The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වස්තර විස්තර - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

December 9, 2022 • 10:50 PM

වස්තර විස්තර - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් මගේ අනුමානය ඔහු ඉපදෙන්නට ඇත්තේ නිදහස ලැබෙන්නට දශක දෙක තුනකට පෙරාතුව බව ය.
  • ඔහුගේ තරුණ කාලය පිළිඹිබු වෙන කළු සුදු ජායාරූප ගණනාවක් අප ළඟ ඇති අතර ඒවා පිරික්සීම මා ඉතා ආසාවකින් කරන දෙයකි.
  • සමහර අවස්ථාවල ජැකටයේ වම් පසින් ඇති උඩු සාක්කුවට සැටින් වැනි සුමුදු රෙදි වර්ගයකින් එන වෛවර්ණ කුඩා ලේන්සුවක් එලියට එන පරිදි දමා ගනී.
  • පරණ විලාසිතාවක් වූ මෙය දැන් නැවත මතු වී ඇති බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

. එහෙත් මගේ අනුමානය ඔහු ඉපදෙන්නට ඇත්තේ නිදහස ලැබෙන්නට දශක දෙක තුනකට පෙරාතුව බව ය. ඔහුගේ තරුණ කාලය පිළිඹිබු වෙන කළු සුදු ජායාරූප ගණනාවක් අප ළඟ ඇති අතර ඒවා පිරික්සීම මා ඉතා ආසාවකින් කරන දෙයකි. ඒ ඔහුගේ හා ඔහුගේ සහෝදරයින්ගේ ඇඳුම් පැළඳුම් නිරීක්ෂණය කිරීමට ය.

ඔවුන් උත්සවයකට පමණක් නොව පොඩි අවස්ථාවක් හෙවත් ෆන්ක්ශනයකට වුව ද ප්ලීට් දෙකක් හා ඉනේ රිදී හෝ පිත්තල බකල් දෙකක් (බෙල්ටයක් නොමැති ව ඉනට ම කලිසම සකසා ගන්නට හැකිවන ලෙස) සහිත දිග කලිසම් උඩින් ඊට ගැළපෙන කබායක් හෙවත් ජැකටයක් හෝ බ්ලේසරයක් අඳින්නේ වර්ණ සංයෝජනය ගැන සිතා බලා තෝරා ගන්නා ලද කමිසයක් සමග ය.

සමහර අවස්ථාවල ජැකටයේ වම් පසින් ඇති උඩු සාක්කුවට සැටින් වැනි සුමුදු රෙදි වර්ගයකින් එන වෛවර්ණ කුඩා ලේන්සුවක් එලියට එන පරිදි දමා ගනී. ඊට කියන්නේ පොකට් ස්කවයාර් කියා ය. පරණ විලාසිතාවක් වූ මෙය දැන් නැවත මතු වී ඇති බව පෙනේ. හොඳින් පොලිෂ් කරන ලද සපත්තු  ජෝඩුව ද වැදගති.  ටූ-ටෝන් හෙවත් පාට දෙකකින් මැහුණු  ලෙදර් ස්පෙක්ටේටර් හෙවත් කෝ-රෙස්පොන්ඩන්ට් සපත්තු ජෝඩුව සෙසු ඇඳුම් හා ආයිත්තම් හෙවත් ඇක්සේසරීස සම්පුර්ණ කරයි.  

zdfws
සහෝදරයින් සමග තාත්තා විනෝද ගමනක වැන්නක ගිය බවට අනුමාන කළ හැකි ජායාරුප පෙළක් ද තිබූ බව මතක ය. ඒවායේ ඔවුන් හැඳ සිටියේ දණහිස කිට්ටුවට තෙක් මැසුණු කොට කලිසම් ය. ඒවා ද දෙපෙත්තේ ම ප්ලීට් දෙක බැගින් සිටින සේ තරමක් බාල්ජු ලෙස මැසුණු ඒවා ය. අත් දිග කමිසයේ අත් මහතට වැළමිට තෙක් නවා තිබු අතර ඊට උඩින් වූල් නූලෙන් ගෙතුණු ස්වෙටරයක් ද කමිසයේ උඩු බොත්තම් දෙක හැර තබා, නිරාවරණය වූ උරතල අතර ඇති පෙදෙස හා බෙල්ල වැසෙන සේ වූල් මෆ්ලරයක් ද පැළඳ සිටි බව මතක ය. දණහිසට අඟලක් දෙකක් වෙන්නට තරම් උස, මේස් ස්ටොකින් කුට්ටමක් සහිත ව ය සපත්තු දමා තිබුණේ. පසුබිම පිරික්සන විට මේ නුවරඑලි බණ්ඩාරවෙල පැති නොවන මොනරාගල වැනි ශුෂ්ක ප්‍රදේශයක් බව  පෙණින. එහෙත් මේ ස්ථර කිහිපයකින් සමන්විත ඝණකම් වූල් නූලෙන් නිමා වූ වස්ත්‍ර හා ආයිත්තම්  හැඳ තම විනෝද ගමන් යෑම එකල සිරිත බව මම තේරුම් ගතිමි.      

