The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අඳුරු සමක් තිබීම කොන් වීමට හෝ කොන් කිරීමට හේතුවක් ද?

T

The Leader Desk

December 7, 2022 • 12:42 PM

අඳුරු සමක් තිබීම කොන් වීමට හෝ කොන් කිරීමට හේතුවක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ප්‍රශ්නය හමුවේ හදවතින් හඬා වැටුණු මව සිය පුතු එම ප්‍රශ්නය ඇසීමට හේතුවූ කරුණු විමසුවාය.
  • කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක ලෙස සේවය කරන පියුමි ගමගේ මීට පෙර නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කර ඇති අතර තමන් කුඩා අවධියේ පවුල තුළදී ම වෙනස් ලෙස සැලකීමකට ලක්වූ බව පැවසීය.
  • වැඩිහිටියන් ද 'ගැඹුරින් නොසිතා' තමන්ගේ සමේ පැහැය සම්බන්ධයෙන් කළ විහිළු හේතුවෙන් තමන් දැඩි කණස්සල්ලට පත්වූ බව ඇය සදහන් කළාය.
  • කියලා." ඇය පවසන්නේ, තමන්ගේ තොල් හෝ සම අඳුරු වීම තමන්ගේ අවශ්‍යතාවක් වෙනුවෙන් සිදුවූ දෙයක් නොවන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

විමසීය.

 

එම ප්‍රශ්නය හමුවේ හදවතින් හඬා වැටුණු මව සිය පුතු එම ප්‍රශ්නය ඇසීමට හේතුවූ කරුණු විමසුවාය.

 

"මට සමහර යාළුවො කළුවා කියල විහිළු කරනවා. ඒ වෙලාවට මට ගොඩක් දුක හිතෙනවා අම්මේ," එම දරුවාගේ පිළිතුර එය විය.

 

මෙම දුක්ඛිත අත්දැකීම ගැන බීබීසී සිංහල සේවයට පැවසුවේ, නම හෙළි කළ නොහැකි ඉහත කී දරුවාගේ මවයි.

 

"මට ගොඩක් දුක හිතුණා දරුවා එහෙම කිව්වා ම. ඉතින් මම එයාගේ හිත හැදුවා ළමයි ලස්සන වෙන්නෙ හමේ පාටින් නෙවෙයි, කරන යහපත් වැඩවලින් කියලා. ලෝකේ ගොඩක් අයගේ ආදරය සහ ගෞරවය ලබන අඳුරු සමක් තියෙන මිනිස්සු ගැන මම පුතාට කියලා දුන්නා. පුතා ඒකෙන් ටිකක් හිත හදා ගත්තා," ඇය කීවාය.

 

Bullying

 

සමේ අඳුරු පැහැය නිසා හිත් තැවුලට පත්වූ පළමු හෝ අවසන් දරුවා ඉහත කී දරුවා නොවේ. බොහෝ විට සමේ පැහැය නිසා වෙනස්කම්වලට ලක්වූ තවත් බොහෝ දෙනෙක් ලෝකයේ සිටිති.

 

එවැනි අත්දැකීම් සහිත තවත් කිහිප දෙනෙක් සිය අමිහිරි අත්දැකීම් බීබීසී සිංහල සේවය හරහා හෙළි කිරීමට කැමැත්ත පළ කළහ.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක ලෙස සේවය කරන පියුමි ගමගේ මීට පෙර නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කර ඇති අතර තමන් කුඩා අවධියේ පවුල තුළදී ම වෙනස් ලෙස සැලකීමකට ලක්වූ බව පැවසීය.

 

"මට අක්කා කෙනෙක් ඉන්නවා. අක්කා ටිකක් මට වඩා සුදුයි. නෑදෑයෝ ඉතින් ඒ කාලේ කිව්වා අක්කා නම් සුදුයි, චූටි මැණිකෙ නම් කොහෙන් හරි අහුලගෙන ඇවිල්ලා, කාණුවෙන් අරන් ඇවිල්ලා, එයා කළුයි නේ එහෙම කියලා," ඇය පැවසීය.

 

වැඩිහිටියන් ද 'ගැඹුරින් නොසිතා' තමන්ගේ සමේ පැහැය සම්බන්ධයෙන් කළ විහිළු හේතුවෙන් තමන් දැඩි කණස්සල්ලට පත්වූ බව ඇය සදහන් කළාය.

 

ඇයට එවැනි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවූයේ, කුඩා අවධියේ පමණක් නොවේ.

