The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පඩි අඩුයි දුක වැඩියි - (කපිල කුමාර කාලිංග)

T

The Leader Desk

November 27, 2022 • 8:17 AM

පඩි අඩුයි දුක වැඩියි - (කපිල කුමාර කාලිංග)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ පෙරේදා ඇසූ අලුත්ම දුක් පුවත වූයේ 2023 දී ලෝකයේ අඩුම පඩි ලබන ජනතාවක් වෙසෙන රටවල් අතරින් හතරවැනි ස්ථානයට අපේ සිරි ලංකාව පත් වී ඇති බවය.
  • කාලයාගේ ඇවෑමෙන් මිනිස්සු දුකට හුරුවනු ඇතැයි පාලකයෝ සිතති.
  • එහෙත් දුකින් පෙළෙනවුන් අකාලයේ මිය යන බව කිසිවෙක් නොසිතති.
  • පුදුමයකට මෙන් ලෝකයේ ආර්ථික ඝාතකයන් ලෙස පසුව හඳුනා ගැනෙන්නේද ඊට පෙර ආර්ථික විශේෂඥයන් හෝ උපදේශකයන් ලෙස කටයුතු කළ පුද්ගලයන්ම වීමය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඊයේ පෙරේදා ඇසූ අලුත්ම දුක් පුවත වූයේ 2023 දී ලෝකයේ අඩුම පඩි ලබන ජනතාවක් වෙසෙන රටවල් අතරින් හතරවැනි ස්ථානයට අපේ සිරි ලංකාව පත් වී ඇති බවය. අපට වඩා ඉදිරියෙන් සිටින්නේ පාකිස්ථානය, ඝානාව හා තුර්කිය ය. පසුපසින් සිටින්නේ ආර්ජන්ටිනාවය.

 

එය එසේ නම් ලබන අවුරුද්දේත් දුකමය. මිනිස්සු දුකට හේතුව දනිති. එහෙත් ඉන් මිදෙන මගක් නොදනිති. එහෙයින් දුකම වළඳමින්, දුක සේ ජීවත් වෙති.

 

කාලයාගේ ඇවෑමෙන් මිනිස්සු දුකට හුරුවනු ඇතැයි පාලකයෝ සිතති. එහිද සත්‍යයක් ඇත. එහෙත් දුකින් පෙළෙනවුන් අකාලයේ මිය යන බව කිසිවෙක් නොසිතති.


දුක් විඳින මිනිසුන් පමණක් නොව, සැප විඳින මිනිසුන් කොටසක්ද මේ රටේ සිටිති. ලෝකයේ අඩුම පඩි ලබන කොටසක් සේම, කලාපීය වශයෙන් හෝ වැඩිම පඩි ලබන කොටසක් ද සිටිති. ඔවුන් මහා ධනවතුන් වී සැප විඳින්නේ පෙර කළ කුසල කර්ම නිසා නම් නොවේ.


ආර්ථික ඝාතකයන් නම් කොටසක් ලෝකයේ මෙන්ම සිරි ලංකාවේද සිටිති. ඒ පිළිබඳව පත පොත ද ලියැවේ.



Cabraal Book

 

ගෝඩ් ෆාදර්ට තරම් හොඳින් ගෝඩ් ෆාදර්ගේ වැඩ කිඩ ගැන ලිවිය හැකි වෙනත් කෙනෙක් නැත. රටක් ප්‍රපාතයට ගෙන ගිය අයට රට යළි ගොඩගන්නේ කෙසේදැයි ලිවීමේද වරදක් කිව නොහැකිය. එහෙත් ඒ කිසිවකින් කිසිවකුට වැඩක් නම් සිදු නොවේ. සොරාගේ අම්මාගෙන් පේන ඇසුවාට පලක් නොවන්නා සේමය.

 

පුදුමයකට මෙන් ලෝකයේ ආර්ථික ඝාතකයන් ලෙස පසුව හඳුනා ගැනෙන්නේද ඊට පෙර ආර්ථික විශේෂඥයන් හෝ උපදේශකයන් ලෙස කටයුතු කළ පුද්ගලයන්ම වීමය. එහෙත් හැම රටකම පාලනයට සම්බන්ධව සිටින ආර්ථික උපදේශකයන්ගේ සංඛ්‍යාව ඉතා විශාලය.

 

ලෝකයේ බලවත් රටවල නායකයන්ගේ සමුළුවක විවේක කාලයේදී අමෙරිකාවේ ට්‍රම්ප් හා රුසියාවේ පුටින් කෙටි පිළිසඳරක යෙදුණහ.


