The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඇමරිකන් ජෝති සහ ලංකා එල්විස් සමාන්තර ජන පතාකයෝ - (දිලීප අබේසේකර)

T

The Leader Desk

December 23, 2022 • 11:29 AM

ඇමරිකන් ජෝති සහ ලංකා එල්විස් සමාන්තර ජන පතාකයෝ - (දිලීප අබේසේකර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගහිඟකම ලෝකය පුරා පැතිරුණ ද "ග්‍රේට් ඩිප්‍රෙෂන්" නොහොත් මහා ආර්ථික අවපාතයේ මුවවිට වූ 1935 දී ඇමරිකාවේ මිසිසිපි ජනපදයේ ටුපෙලෝ නගරයේ යුවලකට ජනවාරි 08 වැනිදා පිරිමි දරුවකු උපදින්නේය.
  • ඊළඟ අවුරුද්දේ 1936 පෙබරවාරි 12 වැනිදා එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් වූ සිලෝන් නොහොත් ලංකාවේ කොළඹ කැටවලමුල්ලේ දෙපළකට කුලුඳුලේ ඉපදෙන දරුවාට හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල යන නම තැබේ.
  • එහිදී ඔවුන් විශේෂ දක්ෂතා පෑ බවට සඳහනක් නැත.
  • ඒ තරමට වත් සංගීතය හදාරා නැති ජෝතිපාලට ඩෙස්ක් බංකු හා බෙලෙක්ක වලට ගසමින් ගීත ගැයීමේ පුරුද්දක් වූ බව පමණයි කියෑවෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

epඅගහිඟකම ලෝකය පුරා පැතිරුණ ද "ග්‍රේට් ඩිප්‍රෙෂන්"  නොහොත් මහා ආර්ථික අවපාතයේ මුවවිට වූ 1935 දී ඇමරිකාවේ මිසිසිපි ජනපදයේ ටුපෙලෝ නගරයේ යුවලකට ජනවාරි 08 වැනිදා පිරිමි දරුවකු උපදින්නේය. සුළු කම්කරුවන් වූ ඔවුන් දරුවාට එල්විස් ප්‍රෙස්ලි යන නම තබා තමන්ටම කියා ලෑලි ගෙයක් අටවාගෙන ස්ථිර පදිංචියට යන්නේ එතැන් සිටයි.

 
 
epඊළඟ අවුරුද්දේ 1936 පෙබරවාරි 12 වැනිදා එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් වූ සිලෝන් නොහොත් ලංකාවේ කොළඹ කැටවලමුල්ලේ දෙපළකට කුලුඳුලේ ඉපදෙන දරුවාට හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල යන නම තැබේ. ටේලර් වැඩ කළ මේ පවුලට වැඩි කල් නොගොස් තවත් දරුවන් එකතු වන බැවින් ඔව්හු නුදුරු දෙමටගොඩ ප්‍රදේශයේ ගෙයක් සොයා ගනිති.

මේ අතර දෙවැනි ලෝක යුද්ධය ඇවිලී ජනජීවිත කබලෙන් ලිපට වැටෙද්දී කුඩා එල්විස්ට සහ ජෝතිපාලට පාසල් යන්නට සිදුවන්නේ. එහිදී ඔවුන් විශේෂ දක්ෂතා පෑ බවට සඳහනක් නැත. සංගීතය විෂය සඳහා එල්විස් ලබා ගත්තේ සී සාමාර්ථය කි. ඒ තරමට වත් සංගීතය හදාරා නැති ජෝතිපාලට ඩෙස්ක් බංකු හා බෙලෙක්ක වලට ගසමින් ගීත ගැයීමේ පුරුද්දක් වූ බව පමණයි කියෑවෙන්නේ. එය ඔහුගේ පිහිටට එන්නේ පසු කාලයකය. එල්විස් ට අත්වැල වන යමක් දෙමව්පියන්ගෙන් උපන්දින තෑග්ගක් ලෙස ලැබේ. ඒ ළමා ගිටාරයකි. කරදඬු උස් වූ පසුවත් ඔහු එය ම පාවිච්චි කරන්නේ අලුත් එකක් ගන්නට වත්කමක් නැති නිසාය.


