලා අපේක්ෂා කළ පරිදි නිකම් කෑමට බලා සිටින තෙක් අපට ස්වයං පෝෂිත විය නො හැක. අපට ඇති  මහා බාධාව වැඩ වර්ජන මෙන්ම නිකම් කෑමට මිනිසුන් පොළොඹවන්නේ එදා කපුටන් වැනි මැලේරියා මදුරුවන් ගැන කියමින් ගොවි ජනපදවලට යාමට තෝරා ගත් ගොවීන් බිය වැද්දූ දේශපාලනඥයන්. හාල් මිල වැඩි කළාට ගොවීන් කලබල වෙන්නේ නෑ. ඒත් කොළඹ ජීවත් වෙන දේශපාලනඥයන් හර්තාල් කරනවා. මෙන්න මේ දේශපාලනය තේරුම් ගත්ත දවසට රට දියුණු වෙයි. වැඩි පඩි ගත හැක්කේ  නිෂ්පාදනය වැඩි කිරීමෙන් මිස, වර්ජන අරගල කරලා නොවෙයි. වැඩි පඩි ඉල්ලා වර්ජන අරගල කිරීමත් සහනාධාර වැඩි කිරීමත් රටට හානිකරයි.  රටක් එහෙම දියුණු කළ නො හැකිය. රටේ බඩගින්න නිවන මේ රටේ ගොවීන්ට බෝනස් පැන්ෂන් ලැබෙන්නේ නෑ.” ඩඩ්ලි එදා විස්තර කළේ අදටත් පවත්නා වර්ජන අරගල සහ රටේ දියුණුව අතර පවතින නො ගැලපීමය. 
 
 
 
1970දී ඩඩ්ලි බලයෙන් පහ වන විට, රට සහලින් ස්වයං පෝෂිතව තිබිණ. 1971 අප්‍රේල් 5 වෙනිදා ආයුධ සන්නද්ධ අරගලය තුනෙන් දෙකක් ලබා ගත් ආණ්ඩුව අඩපන කළහ. හර්ෂලාට අද අවශ්‍ය ජනතාව පත් කළ තුනෙන් දෙකක පාර්ලිමේන්තුව ගෙදර යැවීමටය. 1970දී එජාපයට සිදු වූ දේ  2020දීත් නැවතත් සිදුවිය. අදත් රට පවතින්නේ 1970 දී ඩඩ්ලි මින්නේරියේදී විස්තර කළ ගැටළු අතර ය. අදටත් හැම දහ දෙනෙකු ගෙන් තුන් දෙනෙක්වත් කිසිදු රැකියාවක් නො කරති. අතිරික්ත රාජ්‍ය සේවයත් රැකියාවක් නො කර ජීවත්වීමකි. බලය අපේක්ෂාවෙන් රැකියාත්, සහනාධාරත් හැර රාජපක්ෂලාටත් සජිත් ප්‍රේමදාසටත් වෙන ආර්ථික පිළිවෙතක් නැත. රනිල් 2001 සිය ආර්ථික වැඩ සටහන ආරම්භ කළේ වර්ෂ දෙකකට රස්සා දීම අත් හිටුවලාය. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ පවා රාජ්‍ය සේවයේ අතිරික්තය හානිදායක බව කියති.



එජාපය 2020දී පැරැදුණේ ආර්.ප්‍රේමදාසගේ පුතා නිසා මිස රජපක්ෂලා නිසා නොවේ. කෙටි කලකින් ආර්ථීක කඩා වැටීම නිසා පාර්ලිමේන්තු බහුතරය රටේ නව පාලකයා ලෙස වර්තමාන ජනාධිපති වරයා තෝරා ගත්තේය. වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අනුව, ඒ අවස්ථාව විපක්ෂ නායකට ලැබිය යුතු වුවද, අර්බුදයට මුහුණ දීමට ශක්තියක් සජිත් ප්‍රේමදාසට නො තිබිණ. රනිල් වික්‍රමසිංහ යනු අවුරුදු කුරුල්ලෙකු මිස හර්ෂලා දකින ආකාරයේ පරපෝෂිත කොහා පැටියෙකු නොවේ. හර්ෂ  අගෝස්තු 08 දින අනිද්දා පත්‍රයට කළ සාකච්ඡාවේදී “ලංකාව පිළිබඳ තමන් විශ්වාස කරන ආර්ථික වැඩ පිළිවෙල ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ඇතුළත් නිසා, ඊට විරුද්ධ වීමට තමන්ට කිසිදු හේතුවක් නැත යයි කීය.
 

එසේම රටේ ආර්ථිකය 2001දී බිඳ වැටුණ අවස්තාවේ චන්ද්‍රිකා ආණ්ඩුවෙන් එළියට ආ බන්දුල ගුණවර්ධන, ජී.එල්.පීරිස්, එස්.බී.දිසානායක ආදිහූ (2022දී පොහොට්ටුවේ බහුතරය රනිල් තේරුවා මෙන්) 2001 පැවති මහ මැතිවරණය ජය ගෙන රනිල් සමග දෙ වසරක් රට ආණ්ඩු කළහ. ශක්තිමත් දේශපාලන කඳවුරක පන්නරයෙන් වැර ගැන්වූ  ජනාධිපති වික්‍රමසිංහ, තුන් වසරක් කැවුම් කොකිස් නො කෑ රටේ මිනිසුන්ට 2023  සිංහල දෙමළ අළුත් අවුරුද්ද සතුටින් ගත කිරීමේ අවකාශය ඇති කරන බව රටේ බහුතරය විශ්වාස කරති. රටට අවශ්‍ය ඡන්ද පොරොන්දු දෙන මැතිවරණ නොවේ. වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්තියකි.




ගෙදර යන මිනිසාගේ නිමේෂය උදාවී ඇත -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo


 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...