The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නෙල්සනීය ප්‍රවාද - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

December 16, 2022 • 11:29 AM

නෙල්සනීය ප්‍රවාද - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇවිදින, සැලියුටයක් දමා ගෙන බොක්කෙන් ම හිනා වෙන, නළුවකු බඳු මේ මිනිසා, වැඩිකල් නොගොස් නිවසට ගොඩ වී, ප්ලේන්ටියක් සමඟින් කයියක් ගසමින් මොහොතක් ගත කර යන, මගේ වැඩිහිටි මිත්‍රයකු බවට පත් විය.
  • ඔහු නිහාල් නෙල්සන්ගේ අතිසමීපත ම මිත්‍රයකු බව ඒ වන විටත් මා දැන සිටි ම ‘විනී අයියා’ සමඟ මිතුරු වීමේ අතුරු උවමනාවක්ව මා තුළ පැවතිණ.
  • ‘ප්‍රසංග වේදිකාව’ යන යෙදුම වේදිකාවට ගොඩ වෙන්නට පළමුව සංදර්ශන වේදිකාව යනු ප්‍රසාංගික අවකාශයක් බව භාවිතයෙන් පෙන්වූ පුරෝගාමී චරිතයකි.
  • සිරුර - දෑත- අතැඟිලි නර්තන, මයික්‍රෆෝන කැටයම් සම්මිශිත්‍ර ඔහුගේ ගීතයක් යනු සතර අභිනය ප්‍රකාශමාන වීමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇවිදින, සැලියුටයක් දමා ගෙන බොක්කෙන් ම හිනා වෙන, නළුවකු බඳු මේ මිනිසා, වැඩිකල් නොගොස් නිවසට ගොඩ වී, ප්ලේන්ටියක් සමඟින් කයියක් ගසමින් මොහොතක් ගත කර යන, මගේ වැඩිහිටි මිත්‍රයකු බවට පත් විය. මොරටුවේ කරක් ගැසූවෙක් නම් ‘විනී’ නම් වූ මෙකී සාමකාමී සරල මිනිසා ස්තීර වශයෙන් ම දන්නෙහි ය.


ඔහු නිහාල් නෙල්සන්ගේ අතිසමීපත ම මිත්‍රයකු බව ඒ වන විටත් මා දැන සිටි ම ‘විනී අයියා’ සමඟ මිතුරු වීමේ අතුරු උවමනාවක්ව මා තුළ පැවතිණ.  නෙල්සනුවන්, මිත්‍රත්වය වෙනුවෙන් ම ඔහුට ගැයූ ‘විනී ඇවිල්ලා’ නම් ගීතය එකල මට මාත්‍රාවට  කටපාඩම්ව පවා තිබිණ.  චිරප්‍රකට සල්ගාදු හෝටලයෙන් ප්ලේන්ටි බොමින්, එකිනෙකාට බයිට් දෙමින්, හිනා ගුගුරවමින් සිටින නිහාල් නෙල්සන් ප්‍රසංග වේදිකාවේ මොන තරම් පතරංග ගයුවෙක් දැයි දැන සිටි ලිලිපුට්ටන් බඳු අපට ඔහුට ළං වීම තරමක් දුරස්ථ සිතුවිල්ලක් විය. නමුත් විනී අයියාගේ ඇසුර නිසා නිහාල් නෙල්සන්ගේ ගැඹුරු රස්තියාදුකාරකම, අචපල මිත්‍රත්වය මෙන් ම සරල හා නිරහංකාර ජීවිතය පිළිබඳ කප්පරක් ප්‍රවාද අප මතක ගබඩාවෙහි තැන්පත්ව තිබේ.