කොළඹ පාසලකට ගිය මගේ පියා, ලංඩන් මැට්‍රිකියුලේෂන් විභාගය සමත් ව, තම ප්‍රථම උපාධිය සඳහා විදේශ රටකට යැවිණ. එහෙයින් අප නිවසේ කෙදිනකවත් යුනිවසිටි කොලීජි, පේරාදෙණි, අයිවෝ ජෙනිංස් වැනි නොස්ටැල්ජික තැටි වාදනය නොවිණ. මෙලෙස පරිපුර්ණ බ්‍රිතාන්‍ය පන්නයට හැදුණු තාත්තා එක වර ම සුදු සරමක් හෝ වේට්ටියක් සමග සුදෙන් ම නිමැවුණු ජාතික කමිසයක් හඳින්නට පටන් ගත්තේළු. ඒ පනස් හයේ සුළඟ වැදීමෙනි. මගේ වැඩිමල් සහෝදරියට හා මට හෙළ පන්නයේ නම් ද දැමුණේ (හංගා ගෙන සිටින, මගේ දෙවැනි නම හිතේසි ය !) එහි ම ප්‍රතිඵලයක් නිසා බව සැක නැත.

කෙසේ නමුත් තාත්තාට වේට්ටිය හරි හැටි ඇඳ ගන්නට බැරි විය. විටෙක වේට්ටිය විලුඹටත් ඉහලින් කොටට කොටේ ඇඳේ. වරෙක පාර අතුගාන මට්ටමට වේට්ටිය දිග ය. බටහිර පන්නයට රිසි අම්මා ද වේට්ටිය හරි හැටි සැකසීමට තාත්තාට උදව් කරනු වෙනුවට 'වට්-එවර' ආකල්පයක් දැරී ය. එම නිසා තාත්තා වේට්ටිය හැඳි විට මම ඔහු සමග ගමන් යෑම ප්‍රතික්ෂේප කිරීම පුරුද්දක් කර ගතිමි. බලෙන් මා එක්කොට ගියහොත් මා ගමන් කරන්නේ තාත්තාට යාර කිහිපයක් ඉස්සරහින් හෝ පසු පසින් ය. ඒ මා ඔහු සමග ගමන් කරන්නෙකු නොවන බව අනුනට හඟවණු පිණිස ය. මගේ ළමා කාලයේ ක්‍ෂිත ම ය අත්දැකීමක් වූයේ පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සවය ය. තෑග්ගක් දෙකක් ලැබීම ප්‍රීතියට හා ආඩම්බරයට කරුණක් වූවත් මා ලැජ්ජාවෙන් මුහුණ කඩාගෙන සිටින්නේ උත්සවයට තාත්තා ජාතික ඇඳුමෙන් පැමිණෙන නිසා ය.

බටහිර පන්නයේ පාසැලකට ගොස්, මාව ද ඊට නොදෙවැනි පාසලකට යවා, වස්තරයෙන් පමණක් තාත්තා කරන මේ නාඩගම මට එකල වටහාගත නොහැකි විය. පසු කලක ය මට වැඩිහිටියෝ කියා දුන්නෝ තාත්තා කළේ සංස්කෘතික විප්ලවයක් බව ය. තාත්තා ගැන මට ආඩම්බර වීමට කරුණු කාරනා බොහෝමයක් ඇතත් ඔහුගේ මේ වස්තර කස්තිරම මට පෙනුණේ කැරිකැචරාත්මක ව ය.



