The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : දම්සභා මණ්ඩපය - (සුන්දර නිහතමානි ද මැල්)

T

The Leader Desk

December 6, 2022 • 9:02 AM

මානීගේ තීරුව : දම්සභා මණ්ඩපය - (සුන්දර නිහතමානි ද මැල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භාරදුන්නේය "සර්, මම මේ රස්සාවෙන් අස්වෙන්න කියල " "මේ මොකද හිටිහැටියෙම ?" පුදුමයට පත්වූ කර්තෘ ඇසුවේය.
  • මම නම් හිතන්නෙ සජිත් කොලේ බලාගෙන බුද්ධ ධර්මය ගැන කථාකරන කොටයි මේ හාදයට මුළු පාර්ලිමේන්තුවම එපාවෙන්න ඇති කියල " පත්තරේට දේශපාලන ඕපාදූප ලියන ලේඛකයාද මෙහිදී කතාවට එකතු⁣ වූයේය.
  • "බුද්ධාගම රාජ්‍ය ආගම වුණු රටේ ජනාධිපතිම බෞද්ධ කතාබහට මුල පුරල තියෙද්දි, අර ඉහ නිකට පැහිච්ච කථානායක දැන් ඔය බණ කතා ඇති කියල කිව්වම හොඳ බෞද්ධයෙකුට පාර්ලිමේන්තුව එපාවීමත් පුදුමයක්ද ?" කතාව දිගින් දිගට ඇදී යද්දි කර්තෘගේ රතු කට්ට පැන්නේය.
  • "මොකක්ද තමුසෙගෙ ප්‍රශ්නෙ ?" "මං හිතුවෙ ඒක කාටත් තේ⁣රෙනව ඇති කියලනෙ" පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේය .
අකුරු ප්‍රමාණය (Font Size):

භාරදුන්නේය


"සර්, මම මේ රස්සාවෙන් අස්වෙන්න කියල "
 

"මේ මොකද හිටිහැටියෙම ?" පුදුමයට පත්වූ කර්තෘ ඇසුවේය.
 

"මට මේ හැමදෙයක්ම එපා වුණා සර්" කියා සිටි පාර්ලිමේන්තු වාර්තාකරු සන්සුන්ව සිය පුටුව කරා ගොස් මේසය අස්කරන්නට වූයේය.
 

"තමුසෙල කවුරුවත් දන්නෙ නැද්ද ඕයි මේ මිනිහට හදිසියෙම මොකද වුණේ කියල" කර්තෘ නොඉවසිල්ලෙන් ඇසුවේ තවමත් තමා ඉදිරියේ සිටින අනෙකුන්ගෙනි." මිනිහ ඕක ⁣බොහොම කැමැත්තෙන්නෙ කරගෙන ගියේ "
 

"පහුගිය දවස්වල වෙච්ච දේවලින් මොකද වුණේ කියල  හිතාගන්න පුළුවන්නෙ "නියෝජ්‍ය කර්තෘ වහාම කියා සිටියේය.
 

"පාර්ලිමේන්තුව බණ මඩුවක් වුණාට පස්සෙ මෙයා වගේ දේශපාලන උණක් තියෙන මිනිහෙකුට පාර්ලිමේන්තු වාර්තා කිරිල්ල එපා වෙනව නේන්නම් "
 

සගයන් අතර "මහානායක"හැටියට හැඳින්වෙන බෞද්ධ පිටු සංස්කාරකවරයා ඒ කතාවට එකඟ නොවීය.
 

"ඔය මනුස්සය ඒ කාලෙ ධර්මාචාර්ය විභාගෙනුත් පාස් වෙච්චි, ගමේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය වෙලත් හිටපු කෙනෙක් "ඔහු අන්‍යයන් නොදන්නා විස්තරයක් සිය සගයා ගැන කියා සිටියේය . "එහෙම තියෙද්දි පාර්ලිමේන්තුවෙ  බෞද්ධ කාරණා ගැන කතා කරනවට එයැයි සතුටුවෙනව මිසක්  විරුද්ධ වෙයිද ?"
 

පත්තරේ කාටූන් ශිල්පියා ඒ අසා අත්පුඩියක්ද ගැසුවේය.
 