 

nn 2ශ්‍රැතියට ගයා ගන්නට බැරිවුන් අධිනිශ්චය වුණු රටක, නිහාල් නෙල්සන් යනු මාත්‍රාවට, අනුමාත්‍රාවට ගැයූවෙකි.  ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්ගෙන් පුහුණුව ලද, ඔවුන්ගේ සංගීත සංයෝජනයන්ට අනුව ගයමින්, සමාජ ජීවිත ඇරඹූ, ශ්‍රේණිගත ගුවන් විදුලි ගයුවෙකි. මෙවන් සංකීර්ණ මංකොල්ලකාරී සමාජයක කිසිසේත් ම පහසු කටයුත්තක් නොවුණ ද, ඔහු ‘නිශ්චිත මිලක් තිබූ’,  කිසිවකුවත් පොලු නොතියන තරමේ පෞරුෂයක් අඛණ්ඩව නඩත්තු කරලූ චරිතයක් විය. ‘ප්‍රසංග වේදිකාව’ යන යෙදුම වේදිකාවට ගොඩ වෙන්නට පළමුව සංදර්ශන වේදිකාව යනු ප්‍රසාංගික අවකාශයක් බව භාවිතයෙන් පෙන්වූ පුරෝගාමී චරිතයකි. සිරුර - දෑත- අතැඟිලි නර්තන, මයික්‍රෆෝන කැටයම් සම්මිශිත්‍ර ඔහුගේ ගීතයක් යනු සතර අභිනය ප්‍රකාශමාන වීමකි.

 

සාල්ගාදූ හෝටලය අසබඩ කිසිදාක කතා නොකළ නිහාල් නෙල්සන් හා මුහුණට මුහුණ සංවාදයෙහි යෙදුණු පළමු අවස්ථාව උදාවූයේ වූයේ මා ‘රාවයේ’ පත්තරකාරකමට ගිය 90 දශකයේ අගභාගයේ ය.  ජීවන් කුමාරතුංග මොරටුව මැතිවරණ බල ප්‍රදේශය තුළ රැඟූ සමයේ, මැරවරභාවය ඉහළ යමින් තිබුණු බව වාර්තා වීම නිසා, ඒ කවර භීෂණයක් දැයි සොයා බැලීමට අපි තීන්දු කළෙමු. සමන් සී. ලියනගේ, අශෝක පද්මසිරි සහ මා ඒ සඳහා මොරටුවට ගිය අතර අප මොරටු පොළව හා සම්බන්ධීකරණය කරනු පිණිස මගේ පාසල් මිත්‍ර, මොරටු පුත්‍ර නිලංක ප්‍රනාන්දු පැමිනුණි. මේ මැරවරභාවය ගැන අදහස දැන ගැනීමට අපි නිහාල් නෙල්සන්ගේ ගෙදරට ද ගියෙමු. ඔහු හා කතා බහ අතිශය රසවත් ය. ඔහු, වචන ළඟ ළඟ නමනා වචන කැටයම්කරුවෙකි. තරමක් මිත්‍ර වී විශ්වාසය තහවුරු වූ පසු, "උඹලා ආවෙ මේ මැරයො ගැන අහන්න වුණාට ආපු ගැම්මට මං හිතුවෙ උඹලා තමයි ඒ මැරයො කියලා"යි ඔහු කීවේ හිනා වාවා ගැන්මට කිසිවකුටක් ඉඩ නොතබමිනි.


අතීත කතා ඔස්සේ ‘බල්සාක් කැෆේ’ වෙත ගොඩ වූයේ නිහාල් නෙල්සන්ගේ ‘ගෙරිමස් නොකෑ’, ‘රහමෙර නොබිව්’ ජීවිතයේ යහගුණ කථනයකට නොවේ. ලිවීමේ නිමිත්ත, ඔහුගේ නික්ම;යාම බව ඇත්තකි. නිමිත්ත එය වුව ලියැවෙන්නේ පෙර කී නෙල්සනීය ජීවන ප්‍රවාද නොවේ; ගීත ඔස්සේ ඔහු ප්‍රවාදගත කළ සමාජ කියවීම ය.  