කැරිකැචර (caricature) යනු රූපයක් (බොහෝ විට මිනිස්/ගැහුණු) එහි තත්‍ය ආකාරයට නොව, අදාළ පුද්ගලයාගේ කැපී පෙනෙන භෞතික ලක්ෂණ හෝ අවයව (දිගු නහයක්, විශාල කන් පෙති, ඉදිරියට නෙරා ආ දත්, ආදී) ඕනෑවටත් වඩා අතිශයෝක්තියෙන් ඇඳ ඉන් හාස්‍ය ම ය හා ගොරහැඬි විස්තරයක් මවා පෑම ය. බොහෝ අය කැරිකැචර යනු කාටුන් චිත්‍ර ලෙස වරදවා තේරුම් ගනිති. කාටුන මාදිලිය වෙනස් ය. කැරිකැචරයක් ගොරහැඬි රූපයක් පින්තාරු කරන බව කීවේ වාස්තු විද්‍යාවේ හා මූර්ති කලාවේ එන ග්‍රෝටෙස්ක්මය (grotesque) අර්ථයෙනි. කැරිකැචරයක් පින්සල් පහරකින් අඳිණු වෙනුවට වචන හා අදහස් පෙළහරකින් ද කළ හැකි බව මා මෑතක කියැවූ බුකි පොස්ටුවකින් මා මවිතයට පත් කළේ ය. ඒ ලියැවිල්ල ලියා තිබුණේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුජිත් රත්නායක ය. ලිපියට ඇසුරු කරගෙන තිබුණේ මේ දිනවල පාසැල් මට්ටමින් මහත් ලාලසාවකින් ගුරුවරියන් කොටසක් කරන වස්තර විස්තරයක් ගැන ය.       



"2017 දී සහනි (ම'විසින් වෙනස් කරන ලද නමකි) හෝ ගානා පොකුණෙ වගේ සිනමා පටයකට වෙනස්ව ඇත්ත ලෝකයේ වීරවරියක් වන්නීය. ඇය වීරත්වයෙන් භෞතීස්ම කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය නොව කබරයින් මෙන් මලකුණු හඹායන සමාජ පර්යාය හෙවත් social order දෙදරවන පුද්ගලික චැනලයක් වන xxx නාලිකාව ය. ඒ අවස්ථාවේ හෝ ගානා පොකුණේ ගුරුවරිය මෙන් ඇය ඇඟලා සිටින්නේ ද සාරිය ය.... 

 
සහනි 2022 වන වර්තමානයේ සාරිය වෙනුවට විකල්ප ඇදුමක් වෙනුවෙන් පෙනී සිටින්නී ය. එය  හොදය. නමුත් 2017 දී xxx නාලිකාවේදී සිටි ඈ අතුරුදහන් ය.  ඇයට වචන හිර වෙන්නේ නැත. ඇය දැන් සිදු වෙන දේ ගැන පදම් ය. ඇය ස්වායක්ත වීමට සිතයි.  ඇය ඇය කෙරෙහිම ආත්මානුරාගික වෙයි. ඇයට ගුරු සේවයද එතිහාසික සන්දර්භයන්ද අමතක වෙයි.  ඒ වගේම අදාල නොවෙයි...ඇය උඩ පැන පැන විච්චූරණ ඇදුම් අදිමින් ෆේස්බුක් දමමින් සම්ප්‍රදායේ ඈසට කටු අනිමින් විපරීත ආස්වාදයක් විදියි.  ඇය සිය චර්යාවට එරෙහි වන්නන් "බයියන් " ලෙසින් ද නම් කරයි." (උපුටනයේ දී දීර්ඝ සටහනේ කොටස් කිහිපයක් පමණක් මගේ තෝරා ගැනීම අනුව ගත බව ද අදාළ නාලිකාවේ නම මා විසින් කපා දැමූ බව සලකන්න)

සද් චේතනාවකින් ඇරැඹි සාධාරණ හා ප්‍රායෝගික වෘත්තීය ක්‍රියා මාර්ගයක් අධි උනන්දුවක් බවට පත් වී, ඉන් අනතුරව සමාජ මාධ්‍ය අභියස ඔබ්සෙෂනයකට  හෙවත් උමතුවකට පරිවර්තනය වී, කැරිකැචරයක් බවට පින්තාරු වීම කණගාටුදායක ය. එබැවින්, වෘත්තීය ක්‍රියා මාර්ගයක යුක්ති යුක්තභාවය වෙනුවෙන් සටන් කරන සටන්කාමීන් විසින් ම අවලංගු කර ගන්නා තත්ත්වයක් ඉන් නිර්මාණය වැළැක්විය නොහැක.  

Udan(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(ඉඳහිට කොලම, අනිද්දා දෙසැම්බර් 11, 2022)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...