 

"මට තියෙන්නෙ කළු පාට තොල්. අනිත් අයට වඩා ඒක ටිකක් වැඩිපුර පේනවා. මට මතකයි උසස් පෙළ පන්ති යනකොට ළමයි දෙදාහක් විතර ඉස්සරහා පිරිමි ළමයි ටිකක් මට කෑ ගැහුවා "කට කළුවා" කියලා. ඒ වෙලාවෙදි මං ගොඩක් අපහසුතාවට පත්වුණා. මට හරි දුකයි පාරෙ යනකොට වුණත්, පන්ති ගිහින් ගෙදර යනකොට වුණත් මේ ගොල්ලෝ මට කෑගහනවා, "කට කළූ" කියලා. දැනුත් සමහර වෙලාවට කියනවා ඔයාගෙ තොල් කළුයි නේ ද? ඒ කියන්නෙ ඔයා නපුරු කෙනෙක් නේ ද? කියලා."

 

ඇය පවසන්නේ, තමන්ගේ තොල් හෝ සම අඳුරු වීම තමන්ගේ අවශ්‍යතාවක් වෙනුවෙන් සිදුවූ දෙයක් නොවන බවය.

 

"මගේ තොල් සහ සම අඳුරු වුණේ මගේ අවශ්‍යතාවකට ද? තොල් කළු අය විතර ද නපුරු? තොල් සුදු පාට අයට කේන්ති යන්නෙ නැද්ද?" ඇය සමාජයෙන් විමසයි.

 

ඇය සමාජයෙන් ඉල්ලා සිටින්නේ, තමන් කුඩා අවධියේ මුහුණ දුන් අපහසුතාවන්ට වෙනත් කිසිදු සිසුවෙකුට මුහුණ දිමට ඉඩ නොසලසන ලෙසය.

 

"කළු නිසා" කුඩා කල අහිමි වූ සියල්ල පසුව හිමි කර ගත් කල්පනා

 

කල්පනා කාවින්දි යනු මේ වන විට ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයේ යම් පමණකට අනන්‍යතාවක් ගොඩ නගා ගත් ගායන ශිල්පිනියකි.

 

ඇය කුඩා කල සිය අඳුරු සම නිසා ම බොහෝ දේ අහිමි වනු බලා සිටිමින් ජීවිතයේ පන්නරයක් ලැබූ තරුණියකි.

 

අඳුරු සම නිසා ඇය තමන් කුඩා කල මුහුණ දුන් අත්දැකීම් ඇසුරෙන් ලියූ සටහනක ඇගේ අත්දැකීම් සියල්ල පැහැදිලි කර තිබේ.

 

එම සටහනෙන් උපුටා ගත් කොටසක් පහත දැක්වේ.

 

'අම්ම එක්ක ගමනක් යන හැම මොහොතක ම සෙනගක් ඉස්සරහ අම්මේ... කියල කතා කරද්දී, ඒ ඇත්තට ම ඔයාගෙ ම අම්ම ද කියල එතන අය මගෙන් අහන නිසා, තාත්තා එක්ක ම ගමං යන්න ආස වුණ කෙල්ලෙක් මං.

 

අම්මලගේ ඉස්කෝලෙට ගියා ම; "මේ ළමයව අරං හදා ගත්ත ද මිස්? අර නිසංසලාගෙ අම්ම එහෙම කිව්වා" කියල හය හතර නොතේරුණ මං ඉස්සරහ ම අම්ම කෙනෙක් මගේ අම්මගෙන් අහද්දී කට ඇරගෙන ඒ අම්මගෙ මූණ දිහායි අපෙ අම්මගේ මුණ දිහායි මාරුවෙන් මාරුවට බලන් හිටපු කෙල්ලෙක් මං.

 

අවුරුදු 20කට පස්සෙත් ඒ කතාව ඉබේ ම මතක තියෙන්න තරම් මතක ශක්තියක් තියෙන කෙල්ලෙක් මං.

