The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කලාවේ සහ කලාකරුවාගේ වගකීම කුමක් ද...? - මහාචාර්ය මහේෂන් නිර්මලන්

T

The Leader Desk

December 25, 2022 • 8:10 AM

කලාවේ සහ කලාකරුවාගේ වගකීම කුමක් ද...? - මහාචාර්ය මහේෂන් නිර්මලන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන් ද එදින ඒ තරමට ම සොඳුරු ය.
  • ‘‘කලා ලොව සමග බොහෝම සීමිත සම්බන්ධතාවයක් තිබුණ යාපනේ සාමාන්‍ය පවුලක මං වගේ පුද්ගලයෙකුට මෙවැනි උත්සවයකට සහභාගිවීමට ලැබුණු මෙම අවස්ථාව මා පෙර ආත්මයේ කරපු එක්තරා හොඳ සිද්ධියක්, කාරණාවක් බලපාන්න ඇතියි කියා මා සිතනවා.
  • මේ සභාවෙ ගොඩ දෙනෙක්ට මතක ඇති එක අවස්ථාවක ඒ චිත්‍රපටයෙ පන්සලේ ලොකු හාමුදුරු චරිතෙ රඟපාපු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ප්‍රශ්නයක් අහනව.
  • ‘‘මේ සිංහල ලේ ද දෙමළ ලේ ද කියා කොහොමද දන්නෙ...?’’ සභාවට මතක ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

මන් ද එදින ඒ තරමට ම සොඳුරු ය. ඒ අන්කිසිවක් නිසා නොව: සිනමාවේදියකු, වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු මෙන් ම දක්ෂ රංවේදියකු වූ ධර්මසිරි බණ්ඩාරනායක නම් කලාකරුවා වෙනුවෙන් පැවැත්වූ මතකාවර්ජන සන්ධ්‍යාව වන බැවිනි. එය නම් කර තිබුණේ ‘‘ධර්මසිරි - කැරලිකාර නිර්මාණාවේශය’’ යන මැයෙනි.

JU SM

මහාචාර්ය එස් මෞනගුරු - මහාචාර්ය ජයදේව උයන්ගොඩ

 

මෙම අවස්ථාවේ දී: යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස් මෞනගුරු, ලන්ඩන්හි පිහිටි මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහේෂන් නිර්මලන්  සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ යන තිදෙනා විසින් දේශන ත්‍රිත්වයක් පවත්වනු ලැබූහ. මෙම දේශන ත්‍රිත්වය අතුරෙන් මගේ සිත වඩ වඩාත් පැහැරගත්තේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහේෂන් නිර්මලන් කළ කෙටි නමුත් ඉතා වටිනා දේශනය යි.



‘‘ධර්මසිරි බණ්ඩාරනායක නමැති අග්‍රගන්‍ය කලාකරුවා පිළිබඳ යළි යළිත් ලියනවාට වඩා මහාචාර්ය මහේෂන් නිර්මලන් කළ දේශනය වඩ වඩාත් මේ සමාජය තුළ විදාරණය කර, එය සමාජය තුළ වර්ධනය කළ හැකි නම් එහි ගෞරවය ද ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවාට ම හිමි වෙතැයි යන විශ්වාසයෙන් මම මෙතැන් සිට මහාචාර්ය මහේෂන් නිර්මලන් කළ දේශනය ඔහුගේ ම සිංහල වදන්වලින් මෙහි සටහන් කරන්නෙමි.  

----

mnhgtrdy
‘‘කලා ලොව සමග බොහෝම සීමිත සම්බන්ධතාවයක් තිබුණ යාපනේ සාමාන්‍ය පවුලක මං වගේ පුද්ගලයෙකුට මෙවැනි උත්සවයකට සහභාගිවීමට ලැබුණු මෙම අවස්ථාව මා පෙර ආත්මයේ කරපු එක්තරා හොඳ සිද්ධියක්, කාරණාවක් බලපාන්න ඇතියි කියා මා සිතනවා. නමුත් මේ අවස්ථාවේ මෑත කාලෙකදි ඉඳන් මගේ සිතේ තිබුණ එක්තරා ප්‍රශ්නයක්, එක්තරා සැකයක් මෙම සභාවට ඉදිරිපත් කිරීම සුදුසුයි කියා මා හිතනවා.

මිත්‍රවරුනි..., කලාව සහ කලාකරුවෝ සමාජයකට උවමනා වෙන්නෙ කුමන හේතුවක් නිසා ද...? අපි හැමෝ ම කලාව තුළින් යම් විනෝදයක් ලබනවා. ඇත්ත... නමුත් එවැනි වින්දනය ලබා දීම පමණක් ද කලා ලොවේ හා කලාකරුවන්ගේ වගකීම...? නැත්නම් එම වින්දනයෙන් එහා ගිය යම්කිසි සමාජ වගකීමක් කලා ලෝකයට සහ කලාකරුවන්ට තියෙනවා ද..., තිබිය යුතුයි ද..., එසේ තිබිය යුතු නම් කොපමණ දුරකට ද ඒ කාරනාව අප රටේ ඉෂ්ට උණේ කියන ප්‍රශ්නය මේ සභාවට ඉදිරිපත් කරන්නට මම කැමතියි.

