The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'සංවිචාරණීය සමාජයක්' ගැන කෙටි සටහනක් - (සුමිත් චාමින්ද)

T

The Leader Desk

December 1, 2022 • 5:10 AM

'සංවිචාරණීය සමාජයක්' ගැන කෙටි සටහනක් -  (සුමිත් චාමින්ද)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කෘතිය ගැන මට පළමුවෙන් කීමට ඇත්තේ මෙයයි.
  • ඉතාම පැහැදිලි, නිරවුල් සහ රමණීය බස් වහරකින් යුත් පිටු 724 ක පොතක් කියැවීමට යමෙකුට සති දෙකක කාලයක් අවශ්‍ය වන්නේ මන්දැයි ඔබ මගෙන් විමසිය හැකිය.
  • එය සමීපව කියැවිය යුතුය; ඇතැම් කොටස් නැවත නැවත කියැවිය යුතුය; සටහන් පොතක් ළඟ තබාගෙන වැදගත් කොටස් සටහන් කරගනිමින් කියැවිය යුතුය.
  • ජයවීර නිතර උපුටා දක්වන කේට් රේවත්ගේ Doughnut Economics (2017), ඇලන් බදියුගේ In Praise of Politics (2017), මරියානා මාස්සුකාටෝගේ The Entrepreneurial State: Debunking Public vs.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ කෘතිය ගැන මට පළමුවෙන් කීමට ඇත්තේ මෙයයි. ශ්‍රී ලංකාවේ වාම දේශපාලන පක්ෂ සහ සංවිධාන තම තෝරාගත් ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුට දෙසතියක පූර්ණ අධ්‍යයන නිවාඩු ලබා දිය යුතුය. එම දෙසතිය තුළ ඔවුන්ට පැවරිය යුතු එකම කාර්යය වන්නේ මෙම කෘතිය සම්පූර්ණයෙන්ම කියැවීමයි.
ඉතාම පැහැදිලි, නිරවුල් සහ රමණීය බස් වහරකින් යුත් පිටු 724 ක පොතක් කියැවීමට යමෙකුට සති දෙකක කාලයක් අවශ්‍ය වන්නේ මන්දැයි ඔබ මගෙන් විමසිය හැකිය. එයට හේතුව මෙම කෘතිය හුදෙක් මුල සිට අගට කියවාගෙන යාම පමණක් ප්‍රමාණවත් නොවීමයි. එය සමීපව කියැවිය යුතුය; ඇතැම් කොටස් නැවත නැවත කියැවිය යුතුය; සටහන් පොතක් ළඟ තබාගෙන වැදගත් කොටස් සටහන් කරගනිමින් කියැවිය යුතුය. කෘතිය තුළින් පැන නගින අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා ගැන තමන්ගේම සටහන් පවත්වාගෙන යා යුතුය.


kjslවිජයානන්ද ජයවීරවඩා වැදගත් කාරණය වන්නේ 'සංවිචාරණීය සමාජයක්' සඳහා පරිශීලනය කොට තිබෙන මූලික කෘතීන් කිහිපයක්ද මේ සමගම කියවන්නට සිදුවීමයි. ජයවීර නිතර උපුටා දක්වන කේට් රේවත්ගේ Doughnut Economics (2017), ඇලන් බදියුගේ In Praise of Politics (2017), මරියානා මාස්සුකාටෝගේ The Entrepreneurial State: Debunking Public vs. Private Sector Myths (2013) එවැනි අන්තර්-වියමන් කියැවීමකදී මග හැර යා නොහැකි කෘතීන් අතර වේ. ඒ අතරම සංවිචාරණීය (deliberative) ප්‍රජාතන්ත්‍රවාදය සහ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය අතර පවත්නා සමකාලීන න්‍යායික විවාදය ඇසුරින් ජයවීරගේ කෘතිය විචාරයට ලක් කළ යුතුය.

 

books

 