මෙම්ෆිස් සහ මරදාන


40561696013 0bcc1100f6 b
 
මෙම්ෆිස්
 
එල්විස් ගැටවරයකු වෙද්දි ටෙනසි ජනපදයේ මෙම්ෆිස් නගරයේ පදිංචියට යෑමට ප්‍රෙස්ලිලා තීරණය කරති. අප්‍රිකානු සම්භවයක් ඇති ජනතාව වෙසෙන එහි නැටුම්, ගැයුම්, වැයුම් බහුල සංස්කෘතිය එල්විස් ගේ දෛවය අන් අතක  ප්‍රස්ථාරගත කරන්නේය. දුක, විරහව මතුවන "බ්ලූස්"  ආරේ සංගීතයට ප්‍රසිද්ධ මෙම්ෆිස් හිභ බිල් ස්ට්‍රීට් පාරේ රස්තියාදු වන එල්විස් සංගීතයට සවන් දීමේ පහසුකම් ඇති "ලිස්නිං බූත්" වලින් හා කාසි දමා ගීත අසනු හැකි "ජූක් බොක්ස්" වාදන යන්ත්‍ර වලින් සින්දු අහන්නට පුරුදු වෙයි.
 
 
12 yv Less 01
 
මරදාන
 
ජෝතිපාල රස්තියාදු ගහන්නේ මරදානේ ය. කොළඹ වරායට නුදුරු මේ ප්‍රදේශය ලෝකයට විවෘත වූ දොරටුවකි. නූර්ති, නාඩගම් පෙන්වූ ටවර්හෝල් ශාලාව ද එල්ෆින්ස්ටන්, කැපිටල්, කිංස්ලි ආදී සිනමා ශාලා ද පිහිටි මරදාන අලුත් නාගරික සංස්කෘතියේ විනෝදාංශයක් වූ ගීතයට වහ වැටෙනු ඔහු සංගීත කාමරය හා "රිඩිෆියුෂන්" ගුවන්විදුලි යන්ත්‍ර තිබුණු කඩ අසල ගැවසෙන්නේ ය. ඔහුට අල්ලලා යන්නේ ඉන්දීය චිත්‍රපට ගීත හා සංගීතයයි. ඇමෙරිකානුවන්ගේ ශෛලියෙන් සෑදුනු ක්‍රිස්තියානි පල්ලියේ ගොස්පල් ගීතිකා සම්ප්‍රදායට එල්විස්ගේ හිත යන බැවින් ඔහු ගිටාරය ද රැගෙන දේවස්ථානවල සර්වරාත්‍රික ගායනා වලට සහභාගි වේ. මරදාන පැත්තෙන් බිහිවූ සංගීත සාජ්ජ වල ගී ගයන ජෝතිපාල මළ ගෙවල්වල වෙස්සන්තර කවි සජ්ඣායනා කරන්ටත් ගිය බවට අප්‍රකට සාක්ෂි ඇත.
 
 
dewsas
 
රොසෙටා තාප් - බිල් මොන්රෝ - මන්නාඩේ - මොහොමඩ් රාෆි
 
 
අප්‍රිකානුවන්ගේ "රිදම් ඇන්ඩ් බ්ලූස්" ක්‍රිස්තියානි "ගොස්පල්" හා ඇමරිකානු "කන්ට්‍රි ඇන්ඩ් වෙස්ටන්" යන සියලු ගායනා ශෛලීන් නියෝජනය කළ ආතර් කෲඩප් කන්‍යා සොහොයුරියක් වූ රොසෙටා තාප්, බිල් මොන්රෝ ආදීහු ප්‍රියතම යෝ වෙති. කිසිදා නොදුටු මන්නාඩේ සහ  මොහොමඩ් රාෆිගේ ගායනාවලට පිස්සු වැටුණු ජෝතිට සිය පියාගේ ටේලර් සාප්පුව ආසන්නයේ පදිංචි චරිතයක් නිසයි ගායකයකු වන්නට ආසා ඇති වන්නේ. ලාංකිකයෙකු නොවූ හේ තරුණ මොහිදින් බෙග්ය.
 
