The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආනන්දිගෙන් ප්‍රඥාවට - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

December 2, 2022 • 10:15 AM

ආනන්දිගෙන් ප්‍රඥාවට - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බර අවි ළෙලවා, මහා සංහාරයකින් අවසන් කළ යුද්ධයේ අවසන් හෝරා කිහිපය තුළ වට්ටුවාකල් පාලම මතින් ඇවිදන් ආ දහස් සංඛ්‍යාත වින්දිතයන් ඇතුළත් කලින් නොදුටු සේයාරුවක් මිත්‍රයෙකු විසින් වට්සැප් මඟින් එවා තිබිණ.
  • නිර්මාණකරුවා සිය රූපාවලිය නම් කරන්නේ 'රෙබල් ’ස් වයිෆ්' ලෙසින් නොව ‘රෙබල් වයිෆ්’ ලෙසිනි.
  • කලින් ‘සටන්කාමියකුට බිරිඳක්ව’ සිටි ආනන්දි ශෂීදරන්, අපරාධ රාජ්‍ය විසින් සිය සැමියා අතුරුදහන් කරනු ලැබූ පසු ‘සටන්කාමී බිරිඳ’ ලෙස රූපාන්තරණය වීමේ අභ්‍යන්තර විභවය මෙම වාර්තා සිනමාපටය තුළ සංකේතවත් කෙරෙයි.
  • බාලකුමාරන්, බේබි සුබ්‍රමනියම්,යෝගරත්නම් යෝගී, ඉලම්පරිදි, ලෝරන්ස් තිලකර්, කරිකාලන්, සුදාකරන් සහ පාප්පා ඇතුළු ප්‍රකට චරිත 110ක් ඇතුළත් නිල වශයෙන් ප්‍රකාශයට විමුක්ති කොටි කාඩරයේ බහුතරය ෆ්‍රැන්සිස් ජෝෂප් පියතුමා භාරයේ ගිය 360ක් වූ කණ්ඩායමට අයත් වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

khsy

බර අවි ළෙලවා, මහා සංහාරයකින් අවසන් කළ යුද්ධයේ අවසන් හෝරා කිහිපය තුළ වට්ටුවාකල් පාලම මතින් ඇවිදන් ආ දහස් සංඛ්‍යාත වින්දිතයන් ඇතුළත් කලින් නොදුටු සේයාරුවක් මිත්‍රයෙකු විසින් වට්සැප් මඟින් එවා තිබිණ. කන්නන් අරුනාසලම්ගේ 'ආනන්දිමය' වාර්තා සිනමාපටය යළි වරක් නරඹන්නට සිත් පහළ කරවූයේ මෙකී සේයාරුව  විසිනි.

 

rebel wife


නිර්මාණකරුවා සිය රූපාවලිය නම් කරන්නේ 'රෙබල් ’ස් වයිෆ්' ලෙසින් නොව ‘රෙබල් වයිෆ්’ ලෙසිනි. ආනන්දි ශෂීදරන් යනු දෙමළ විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන නායකයකු වූ සින්නතුරෛ ශෂීදරන් හෙවත් එලිලන් නොහොත් ‘මාවිල් ආරු එලිලන්ගේ’ බිරිඳ යි. එබැවින්, මෙම වාර්තා සිනමාපටයේ නාමකරණය දේශපාලනික ව්‍යංගයක් දනවයි. කලින් ‘සටන්කාමියකුට බිරිඳක්ව’ සිටි ආනන්දි ශෂීදරන්, අපරාධ රාජ්‍ය විසින් සිය සැමියා අතුරුදහන් කරනු ලැබූ  පසු ‘සටන්කාමී බිරිඳ’ ලෙස රූපාන්තරණය වීමේ අභ්‍යන්තර විභවය මෙම වාර්තා සිනමාපටය තුළ සංකේතවත් කෙරෙයි.