 

ඒ ළමය කළුයි ඒ නිසා ඉස්සහට පේන්න තියන්න හොද නෑ පිටිපස්ස පේළියට දාන්න ඕන කියල මිස් කෙනෙක් වෙන මිස් කෙනෙක්ට කියද්දී, ඒ කතාව වැරදිලා ඇහිච්ච කෙල්ලෙක් මං. (ඒ වගේ කතා ගොඩයි සේරම ලියන්න අමාරුයි)

 

ලස්සනට සිංදුත් කියනවා නාට්ටි කණ්ඩායමේ ප්‍රධාන චරිතයට ගැලපෙන්නේ මෙයාව කියල සර් මාව තෝරගත්තට පස්සේ දවස් ගාණක් rehearsal ගිහින් අවසාන rehearsal එක හැමෝම ඉස්සහ කරල පෙන්නන්න කිව්ව ම, මෙයා කළුයි නේ.. ඒ චරිතයට මෙයාව ගැලපෙන්නේ නෑ කියල වෙන මිස් කෙනෙක් කිව්ව ම එතනින් අයින් වෙලා, අලුතින් ආපු ළමයටත් චරිතේ කරන විදිය උගන්නලා උත්සවේ වෙලාවේදි නාට්ටිය එයාල රගපාද්දී වැටේ එල්ලිලා ඒක දිහා බලන් හිටිය කෙල්ලෙක් මං.

 

3 වසර පන්ති භාර මිස්ට දරුවෙක් ලැබෙන්න හිටිය. ඒ මිස් මං පොත පෙන්නන්න ළගට එනවටත් අකමැති වුණා. කොච්චර හොදට වැඩ කලත් පොඩි වයසට මට හරියට බැන්න. ඒ දේ තේරුම් අරන් අම්ම මාව ඒ කාලෙ ම වෙන පන්තියකට නොදැම්ම නම් "සිසිර සර් මට අල්ලපු පන්තියෙන් හොරා ගත්ත සම්පත කියල" ආදරෙන් නොකියන්න තිබුණ. ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලයට නොඑන්නත් තිබුණ කෙල්ලෙක් මං.'

 

"මම මේ වෙනස්කම් නිසා ම හොඳට ඉගෙන ගත්තා. මම උපාධියකුත් ගත්තා. ගායනා කරන්නත් ඉගෙන ගත්තා. මගේ අත්දැකීම් ආශ්‍රය කරගෙන 'කළු' කියලා ඒකාංගික ටෙලිනාට්‍යයකුත් නිර්මාණය කළා. ඒකේ ප්‍රධාන චරිතයට තෝර ගත්තෙත් මාව. දැන් මම නිරූපණ ශිල්පිනියක් විදිහටත් සමහර වෙලාවට කටයුතු කරනවා," කල්පනා කාවින්දි බීබීසී සිංහල සේවයට පැවසුවාය.

 

"සම අඳුරු වුණා කියලා කිසි කෙනෙකුගේ හැකියාවන් නැති වෙන්නෙ නෑ. ඒ නිසා සමේ පැහැය අනුව සැලකීම නතර කිරීමට සමාජය දැන්වත් පුරුදු වෙන්න ඕන. මම පොඩි කාලේ හමේ පාට නිසා ගොඩක් පීඩාවට ලක්වෙලා තියෙනවා. ඒත් මම කොහොමහරි ඒවා දරාගෙන හමේ පාට ආශීර්වාදයක් බවට පරිවර්තනය කර ගත්තා."

 

හමේ පාට තීරණය වෙන්නේ කොහොම ද?

 

bcc0ada1156f118fed614b71da5e7d17

 

ලෝකයේ රටවල වෙසෙන ජනතාව ගැන සැලකිලිමත් වීමේදී සමේ පැහැය විවිධාකාරය. සමේ පැහැය නිසා ම ජනතාව භේදභින්න වී වර්ණ භේද වාදය වැනි අවාසනාවන්ත ගැටුම්වලට ද ලෝකය මුහුණ දුන්නේය.

 

# සමේ පැහැය යමෙකුට වෙනස් කොට සැලකීමට තරම් සාධාරණ සාධකයක් ද?

 

# ඇතැමෙකුට අඳුරු සමක් ලැබීමටත්, තවත් සමහරෙකුට පැහැපත් සමක් ලැබීමටත් හේතුව කුමක් ද?

 

මේ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජෛව මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය චාමලී නහල්ලගේ බීබීසී සිංහල සේවයට පැහැදිලි කිරීමක් කළාය.