ඒ ආකාරයෙන් සිතන විට මිත්‍රවරුනි එක්තරා යුගයක, බොහෝම ශක්තිමත් රජයක් පැවතිච්ච යුගයක: ත්‍රස්තවාදයට, ආගම්වාදයට, ජාතිවාදයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණ ද කියන සැකය අපි මත තිබිච්ච ඒ කාලයක ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ මාවත හැටියට පරිවර්තනය වෙච්ච එම අවස්ථාවේ ඒ ක්‍රියාවට විරුද්ධව, එවැනි ක්‍රියාවන් තුළ අප සමාජයට ඇති විය හැකි අප්‍රමාණ හානි ගැන බොහෝ ම ප්‍රසිද්ධියෙ, බොහෝ ම නිර්භීතව අදහස් ප්‍රකාශ කරපු ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ: ධෛර්ය, මානව දයාව හා අවංක දේශ ප්‍රේමය මේ අවස්ථාවේ අපි මතක් කළ යුතුයි.’’

(සභාවේ අත්පොළසන් හඬ රැව් දේ)

 

‘‘මිත්‍රවරුනි..., ඒ වගේ ම ක්‍රියා කරපු වෙනත් කලාකරුවො අපි අතර හිටිය. වෙනත් යුගයක. දේශපාලන නායකයන්ගෙ ප්‍රජා අයිතිය තහනම් කරල, රට වටේ ගිනි තියල, ගෙවල්, කඩවල්, පුස්තකාල ගිනි තියල අපි ම අපේ අතින් නිර්මාණය කරපු ධාර්මිෂ්ට යුගයක වෙනත් කලාකරුවෙක් යාපනේ බලා ගියා. සේනාවක් සමග ගියේ නෑ... තමන්ගෙ නිර්මල හදවතත් සමග ගියා.

 

මිත්‍රවරුනි..., ඒ ගමන ගිය විජය කුමාරතුංග කලාකරුවාගේ බලාපොරොත්තු එක්තරා දුරකටවත් ඉෂ්ට වෙලා තිබුණා නම් එදා සිට අද දක්වා අප රටේ ගලා ගිය ඒ ලේ ගංගාව එක්තරා දුරකටවත් සීමා කරන්න තිබුණා ය කියන එක මගේ මතය යි. අවාසනාවට සෑම පැත්තේ ම හිටපු මනාප ඡන්ද දේශ ප්‍රේමියො ඒක සාර්ථක වෙන්නට ඉඩ දුන්නේ නැහැ.

මිත්‍රවරුනි..., ලේ ගංගා ගැන කියන විට වෙනත් කලාකරුවෙක්, ඉතා විශිෂ්ට කලාකරුවෙක් හා ඔහු නිර්මාණය කරපු චිත්‍රපටයක් අපිට මේ අවස්ථාවෙ මතක් වෙනවා. ඒ තමයි ගාමිණී ෆොන්සේකා මහතා නිර්මාණය කරපු ‘කොටි වලිගය’ කියන චිත්‍රපටය. මට මතක් වෙනව... මේ සභාවෙ ගොඩ දෙනෙක්ට මතක ඇති එක අවස්ථාවක ඒ චිත්‍රපටයෙ පන්සලේ ලොකු හාමුදුරු චරිතෙ රඟපාපු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ප්‍රශ්නයක් අහනව.

‘‘මේ සිංහල ලේ ද දෙමළ ලේ ද කියා කොහොමද දන්නෙ...?’’

සභාවට මතක ඇති....

 

මිත්‍රවරුනි..., මේ අවස්ථාවේ අප ඉතිහාසයේ ඇති වූ එක්තරා සටනක් මතක් කළ යුතුයි. දාසයවෙනි ශත වසරෙ දකුණු ඉන්දියාවෙන් පැමිණි දමිළ භාෂාව හා මලයාලම් භාෂාව කතා කරපු ජන කොටස් දෙකක් අතර ආර්ථික හේතුව පදනම් කොට ඇති වූ ‘මුක්කර හටන’ කියන හටන. වෙලාව මදි නිසා මම විස්තර කියන්න යන්නෙ නෑ... නමුත් එම හටනේ කොටස්කරුවෝ වූ ඒ ජන කොටස් දෙක අද ඉන්නෙ කොයි පළාත්වල ද, ඔවුන් අද කතා කරන්නේ මොන භාෂාව ද, ඔවුන් අද අදහනනේ කුමන ආගමක් ද...? ඒ වගේ ම මිත්‍රවරුනි..., එම සටනේ ප්‍රතිඵලයක් හැටියට අප ඉතිහාසයට පිවිසෙන සපුමල් කුමාරයා... එහෙමත් නැතිනම් වෙම්බග පෙරුමාල් කියන ඒ රජ කුමරා යාපනය බලා යද්දි... කෝකිල සන්දේශයේ ඒක කියවෙනවා. මේ කුමරාගේ සේනාවෙ හිටපු, සිංහල කතා කරපු ඒ සොල්දාදුවො, ඔවුන්ගේ අනාගත පරපුර අද ජීවත් වෙන්නෙ කොහෙද, ඔවුන් අද කතා කරන්නෙ මොන භාෂාව ද, අද අදහන්නේ කුමන ආගමක් ද...?