 
දෙදෙනාටම නියම අවස්ථාවක් ලැබෙන්නට පෙර බොහෝ පසුබෑම්වලට ලක් වන්නට සිදු වේ. එවකට ඇමෙරිකාවේ අලුත් මාධ්‍ය වන ටෙලිවිෂන් වැඩසටහන් සඳහා සංගීත කණ්ඩායම් වූ බැවින් එවැන්නක සාමාජිකත්වය ලබා ගන්නට ට්‍රක් රියදුරු රැකියාවක් කරමින් සිටි එල්විස් උනන්දු වන්නේ ය. එක් සම්මුඛ පරීක්ෂණයකදී "එඩී බොන්ඩ්" නම් ජනප්‍රිය සංගීත කණ්ඩායම් නායකයා පවසන්නේ ට්‍රක් එලවගෙන ඉන්නවා ඔය හඬත් එක්ක ජීවිතේට සිංදු කියන්න වෙන්නේ නැහැ කියායි. එකල ලංකාවේ ආකර්ශනීයම මාධ්‍ය වූ චිත්‍රපටවල ගී ගැයීම සඳහා අවස්ථාවක් සොයන ජෝතිපාල ඒ නිසාම ඇතැමුන්ගේ විහිළුවට ලක් වේ. බොහෝ රැවටීම්වලට හසු වී ඔහු සිය දිවි හානි කර ගන්නට තරම් දුර්මුඛ වූ අවස්ථා ඇත. සිරිසේන විමලවීරගේ "පොඩි පුතා" චිත්‍රපටය සඳහා හඬ පරීක්ෂණයකට යන ඔහුට අසන්නට ලැබෙන්නේ "ළමයො තමුසෙගෙ හඬට උපකරණ දෙදරනවා මිහිරි ගතියක් නෑ" යනුවෙනි.


පනස් හය
 
hr elvis
 
එල්විස් කර්නල් ටොම් පාකර් සමඟ - ජෝතිපාල කරුණාරත්න අබේසේකර සමඟ
 
 
අන්තිමේ එල්විස්ට අවස්ථාවක් ලැබෙන්නේ සී. බී. එස්. විකාශන සේවයේ "ටැලන්ට් ස්කවුට්" නම් ආධුනික ගායනා වැඩසටහනකින් ය. ඊට වඩා වැදගත් වන්නේ මේ කියන වකවානුවේ දී ඔහුගේ ඉදිරි ගායන ජීවිතයේ නියමුවකු වන "කර්නල් ටොම් පාකර් " ගේ මුණ ගැසීමයි. හරියටම ඒ අවුරුද්දේ 1955 ජෝතිපාල "පෙරකදෝරු බෑණා" චිත්‍රපටය සඳහා හඬ පරීක්ෂණයකට යන අතර එහි දී කරුණාරත්න අබේසේකර නම් පද රචකයා ව හඳුනා ගන්නට ලැබේ. පසු කලෙක සිංහල සිනමාවට නැතිවම බැරි ගායක, ගීත රචක දෙපළ බවට පත් වන මොවුහු පෙරකදෝරු බෑණා පරීක්ෂණයෙන් අසමත් වෙති.
 
 


 
හැමදාම සින්දු කියන්නට යන පුතුගෙන් ඔහුගේ හඬ රැගත් සංගීත තැටියක් ගෙන එන්නැයි ජෝතිගේ මව ඉල්ලා සිටින්නී ය. ස්ටැන්ලි ඕමාර් නම් සංගීතඥයා එම අනුග්‍රහය ලබා දී ජෝතිගේ ගීත දෙකක් පටිගත කරයි. ඉන් එකක් එච්. ආර්. ජෝතිපාලගේ ප්‍රථම ගිය ලෙස සැලකෙන "මගේ රන් රාජිනිය ය. එක්තරා" උදෑසනක මෙම්ෆිස් හි "සන් රෙකෝඩස්" සමාගමට ගොඩ වන එල්විස් ප්‍රෙස්ලි තමන්ගේ වියදමෙන් ගීත දෙකක් තැටිගත කරන්නෙත් මේ කාලයේදී යි. ඒ සිය මවට තම ගායනා අසන්නට සැලැස්වීම සඳහා බව ප්‍රෙස්ලි පසු කලෙක කියා තිබේ.
 