 

"අපේ හමේ වර්ණය ඇති වෙන්න ප්‍රධාන සාධක තුනක් තියෙනවා. එකක් තමයි මෙලනින් කියන වර්ණකය. ඒකෙන් අපේ හම දුඹුරු පාට වෙනවා. ඒ වගේ ම තව වර්ණකයක් තියෙනවා කැරටින් කියලා. කැරටින් වර්ණකය බහුල අයගේ හම ලා කහ පාටයි. සමහර අය ඉන්නවා මේ වර්ණ දෙක ම නැති අය. යුරෝපා ජාතිකයින්ගේ හම ගොඩක් වෙලාවට රෝස පාටයි. ඒකට හේතුව ඔය කියන වර්ණක දෙක ම අඩුයි. ඒ නිසා ඒ අයගේ හමේ පාට විදිහට පේන්නේ රුධිරයේ පාට. ඒ නිසයි ඒ අයගේ හම රෝස පාටට පේන්නේ," මහාචාර්ය චාමලී නහල්ලගේ පැවසීය.

 

ඇය පෙන්වා දුන්නේ, ඉහත කී සාධක සැලකිල්ලට ගැනීමේදී හමේ පැහැය අනුව යමෙකුට උස් පහත් කොට සැලකීම සාධාරණ නොවන බවය.

 

"සමකය ආසන්න රටක් විදිහට ඈත අතීතයේ ශ්‍රී ලාංකිකයින්ගේ සමේ පැහැය දුඹුරුයි. ඒත් විවිධ ජාතීන් සමග සම්මිශ්‍රණය වීමත්, දුඹුරු පැහැය අඩු කර ගැනීමට විවිධ කෘත්‍රිම ක්‍රම අනුගමනය කිරීමත් නිසා සමහරුන්ට පැහැපත් සමක් තියෙනවා. ඒ කාරණය නිසා කිසිසේත් ම දුඹුරු සමක් සහිත පුද්ගලයින්ට වෙනස් කොට සැලකිය යුතු නැහැ," මහාචාර්යවරිය පැවසීය.

 

සමේ පැහැය පැහැපත් කර ගැනීම සදහා මේ වන විට නොයෙක් ක්‍රීම් වර්ග, එන්නත් වැනි බාහිර ක්‍රමවේද අනුගමනය කිරීමට පෙළඹී ඇතත් ඒවායෙහි අතුරු ආබාධ බහුල වන අතර අදාළ ආලේපනවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද ගැටලු ඇතැයි පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

 

එසේ නම්, සමේ පැහැය යනු සැලකිය යුතු සාධකයක් නොවන බව වටහා දීමට දරුවන්ට කුඩා අවිධියේ සිට ම අවබෝධයක් දිය යුතු බව මහාචාර්යවරියගේ අදහසයි.

 

සමේ පැහැය නිසා කුඩා දරුවන් පාසල් තුළදී විවිධ පීඩාවන්ට ලක්වන බවත්, එවැනි පීඩාවන් දරුවන්ට ඇති නොවීමට දෙමාපියන් සහ ගුරුවරුන් වඩාත් අවධානය යොමු කළ යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.

 

"පුංචි ළමයි ගොඩක් වෙලාවට හමේ පාට අනුව නම් කියනවා. විශේෂයෙන් දුඹුරු සමක් තියෙන අයට හිත රිදෙනවා ඒ වගේ නම් කියනකොට. ඒ නිසා දෙමාපියන් තමන්ගේ දරුවන්ට කියා දිය යුතුයි, හමේ පාට හෝ වෙනත් බාහිර පෙනුමේ වෙනසක් මත් තමන්ගේ මිතුරන්ට හෝ මිතුරියන්ට අපහාස කරන්න එපා කියන එක. පොඩි කාලෙ ඉදලා ම දරුවන්ට ඒක තේරුම් කරලා දිය යුතුයි," මහාචාර්ය චාමලී නහල්ලගේ පැවසීය.

 

යමෙකු තමන්ගේ සම අඳුරු පැහැයෙන් යුතු නිසා පීඩාවකට පත්ව සිටින්නේ නම් ඔවුන් කළ යුත්තේ කුමක් ද?

 

"හමේ පාට කියන එක ඔබේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය කරන සාධකයක් නෙවෙයි. ක්‍රිස් ගේල් කියන්නේ ඉතා තද පැහැති සමක් සහිත පුද්ගලයෙක්. ඒත් ඔහුට ලෝකයක් ආදරය කරනවා. නෙල්සන් මැන්ඩෙලා, උසේන් බෝල්ට් ඒ වගේ උදාහරණ කොපමණ තියෙනවා ද? සමේ පැහැය ගැන නොසිතා ඔබ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිමය කරන්න. එවිට ඔබට සියල්ලන් ආදරය කරාවි. ගෞරව කරාවි," මහාචාර්යවරිය වැඩිදුරටත් පැවසීය.



(BBC සිංහල සේවය)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...