The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විකෘතිවූ විධායකය සහ වියැළුණු ව්‍යවස්ථාදායකය : (කාන්ති කාරියවසම්)

T

The Leader Desk

December 21, 2022 • 8:42 AM

විකෘතිවූ විධායකය සහ වියැළුණු ව්‍යවස්ථාදායකය : (කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඈතදී වතුර, මිරිස්කුඩු, පොත්පත්, පුටු පමණක් නොව අසභ්‍යය වචන වලින්ද ප්‍රහාර හුවමාරු කර ගත් රටේ "උත්තරීතර" යැයි හඳුන්වන සභාව මෑතකදී බැන අඬගසා ගත්තේ ගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයද භාවිතා කර ගනිමිනි.
  • බුදුන් වහන්සේගේ ගෝල පරම්පරාවේ යැයි කියා ගනිමින් චීවර පොරවා ගත් ඇතැමුන් කියන කරන දේ ඇසෙන දකිනවිට ඇතිවන්නේ මහත් කම්පාවකි.
  • සක්විති රජකමේ ඔටුන්න අත්හැර විමුක්තිය සොයාගත් බුදුන් වහන්සේගේ සසුනට අයත්යැයි කියා ගන්නෙකු මුතු මැණික් එබ්බවූ රන් ඔටුන්නක් හිස පැළඳ ගනිමින් පසුගිය දිනෙක කළ නන්දන වින්දනය දුටුවිට ඇතිවූ හැඟීම විස්තර කිරීමට වචන සොයා ගැනීම අපහසුය.
  • රට කරවන ඇත්තෙකුට බෞද්ධ ඉතිහාසයෙන් තම දැනුම පෙන්වීමට ගොස් අංගුලිමාල, දේවදත්ත පටලැවුන අලකලංචියක්ද දැකගත හැකිවිය.
අකුරු ප්‍රමාණය (Font Size):



ඈතදී වතුර, මිරිස්කුඩු, පොත්පත්, පුටු පමණක් නොව අසභ්‍යය වචන වලින්ද ප්‍රහාර හුවමාරු කර ගත් රටේ "උත්තරීතර" යැයි හඳුන්වන සභාව මෑතකදී බැන අඬගසා ගත්තේ ගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයද භාවිතා කර ගනිමිනි.

සිවුරු දරා ගත්තවුන් සහ ගිහියන් සමාජ මාධ්‍යයන් හරහා වාග් සංහාර වල යෙදෙන්නේ ඉතාම අසභ්‍යය වචන යොදා ගනිමිනි.

එපමණක්ද නොවේ. බුදුන් වහන්සේගේ ගෝල පරම්පරාවේ යැයි කියා ගනිමින් චීවර පොරවා ගත් ඇතැමුන් කියන කරන දේ ඇසෙන දකිනවිට ඇතිවන්නේ මහත් කම්පාවකි. සක්විති රජකමේ ඔටුන්න අත්හැර විමුක්තිය සොයාගත් බුදුන් වහන්සේගේ සසුනට අයත්යැයි කියා ගන්නෙකු මුතු මැණික් එබ්බවූ රන් ඔටුන්නක් හිස පැළඳ ගනිමින් පසුගිය දිනෙක කළ නන්දන වින්දනය දුටුවිට ඇතිවූ හැඟීම විස්තර කිරීමට වචන සොයා ගැනීම අපහසුය.

 



රට කරවන ඇත්තෙකුට බෞද්ධ ඉතිහාසයෙන් තම දැනුම පෙන්වීමට ගොස් අංගුලිමාල, දේවදත්ත පටලැවුන අලකලංචියක්ද දැකගත හැකිවිය. අංගුලිමාලට මෙය ඇසුනානම් රට කරවන ඇත්තා පසුපසද නොඅනුමානවම හඹා යනු ඇත.

එසේම ජර්මනියට දැමූ පරමාණු බෝම්බයක් ගැනත් ඒ ඇත්තා පැවසීය. බහුතරයක් දන්නා පරිදි ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වලට මිස ජර්මනියට දැමූ පරමාණු බෝම්බයක් නොවූ බව ඔහු නොදැන සිටියා විය නොහැක.