මේ කෘතිය සමග ගණුදෙණු කිරීමේදී ගතානුගතික ලිබරල්වාදය සේම ගතානුගතික මාක්ස්වාදයද අසමත් වනු ඇතැයි යන්න මගේ හැඟීමයි. මන්දයත්, එක් අතකින් ලිබරල්වාදය පදනම් වන ස්වාර්ථකාමී සහ ස්වාමිත්වකාමී පුද්ගලයා පිළිබඳ පෙර සිතාගැනීම සේම මාක්ස්වාදය විසින්ද බෙදාගනු ලබන වෘද්ධිය මත පදනම් වූ ප්‍රගතිය පිළිබඳ පෙර සිතාගැනීමද මේ කෘතිය මගින් අභියෝගයට ලක්වන බැවිනි. තවද, මානව-කේන්ද්‍රීය දැක්මක් මත පදනම් වූ පාරිසරිකවාදයක් වෙනුවට මිනිසා යනු සමස්ත ජීව ගෝලයේ කොටසක් ලෙස සලකන දැක්මක් කරා ගමන් කරන්නටද එමගින් සංවර්ධන විකල්පයක් වෙනුවට සංවර්ධනයට විකල්පයක් සොයා යාමේ ගමනක් අරඹන්නටද සංකල්පීය මං පෙතක් මෙම කෘතියෙන් විවර කරනු ලැබ ඇත. පාරිසරික විපර්යාසය විසින්ද අනතුරු හඟවන පරිදි නූතන ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියේ විවිධ ධාරාවන්හි අර්බුදය හමුවේ අපට දැන් අවශ්‍ය වී තිබෙන්නේ මානවීය විමුක්තිය (එහි බහුවිධ අරුතින්) සමස්ත ජෛව ගෝලයේ පැවැත්ම පිළිබඳ ගැටළුව සමග ඓන්ද්‍රීයව සම්බන්ධ වූවක් ලෙසින් දකින නව දැක්මකි. වෘද්ධිය (growth) පිළිබඳ නූතනත්ව සුසමාදර්ශය බරපතල ලෙස අභියෝගයට ලක්වෙමින් තිබේ.

 

අවසන් වශයෙන් 'සංවිචාරණීය සමාජයක්' කෘතිය තුළින් මග හැරෙන දේශපාලනිකයේ (the political) මානය පිළිබඳ තියුණු විචාරයක් වෙත අපට යොමු විය හැකිය. ජයවීර යෝජනා කරන දෙය ක්‍රියාවට නැගීමට ප්‍රයත්න දරන පළමු මොහොතේදීම බලය, පසමිතුරුතාව, හෙජමොනිය අයත් දේශපාලනිකයේ මානය මතුව ඒම වැලැක්විය නොහැකිය. ඔහුට මග හැරෙන හර්බමාස්-ලැක්ලාවූ-මූෆ්-ශිෂෙක් විවාදය වෙතට එවිට අපට ගමන් කරන්නට සිදු වේ. එහිදී සමාජය යනු සංවිචාරණීය සහ තාර්කික සමස්තයක් වන්නේද, නැතහොත් තාර්කික අරුතකට රැගෙන ආ නොහැකි අඩුවකින් සමන්විත වන්නේද යන මූලධාර්මික ගැටළුවට අප අභිමුඛ වේ. තවත් දුරට ගිය විට අප නිශේධනය යන්න සද්භාවීය අංගයක් ලෙස පිළිගන්නේද යන ගැටළුවට අභිමුඛ වේ. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලනය පිළිබඳ  සාහචර්ය (associational) ප්‍රවේශයක් මත පදනම් වන විට ලැක්ලාවූගේ සහ මූෆ්ගේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය නිර්-සාහචර්ය (disassociational) ප්‍රවේශයක් මත පදනම් වන්නේ දෙවැන්න නිශේධනය, අඩුව, පසමිතුරුතාව, බලය සහ අරගලය යනාදිය දේශපාලනිකයේ සද්භාවීය අංගයන් ලෙස භාරගන්නා බැවිනි.


කෙසේ වුවද, මේ සියල්ල ජයවීරගේ 'සංවිචාරණීය සමාජයක්' සහෘද සංවිචාරණයකට ලක් කිරීමේ ඉදිරි ප්‍රයත්නයකදී සැලකිල්ලට ගත යුතු කරුණුය. එවන් සංවිචාරණයකින් ඔහුගේ කෘතියේ අගය තවත් අවධාරණය වනවා මිස කිසිසේත්ම එය අවතක්සේරු වන්නේ නැත. ඔහුගේ බුද්ධිමය වෙහෙසට සහ කැපවීමට සාධාරණයක් වනු පිණිස මේ කෘතිය විචාරයට ලක් කළ යුතුව ඇත්තේ එතරම්ම බරපතල ව්‍යායාමයක් ඔස්සේ පමණි.


නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන්ට ඔබ්බෙන් යන සෘජු, සහභාගීත්ව සහ සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ කතිකාව ජන අරගලය විසින් ඉහළට ඔසවා තිබෙන වත්මන් මොහොත, ජයවීරගේ බුද්ධිමය දායකත්වය සඳහා කදිම සරු පසක් තිලිණ කොට තිබේ. පැරණි සහ ගතානුගතික මැතිවරණවාදී දේශපාලනයට මේ කෘතියෙන් ගත හැකි කිසිවක් නොමැති වුවත්, මහජන කවුන්සිල ගොඩ නැගීමේ නව දේශපාලන ව්‍යාපාරය සඳහා මෙය අත්පොතක් වනු ඇති බව නිසැකය.


ජයවීර සොයුර, ඔබට ස්තූතියි!


නොවැම්බර් 02 න් පසු වමේ දේශපාලනය - (සුමිත් චාමින්ද)(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
sumith.chaaminda@yahoo.com

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...