The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අලුත් ඇමැතිවරයෙක් ඕනෑකර තිබේ - (කපිල කුමාර කාලිංග)

T

The Leader Desk

December 6, 2022 • 7:16 AM

අලුත් ඇමැතිවරයෙක් ඕනෑකර තිබේ - (කපිල කුමාර කාලිංග)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතැම් අය මෙවර අයවැය දුටුවේ ''ගංජා බජට්'' එකක් ලෙසය.
  • රට වැටී තිබෙන අගාධය ගැන සිහියෙන් සිතන කෙනකුට, කංසා රට පටවා හෝ ඩොලර් ටිකක් සොයාගැනීමේ ලොකු අවුලක් ද නැතැයි හැඟෙනු ඇත.
  • කංසා නොහොත් ගංජා ආයුර්වේදයේදී ''ත්‍රෛලෝක විජය පත්‍රම්'' යන ගරු ගාම්භීර නාමය ලබන්නේ එහි ඇති ඖෂධීය ගුණය නිසාය.
  • (කංසා දුම අදින්නකුට ත්‍රෛලෝකයම පෙනෙන්නට ගත්තේ යැයි උපහාස කියුමක්ද ඇත) ඉංග්‍රීසියෙන් මරිජුවානා ලෙසින් ප්‍රකට වූ කංසා පැළෑටියේ, උද්භිද විද්‍යාත්මක නාමය කැනබීස් සැටිවා ය.
අකුරු ප්‍රමාණය (Font Size):



ඇතැම් අය මෙවර අයවැය දුටුවේ ''ගංජා බජට්'' එකක් ලෙසය.


විදේශ විනිමය ඉපැයීමේ අරමුණෙන් කංසා වගාවට ඉඩදිය හැකිදැයි සොයාබැලීමට මෙවර අයවැයෙන් යෝජනා වීම ඊට හේතුවය.


රට වැටී තිබෙන අගාධය ගැන සිහියෙන් සිතන කෙනකුට, කංසා රට පටවා හෝ ඩොලර් ටිකක් සොයාගැනීමේ ලොකු අවුලක් ද නැතැයි හැඟෙනු ඇත.


අවසර නැතත්, කංසා යනු දැනටමත් මෙරට ජනප්‍රිය හේන් ගොවිතැනකි.

 

කංසා නොහොත් ගංජා ආයුර්වේදයේදී ''ත්‍රෛලෝක විජය පත්‍රම්'' යන ගරු ගාම්භීර නාමය ලබන්නේ එහි ඇති ඖෂධීය ගුණය නිසාය. (කංසා දුම අදින්නකුට ත්‍රෛලෝකයම පෙනෙන්නට ගත්තේ යැයි උපහාස කියුමක්ද ඇත) ඉංග්‍රීසියෙන් මරිජුවානා ලෙසින් ප්‍රකට වූ කංසා පැළෑටියේ, උද්භිද විද්‍යාත්මක නාමය කැනබීස් සැටිවා ය.

 

ඕනෑම දෙයක් පමණට වඩා හොඳ නැත. කංසා දුමෙහිද හොඳ නරක දෙකම ඇත. දිගුකලක් කංසා දුමට ඇබ්බැහිවූවන්ගේ යටි පතුල්වල ''ගංජා ගැට'' සෑදෙන බවක්ද අප අසා ඇත. උඩ පනිමින් ගමන් කරන අයට ''ගංජා කාරයා වගේ ඇවිදිනවා'' යැයි කියන්නේ ඒ නිසාය.


ගංජා පානය තහනම් කර ඇත්තේ මූලිකවම සෞඛ්‍යයට අහිතකර නිසාත් එයින් මිනිසුන් මත්වන නිසාය. එහෙත් ගංජාවට පක්ෂපාතී, ''ගංජා රසිකයන්'' පවසන්නේ, ඉන් මනසට මහත් ආනන්දයක් ලැබෙන බවය. ගැඹුරු සිතිවිලි උපදින බවය. සමහරු ගංජා ගැහුවාක් මෙන් කල්පනා කරන්නේ යැයි කියන්නේද ඒ නිසාය.


''ගංජා මනසේ'' ස්වභාවය තේරුම් ගැනීමට ඉවහල් වන, සිනා කතාවකි මේ.


එකම නවාතැනක වෙසෙන මිතුරන් තිදෙනෙක් නිවාඩු දිනයක මුහුදු වෙරළට ගියහ. තම තමන් කැමැති විදිහට විනෝද වීමට ඔවුහු කතිකා කර ගත්හ. අරක්කු ලෝලියා අරක්කු බිව්වේය. තවකෙක් රා බිව්වේය. අනෙකා ගංජා සුරුට්ටුවක් ඇද්දේය.


හොඳහැටි මත් වී ආපසු ආ ඔවුනට යතුර නැති බව වැටහුණේ, නවාතැන් දොරකඩදීය.