මෙය දැණුමේ අඩු ලුහුඬු කමක් නිසා සිදුවූවක් නොව, නිසැකවම වයස්ගත වීමේදී මොළයේ ඇතිවන සංජානන පරිහානිය (cognitive decline) නිසා වූවක් විය යුතුය. වයස්ගත වීමේදී ඇතැමුන්ට ඇතිවන ඩිමෙන්ෂියා තත්වය නිසාද මෙසේ වන බව වෛද්‍ය විද්‍යාවේ දක්වා තිබේ.

 

"උත්තරීතර" යැයි කියාගන්නා සභාවේ වැදගත් තීරණ ගන්නා සෑම තනතුරක්ම පාහේ හොබවන්නේ මෙවැනි වයෝවෘධ පිරිසකි. රාජ්‍යය සේවකයින් අවුරුදු හැටෙන් විශ්‍රාම යැවීමට තීරණය කොට, මොවුන් තම තමන්ගේ මැති ඇමතිකම්, නායක තනතුරු වල එල්ලී සිටින්නේ කිසිම ලැජ්ජාවකින් තොරවය.

 

වයස්ගතවීම සැමට පොදු ස්වාභාවික දෙයක් වූවත් ඔවුන් රටක අනාගත අභිවෘධිය උදෙසා තීරණ ගන්නා නායකත්ව හෙබවීම සුදුසුද? විශේෂයෙන්ම වර්තමානයේ පත්ව ඇති ආර්ථික අගාධයෙන් කාර්යක්ෂම ලෙස රට ගොඩ ගැනීමට මෙවැනි වියපත් පිරිසකට, විශේෂයෙන්ම තමා සියල්ල දන්නවා යැයි සිතන නායකත්වයකට හැකිවේද?

 


"උත්තරීතර" යැයි කියාගන්නා සභාවේ ඇතැම් සභිකයන්ගේ (ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව) කතා අති ජුගුප්සා ජනකය. ඔවුහු තම අපිරිසිදු වස්ත්‍ර ප්‍රසිද්ධියේ සෝදනවා පමණක් නොව තම තමන්ගේ සියලු කැලි කසළ සෑම දිසාවකටම දමා ගසමින් උන්මත්තකයින් මෙන් හැසිරෙති.

 



"උත්තරීතර" සභාවෙන් පිටත සිටින ඇතැමුන්ගේ ක්‍රියාකලාපයද මෙයට නොදෙවෙනිය. මෑතකදී වේදිකාවකට නැගුණ දේශපාලනයේ නියුතු එක් තරුණ කාන්තාවක් තම පැරණි නායකයාගේ ශරීර උපාංග සම්බන්ධව සිදුකළ ප්‍රකාශ බෙහෙවින්ම අශීලාචාරය, හිරිකිතය. දේශපාලනිකව හෝ මතිමතාන්තර අනුව කෙනෙක් සමග විරුද්ධවීමට හෝ විවේචනය කිරීමට ඕනෑම කෙනෙකුට හැකිවිය යුතු වූවත් නිර්ලජ්ජිතව අසභ්‍ය ලෙස පරිභව කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. එයට ස්ත්‍රී පුරුෂ භේදයක් නැත.

 

මෙවැනි පුද්ගලයින් එවැනි ප්‍රකාශ සිදුකොට ගෙදර ගියපසු තම පවුලට මුහුණ දෙන්නේ කෙසේදැයි මට නම් සිතාගත නොහැක. ඔවුන් තම දරු දැරියනට කිනම් ආදර්ශයක් දෙනු ඇතිද?

ඉහත සඳහන් කලේ රටේ දැකිය හැකි අපචාර වලින් අතලොස්සකි. රට මෙතරම්ම පහත් අඩියකට වැටුනේ කෙසේද? ආර්ථික අර්බුදයෙන් ගැලවුනත් මේ අවිචාරයෙන් රට ගලවා ගැනීම පහසු වෙයිද?

