The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අයවැය, කොහා සහ බිජුව - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

November 26, 2022 • 4:36 AM

අයවැය, කොහා සහ බිජුව - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය හා හා රාජ්‍ය අමාත්‍ය ධූර තුනක් 2015-2019 කාලය තුල එතුමා දරා ඇත.
  • ඔහුට මීට වඩා වැඩි වගකීමක් මීට කලින් දෙන්න තිබුණ බවට මතයක් තිබෙනවා.
  • අයවැය විවාදයේදී විපක්ෂයේ සිට හර්ෂ ද සිල්වා, අයවැය පිලිබඳ විවේචන හා ප්‍රාමාණික කරුණු සභාගත කිරීමෙන් අනතුර ව, සිනා සෙමින්, 2023 අයවැය සමාන කළේ කපුටු කූඩුවක දාපු කොහෝ බිත්තරයක් ලෙස.
  • එසැණින් ම ප්‍රතිචාර දැක් වූ, අයවැය ඉදිරිපත් කළ ජනපති වීක්‍රමසිංහ ද සිනා මුසු ස්වරයකින්, කීවේ ඒ කියන්නේ මෙය අගනා එ.ජා.ප අයවැයක් බව විපක්ෂ මන්ත්‍රීවරයා පිළිගන්නා බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය හා හා රාජ්‍ය අමාත්‍ය  ධූර තුනක් 2015-2019 කාලය තුල එතුමා දරා ඇත. පාර්ලිමේන්තුව ආගමනය වනවිට පා.ම. ද සිල්වා හර්ෂ වෘත්තීය ජීවිතයේ සැළකිය යූතු ජයග්‍රහණ අත්පත් කරගත් පරිණත පුද්ගලයෙක්. ඔහුට මීට වඩා වැඩි වගකීමක් මීට කලින් දෙන්න තිබුණ බවට මතයක් තිබෙනවා. ඔහු වගේ කෙනෙක් දිගට ම 'සහයට ඩැනී' මට්ටමෙන් එකල ආණ්ඩුව තියාගත්ත එක ගැන සමහරු කළ කිරීමෙන් සිටින්නේ. ඒ තීරණේ වගකීම රනිල් වික්‍රමසිංහ මත තමා පැවරිය යුතු වන්නේ.

අයවැය විවාදයේදී විපක්ෂයේ සිට හර්ෂ ද සිල්වා, අයවැය පිලිබඳ විවේචන හා ප්‍රාමාණික කරුණු සභාගත කිරීමෙන් අනතුර ව, සිනා සෙමින්, 2023 අයවැය සමාන කළේ කපුටු කූඩුවක දාපු කොහෝ බිත්තරයක් ලෙස. එසැණින් ම ප්‍රතිචාර දැක් වූ, අයවැය ඉදිරිපත් කළ ජනපති වීක්‍රමසිංහ ද සිනා මුසු ස්වරයකින්, කීවේ ඒ කියන්නේ මෙය අගනා එ.ජා.ප අයවැයක් බව විපක්ෂ මන්ත්‍රීවරයා පිළිගන්නා බව යි.



අයවැය විවාදයේ දී කොහෙක් සම්බන්ධ කෙරුම මාගේ මතකය අවදි කළේ 1962 දී පළ වූ, කෙන් කේසී විසින් රචිත 'වන් ෆ්ලිව් ඕව(ර්) ද කුකූස් නෙස්ට්'  පැරැණි ප්‍රබන්ධය වෙතට ය. කොහෝ ප්‍රභේද බොහෝමයක් ඇතත්, ඉංග්‍රීසියෙන් 'කුකූ' කියන්නේ කොහාට ය. 'කොහාගේ කූඩුවට උඩින් පියැඹු  එකා' කියා එම ප්‍රබන්ධයේ දීර්ඝ නම වාච්‍ය අර්ථයෙන් පෙළ ගැස්විය හැක. මානසික රෝහලක වටා ගෙතෙන මේ කතාව මනෝවෛද්‍ය ක්‍රමයේ ආයතනික වේශය පිලිබඳ දැඩි විවේචනයක් එල්ල කළේ ය. යට කී ප්‍රබන්ධය සුප්‍රසිද්ධ ටයිම් සඟරාව විසින් 1923-2005 කාලය තුල ලියැවුණු හොඳ ම පොත් සියය ට ඇතුලත් කෙරිණ. එහෙත් 'වන් ෆ්ලිව් ඕව(ර්) ද කුකූස් නෙස්ට්' වඩා  ප්‍රකට වූයේ 1975 දී මිලොස් ෆොර්මාන් විසින් එම නමින් ම කළ චිත්‍රපටය නිසාවෙනි. ඊට ඇකඩමි සම්මාන පහක් ම ලැබිණ.    