''දැන් මොකද කරන්නේ.'' ඔවුහු එකිනෙකා දෙස බැලූහ.


''ප්‍රශ්නයක් නෑ මචං. අපි බිම කොහේ හරි බුදිය ගමු..'' රා බිව් තැනැත්තා කීය.


''නෑ... නෑ... අපි දොරට පයින් ගහල කඩමු.'' අරක්කු ලෝලියා පයක් ඔසවමින් කෑ ගැසුවේය. ගංජාකාරයා ඔවුන්ට එකඟ නොවී, තැන්පත් ස්වරයෙන් මෙසේ කීය.


''උඹලා කවුරුවත් කලබල වෙන්ඩ ඕනෙ නෑ... අපි එක එක්කෙනා, හෙමීට යතුරු හිලෙන් රිංගල ගිහින්, ෂේප් එකේ නිදාගමු.''


රා, අරක්කු හා ගංජා වැඩකරන තුන් ආකාරයක්ද මේ කතාවෙන් කියැවේ.


කංසා වගාවට නීතියෙන් අවසර ලැබෙන්නට යද්දී, නීති විරෝධී මත්පැන් නොහොත් කසිප්පු නිෂ්පාදකයන්ගේ ද සිත් රිදීමට ඉඩ තිබේ.


එක අතකින් බැලූ විට කසිප්පු ද දේශීය අමුද්‍රව්‍ය යොදා නිපදවන, ස්වදේශීය නිෂ්පාදනයකි. එයද රට යැවීමට කටයුතු කළොත්, කංසාවලටත් වැඩි ආදායමක් ඉපැයිය හැකි යැයි මට හැඟෙයි. දංකොටුව ස්පෙෂල්, බාබ්ඩ්වයර් බ්‍රෑන්ඩ්, වයිටා විස්කි, ''ඇති හිටියා'', ඇරුක්, යනාදී වශයෙන් නම් යෙදිය හැකි බවත්. වෙළෙඳ සලකුණු සඳහා ගෝනුස්සා, කටුස්සා වැනි සතුන් යොදාගත හැකි බවත් යෝජනා කර සිටිමි.

 

දේශීය මත්පැන් අමාත්‍යාංශයක්ද පිහිටුවිය හැකි අතර, එහි ඇමැතිකම් දැරීමට සුදුස්සෙක් දියවන්නාවෙන් සොයාගැනීම ඉතා පහසුය. සමහරවිට ඒ සඳහා තරගයක්ද ඇතිවිය හැකිය.

 

කොතෙක් එපා කිව්වත්, මිල වැඩි කළත්, තහංචි පැනවූවත් මිනිස්සු බොති. සතුටට, දුකට, තනිකමට, මහන්සියට බොති. මඟලේදී, අවමඟුලේදී පමණක් නොව බණේදී, පිරිතේදීත් බොති. මත්පැන් බීමට හේතු රුසකි. ඒ ගැන ''දොඩමළු'' වීමට මෙවැනි තීරු ලිපියක ඉඩකඩ නැත. එහෙයින් මත්පැන් ලෝලියකු පිළිබඳ කතාවකින් මෙවර ''හී සරය'' නිම කරමි.


මැදිවියේ පුද්ගලයෙක්, අවන්හලකට ගොස්, බීර වීදුරු තුනක් මිල දී ගෙන බීමට වූයේය. දෙවැනි දිනයේදී ද ඔහු එසේ කළේය. ඒ දුටු බීම කවුන්ටරයේ සේවකයා මෙසේ කීය.


''සර්, අපරාදෙනෙ බියර් ග්ලාසස් තුනක් එක පාර ගන්නෙ... එකක් බොනකොට අනික් දෙකේ කූල් බහිනවනෙ.''


''ඒකට කමක් නෑ. මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. මම ඒ ගොල්ලො මතක් වෙන්නත් එක්ක තමයි මෙහෙම බොන්නෙ.... අනික් දෙන්නත් එහෙම තමයි. ඒක තමයි අපේ බැඳීම.''


සේවකයා සතුටට පත්ව නිහඬ විය. මසකට පමණ පසුව මැදිවියේ පුද්ගලයා පැමිණ බීර වීදුරු දෙකක් පමණක් ගත්තේය. එදෙස විමසිල්ලෙන් බැලූ සේවකයා මෙසේ කීය.


''මට හරි දුකයි සර්... ජීවිතේ හැටි ඔහොම තමයි.''


''ඇයි එහෙම කියන්නෙ?''


''සර්ගෙ එක සහෝදරයෙක් නැතිවුණාද?''


''නෑ... නෑ... එහෙම දෙයක් නෑ...''


''එහෙනං අද එක බියර් එකක් අඩු කෙරුවෙ?''


''මං වයිෆ්ට පොරොන්දු වුණා, අද ඉඳන් බීම නවත්වනව කියලා. ඒත් මගෙ මල්ලිල නවත්තල නෑනෙ.''


පරණ නොවන විහිළු කතා - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...