බොහෝ කලකට ඉහතදී දැක ඇති වේදිකා නාට්‍යයක් මෙහිදී මගේ සිහියට නැගෙයි. රට හරහා මුලින් පොද වැස්සක් ලෙසත්, ඉන්පසුව ක්‍රමක්‍රමයෙන් වේගවත්ව රැළි ලෙසින් පැතිරීයන ධාරාණිපාත වැස්සක් ලෙසින් ඇතිවන වර්ෂාවක් වන "උමතු සං වරුසාව"  ඒ නාට්‍යයේ වස්තුබීජය විය. උමතු සං වරුසාවට හසුවන සෑම කෙනෙකුගේම සිහිය ක්‍රමයෙන් විකල් වී, හොඳ නොහොඳ, හරි වැරදි නොතේරෙන උන්මත්තකයන් බවට පත්වේ.

 

රටේ තත්ත්වය දැන් උමතු සං වරුසාවකට හසුව ඇත්තාක් වැනිය. වසර 44 කට පෙර පොද වැස්සක් ලෙස ආරම්භවූ මේ විකෘතිය දැන් මහා කුණාටුවක් බවට පත්ව ඇත. 1978 දී ව්‍යවස්ථාව වෙනස් කොට විධායක බලය පිහිටුවීම විකෘතියේ මූලාරම්භයයි. පුරවැසි ඡන්දයෙන් පත්වන්නෙකු පුරවැසි බලය අභිබවා යන බලතල සහිත තනතුරක් ඇතිකර ගැනීම කෙසේනම් ප්‍රජාතාන්ත්‍රික වියහැකිද?

 

සරළ භාෂාවෙන් මේ තත්ත්වය මෙසේ පැහැදිලි කල හැක. මෙය කිසියම් නිවැසියකු ඔහුගේ හෝ ඇයගේ නිවසට තම කැමැත්තෙන් (ඡන්දයෙන්) අමුත්තකුට ඇතුළු වන්නට ඉඩදී, ඒ තැනැත්තාට ඕනෑම අන්දමක හිරිහැරයක් තමාට කිරීමට අවසර දෙන්නාක් බඳුය. කුමන අන්දමේ හිරිහැරයක්, අඩන්තේට්ටමක් කළත් අමුත්තාට විරුද්ධව නඩු පැවරීමට හෝ දඬුවම් කිරීමට නිවැසියාට නොහැකිය යන වගන්තියට නිවැසියා එකඟ වියයුතුය. එපමණක්ද නොවේ. අමුත්තාගේ සියලු බරපැන දැරීමටද නිවැසියා එකඟ වියයුතුය. නිවැසියා කැමති වූවත් නැතත් ඒ නිවසේ සෑම කටයුත්තක්ම අමුත්තාගේ අභිරුචියට අනුව සිදුකිරීමට නිවැසියා එකඟ වියයුතුය. තමා අකමැති වුවත්, අමුත්තාගේ රුචිය අනුව ඔහුගේ සියළුම නෑ හිතවතුන්ට ඔහු කරන සංග්‍රහ ඉවසා සිටීමට නිවැසියාට සිදුවෙයි. සියළුම වියපැහැදම් නිවැසියා දැරිය යුතුය. මෙය විකෘතියක් නොවන්නේද?  

සෙංකෝලයට පමණක් සීමාවී ඇති ජනතා පරමාධිපත්‍යය බලය මෙයට වඩා වෙනස් නොවේයැයි කිව හැකිද?

ජනතා පරමාධිපත්‍යය බලයෙන් ජනතාව මුළුමණින්ම ප්‍රතික්‍ෂේප කල පුද්ගලයකු වර්තමානයේ රටේ විධායක ජනාධිපති ධුරයට පත්වී සිටීමෙන් මෙම විකෘතිය කෙතරම් බරපතළද යන්න මැනවින් පැහැදිළි වෙයි.