 

ඇගේ අධිෂ්ඨානය කුමක් වෙනුවෙන් ද? හමුදාවට භාර වූ, ඉක්බිති අපරාධ රාජ්‍ය තුළ එඩ්‍රස් අහිමි වූ සියල්ලන් වෙනුවෙනි. එය එසේ මෙසේ අතුරුදහන් කිරීමක් නොවේ.  උතුරේ ද දකුණේ ද සිදුවූ සියලුම අතුරුදහන් කිරීම් අතර වන සුවිසල්ම සාමුහික අතුරදන් කිරීමයි. පුදුවෛ රත්නතුරෛ, කේ.වී. බාලකුමාරන්, බේබි prabhakaranසුබ්‍රමනියම්,යෝගරත්නම් යෝගී, ඉලම්පරිදි, ලෝරන්ස් තිලකර්, කරිකාලන්, සුදාකරන් සහ පාප්පා ඇතුළු ප්‍රකට චරිත 110ක් ඇතුළත් නිල වශයෙන් ප්‍රකාශයට විමුක්ති කොටි කාඩරයේ  බහුතරය ෆ්‍රැන්සිස් ජෝෂප් පියතුමා භාරයේ ගිය 360ක් වූ කණ්ඩායමට අයත් වූහ. බිස්කට් කන්නට දී මරා දමා තිබූ ප්‍රභාකරන් බාලචන්ද්‍රන් හෙවත් විමුක්ති කොටි නියමුවාගේ බාල පුත්‍රයා ද උන්නේ මෙම ලැයිස්තුවට ඇතුළත්ව ය.

 

 

jds a

මා ද නියෝජනය කරන ‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනමාධ්‍යවේදීයෝ’ (ජේ.ඩී.එස්) සංවිධානයේ සම්ප්‍රදානයෙන් එම වාර්තා සිනමාපටයට එකතු වූ - වාර්තා වෘතාන්තයේ පදනම  සේ දැනෙන - සිය දහස් පීඩිත යුද සරණාගතයන් ඇතුළත් ඒ අතීත රූපාවලිය අතරතුර කැමරාව දෙස ඍජුව බලනා පීඩිත ගැටවරියගේ සමීප රූපය තමන් තුළ නිරතුරු හොල්මං කරන බව කන්නන් විසින් ලියැවුණු ට්වීටර් සටහනක විය. ඔහු පවසන දේ සැබෑවකි. වේදනාවෙන් ඇවිළෙන ඒ ව්‍යාකූල නව යොවුන් මුහුණ නොනැසෙන මතකයක් සිත රඳවයි.


කන්නන් අරුනාසලම් විසින් ස්වකීය වාර්තා සිනමාපට හරහා ගෙන එනු ලබන ප්‍රවාද, දේශපාලන ස්ථාවරයක් පෙන්නුම් නොකළ ද, ඔහුගේ රූපාවලි ගොඩනඟන සාක්ෂි සටහන් සංවාදකටයුතුය. මට අනුව, 'සටන්කාමී බිරින්දෑ' යනු,  යුද වින්දිත ස්ත්‍රීයකගේ වේදනාබර අභ්‍යන්තර චලනය විසින් මතු කෙරෙන ව්‍යාකූල බාහිර පිළිබිඹුවයි.

 

ananthy

 

කන්නන් අරුනාසලම් සිය වෘත්තාන්තය ගොඩ නඟන්නේ ආනන්දි ශෂීදරන්ගේ ආසන්නතම මැතිවරණ ව්‍යාපාරය පසුබිමේ තබා ගෙන ය. එහි වන්නේ, 'සත්‍යය හා යුක්තිය' සොයා යන්නට තමන් තෝරා ගත් මාර්ගය ‘ජාතික ප්‍රශ්නය’ නම් සන්දර්භය තුළ කෙතරම් ව්‍යාකූල දැයි අත්දැකීමෙන්ම ඉගෙන ගනිමින් සිටිනා ‘සටන්කාමී බිරිඳකි’. ඈ සතු වූ ‘ආනන්දිමත් කැරිස්මාව’ නිසා හුදු රාජ්‍යය ක්‍රෑරත්වයේ වින්දිතයෙක් වූ බිරිඳක්ව නොසිට ප්‍රජාතන්ත්‍රවාදී සටනක නායකත්වය දරන ස්ත්‍රීයක දක්වා රූපාන්තරණය වන්නට, පශ්චාත් යුද සමයෙහි දෙමළ දේශපාලන යාන්ත්‍රණය ඇය මෙහෙයවනු ලැබීද ?