 

මේ ඉතිහාසය ගැන ගැඹුරට සිතන විට බල තන්හාවෙන් තොරව, මනාප ඡන්ද බලාපොරොත්තුවෙන් තොරව ගැඹුරට සිතන විට එදා ගාමිණී ෆොන්සේකා මහතා අහපු ඒ ප්‍රශ්නෙ ම නැවත මතු වෙනව.

 

sri lanka 1200x550

 

එක්දාස් නමසිය අසූ හත, අට, නමය කාල පරිච්ඡේදයෙ දකුණු පළාත්වල ගලා ගිය එම ලේ ගංගාව සිංහල ලේ ද, දෙමළ ලේ ද කියල කොහොම ද දන්නෙ...? ඒ වගේ ම මිත්‍රවරුනි..., දෙදහස් අට දෙදහස් නමය... ඒ කාල පරිච්ඡේදයෙදි උතුරු නැගෙනහිර පළාත්වල ගලා ගිය එම ලේ ගංගාව සිංහල ලේ ද, දෙමළ ලේ ද කියල කොහොම ද දන්නෙ...?

 

මිත්‍රවරුනි..., දීර්ඝ යුද්ධයකින් පසුව නැවත නැගී සිටින්නට හදන රටක ජීවත් වෙන අපි කලා ලොවෙන් බලාපොරොත්තු වෙන්නෙ බෙදි සිටින සමාජයක් එකතු කිරීම මිසක්, එක එක නව අමුතු සංකල්ප හදාගෙන, අපේකම්, අරකම් මේකම් කියන සංකල්ප හදාගෙන ඒ සංකල්ප ආරක්ෂා කිරීමට කැලණි ගගෙන් නයි ගෙනල්ල, ධම්මික මහත්තයගෙන් පැණි ගෙනල්ල (සභාවේ සිනා) බෙදී සිටින සමාජය තව තවත් කැලි කෑලිවලට බෙදන එක නෙවෙයි අපි කලා ලොවෙන් බලාපොරොත්තු වෙන්නෙ...’’

(සභාවේ අත්පොළසන් හඬ රැව් දේ)

‘‘ඒ කාරණාව ඉතාම පිරිසිදු හදවතින්, නිර්භිතව ඉෂ්ට කරපු ධර්මසිරි බණ්ඩාරනායක වගේ කලාකරුවන්ට ගෞරව කිරීම පුද්ගලයෙක් හැටියට මටත්, මා අයිති ලාංකික සමාජයටත්, මා දැන් සේවය කරන ලෝක ප්‍රසිද්ධ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයටත් ලැබුණු වරප්‍රසාදයක් හැටැයටයි මට දැනෙන්නෙ.’’

(සභාවේ අත්පොළසන් හඬ රැව් දේ)

‘‘එම අවස්ථාව අපට ලබා දුන් ඔබ හැමටත්, පවුලේ සාමාජිකයන්ටත් මම මගේ අවංක ස්තුතිය කියමින් මගේ මේ වචන ස්වල්පය නිමා කරනවා. ආයුබෝවන්...!’’


---

මහාචාර්ය මහේෂන් නිර්මලන් පවසන පරිදි ම ධර්මසිරි බණ්ඩාරනායක සහ ඔහුගේ නිර්මාණ හුදු වින්දනීය කලා නිර්මාණත්වයෙන් ඔබ්බට විහිදෙන කලා නිර්මාණ වූවා සේ ම මහාචාර්ය මහේෂන් නිර්මලන් විසින් පවත්වන ලද මෙම දේශනය ද හුදෙක් ධර්මසිරි බණ්ඩාරනායක ආවර්ජනා අභිභවූ දේශනයකි. පසුගිය වකවානුව තුළ කලාකරුවන් සේ රඟපෑ නළාකරුවන් ද මෙම දේශනයට සවන් දිය යුතු ය; මෙම දේශන පිටපත කියවිය යුතු ය.  




සටහන :


නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 
2022/12/25

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...