"ඔය තියෙන්නෙ බඩු "ඔහු සන්තෝෂයෙන් කියා සිටියේය ."මෑන්ට බුද්දාගම ගැන ඔචිචර දැනීමක් තිබුණ නම්, රටේ ජනාධිපති දේවදත්තට අංගුලිමාල කිව්වම සසර කළකිරීමෙ පුදුමයක් නෑනෙ "
 

පත්තරේ යූඑන්පිය භාර වාර්තාකරුට ඒ කතාවෙන් යකා නැග්ගේය.
 

"ඔහේගෙ කාටූන් කෑලි හරියන්නෙ නෑ මෙතනට" ඔහු ⁣කාටූන් ශිල්පියාට ඇඟිල්ල දික්කරමින් කියා සිටියේය."අපේ මිනිහ අපි එක්ක හැමදාම ⁣දැන් පාර්ලිමේන්තුවෙ හොඳ කථිකයො නෑ කිය කියනෙ හිටියෙ. මම නම් හිතන්නෙ සජිත් කොලේ බලාගෙන බුද්ධ ධර්මය ගැන කථාකරන කොටයි මේ හාදයට මුළු පාර්ලිමේන්තුවම එපාවෙන්න ඇති කියල "
 

පත්තරේට දේශපාලන ඕපාදූප ලියන ලේඛකයාද මෙහිදී කතාවට එකතු⁣ වූයේය.
 

"හැබෑ මාක්ස්වාදියොන්ට නම් ආගම් දිරවන්නෙ නෑ කියලනෙ අපි අහල තියෙන්නෙ "ඔහු වෙනත් කාරණයක් මතු කළේය ."එහෙම තියෙද්දි ජේවීපී  ලීඩර් බෞද්ධ කතා කන්ඩෙම් නොකර එයත් මේ බෞද්ධ වාදවලට එකතු වුණාම අපේ මෑන්ට මල පැන්නද දන්නෙ නෑ නේද ?"
 

"බෞද්ධ සාකච්ඡාවට වැඩියෙ ලොකු ප්‍රශ්නයක් මෙතන තිබුණ කියල කාටවත්  පෙනුණෙ නැද්ද ?" විශේෂාංග කර්තෘ හිත රිදුණු හඬකින් කතා කළේය .
 

"බුද්ධාගම රාජ්‍ය ආගම වුණු රටේ ජනාධිපතිම බෞද්ධ කතාබහට මුල පුරල තියෙද්දි, අර ඉහ නිකට පැහිච්ච කථානායක දැන් ඔය බණ කතා ඇති කියල කිව්වම හොඳ බෞද්ධයෙකුට පාර්ලිමේන්තුව එපාවීමත් පුදුමයක්ද ?"
 

කතාව දිගින් දිගට ඇදී යද්දි කර්තෘගේ රතු කට්ට පැන්නේය. ඔහු අත දිගු කර පාර්ලිමේන්තු වාර්තාකරු නැවත එතැනට කැඳෙව්වේය.
 

"ඕයි, තමුසෙට යුතුකමක් තියෙනවනෙ ඉල්ලා අස්වෙනව නම් ඒකට හේතුකාරණා පැහැදිලි කරල දෙන්න " කර්තෘ ඇසුවේය. "මොකක්ද තමුසෙගෙ ප්‍රශ්නෙ ?"
 

"මං හිතුවෙ ඒක  කාටත් තේ⁣රෙනව ඇති කියලනෙ" පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේය . "දැන් බලන්න රටේ වැඩිදෙනාගෙ ආදායමට වැඩියෙ වියදම වැඩියි. ඒ නිසා මිනිස්සුන්ට අඩුතරමින් හරියට කන්නබොන්නවත් නෑ. එහෙම තියෙද්දි මේ හාදයො දවසකට ලක්ෂ අනූවක් රටේ සල්ලි වියදම් කරල අංගුලිමාලද දේවදත්තද කියල බණ ටෝක් දෙනව. බුදුහාමුදුරුවොත් බණ කිව්වෙ නෑනෙ බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ට. ඒ වුණාට යක්කු හිනාවෙවී බණ කියනව බඩගිනිකාරයින්ට"


මානීගේ තීරුව : යළි උපදිමු ශ්‍රී ලංකා ?- (සුන්දර නිහතමානි ද මැල්)(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...