The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : සන්තෝසෙන් ඉන්න මේ රටේම ඉන්න !

T

The Leader Desk

November 20, 2022 • 9:52 AM

මානීගේ තීරුව : සන්තෝසෙන් ඉන්න මේ රටේම ඉන්න !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය ජීවන වියදම ගැන මෙලෝ වැටහීමක් නැතුව මෙසේ හැසිරෙන්නේ කෙසේදැයි මට සිතාගත නොහැකි විය.
  • "මේ වෙලාවෙ රට්ටුන්ට තියෙන ප්‍රශ්නෙ සල්ලි නැතිකමනෙ" ඈ වැඩිදුරටත් කියා සිටියාය.
  • " ඔහොම වගකීමක් නැතුව කතා කරන්⁣න මේක පාර්ලිමේන්තුව නෙවෙයිනෙ "මම නොරිස්සුමෙන් කියා සිටියෙමි "ගෙදර වියදම මේ අවුරුද්දෙ මුලදි තිබුණ ව⁣ගේ දෙගුණයක් වෙලා දැන්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇය ජීවන වියදම  ගැන මෙලෝ වැටහීමක් නැතුව මෙසේ හැසිරෙන්නේ කෙසේදැයි මට සිතාගත නොහැකි විය.


" ඔහොම වගකීමක් නැතුව කතා කරන්⁣න මේක පාර්ලිමේන්තුව නෙවෙයිනෙ "මම නොරිස්සුමෙන් කියා සිටියෙමි "ගෙදර වියදම මේ අවුරුද්දෙ මුලදි තිබුණ ව⁣ගේ දෙගුණයක් වෙලා දැන්. ඒත් අපේ ආදායම රුපියලකින්වත් වැඩිවෙලා නෑ. එහෙමත් තියෙද්දි තව ට්‍රිප් යන්න අපි මැතිඇමතිවරු ද?"


මෙහිදී අපේ පුතාද කතාවට මැදිහත් විය.


"ඒකනෙ කවදාවත් කටුනායකින් එහාට යන්නෑ කියල හිතන් හිටපු මමත් රට යන්න තීරණය කරේ "ඔහු කියා සිටියේය. "දැන් රුපියල්වලින් වියදම් කරන්න නම් ඩොලර්වලින් හම්බු කරන්න ඕන "


බිරිඳ වහාම පුතා සමග එකඟ වූවාය.


"දැක්කනෙ ඔයාට වගේ නෙවෙයි පුතාට සැලැස්මක් තියෙනව උද්ධමනයට මූණ දෙන්න" බිරිඳ කියා සිටියාය. "ඔයත් කන්කෙඳිරි ගගා ඉන්නෙ නැතුව මොකක් හරි ජාවාරමක්වත් පටන් ගන්න වැඩිපුර සල්ලි ටිකක් හොයාගන්න "


මා දන්නා ජාවාරමක් නැතැයි මම කියා සිටියෙමි.


"ඇයි නැත්තෙ ? ඔයාට පොතක් ලියන්න පුළුවන්නෙ" බිරිඳ මට පෙන්වා දුන්නාය. "ඒකත් හොඳ ජාවාරමක් තමයි ඉල්ලුමට හරියන්න සැපයුම කරොත් "
පොත් ලියා සල්ලි හම්බු කළ හැකි නම් ලංකාවේ ජනගහනයෙන් වැඩි පිරිසක් මේ වන විට පොහොසතුන් නොවේදැයි එවිට මම ඇසුවෙමි.


"කවි, කෙටිකතා ලිව්වොත් නම් තවත් දුප්පත් වෙනව තමයි"  බිරිඳ සිය අදහස දැක්වූවාය. "එහෙම නෙවෙයි මේ වෙලාවෙ මිනිස්සුන්ගෙ තියෙන ප්‍රශ්නයක් අල්ලගෙන නැගල යන පොතක් ලිව්ව නම් ගොඩදාගන්න පුළුවන් වෙයි නේද ?"