 

ඇය මුලින්ම උතුරු පළාත් සභාවට තරඟ කළ 2013 වසරේ, මැතිවරණයට දිනකට පෙරාතුව, නොනිල වෙසින් ආ, සන්නද්ධ ලයිසන් දාමරිකයෝ ඇගේ නිවස ආක්‍රමණය කළහ.  නමුත් ඈ වටා සිටි නිරායුද රැකවල්ලු කෙසේ හෝ ඇය රැක ගන්නට සමත් වූ හ. ප්‍රහාරකයන් අතර හමුදා භටයන් සිටි බවට 101%ක් සහතික බව දකුණු ආසියානු මැතිවරණ නිරීක්ෂණ මණ්ඩල ප්‍රධානී එන්.ගෝපාලසාමි විවෘතවම ප්‍රකාශ කළේ ය. ඔහු පුරුදුවන්නට මැතිවරණ අතර කරක් ගැසූවෙක් නොවේ; ඔහු හිටපු ඉන්දීය මැතිවරණ කොමසාරිස්වරයෙකි. ආනන්දිගේ ජීවිතයට කරදරයක් වුවහොත් හමුදාව ඊට සෘජුවම වග කිව යුතු බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පාර්ලිමේන්තුවේ දී කීවේ ප්‍රහාරය කොහෙන් මතු වී ද යන්නෙහි සඟවන්නට දෙයක් නොමැති බැවිනි. ජීවිත තර්ජන ගැන කිසිවකු හෝ විමසූ විට ආනන්දි කීවේ, තර්ජනයක් නැති ජීවිතයක් යනුවෙන් දෙයක් නොපවතින බව ය. එසේ කියමින් ඇය ගේන් ගෙට මාරු වූවා ය. දියණියන් තිදෙනා ද සමඟිනි. එය අවතැන්භාවය වරනැඟීමක් බඳු සංසිද්ධියකි. තර්ජනය කිරීම තුළින් තමා මෙල්ල කළ නොහැකි බව, ඒ අතරතුර පවා ඇය නොබියව කීවා ය.

 

ananthy q

 

උතුරු පළාත් සභාවේ පළමු ස්ත්‍රී ඇමතිවරිය වූ ඇය, උතුරේ ද දකුණේද සියලු දේශපාලන ප්‍රවාහයන් දැඩි විවේචනයට නතු කරලමින්, අඛණ්ඩව හඬ නඟමින් සිටියේ තම ස්වාමියා ඇතුළු අතුරුදහන් කළ සියල්ලන්ම වෙනුවෙනි; දේශපාලන සිරකරුවන්ගේ නිදහස් වෙනුවෙනි; දෙමළ ජනතාවගේ ස්වයං තීරණය අයිතිය වෙනුවෙනි; මියගිය සහ අතුරුදහන් කළ සටන්කාමී සියල්ලන්ගේ කාන්තා කේන්ද්‍රීය පවුල්වවල අභිවෘද්ධිය වෙනුවෙනි. නමුත් බොහෝ වේදිකාවල කියවෙමින් තිබුණේ ආනන්දි තමන්ගේ ස්වාමියාගේ නම පාවිච්චි කරමින් දේශපාලන ගේමක් ගසමින් සිටිනා බව ය. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අත්දැකීමෙන් ම ඉගෙන ගන්නට යන විට සිදුවන සංසිද්ධීන්ට ඇය අඛණ්ඩව මුහුණ දෙමින් සිටියාය.