xfgr4


ප්‍රබන්ධයේ චරිත වඩා ප්‍රසිද්ධ වූයේ චිත්‍රපටයේ නළුවන් නිසා ය. ඉන් පෙරමුණේ ම සිටින්නේ, ප්‍රබන්ධයේ කේන්ද්‍රීය රැන්ඩල් පැට්‍රික් මැක්මර්ෆිගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ නළු ජැක් නිකල්සන් ය. මැක්මර්ෆි සූදු කෙළීම හා අනවසර අතපත ගෑම යන වරදට දඬුවම් ලැබ, බන්ධනාගාරයට අයත් ගොවි පොලක වැඩට යෑම අත පසු කිරීමේ අටියෙන් බොරු පිස්සුවක් මවාගෙන මානසික රෝහලකට ඒමට අදහස කරන්නේ ඔහුට එහි ඔහේ සිටිය හැකි යී සිතා ය. එහෙත් ඔහු පැමිණි මානසික රෝහල දරුණු හිංසා පමුණුවන වධකාගාරයක් බව මක්මර්ෆිට වැඩිකල් නොගොස් වැටහේ. මැක්මර්ෆි එහි සිටින විවිධාකරයේ චරිත හා මිතුරු වන අතර, ඔහුගේ නායකත්වයෙන් රෝහලේ කැරලිකාර තත්ත්වයක් නිර්මාණය කරන්නේ කෘර ඒකාධිපතියෙකු සේ එම ආයතනය මෙහෙයවන රැචර්ඩ් නමැති හෙදියට විරුද්ධව ය. බිලී බොබිට් කියා තරුණ රෝගියෙකු එහි සිටින අතර ළමා කාලයේ මවගේ දැඩි පාලනයේ හේතුවෙන් කාන්තාවන් ගැන භීතියකින් හා ඒ නිසා ම දරුණු ගොතයකින් පෙළේ. මැක්මර්ෆි දිනෙක කරන්නේ තමන් හඳුනන ලිංගික ශ්‍රමිකයන් දෙදෙනෙකු රාත්‍රියක කෙසේ හෝ රෝහලට ගෙන්වාගෙන, මුළු රැයේ ම සාදයක් දමා, එක් කාන්තාවක බොබී බොබිට්ගේ කන්‍යාභාවය අවසන් කිරීමට මග සැලැසීම යි. මේ ජෝගිම ය රාත්‍රිය අවසන් වන්නට ඔන්න මෙන්න තියෙද්දී රැචර්ඩ් හෙදිය රෝහලට කඩා පාත් වෙන අතර, නිරුවත් කතක සමග ආලිංගනයේ නිරත බොබිට් දැකීමෙන් ඈට තරු පෙනෙයි. ජීවිතය පුරා ම බයාදු නොංජල් චරිතයක වූ බොබිට්ගේ ගොතය එක රැයකින් සුව වූ බව ප්‍රත්‍යක්ෂ වන්නේ ඔහු පෙරලා හෙදියට බැණ වැදීමෙනි.

පා.ම ද සිල්වා කොහාගේ බිජුව ගැන කියද්දී මට මැක්මර්ෆි ලෙස රඟන ජැක් නිකල්සන්ගේ චරිතය වික්‍රමසිංහ අද රඟනවා දෝ යී  මට නිකමට සිතිණ. බොබී බොබිට් හර්ෂ මන්ත්‍රී නොවෙන අතර ඒ කවුරු විය හැකි ද යන්න පරිකල්පනය පාඨක ඔබට භාර දෙමි.   
 

කොහාගේ බිත්තරය කපුටු කූඩුවේ දැමීම යනුවෙන් පා.ම හර්ෂ ද සිල්වා අදහස් කළේ, අයවැය ගෙන ආ ජනපති දැන් සිටින දේශපාලන කැදැල්ල නිසාවෙන් විය හැක. ධනවාදී කඳවුරේ තොටිල්ල වූ එක්සත් ජාතික පක්ෂය 2010 දී ද සිල්වා මන්ත්‍රීතුමාගේ පැහැදිලි තෝරා ගැනීම යි. ජාතික ලැයිස්තු වරම ලබා ගැනුම ලෙහෙසි පහසු නොවේ. ඒ වෙනුවෙන් හර්ෂ ද සිල්වා වසර කිහිපයක් වෙහෙස නොබලා වැඩ කටයුතු කළ බව ද එක්තරා රුපවාහිනි නාලිකාවක ආර්ථික කටයුතු මැයින් සාකච්චා කෙරෙන සංවාද වැඩසටහනක් ද මෙහෙය වූ බව අපට මතක ය. ඔහුගේ දැක්මේ ස්ථිර අඩිතාලම වූයේ ලිබරල් ආර්ථික ක්‍රමය ය. වෙනත් වචනයකින් කියතොත් ද සිල්වාට අනුව, ආර්ථික බිත්තරය දමන්නේ ලිබරල් කොහෙක් මිස වෙන පක්ෂියෙක් නොවේ.  ඒ නිසා ය ඔහුට තම නායකයා ව සිටි ලිබරල් කොහා කපුටු කූඩුවක බිත්තරයක් දැමීම ප්‍රශ්නයක් වන්නේ.

