The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජවිපෙ ජයගැනීම - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

December 23, 2022 • 6:47 PM

ජවිපෙ ජයගැනීම - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් අපට නිශ්චිතව කිව හැකිය.
  • විජේවීරගේ ජවිපෙ යනු ලක් වැසියාගේ අප්‍රකාශිත රොමෑන්සයයි.
  • ඔහු පවතින සිස්ටම් එකට එහෙම්පිටින්ම රූපාන්තරණය වී ඇත.
  • උන් මුන් සහ ජවිපෙ අතර ඇත්තේ පුද්ගල නාමමාත්‍ර වෙනසක් මිස ප්‍රතිපත්තිමය වෙනසක් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් අපට නිශ්චිතව කිව හැකිය. ධනවාදය නැවත වාරයක් ජයග්‍රහණය කර තිබේ.

වඩා වැදගත් වන්නේ කිසියම් දේශපාලන කඳවුරක මතවාදීය පදනමයි. ප්‍රධාන ධාරාවේ දේශපාලන මතවාදයන්ගෙන් නූතන ජවිපෙ මතවාදය වෙන්කර හඳුනාගත නොහැකිය. විජේවීරගේ මාක්සියානු ජවිපෙ සිට අනුරගේ රාජපක්සියානු ජවිපෙ දක්වා මේ පරිවර්තනය සිදුවූයේ කෙසේද?

විජේවීරගේ ජවිපෙ යනු ලක් වැසියාගේ අප්‍රකාශිත රොමෑන්සයයි. සිය දෙමව්පියන් අකමැති වන විප්ලවකාරී තරුණයාට පෙම් බඳින යුවතිය මෙන් පවතින සිස්ටම් එකට පිටින් ඉඳන් අභියෝග කළ ජවිපෙට ලක්වැසියා තුළ බොළඳ පෙමක් තිබිණි. දැන් ඒ තරුණයා නැත. ඔහු පවතින සිස්ටම් එකට එහෙම්පිටින්ම රූපාන්තරණය වී ඇත.

උනුත් එකයි මුනුත් එකයි කියා හිතෙන විට උන් සහ මුන් නොවන තුන්වැන්නෙකු ගැන අස්වැසිල්ලක් තිබිණි. දැන් ඒ අස්වැසිල්ල ජවිපෙන් නොලැබේ. උන් මුන් සහ ජවිපෙ අතර ඇත්තේ පුද්ගල නාමමාත්‍ර වෙනසක් මිස ප්‍රතිපත්තිමය වෙනසක් නොවේ.



මා හිතන්නේ මේ පරිවර්තනය සිදුවන්නේ ජවිපෙ විසින්ම නිර්මාණය කළ ඊනියා “රාජපක්ෂවාදය” විසින් බවයි. මෙයින් අදහස් කරන්නේ වසර 2005 ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ජවිපෙ විසින් සහාය දැක්වීම නොවේ. යුද්ධය අවසන් වීමත් සමග බොහෝ අයට සිය සතුරා අහිමි වී ගියේය. සතුරෙකු නැතිව දේශපාලනය කළ නොහැකිය. ජවිපෙ තෝරාගත් අලුත් සතුරා “රාජපක්ෂවරු”ය.



වෙනත් කිසිවෙකුටත් වඩා රාජපක්ෂලා ගැන කතා කළේ ජවිපෙය. වචන දහයක් කතා කළොත් ඉන් නවයක් “රාජපක්ෂ”ය. රාජපක්ෂවරුන් පිළිබඳ ඓතිහාසික වෘත්තාන්තය ලියන්නේ ජවිපෙය. රාජපක්ෂවාදය නමින් එය බෞතිස්ම කරන්නේ නිර්මාල් දේවසිරිය. එය සැබැවින්ම නොපවතින දේශපාලන නිර්මිතයකි. දේශපාලන ප්‍රොපගැන්ඩාවකි. නමුත් ජවිපෙ පැවැත්ම තහවුරු වන්නේ ඒ මතය. රාජපක්ෂවරු නැතිව ජවිපෙට පැවැත්මක් නැති තැනට ඔවුන්ම පත්වී තිබේ.  