 

කන්නන් අරුනාසලම්ට මඟෑරුණු, ආනන්දිගේ සන්තානය අවුළුවන ප්‍රේමය ම පදනම් කර ගත්  ආත්මීය දෘෂ්ටාන්තයක් පවතී.  අතුරුදහන් වූවන් පිළිබඳ සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් ඇය කරන අරගලය පිටුපස සියුම් හුයක්ව පවතින්නේ කිසිදාක අත්හැරලනු නොහෙන ප්‍රේමය පිළිබඳ දෘෂ්ටාන්තයකි.  


ananthy 41ඇය මුලින්ම එලිලන් දකින්නේ ඔහු දේශනයක් පිණිස,  චුල්ලිපුරම්, වික්ටෝරියා විද්‍යාලයට පැමිණි දවසේදීය. විමුක්ති කොටි පාලනයට නතුව තිබූ ප්‍රදේශයන්හි තරුණ ශිෂ්‍ය ප්‍රජාවට ආමන්ත්‍රණය කිරීම එකල සම්ප්‍රදායක්ව පැවතිණ. එලිලන්ගේ උදාරම් පෙනුම සහ පිළිවල ආනන්දිගෙ හද බැඳ ගති. එපමණක් නොව, කුලය සහ දෑවැදි සම්ප්‍රදායන්ට එරෙහිවත්, ස්ත්‍රී අයිතිය පිළිබඳවත් ඔහු ඉදිරිපත් කළ අලුත් අදහස් ආනන්දිගෙ සිත බැඳ ගති. ප්‍රේමය පිළිබඳ ආමන්ත්‍රණය එලිලන් වෙත ගෙන එන්නට ඉක්මන් වුයේ ඇයයි.  අතරමැදියකු හරහා ඇය ගෙන ආ යෝජනාව එලිලන් අතින් කාරුණිකව ප්‍රතික්ෂේප විය. මුහුණට මුහුණ මුණ ගැසී,  ගැටළුව ලිහා ගන්නට ඇය තීන්දු කළේ ඉන් පසුවය. ඇගේ ඉල්ලීමට අවනත වීම සංවිධාන ප්‍රතිපත්තිවලට විරුද්ධ බව පැවසූ එලිලන්, අධ්‍යාපන කටයුතුවලට අවධානය යොමු කරන ලෙස ඇයට තරයේ අවවාද කළේ ය.


ඇය ‘ප්‍රේමය’ අත්හරින්නියක් නොවේ. එලිලන්ගේ දියණියන් තිදෙනාගේ මව බවට ඇය පත් කෙරුණේ ඇගේ අනවරත ආදර ලුහුබැඳීම විසිනි. දෙමළ විමුක්ති සටන්කාමියෙක් හා ජීවත්වන තීන්දුව ගනිද්දීම, ඔහු සටන් බිමේදී මිය යා හැකි විභවයක් සහිත පුද්ගලයකු බව දැන සිටිය යුතු වුවද ඔහු ඇයට අහිමි වූයේ සටන් බිමේ සන්නද්ධව සිටිද්දී නොවේ. ඇගේ පශ්චත්තාපී වේදනාවන්ට හේතු වූ ආසන්නම හේතුව කන්නන් රූගත කරයි.


"එයා මගේ දිහා බැලුවා. මං කිව්වා, යන්න, භාර වෙන්න කියලා. මං කිව්වා ඔයා භාර වුණොත් අවුරුද්දක් දෙකක් හිරබත් කන්න වෙයි. ඊට පස්සෙ නිදහස ලැබෙයි. අපිට පුළුවන් අපේ ජිවිතේ අලුතින් පටන් ගන්න, දරුවො තුන් දෙනත් එක්ක"


‘වට්ටුවාකල් සපත්තු පාළම’ මතින් ඔසවා ගෙන ආ, අවසන් අඩුම කුඩුම අතර තිබූ ඔහුගේ සරමක් ද කමිසයක් ද  බෑගයකට දැමූ ඇය, තමන්ගේ ‘හෑන්ඩ් බෑගය’ තුළ වූ එලිලන්ගේ ‘අයිඩෙන්ටිය’ ඔහු ඇඳ සිටි කමිසයේ සාක්කුවට දැම්මේ "අපි වෙනුවෙන් භාර වෙන්න" යි කියමිනි.

