ඒ සන්නා මා දන්නා නමුත් මේ කියන්නේ වෙනත් දෙයක් ගැනයි. ඒ සන්නාම හෙවත් බ්‍රෑන්ඩ්ස් ගැන යි. සන්නාමිත යන්නෙන් මා හඟවන්නේ බ්‍රෑන්ඩඩ් යන අරුත යි (සන්නාමිත ලෙස පිළිසකර කෙරුණු වදනේ බස් දොස් ඇත්නම් බස් වෙදෙකු මට වෙදකම් කරත්වා). සන්නාම යන්න ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලියේ, යම් භාණ්ඩයක හෝ සේවාවක අනන්‍යතාවයේ සීමා නීර්ණය කරන නීතිම ය හා අලෙවි ප්‍රවර්ධනාත්මක මෙවලම යි.
සමහර විට මේ සන්නාමය කලක් යන විට මූලික භාණ්ඩයේ හෝ සේවයේ ජෙනරික් හෙවත් සාමන්‍ය නම අභිබවා ගොස් සාමාන්‍යකරණය වේ. උදාහරණයකට අප රබර් සෙරප්පුවට කියන්න බාටා දෙක කියා ය. ඉන්දියාවේ පොටෝ කොපි කරනවා කියන්න සීරොක්ස් (හෝ ජීරෝක්ස් - ඉන්දියානුවන් ස යන්න ජ ලෙස උච්චාරණය කරන නිසා) කරනවා කියා ය. පිලිපීනයේ ෆිල්ම් රෝලකට කියන්නේ කොඩැක් කියා ය. බාටා, සෙරෝක්ස් (Xerox) හා කොඩැක් යනු අති විශාල සමාගම් ය. ඒවා බහුජාතික සමාගම් ද වේ.
කාලය නම් හරියට ම මතක නැත. එහෙත් තරමක කලකට පෙර ය. රාජකාරී කටයුත්තකට මම ඉන්දුනීසියාවට ගොස් වැඩ කටයුතු අවසන් කොට, නැවත ලංකාව බලා ඒමට ලැහැස්ති වෙමින් සිටියෙමි. මා එවර පිට වීමට නියමිත ව තිබුණේ ජකාර්තා නුවර පිහිටි ප්‍රධාන ගුවන් තොටුපොලින් නොවේ. මා වැඩ කටයුතු කළ මධ්‍යම ජාවා ප්‍රදේශයට සමීප ගුවන් තොටුපොල වූයේ සෙම්රන් හි පිහිටි අත්මඩ් යානි ගුවන් තොටුපොල යි. ඒ වන විට ම'විසින් වියදම් නොකළ ඉන්දුනීසියානු රුපියා නෝට්ටු විශාල ප්‍රමාණයක් අතේ තිබිණ. සාමාන්‍ය සිරිත මේ මුදල් නැවත ඩොලර් වලට ගුවන් තොටුපොළේ ඇති විනිමය අලෙවි සැලකින් මාරු කර ගැනීම යි. එහෙත් සෙම්රන් ගුවන් තොටුපොළේ එවන් අලෙවි සැලක් නොතිබිණි. මේ සා රුපියා ප්‍රමාණයක් ලංකාවට ගෙන ඒම නිරර්ථක ක්‍රියාවක හෙයින් මා ගුවන් තොටුපොළේ ඇති මිලාධික සාප්පුවකින් යමක් ගත යුතු යී සිත හදා ගතිමි.
බ්‍රෑන්ඩඩ් හෙවත් සන්නාමිත ඇඳුම් සාප්පුවකට ගිය මම ගැලැපෙන කමිසයක් තෝරාගැනුමට වට පිට බලමින් සිටියෙමි. රුපියා ටික වියදම් කිරීම හැර වෙන ඉලක්කයක් හෝ අදහසක් මා තුල නොතිබුණ බැවින් මට යමක් තෝරා ගැනුම තරමක් අපහසු විය. මේ බව ඉවෙන් හෝ තේරුම් ගත් සාප්පු හිමියා මා වෙත අවුත් යමක් නිර්දේශ කළාට කමක් නැද්ද යී අසා පසු ව කාකි පාට ඉස්තරම් වර්ගයේ ලිනන් රෙද්දකින් කියා මැසුණු කමිසයක් මා වෙත දෙමින් කීවේ මෙය නම් මහත්මයාට යසට ගැළපෙනවා කියා ය. කාකි පාට පසුබිමේ ඉස්මතුවෙන පරිදි බොත්තම් අල්ලා තිබුණේ ලේ රතු පැහැති නූලකිණි. ඒ නූලෙන් ම බොත්තම් කාස ද බොත්තම් පිහිටි සිරස් තීරුව හෙවත් බොක්ස් ප්ලේටයේ දෙපැත්තේ රතු නූල පාස් කර තිබුණේ ය.
ඇමෙරිකානු ජාතික බොබ් ඩිලන් ලොව සිටි ඉහල ම මට්ටමේ ගීත රචකයෙකු හා ෆෝක් හෙවත් ජන ගී (බැද්දගේ හා රන්වල සමග පටලවා නොගනු මැන) ගායකයකු ලෙස පිදුම් ලද අයෙකි. ඔහුගේ ජනප්‍රිය ම ගීතය වූයේ හැටේ දශකයේ මුල කෙරුණ 'බ්ලොයින් ඉන් ද වින්ඩ්' ගීතය යි. මෙය ඇමෙරිකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ඇන්තමය ලෙස නිතර නිතර ගැයිණ. ලංකාවේ ප්‍රගතිශීලී දේශපාලන රැලි හා හමුවල 'යදමින් බැඳ විලංගු ලා' ගීතය ගැයෙන මෙනි. ඩිලන්ගේ ගීතය එකල ලොව පුරා පැතිර ගිය යුධ විරෝධී ව්‍යාපාරයේ ද ඇන්තමය බවට පත් විය.
මගේ මනසේ මේ පරණ තැටිය වාදනය වුනේ මීට සති කිහිපයකට පෙර කොළඹ පැවැති මාසික විරෝධතාවයක දක්නට ලද දසුනක් නිසාවෙනි. එදින විරෝධතාවයේ තේමාව වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් පීටීඒ අවලංගු කිරීම හා ඒ යටතේ රඳවාවාගෙන තිබෙන ගිහියෙකු හා පැවිද්දෙකු මුදවා ගැනීම යි. විරෝධතා පෙරහැරේ විවිධ අංග දක්නට ලද අතර, පෙරහැරේ යම් සැලකිය යුතු පරතරයක් හා ඉඩකඩක් සාදා ඒ තුල ස්ථානගත කර තිබුණේ තරමක ඇහැට කනට පෙනන ලඳකි. ඕ හැඳ සිටියා සුදුඅත් කොට ටීෂර්ටයකි. එය ජාත්‍යන්තර සන්නම් ලෝකේ ඉහළින්ම වැජඹෙන සන්නමක් වන නයිකි ටීෂර්ටයකි.
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com
(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න