මම ඊට පිළිතුරු නොදී නිහඬ වූයෙමි. එහෙත් බිරිඳ දිගටම සිය අදහස් දැක්වූවාය.


"මේ වෙලාවෙ රට්ටුන්ට තියෙන ප්‍රශ්නෙ සල්ලි නැතිකමනෙ" ඈ වැඩිදුරටත් කියා සිටියාය. "  "ඔයා "මීළඟ අයවැයට පෙර ධනවත් වන්නේ කෙසේද" ?"කියල පොතක් ලිව්වොත් නම් ⁣මිනිස්සු අතේ තියෙන කීය හරි දීල පොත ගනියි "


ඒ අසා මට හිනා ගියේය.


"ඔයාට පිස්සුද ?" මම ඇසුවෙමි ."මටත් සල්ලි නැතුව ඉඳැද්දි මම කොහොමද අනිත් මිනිස්සුන්ට පෝසත් වෙන හැටි කියල දෙන්නෙ ?"


එවර හිනා වූයේ බිරිඳය.


"අවංකකමෙන් නම් මේ රටේ ගොඩයන්න බෑ මෙයා "බිරිඳ ඊට පිළිතුරු දුන්නාය. "ඔයා අපේ නායකකාරකාදීන්ව ආදර්ශයට අරගෙනවත් හැදෙන්න බලන්න. ඔයා හිතන විදිහට හිතුව නම් අද ඒ මිනිස්සු ඔය ඉන්න තැන්වලට සම්මජාතියෙ එනවද ?"


මම කට ඇරගෙන අසා සිටියදී බිරිඳ දිගටම කතා කළාය.


"දැන් බලන්න මේ රට බංකොලොත් වෙන්න යනවයි කියල පොඩි ළමයෙකුට වුණත් තේරෙද්දිත්, අම්මපා එහෙම වෙන්නෙ නෑ කියල දිවුරල කියපු අජිත් නිවාඩ් කබ්රාලුත් පොතක් ලියල තියෙන්නෙ "ආර්ථික ඝාතකයින් මැද" කියල"බිරිඳ කියා සිටියාය. "රට බංකොලොත් කරපු ආර්ථික ඝාතකයෙකුට එහෙම පොතක් ලියන්න පුළුවන් නම් ඇයි ඔයාට බැරි "ධනවත් වෙන්නේ කෙසේද "කියල පොතක් ලියන්න "


මේ අවස්ථාවේ අපේ පුතා බඩ අල්ලාගෙන සිනාසෙන්නට පටන් ගත්තේය. සිය පියා පිස්සෙකු මෙන් සිනාසෙන හැටි අපේ මුණුබුරා පුදුමයෙන් බලාගෙන සිටියේය.


"කොච්චර කරත් මේ රට දාල යන්න හිත හදාගන්නෙ කොහොමද මේ වගේ විනෝද ජවනිකා සතියක් ගානෙ තියෙද්දි " ඔහු අවසානයේ සිනාව මැදින්ම කියා සිටියේය. "යකෝ මේ විදිහට ලබන සුමානෙ ගෝටත් පොතක් පිට කරයිද දන්නෑ ⁣" මේ රට ගොඩගන්නේ කෙසේද ?"කියල"


මෙහිදී අපේ මුණුබුරා පුතා ඇමතුවේය.


"ඒක තමයි තාත්තෙ, ඔයාමනෙ කියන්නෙ අපි හැමදෙයක්ම කරන්නෙ සන්තෝසෙන් ඉන්න කියල. ඉතින් ඔයාට සල්ලි නැතුවත් හැමදාම සන්තෝසෙන් ඉන්න පුළුවන් රට දාල අපි මොකටද වෙන කොහෙවත් යන්නෙ ?"



Sundara nihathamani(සුන්දර නිහතමානි ද මැල්)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...