 

TSP


නිහාල්3ඔහු, විවෘත ආර්ථිකය නමින් අධිනිශ්චය වුණු අධිපරිභෝජනවාදයෙන් ව්‍යුත්පන්න විනෝද හා ප්‍රමෝද කර්මාන්තයේ පුරෝගාමී ප්‍රකාශකයෙක් බව පැහැදිලි යථාර්ථයකි. කැසට්පට සහ සංයුක්ත තැටි 113ක හිමිකරුවකු වීමත්, ගීත 5000කට ආසන්න ප්‍රමාණයක් ගයා තිබීමත්, වසර 50කට අධික කාලයක් අඛණ්ඩ උත්සව - ප්‍රිය සම්භාෂණ සහ එළිමහන් වේදිකාවට නැතුවම බැරි චරිතයක් වීමත් විසින් මෙකී විනෝද වෙළෙඳපොළ තුළ ඔහුගේ භාවිතය කවරාකාරවනු ලැබී දැයි තේරුම් ගැනීමට අපහසු නැත.

 

නමුත් විනෝද කර්මාන්තයේ ගොදුරු බවට පත් සෙසු ‘කලාකරුවන්’ සතු නොවන ‘වැදගත්’ අදහස් පද්ධතියක් ඔහුගේ ගීතාවලිය තුළ පවතී. එනම් මෙකී නරුම ධනවාදී දේශපාලන යාන්ත්‍රණය බූවල්ලකු මෙන් අඬු දඬු විහිදුවමින් සමාජය ගිල ගත් ආකාරය හරස්කඩක් ලෙස ගෙන පෙන්වන්නට හැකි සියලුම සංසිද්ධි නෙල්සනීය ප්‍රවාද තුළ අඩංගුව පැවතීමයි.  ඔහුට මඟහැරුණු සමාජ සංසිද්ධියක් නොමැති තරම් ය. ඉදින් ඔහුට ඇහුන්කන් දීම සමකාලීන සමාජයේ පරිණාමනය පිළිබඳ ‘භූ දර්ශන චිත්‍රයක්’ වෙත සමීප  වීමක් බඳු ය.

 

‘ලංකා ශ්‍රී ලංකා’‍, ‘හඳ ඉල්ලා හඳට අඬනවා’ වැනි මෙලෝ රහක් නැති සිය ගණන් ව්‍යාජ සිංදු අතරේ ඔහුගේ අනන්‍යතාව දිදුළන්නේ ‘පුර වහර’ හෙවත් ‘අර්බන් ඩික්ශනරියේ’ වදන් රැගත් ගීත අතර බව මගේ කියවීමයි.  ගීත රචනයෙහි උපයුක්ත ‘වියත් වහර’ට ළංවන්නට වෙර දැරූ සෙසු බහුතර ගීත ව්‍යාජ සහ සාටෝපකාරී ගීත ය. නෙල්සනීය ආත්මය එහි නැත.  ඒවා ඔහු විසින් ම ට්‍රැක් පන්නා ගැනුණු හෝ ඊනියා පද රචකයන් සහ ‘කැසට් මුදලාලිලා’ ඔහුගේ ඇඟේ ගැසූ බොල් වචනවලින් යුක්ත ය.

 

 

NN1පාදඩ දේශපාලන යාන්ත්‍රණයේ අවිච්ඡින්න කුලකයක් වන පාදඩ නිර්ධන පංතිය ලෙස හංවඩුකරණය කළ ලූම්පන් සමාජය පිළිබඳ ඔහු ගැයූ ගීත සමස්ත සමාජය පිළිබඳ හරස්කඩක් වැනි ය. නවසිය හැත්තෑ අටේ ‘හල්පිට මුද්‍රාව’ සහිතව ‘ගුණෙ අයියගෙ’ කාමරයට ගොඩ වෙමින් ඔහු ගැයූ ‘සම්භාව්‍ය බයිලාව’ මහැදුරු සුනිල් ආරියරත්නට පවා මඟහැර යා නොහැකි වූවකි. ජැක්සන් ඇන්තනිගේ ‘ඇඩ්‍රස් නෑ’ වෙනුවෙන් ලියූ තේමා ගීතයේ වචන ලීමට ජවය එන්නත් කරලීමට ‘ගුණෙ අයියාගේ කාමරයට’ හැකී වී තිබිණ. ඉදින්, ‘ඇඩ්‍රස් නැති', එකී සන්දර්භය තුළ සුනිලුන්ගේ ලූම්පනීය ලියවිල්ල පවා ‘සම්භාව්‍ය’ වන්නේ වෙයි.  ‘පොට් එක හිට් නං - වැඩ කිඩ බොක්කෙන්, අද ආතල් නං - හෙට චොර වෙද්දෙන්’ ලෙස ලියන්නට ඔහුට ගට එන්නේ නෙල්සනීය ප්‍රවාද තුළිනි. ඒ ගැම්මෙන් යුක්තව මහැදුරු තොමෝ ‘පට්ට පොරවල්’ නෝන්ඩි වෙන හැටි, චාටර් වෙන හැටි, පජාති වෙන හැටි, කුජීත වෙන හැටි පවා ලිව්වාහු ය.