අමෙරිකාවේ ආරක්ෂක තත්ත්වය ගැන කතා කරමින් ට්‍රම්ප් මෙසේ කීය.


''මට ආරක්ෂක උපදේශකයෝ සිය දෙනෙක් ඉන්නවා. ඒත් ඒ කිසි කෙනෙක් මට ඇත්ත කියන්නෙ නෑ.''


ඒ අසා දෙතොල් ඇද කර මඳ සිනාවක් පෑ පුටින් මෙසේ කීය.


''මටත් ඔය වගේම ප්‍රශ්නයක් තියෙනවා. මට ඉන්නවා ආර්ථික උපදේශකයො සීයක්. ඒත් එකෙක්වත් හරි දෙයක් කියන්නෙ නෑ.''


''ඉතින් කොහොමද රට කරගෙන යන්නෙ?''


''මට ඕනෙ විදිහට කරගෙන යනවා.''


''එතකොට උපදේශකයෝ..? අස්කෙරුවද?''


''නෑ.. මම හැම අවුරුද්දෙම ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් හිරේ දානවා රටේ ප්‍රශ්නවලට වගකිව යුතු අය හැටියට.''

 

එතැන් සිට අමෙරිකාවේ ආරක්ෂක උපදේශකයන්ද හිරේ වැටෙන්නට පටන් ගත්තේය.


සිරි ලංකාවේ නම් කිසිදු උපදේශකයෙක් හිරේ වැටෙන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යති.


උපහාස කතාකාරයන්ට අනුව දේශගවේෂක යාත්‍රික කොලම්බස් ද සමාන වන්නේ ආර්ථික උපදේශකවරයකුටය.


ඔහු ද පොරොන්දු වන්නේ එක රටක් සෙවීමටය. එහෙත් ගොඩ බසින්නේ වෙන කොහේවත් ඇති රටකටය. ඒ නන්නත්තාර වැඩවලට වැය වන්නේ රටේ භාණ්ඩාගාරයේ ධනයය.

 

සිරි ලංකාව වැනි කුඩා දූපතකින් මහා යාත්‍රිකයන් බිහිවන්නට ඉඩක් නැතත්, ඒ වෙනුවට අරාබි නිසොල්ලාසයේ එන අලි බබාලා නම් බිහිවුණි. රටේ ධනය කොල්ලකා ගන්නා ඔවුහු සුළි සුළං කාලයේදී කල් යල් බලා රට පනිති. නැවත සුළි කුණාටුව අසුවූ විට සිය රට එති. එවිට අලි බබා පිළිගැනීමට හොරු හතළිහම තොටුපොළට රොක්වෙති.

 

රටක ආර්ථිකය කෙසේ වෙතත්, තමන්ගේ ආර්ථිකය කළමනාකරණයට නම් ආර්ථික උපදේශකවරු සමත් වෙති.


යාත්‍රාවක් මුහුදුබත් වීමෙන් පසු ඉන් දිවි ගලවාගත් තිදෙනෙක් පාළු දූපතකට පිහිනූහ. කුසගින්නේ පෙළුණු ඔවුන්ට වෙරළට පාව ආ බෝංචි ඇට ටින් එකක් දක්නට ලැබුණි.


''අපි මේක තම්බගෙන කමු.'' එකෙක් කීය.


ඒ අතර ආර්ථික උපදේශකවරයෙක් ද සිටියේය. ඔහු මෙසේ කීය.


''නෑ. අපි මේකට ලොතරුයියක් දාමු. දිනන එක්කෙනාට පුළුවන් අනිත් අයට බෝංචි ඇට විකුණන්න.''


''අපිට සල්ලි තියෙනවයැ?'' එකෙක් කීය.


''සල්ලි මොකටද? අපිට පුළුවන් ණය ගන්න.''


අනිවාර්යයෙන්ම ඔහු සිරි ලංකාවේ ආර්ථික උපදේශකයකු විය යුතුය. ඔහුගේ ශබ්දකෝෂයෙහි ප්‍රියතම වචනය 'ණය' ය. සෑම ප්‍රශ්නයකටම ඔහුට ඇති විසඳුම ද 'ණය' ය. ඔහු ණය ගැනීමට මිස පියවීමට නොදනී. එහෙයින්ම උපදේශක තනතුරට ද සුදුස්සෙක් වෙයි.


අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

 

(උපුටා ගැනීම - deshaya.lk)
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...