The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)

T

The Leader Desk

December 11, 2022 • 6:07 AM

හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදටත් ලෝකයේ වැඩිපුර කෙරෙන්නේ කතාවය.
  • ඇත්ත කතා, බොරු කතා, දුක කතා, සතුටු කතා, සිනා කතා, බණ කතා යනාදී වශයෙනි.
  • දැන් එය සංඥා භාෂාවක් ලෙසින් දියුණුව ඇත.
  • සිරි සීවලී හිමියන්, 1948දී පළ කළ ''කතා කලාව'' නමැති පොතේ, එක් තැනක මෙසේ සඳහන් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊටත් බොහෝ කලක් ගතවය.


අදටත් ලෝකයේ වැඩිපුර කෙරෙන්නේ කතාවය. ලිවීම අඩුය. කතාවේද ප්‍රභේද බොහෝය. ඇත්ත කතා, බොරු කතා, දුක කතා, සතුටු කතා, සිනා කතා, බණ කතා යනාදී වශයෙනි.


මිනිසාට කතා නොකර සිටිය නොහැක. සමහරු හුඟක් කතා කරති. සමහරු ටිකක් කතා කරති. ගොළුව උපන්නෝ පවා, අතින් පයින් කතා කරති. දැන් එය සංඥා භාෂාවක් ලෙසින් දියුණුව ඇත.


සිරි සීවලී හිමියන්, 1948දී පළ කළ ''කතා කලාව'' නමැති පොතේ, එක් තැනක මෙසේ සඳහන් වෙයි.

 

''කතාව වැස්සක් වැනිය, කිරි දෙවුමක් වැනිය. පරිසරය මගින් මොළයට ඇතුළු වන අදහස් නමැති වළාකුල් කතාව නමැති වැස්ස නිසා ක්‍රියාවේ යෙදේ. පිරුණු කිර දෙවීමෙන් බුරුල්ලක් සැහැල්ලු වන්නාක් මෙන් කථා කිරීමෙන් මොළය සැහැල්ලු වේ. කතාවෙන් ලොවට සිදුවන වැඩ වැස්සෙන් හා කිරෙන් සිදුවන වැඩට වැඩිය.''

 

දැන් ලෝකයේ වැඩිපුරම කෙරෙන්නේ ''ටෙලිෆෝන් කතා''ය. කොරෝනා තහංචි කාලයේ පවා මිනිසා තනි නොවූයේ, දුරකථනයට පිංසිද්ධ වන්නටය. එක් එක් වෘත්තිකයන්ගෙන් එක් එක් ආකාරයේ කතා අසන්නට ලැබේ. යුද සෙබළකු සමඟ කතා කළවිට, ඔබට යුද්ධයේ ඇති බිහිසුණු බව ගැන හැඟීමක් ඇතිවේ.


භික්ෂුවක හෝ පූජකවරයකු සමඟ කතා කළවිට, ගිහිගෙයි ඇති දුක් ගැන හෝ දානයේ ආනිශංස ගැන අවබෝධයක් ඇති වේ. සූපවේදිනියක සමඟ කතා කළ විට, ඔබ හොඳින්ම දන්නා සම්බෝලයක් හෝ කොස් මැල්ලුමක් පවා වෙනස් ආකාරයකට සකසා ගන්නා අයුරු උගන්නට ලැබේ. ජ්‍යොතීර්වේදියකු හා කතා කළ විට, ඔබගේ ඉදිරි අපල කාලය හා ඉන් මිදීමට කළයුතු පුද පූජා (ඊට යන වියදමද සමඟ) පැහැදිලි කරදෙනු ඇත.