 

නෙල්සනීය ප්‍රවාද අතර වන ‘සුකිරි බටිල්ලන්ගේ ගීතය’ ඔහු ස්ථානගත කරන්නේ ද, නන්දා මාලිනියන් ‘සුකිරි බටිල්ලන්ට’ ගැයූ ‘සම්භාව්‍ය බයිලා’ ගීතය පවතින දේශපාලන සන්දර්භය තුළ ම ය. නෙල්සනුවන් ‘සුකිරි බටිල්ලන්' අමතන්නට පටන් ගන්නේම ගතවමින් යන යුගයේ අන්ධකාරය අධිනිශ්චය වී ඇති බව පවසමිනි. ‘භාරධූර කලාවන්ගේ හිඩැසක්’ පවතිනා බව ඔහු ‘බයිලාවෙන්’ පැවසුව ද, එය ‘බයිලාවක් නොවේ. 'සාර ධර්ම පෝර වෙලා මාර ධර්ම ඉලිප්පිලා' ඇති සමාජය ගැන ඔහු මෙසේ ගයයි.


"සඳ පායන කොට වව්ලෝ බස්සෝ පූසෝ නටනවා
ඇස පේන එවුන් නින්ද ගිහින් වගේ ඉන්නවා...
 ඔන්න සුකිරි බටිල්ලෝ - සුප් එකට කටිල්ලෝ
මේ ටිකිරි නැටිල්ලෝ - මචං - රට පැටලිල්ලලෝ’’


රට පැටලී ඇති සමකාලීන දේශපාලන මොහොතේ ඊට ඕනෑ ම දේශපාලන මුහුණක් ආරෝපණය කර ගන්නට ඔබට අවසර ඇත.  


වෙල් යාය, කළු ගල් තලාව, මැටි කන්ද, වගුරු බිම ‘සංවර්ධනය කර’ විකිණීම ඇරඹූ ‘බයිං ඇන්ඩි සෙලිං’ මොහොත සලකුණු කරමින් ඔහු "සේල් සේල් කොටස් කරපු ඉඩං කට්ටි සේල් සේල්" යනුවෙන් හඬ නඟා කීවේය.  ඔහු මත්ද්‍රව්‍ය පිළිබඳ කතා කළේ ‘කාලෙන් කාලෙට එන වසංගතයක’ තවත් එළිඹුමක් ලෙස ගනිමිනි.


සෞන්දර්ය ප්‍රීතිය අත්පත් කර දෙමින් මා වඩා ආකර්ෂණය කරවන්නට සමත් වූ නෙල්සනීය ප්‍රවාද අතර ඇති වැදගත් ම නිර්මාණ සෘජුව හෝ වක්‍රව සමකාලීන නරුම දේශපාලන යාන්ත්‍රණය ආමන්ත්‍රණය කළ යෙදුම් සහිත නිර්මාණයන් ය.