මිනිස් සිරුරක පිළිකාවක් ඇතිවීමේ මූලාරම්භය සෛලයක ඇතිවන විකෘතියකි. එය මුලදීම හඳුනාගෙන ප්‍රථිකාර කළහොත් ලෙඩේ ගොඩින් බේරා ගැනීමට අවස්ථාවක් තිබිය හැක. ටික කලක් ගතවුනොත් සැත්කමකින් සිරුරේ කොටසක් කපාදමා ලෙඩා බේරා ගත හැකිවනු ඇත. එය හඳුනා නොගෙන දිගින් දිගටම පැවතුණහොත් විකෘතිය ඔඩු දුවා මුළු මහත් සිරුරම ගිලගෙන ලෙඩා මියයෑම නියතය.

දැන් රටේ පවතින්නේ විකෘතියක් ඉතා වේගයෙන් ඔඩු දුවමින් පවතින අවස්ථාවකි. වෙනත් අයුරකින් කිවහොත් වසර 44 කට පෙර පොද වැස්සක් ලෙස ආරම්භවූ උමතු සං වරුසාව මහා කුණාටුවක් බවට පත්වෙමින් පවතින අවස්ථාවකි.

 

uyhst

පසුගිය වසර 44 පුරාවට ප්‍රභූ යැයි කිවූ පෙළපතක කෙනෙක්, පොදු ජනතාවට අයත් කෙනෙක්, කාන්තාවක්, දකුණු පළාතෙන් බිහිවූවෙක්, ගොවි ජනතාවට අයත්යැයි කියා ගත්තෙක්, දේශපාලන අත්දැකීම් නැති හමුදා පුහුණුවක් ඇති විනයගරුක යැයි කියා ගත්තෙක් මෙන්ම, කිසිම ජන වරමක් නැතිව ජන අප්‍රසාදයට පත්වූවෙක්, වැනි විවිධ සමාජ ස්ථර වලට අයත් උදවිය මේ විකෘතියක්වූ විධායක ජනාධිපති ධුරයට වරින්වර පත්විය. රටට සුගතියක් වූයේද?

 

සුදුස්සන්ට සුදුසු තැන් දීම වෙනුවට, විධායකයේ හිතු මනාපයට අනුව සිදුවූ ඥාති, හිත මිතුරු සංග්‍රහ වලින් රටේ ආර්ථිකයට මේ වන විට සිදුව ඇති වින්නැහිය ඇස්පනාපිට දැකිය හැක. එසේනම් විකෘතිය ඇත්තේ අප්‍රමාණ බලතල සහිත එම තනතුරේ නොවෙයිද?

 

විකෘතිය කෙතරම් භයානකද කිවහොත් බලය අත්පත් කරගත් පසු බලය භුක්ති විඳීම, ධනය එක්රැස් කිරීම, පවුල්, හිත මිතුරු සංග්‍රහය, සහ තම තමන්ගේ පැවැත්ම කුමන ක්‍රමයකින් හෝ ආරක්ෂා කරගැනීමට වෙර දරනවා මිස රටේ අනාගතය හෝ පුරවැසියන්ගේ අභිවෘද්ධිය ගැන තැකීමට නොහැකිවී ඇත.

මේ අස්ථාවර විකෘතිය කෙසේ හෝ වෙනස් කොට ස්ථාවර ප්‍රකෘතියක් බවට පත්කොට ගත යුතුවම තිබේ. එය සිදුකළ හැක්කේ ව්‍යවස්ථාදායකයටම පමණි. එකිනෙකා සමග කුලල් කා ගැනීම පසෙක තබා "උත්තරීතර" යැයි හඳුන්වන සභාවේ විරුද්ධ පිලේ ඇත්තන් දැන්වත් එකමුතුවී විකෘතිය වෙනුවට ප්‍රකෘතිය ස්ථාපිත කිරීමට ක්‍රමයක් සොයා නොගතහොත් රටට සිදුවන්නේ කුමක්දැයි අමුතුවෙන් කිවයුතු නැත.


නිදහස ලබා ගැනීමට නම් - (කාන්ති කාරියවසම්)(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...