 

ගුරුවරයකු හා කතා කළ විට, ගුරු වෘත්තියට වැඩි ආදායමක් ටියුෂන් මගින් උපයාගත හැකි බව පෙන්වා දෙනු ඇත. ගුවන් විදුලි හෝ රුපවාහිනී නිවේදකයකු සමඟ කතා කළ විට, ඉතා කෙටි කාලයක් තුළ, කිසිදු අදහසක් නොමැති වචන රාශියක් දොඩන ආකාරය කියාදෙනු ඇත. දේශපාලනඥයන් හමු වූ විට, රට සුරපුරයක් කිරීමේ අනාගත සැලසුම් රුසක් පැහැදිලි කරදෙනු ඇත. මේ දිනවල ඔබ පාර්ලිමේන්තු කතාවන්ට සවන් දුනහොත් දහම් කරුණු රුසක් දැනගත හැකිවනු ඇත. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව, දිගින් දිගටම දම් සබා මණ්ඩපයක් වුවහොත්, කතානායක පදවියද ''මහානායක'' ධුරයක් දක්වා උසස් කිරීමට සිදුවනු ඇත.

 

ජන කවියක මෙසේ කියැවේ.


බණ දන්නෝ ආසනවල වැඩ හිඳිති
උඩ පැන්නෝ ඒ සැණෙකින් බිම වැටෙති


''තොටගමුවේ ඉපදිලාත්, බණ බැරිවුණා වගේ'' යැයි කියමනක්ද ඇත. තොටගමුව යනු ෂඩ් භාෂා පරමේශ්වර මහා කවි ශ්‍රී රාහුල මා හිමියන්ගේ උපන් ගමය. එගම උපන් පළියට හැමෝටම බණ බැරිය.


බණ නොදැන දෙසන බණ, වැදි බණය. එහි ගතයුත්තක් නැත. තොටගමුවේ විහාරයේ වැඩ සිටි රණස්ගල්ලේ සාමි නමැති හිමිනමක විසින් කරන ලදැයි සැලකෙන ''ලෝකෝපකාරයෙ''හි මෙසේ කියැවෙයි.


''ඔවා දෙනු පරහට
තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත දනන් දෙන
ඔවා වැද්දන් කියන බණ වැනි''


නිහඬව සිටින අයගෙන් ''කටේ පිට්ටු''දැයි අසන අයම, කතා වැඩි අයගේ ''කටට නිවනක් නැතැ''යි සරදම් කරති. කතා නොකර සිටීමට වඩා, කතා කිරීම හොඳය. එහෙත් කට තිබූ පලියට අනම් මනම් දොඩවා මනම් පනම් අසා ගත යුතුද නැත. එසේම, කට පියාගෙන සිටින තෙක්, මෝඩයාත් පණ්ඩිතයකු සේ පෙනෙන බවක් ''හිතෝපදේශය'' කියයි.


''අපේ ගෑනිගෙ වැඩ මැෂිම වගේ. කට කතුර වගේ'' යැයි, තම බිරිඳගේ ගුණාගුණ කියන කටකාර පිරිමිද වෙති. කට ගොන්නක් බීගත් පිරිමියාට ගැහැනියගෙන් බලු බැණුම්ය.


කට වටකර වැට බැඳිය නොහැකි යැයි කියා ඇත්තේ, කට කහනවාට නොවේ. එහෙත්, කතා කරන කාට කාටත් වැදගත් උපදේශයක් මජ්ජිම නිකායේ, අරිය පරියේසන සූත්‍රයෙන් ගෙනහැර දක්වනු කැමැත්තෙමි.


''දැහැමි ලෙස කතා කළ නොහැකි නම්
ශ්‍රේෂ්ඨ ලෙස නිශ්ශබ්දව සිටිය යුතුය''


තැන නොතැන දැන කතා කිරීමට පුරුදු වීමද හොඳ සිරිතකි. කලබල වූ විට වචන පටලවා ගැනීමද සමහරුන්ගේ හැටියකි.


දින කිහිපයක් සේවයට නොපැමිණි සුළු සේවකයකු තමන් වෙත කැඳවූ ප්‍රධානියා. ඔහුගෙන් නිදහසට කරුණු විමැසීය.


''අනේ සර්, අපේ පන්සලේ නායක හාමුදුරුවන්ගෙ අප්පච්චි අපවත් වුණා.'' සේවකයා ගොත ගසමින් කීය.


පරණ නොවන විහිළු කතා - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)

new logo

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...