 


කලටි පොල් ගැන ගයද්දී ඔහු මෙසේ කියයි. "කටට රසයි - රොටිය වගෙයි - දෙපැත්ත කරවෙන කොට කලටි පොල් පොලිටිකල් වගෙයි." බූරුවා ගැසිල්ල රූපණය කරමින් ‘සල්ලි මිටි ගණන්’ නමින් වන ගීතය සමාජ සංසිද්ධිය ඉක්මවා දේශපාලනය දිශානතිය කර ගනිමින් "’බූරුවා කුට්ටමේ පොත තෝ මට පරාජය නැත - ගහන එවුන්ටයි හතේ හත" යැයි ඔහු කීවේ ය. 'සාමයෙ සලකුණලු පරෙවියා' යනුවෙන් සමාජයට කින්ඩි දැමූ  ඔහු ‘වැඩිහිටියන් පොඩි ළමයින් කරන පරෙවියා’ යැයි කියමින් සමාජ යථාර්ථයට ආමන්ත්‍රණය කරලී ය. තවත් වරෙක ඔහු "යක්ෂ ලොවේ යක්ෂයකුට මිනිහෙක් වැහිලා" කියමින් අප දන්නා ඕනෑ ම ‘යක්ෂයකු’ මෙනෙහි කර ගන්නට මෙසේ අපට යෝජනා කරලීය.


"සුවඳ සබන් ගාලා නාලා උදෙන් පිටත් වෙයි
අතන මෙතන අරක මේක එකතු කරන් එයි
හිටපු හිටපු හැම තැනින් ම ගාණ කපන් යයි
බැඳලා මූදෙ දැම්මත් මූ හිටපු තැනට එයි."

 

‘පීචං’ සමාජය තුළ ඕලාරිකව හැසිරෙන ප්‍රබුද්ධ මනසට,  ‘ඕලාරික’ ලෙස දැනෙන්ට ඉඩ ඇති මෙවන් රමණීය කියමන් සහිත ගැයුමන් නෙල්සනීය ප්‍රවාද අතර තිබේ. ඔහු නැවත කියවිය යුතු යැයි මා යෝජනා කරන්නේ එබැවිණි.

 

සුනිල් පෙරේරා ඔහුගේ අවසන් ජීවන පරිච්ඡේදය ‘ජිප්සීය’ භාවිතයෙන් මිදී, බුද්ධිමය කුලකය ඇසුරේ ගත කරලන්නට පටන් ගත්තේ ය. ඔහු ගැයූ ගී නැවත කියවා ගන්නට එකී සමාජ කුලකය තුළ කරක් ගැසීම කිසියම් දුරකට හෝ ඉවහල් වූවා වන්නට පිළිවන. නමුත් නිහාල් නෙල්සන් ජීවිතය අවසන් වන තුරු ගෙවූයේ තමන් අනුදත් සමාජ පන්තිය ඇසුරේම පමණකි.  එබැවින් ඇතැම් විට, සමකාලීන මජර දේශපාලනය කියවාගත හැකි  වැදගත් නෙල්සනීය ප්‍රවාද ඔබට මඟහැරී යන්නට ඉඩ ඇත.  සමාජ ජීවිතය පිළිබඳ පරිච්ඡේද සලකුණු කරමින් වේගවත් සිනමාරූපී ඡේදනයන් සහිත ‘ඇරපන් කරාමේ මේක අපේ පයිපේ',  'මේ අහපන් අලුත්ම බයිලා, මේවා තමයි කෝච්චි බයිලා' සහ ‘සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ’ නම් වූ ‘සම්භාව්‍ය බයිලාව’ මෙන් ඇතැම් රමණීය සංරචනා කලාත්මක පරිසමාප්තියට පත්ව නොතිබුණ ද, ඔහුගේ දේශපාලන මැදිහත් වීම සංකීර්ණව භාර නොගෙන ඉන්නට එය හේතුවක් කර නොගත යුතු ය. 




ආනන්දිගෙන් ප්‍රඥාවට - (මංජුල වෙඩිවර්ධන)(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwar@gmail.com

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත 2022 දෙසැම්බර් 18)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නෙල්සනීය ප්‍රවාද - (මංජුල වෙඩිවර්ධන) | The Leader