The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දිය යට ගින්දර - (කපිල කුමාර කාලිංග)

T

The Leader Desk

December 18, 2022 • 7:52 AM

දිය යට ගින්දර - (කපිල කුමාර කාලිංග)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු ජීවත් වන්නේ පොදු උද්‍යානයකය.
  • උණුසුමක් ඇති නවාතැනක් සොයාගත යුතුය.
  • දැන් ඉතින් ශීත කාලය ගත කිරීම සඳහා ඔහුට සිර මැදිරියක් ලැබෙනු ඇත!
  • පැරණි සිංහල ගැමියා සරම ඉහින් කනින් පොරවාගෙන ගිනි තපින්නේත්, වැලි කොස් ඇට පුළුස්සාගෙන කන්නේත් දුරුත්තේදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

51gVoiNfnAL. SL500 ඔහු ජීවත් වන්නේ පොදු උද්‍යානයකය. නොඑසේ නම් පදික වේදිකාවකය. එක් දිනක් උද්‍යානයේ බැංකුවක හිඳ සිටින ඔහු බිම පතිත වන වියළි කොළයක් දැක කැළඹෙයි. ශීත ඍතුව අත ළඟය. එවිට එළිමහනේ විසිය නොහැක. උණුසුමක් ඇති නවාතැනක් සොයාගත යුතුය. අතේ මුදල් නැතිව එය කළ නොහැකිය.


ඔහුට 'කදිම' අදහසක් පහළ වෙයි. සුළු වරදක් කර සිරේ යා යුතුය. එවිට ශීත කාලය ගෙවෙන තුරු ආණ්ඩුවේ වියදමින් කා බී, සිර කුටියක සිටිය හැකිය.


සෝපී සුළු වරද කිහිපයක්ම කළත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවශ්‍ය වන්නේ නැත. අවසානයේ එක් මන්දිරයක් තුළින් ඇසෙන නත්තල් ගීතයක් අසන සෝපීට තමාගේ ළමා කාලයත් පල්ලියේ දහම් පාසල් ගිය සැටිත් සිහිපත් වෙයි. ඔහු යළිත් යහපත් ජීවිතයක් ගත කිරීමට සිතමින් මන්දිරයේ ගේට්ටුව අසලට වී ගීතයට සවන් දෙයි. එවිටම එහි ළඟා වන පොලිස් භටයෙක් ඔහු අත්අඩංගුවට ගන්නේ සොරකු යැයි සැක කරමිනි. දැන් ඉතින් ශීත කාලය ගත කිරීම සඳහා ඔහුට සිර මැදිරියක් ලැබෙනු ඇත!

...............


ශීත ඍතුව පසුබිම් කරගත් සාහිත්‍ය නිර්මාණ බොහෝය. සිරි ලංකාවේ වෙසෙන අපට ශීත කාලයක් නැත. එහෙයින් සරමක් හැඳ හෝ අමුඩයක් ගසාගෙන හෝ තුන්සිය හැටපස් දවසේම එළිමහනේ ගත කළ හැකිය. එහෙත් ඊයෙ පෙරේදා හිටි හැටියේ මේ කාලගුණ තත්ත්වය වෙනස් විය.


ඉන්දියාව කල් තියාම 'නත්තල් තෑග්ගක්' දෙමින් අපේ අහසට විස දුමාරයක් පා කර එවීය. ඒ සමඟම වාගේ රට පුරාම ඝන මීදුමක් සමඟ අධික ශීතලක්ද පැතිර ගියේය.


සමාජ මාධ්‍ය ජාලය ද ඒ සීතලෙන් වෙවුලා ගියේය. එහි වූ එක් සටහනක් බෙහෙවින් ජනප්‍රියව පැතිර ගියේය. ඒ මෙවැන්නකි.