 


 
1956 දෙදෙනාටම වාසනාව ගෙන එන වර්ෂයයි. එල්විස් ට අවුරුදු 21ක් වන අතර ජෝතිපාලට අවුරුදු 20 ය. එල්විස්ගේ "heart break hotel" නම් ගීය ඇමෙරිකාව පුරා නොසිතූ ජනප්‍රියත්වයක් හිමිකර ගනිමින් ප්‍රචාරය වේ. එය හෝටලයකදී සියදිවි නසාගත් තරුණයකු පිළිබඳ සත්‍ය සිදුවීමක් අලලා නිර්මාණය වූවකි.
 
 
 
බොහෝ ගීත අඩංගු චිත්‍රපටයේ ජෝතිපාලගෙ හඬින් ගැයුණු සිරිය මේ සාරා ගියද එක් රැයින් ජනප්‍රිය වන්නේය. මේ ගීය චිත්‍රපටයට යොදා ගන්නා බවට සැක හැර දැන ගැනීම සඳහා එම ජවනිකාව රූපගත කරන තැනට ගිය ජෝතිපාල එහි පෙනී සිටි නළුවාගේ පුහුණුවීම්වලදී වාදන යන්ත්‍රය කරේ තියන් යාමට ඉදිරිපත් වූ බවටද ප්‍රවාදයක් පවතී. පසු කලෙක එම නළුවා එල්විස් ගේ ගීතයට පාදක වූ සිද්ධියේ මෙන් සියදිවි හානිකරගත්තේලු. එතැන් සිට තම තමන්ගේ රටවල පොදු ඉතිහාසයට එක්වන දෙදෙනාගේම ගීතාවලියට වැඩි වශයෙන් මාතෘකා වන්නේ ප්‍රේමය හා විරහව ම ය.


කළු හඬ සහ හින්දි රහ
 
 
 
 
ab6761610000e5eb9a93e273380982dff84c0d7cකළු හඬ ඇති සුදු මිනිසා බවට පත්වන එල්විස් ගේ ජනප්‍රියත්වයට එවකට ඇමෙරිකාවේ අප්‍රිකානු සම්භවයක් ඇති පුරවැසියන්ගේ සිවිල් අයිතීන් උදෙසා වූ ව්‍යාපාරය හොඳ පදනමක් සපයයි. එසේම බොහෝ කල් බටහිර රටවල යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ඇතිවූ දේශීයත්වය පුනරුදය තුළ හින්දි රහට සිංහල ගීත ගයන්නා ලෙස එච් ආර් ජෝතිපාල ට පොදු ජන ආකර්ෂණය හිමි වන්නේය.
 
 
20120705JOTHI 08එකල මෙරට සමාජයට අලුත් කලා අංග වූ සිනමාව, ගුවන්විදුලිය, ගීත තැටි හා ගීත සංදර්ශන හරහායි ජෝතිපාල ජනප්‍රිය වනුයේ. එල්විස්ගේ ජනප්‍රියත්වයට ද බලපාන්නේ එකල ඇමෙරිකානු සිනමාවට වඩා වේගයෙන් ඉදිරියට යමින් පැවති ටෙලිවිෂන් කලාව, රේඩියෝව, ගීත තැටි හා සන්දර්ශන මය. එක වගේ උස මහත පැහැපත් මොවුන්ගේ ප්‍රියමනාප රූප කායන් ද ඊට රුකුල් දෙන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. වැඩිකල් නොගොසින් එල්විස් පෙනී සිටින චිත්‍රපට එන අතර ඒවාට වඩා එහි ගීත ජනප්‍රිය වන්නේ ය. ජෝතිට ද රගපෑම් අවස්ථා ලැබී ඇතැම් විට එකම චිත්‍රපටයේ වීරයාගේ සහ දුෂ්ටයාගේ ගායනා හඬ බවට පත්වෙමින් දශක තුනක් ම සිංහල සිනමාවේ ප්‍රබල ම පසුබිම් ගායකයා බවට අවිවාදිතව පත්වෙයි.
 



sara 06 18 kanchana 03chinaman translator dileepa abeysekera npr(දිලීප අබේසේකර)
ප්‍රවීණ දැන්වීම් නිර්මාණ අධ්‍යක්ෂ
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇමරිකන් ජෝති සහ ලංකා එල්විස් සමාන්තර ජන පතාකයෝ - (දිලීප අබේසේකර) | The Leader