 

"මමයි එයාව හමුදාවට භාර දුන්නෙ; මමයි මගේ කෙල්ලො තුන් දෙනාගේ අප්පව හමුදාවට භාර දුන්නෙ. මට යුක්තිය පිළිබඳ සටනක් තියෙනවා. මේ පොළොවෙම. ඒ මගේ ස්වාමියා වෙනුවෙන්. මේ තාක් සිද්ධ වෙච්ච සුවිශාලම අතුරුදහන් කිරීමට එරෙහිව යුක්තිය දිනා ගැනීම වෙනුවෙන්."


දේශපාලන සරණාගතයින් ලෙස පහසුවෙන් ම විදෙස් ගතවන්නට ඔවුනට  අවකාශ තිබිණ. නමුත්, ඇය එවන් තීන්දුවක් නොගෙන සිටින්ට තීන්දු කළේ පශ්චත්තාපී වේදනාවට සාක්ෂි දැරීමට විය යුතු ය. සියලුම අතුරුදහන් කිරීම් පිටුපස වන්නේ ප්‍රේමය සහ ජීවිතය පිළිබඳ මෙවැනි නොනැසෙන මතකයන් ය. එවන් ගැඹුරු මතකයන්, මැතිවරණ ප්‍රජාතන්තවාදය නම් නරා වළ තුළ තනුක වී ක්ෂය වී යයි.  


kannanකන්නන් අරුනාසලම්‘ග්‍රවුන්ඩුවීව්ස්’ වෙබ් අඩවිය සමඟ කෙරුණු සංවාදය අවසන් කරන මොහොතේ,  කන්නන් අරුනාසලම්, වාර්තා සිනමාකරුවකු ලෙස තමා ‘සටන්කාමී බිරින්දෑ’ හරහා සහෘදයා ඥානනය කරන්නේ කොතැනින් දැයි තමාවම ප්‍රශ්න කර ගනියි.  ආනන්දි ශෂීදරන්, ස්වකීය ‘’ප්‍රේමය’’ මෙලොව  තවමත් කොතැනක හෝ -   කටුක වේදනා ගහන ලිම්බෝවක -  ජීවිතය පිළිබඳ අපේක්ෂාව හා ශෝචනය අතර අතරමංව, එනමුත් නොනැසී ඇතැයි තවමත් විශ්වාස කරමින් සිටිනා බව කන්නන් සිතයි. එහෙත් දහතුන් වසරක් තිස්සේ  එලිලන් ද, සෙස්සන් ද අතරුදහන් ය. ඉදින් අවසන, සිනමාකරුවා මෙසේ කියයි.


‘’ඔවුන් සියල්ලන් ම අතුරුදහන් කෙරුණේ ඔවුන් දෙමළ නිසා’’


එය අවිවාදිත සත්‍යයකි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය නම් නරා වළේ එරෙමින්, මැතිවරණ මර උගුල්  අතර සරමින් ආනන්දි ශෂීදරන් නම් ‘සටන්කාරී බිරින්දෑ' සොයමින් සිටින්නේ කුමක් ද?


රොබර්ට් ෆ්‍රොස්ට්, කවිය අරභයා කී චිරප්‍රකට කියමන මම ආනන්දි අරභයා යළි මෙසේ වරනඟමි.  ඇය තමන් තුළ ම සොයමින් සිටින්නේ ‘ආනන්දිගෙන් ප්‍රඥාවට’ යන මාර්ගයයි.



නිමලරාජන්ගේ බයිසිකලය - මංජුල වෙඩිවර්ධන(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwar@gmail.com

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත 2022.12.01)



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...