 

nsih

 


සිරි ලංකාවට සීත ඍතුවක් නැතත්, දුරුතු සීතල නුහුරු නැත. සිංහල මාස ක්‍රමයට අනුව නම් උඳුවප් මාසයටත් නවම් මාසයටත් අතර එන්නේ දුරුත්තයි. පැරණි සිංහල ගැමියා සරම ඉහින් කනින් පොරවාගෙන ගිනි තපින්නේත්, වැලි කොස් ඇට පුළුස්සාගෙන කන්නේත් දුරුත්තේදීය. දුරුතු සඳ ගැනත් දුරුතු සීතල හා සුළඟ ගැනත් ලියැවුණු කවි සින්දු බොහෝය.


MKKGDMනුවරඑළිය සීත පළාත වන්නා සේම, සීතල වන්නිය යැයි හැඳින්වෙන ප්‍රදේශයක්ද අපට ඇත. මහ ඔය, පදියතලාව, පොල්ලබැද්ද වැනි පෙදෙස් සීතල වන්නියට අයත් වෙයි. මිනීමැරෑ තිසා හාමි සිටියේද සීතල වන්නියේ බව දොස්තර ස්පිට්ල්ගේ 'මැකී ගිය දඩමං' වැනි පොත්වල සඳහන්ය. 'සීතල සන්නිය' හැදෙන්නේ සීතල වන්නියේ මිනිසුන්ට පමණක්ම නොවන බවද අපි දනිමු.


'වින්ටර්' නොහොත් ශීත ඍතුවට බටහිර රටවල ජනයා බියය. ඔවුන් බොහෝ දෙනා හිරු පායන ඈත රටවලට 'පලා යන්නේ' ඒ වින්ටරයෙන් බේරීමටය. ශීත ඍතුවේ ඇති අඳුරු මුස්පේන්තු පරිසරය නිසා ඔවුහු 'වින්ටර් ඩිප්‍රෙෂන්' නමැති ආතති තත්ත්වයටද පත් වෙති.


දකුණේ ගමක 'වින්ටර් බාප්පා' යැයි හැඳින්වෙන මැදිවියේ පුද්ගලයෙක් විසීය. පුදුමයකට මෙන් ඔහුට සීතල දැනෙන්නේ නැත. ඕනෑ සීතලක උඩුකයට මේස් බැනියමක්වත් නැතුව සිටීමට වින්ටර් බාප්පාට පිළිවන. සමහරු කියූ හැටියට නම් ඔහුට ඇත්තේ පිත්තෝමාන්දයේ ලක්ෂණයක් වන සීතලට ඇති දැඩි කැමැත්ත නොහොත් සීතාභිලාෂයයි.


සාමාන්‍යයෙන් මිනිසාට වඩා සතුන්ට සීත දරාගැනීමේ ශක්තියක් ඇත. උන් අපි මෙන් ජර්සි නොදමති. බ්ලැන්කට් නොපොරොවති. ස්වභාවධර්මයා සත්ව ලෝකයට, සීතලට ඔරොත්තු දෙන 'චර්ම කබා' උපතේදීම ලබා දෙයි.


එහෙත් පසුගියදා සිරි ලංකාවට පතිත වූ දැඩි ශීතලෙන් ගව, එළු ආදී සත්තු දහසකටත් වැඩි ගණනක් මියගිය බව වාර්තා වුණි. ඒ පුවත දුටු කාටූන් ශිල්පීන් මෙන්ම සිනා කතා නිර්මාණකරුවන්ද ඉන් බොහෝ වැඩ ගෙන තිබුණි. ඉන් එකක එන සිම්පල් සයිමන් කෙනෙක් අනෙකාට මෙසේ කියයි.


''මෙදා පාර සීතලට හරක් සෑහෙන ගණනක් මැරිලලු.''
එවිට අනෙකා මෙසේ කියයි.


''ඒ වුණාට දියවන්නාවෙ පැත්තෙ සුදු කොඩියක්වත් දැක්කෙ නෑනෙ.''


ඒ විහිළුව කියවූ මට මෙසේ සිතුණි.

 

දිය යටින් ගින්දර ගෙනියන මිනිසුන්ට සීතල දැනෙන්නේ නැත.

 



අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)
 2022 දෙසැම්බර් 18 වන ඉරිදා

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දිය යට ගින්දර - (කපිල කුමාර කාලිංග) | The Leader