නමුත් කල් යත්ම තමන් විසින්ම නිර්මාණය කළ මිත්‍යාව තමන්ම විශ්වාස කිරීමට පටන් ගන්නාක් මෙන් රාජපක්ෂවාදය විසින් ජවිපෙ වෙලාගනියි. ඉන් එහාට අනුර කුමාර ඇතුළු ජවිපෙ නායකයන්ට අවශ්‍ය වන්නේ රාජපක්ෂවාදයේ රාජපක්ෂවරුන්ට සමාන වීමට හෝ ඔවුන් පරයා යෑමට පමණී. එය ලෝබය ද්වේශය මෝහය මත ඔඩුදුවා යයි. එය පොදු මිනිස් දුර්වලතාවයකි.


“මටත් ඕන ලැම්බොගිනියක්” යන තැනට ජවිපෙ පාක්ෂිකයාගේ මතවාදය වැටෙන්නේ ඒ අනුවය. “මටත් ඕනා” යන්න ඉතාමත් වැදගත් ප්‍රකාශයකි. එහි තිබෙන්නේ ප්‍රභූ ධනේශ්වරය බිඳ දැමීම නොවේ. එයින් කියන්නේ ඔවුන්ටත් ධනේශ්වර ප්‍රභූන් විය යුතු බවයි. එය සමාජවාදයට තබා නූතන පරිසරවාදයට පවා ඉඳුරා පටහැනි ගතානුගතික චින්තනයකි. ඒ වනාහී අන් කිසිවක් නොව විජේවීරගේ ජවිපෙ එදා විරුද්ධ වූ “ධනවාදයයි”.


fasfd


මිලෙන් අධික ඇඳුම් පැළඳුම් ඇඳීමට පටන් ගන්නා ජවිපෙ නායකයන් තමන් නිර්ධන පන්තියේ නොවන බව ප්‍රසිද්ධියේ කීමට පටන් ගනියි. එය ධනවාදයේ නොවරදින ජයග්‍රහණයයි. සිය සුවිසල් මොඩර්න් පක්ෂ කාර්යාලය මොර දෙමින් අපට කියන්නේ ජවිපෙත් ධනවතුන් බවයි.

“රාජපක්ෂලා වැටිලා ඉන්න වෙලාවේ අපි ගම අල්ලනවා” යන ප්‍රකාශය අනුර කුමාරගේ මතවාදීය පදනමේ සරලබව මැනවින් පෙන්වයි. එයින් කියන්නේ රාජපක්ෂලාගෙන් හිස්වන තැන ජවිපෙ පුරවන බවයි. එය අර පැරණි විකල්පය නොවේ. එය රාජපක්ෂලාගේ තැන ජවිපෙ ගැනීමකි.



සතුරා ජයගැනීමේ හොඳම ක්‍රමය සතුරාත් තමන් වැනිම කරගැනීමයි. ධනවාදයේ උපක්‍රමය එයයි. එම උපක්‍රමය අතිශය සාර්ථක වී තිබේ. නැවත හැරවිය නොහැකි තරමට දැන් ජවිපෙ මේ සිස්ටම් එකේ ගිලී ගොස් තිබේ. උත්ප්‍රාසය වන්නේ එය ඔවුන් විසින්ම ඔවුන්ට කරගෙන තිබීමයි.



මේ විකෘතිය ගැන වැඩිපුරම වදවෙන්නේ නිර්මාල් දේවසිරිය. නිර්මාල් යනු ජවිපෙ අව්‍යාජ සබුද්ධික පාක්ෂිකයාගේ නියෝජනයයි. ජීවිත කාලයක් ආදරය කළ තම පෙම්වතිය තමන් හැර ගියාක් වැනි දෝමනස්සයකින් නිර්මාල් පෙලේ. “ගම ජවිපෙට යනවිට නගරය පෙසපට” යනුවෙන් පුන පුනා කියමින් තමන්ව අස්වසා ගන්නට හදන්නේ ඒ නිසාය. ජවිපෙන් හිස්වන පපු කුහරයට පෙසපය ඔබ්බවා ගැනීමට නිර්මාල් දරන්නේ අනුකම්පා සහගත උත්සාහයකි. සන්සුන් වෙන්න නිර්මාල්.


ධර්මය අපට මග වේවා!


Eranda ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 දෙසැම්බර් 23


 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...