පා.ම ද සිල්වාගේ උපමාව සාහිත්‍ය ම ය ලෙස රසවත් වූවත් පක්ෂීන්ගේ හැසිරීම පිලිබඳ දැනුවත් කෙනෙකුට එය ගෝචර වන්නේ නැත. ඊට හේතුව මෙය ය. කොහුන් කූඩු සාදන්නට කුසලතා හා පුරුද්දක් නැති පක්ෂීන් ප්‍රභේදයක ලෙස සැළකෙන නිසා ය. තමන්ට කූඩු සෑදීමේ හැකියාවක් හා පුරුද්දක් නැතත් තම වර්ගයා බෝ කරණට බිත්තර දැමිය යුතු ය. කොහුන් මේ නිසා තම උපාය ලෙස ක්‍රියාත්මක කරන්නේ බිත්තර දෙක තුනක දැනටමත් ඇති අන් පක්ෂියෙකුගේ කූඩුවකට ඇඟට පතට නොදැනී කාටත් හොරා තමන්ගේ බිත්තර ටික දැමීම ය.

මේ 'නුවණ' කොහුන් තුල වර්ධනය වී ඇති ආකාරය පිලිබඳ තවමත් පර්යේෂණ කරන්නේ ඒ ගැන ප්‍රවාද කිහිපයක් ම ඇති නිසා ය. නුවණ අඩු කපුටා වැනි පක්ෂියෙකු තමන්ගේ කියා කොහුන්ගේ බිත්තර රකිමින් පරෙස්සමින් රැක බලා ගනී. යම් තරමකට නුවණ ඇති පක්ෂියෙක් තමන්ගේ නොවන වෙනත් බිත්තර බව හඳුනාගෙන ඒවා විනාශ කර දමන්නේ ය. කොහාගේ මේ රැවටීම හා ඉන් බේරෙනු පිණිස ප්‍රතිඋපායික නුවණ වර්ධනය පරිනාමයේ කොටසක ලෙස පක්ෂි අධ්‍යනවල සැළකේ.

සත්කාරක පක්ෂීන් තමන්ගේ නොවන පැටවකු බව දැනගත් විට කරන ප්‍රතිචාර ද විවිධ ය. කොහෝ හා කපුටු පැටවුන් කුඩා අවධියේ එක වාගේ මෙන් වුව ද පැටවුන්ට කවද්දී ඔවුන්ගේ කට ඇතුලේ වර්ණයෙන් වෙනස් කම් හදුනාගන්න නුවණැති කපුටන්ට හැකි බව කියැවේ. එවිට කපුටු මව කරන්නී තමන්ගේ නොවන පැටවුන්ට කැවීමෙන් වැලකීම ය.

අනෙක් හැසිරීම මෙය ය. කොහෝ පැටවුන් අතිශය ගඳ බව කියැවේ. සමහර කපුටන් කරන්නේ මේ දුර්ගන්ධය ආරක්ෂාවක් ලෙස භාවිතා කිරීම ය. තමන් නැති වෙලාවක පැටවුන් ව කෑමට එන ප්‍රිඩේටර හෙවත් විලෝපික පක්ෂීන් මේ ඉවසා ගන්න බැරි ගන්ධස්සාරය නිසා කුඩුව පැත්ත පළාතේ එන්නේ නැත. ඒ නිසා කොහෝ පැටවා නිසා තමන්ගේ පැටවුනුත් ජීවිතය රැක ගනිති.  
 

යට කී කුරුළු හැසිරීම ගැන විද්‍යාඥයින් අතර සියයට සියයක් එකඟතාවක් නොමැත. එහෙයිනි මේ පිලිබඳ ව ලොව පුරා පක්ෂි පර්යේෂණ තවමත් කෙරෙන්නේ. 'ගොයින් කුකූ' කියා ඉංග්‍රීසියෙන් කියන්නේ පිස්සු වැටීමට වුවත්, කුකූ හෙවත් කොහා නම් කපටි නුවණැති පක්ෂියෙකු බව යට කී සටහනින් පැහැදිලි ය. ඒ අර්ථයෙන් පා.ම හර්ෂ තම කොහෝ නායකයාගේ උපාය ගැන නැවත සිතිය යුතු ය. එහෙත් මෙතැන පොඩි අවදානමක් ද තිබේ. එනම් කූඩුව සෑදු පක්ෂියා මීට දින කිහිපයකට පෙර පෙරලා පියඹා ආ එක ය. මොළ සතක් ඇති ඒ පක්ෂියා තම කූඩුවේ දමා ඇති කොහෝ බිත්තරයට කුමක් කරාවි ද කියා ජගත් පක්ෂි විශේෂඥයෝ මේ දිනවල දැඩි අවධානයකින් සිටිති.


Udan(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...