The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිරි ලංකා අයිස් යුගය - (කපිල කුමාර කාලිංග)

T

The Leader Desk

December 25, 2022 • 8:51 AM

සිරි ලංකා අයිස් යුගය - (කපිල කුමාර කාලිංග)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපගේ කාර්ය සහායක රොබින් ඇසුවේය.
  • වැහි කුණාටු දවසක දෙකක හැර තුන්සිය හැටපස් දවසේම හොඳින් හිරු එළිය වැටෙන සිරි ලංකාව වැනි රටක් අයිස් ලන්තයක් බවට පත්වීම පුදුමයට කාරණයකි.
  • එහෙත් දැන් අපේ පුංචි දිවයිනේ නැවත අයිස් යුගයක් ඇතිවී තිබේ.
  • වෙනසකට ඇත්තේ එහි මිනිසුන්ද ජීවත් වීමය.
අකුරු ප්‍රමාණය (Font Size):


අපගේ කාර්ය සහායක රොබින් ඇසුවේය.

''ඇයි මොකද වෙලා තියෙන්නෙ?''

මම ඇසුවෙමි.

''දැන් ලංකාව පුරාම අයිස් ගහන එක පැතිරිලානෙ. ඉතින් එහෙම අයිස් ගහන රටකට ණය දෙයිද?''

''ඒක අලුත් තත්ත්වයක් නෙවෙයිනෙ රොබින්. සිරි ලංකාවේ මිනිස්සු අයිස් ගහන්න පටන් ගත්තේ අද ඊයෙක ඉඳල නෙවෙයිනෙ. නිදහස ලබපු දා ඉඳලම කෙරුවෙ අයිස් ගහන එක තමයි.''

රොබින් නිශ්ශබ්ද වූයේය.

 

වැහි කුණාටු දවසක දෙකක හැර තුන්සිය හැටපස් දවසේම හොඳින් හිරු එළිය වැටෙන සිරි ලංකාව වැනි රටක් අයිස් ලන්තයක් බවට පත්වීම පුදුමයට කාරණයකි. දැන් දැන් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ආදියෙන් පෙනී යන අන්දමට අයිස්ලන්තයටත් වඩා අයිස් තිබෙන රට සිරි ලංකාවය.

 

මෙහි අයිස් නැති තැනක් නැත. කන්තෝරුවලත් අයිස්ය. පාසල්වලත් අයිස්ය. විශ්වවිද්‍යාලවලත් අයිස්ය. ප්‍රාදේශීය සභා, පළාත් සභා ආදී ආයතනවලත් අයිස්ය. පොලිසියේත් අයිස්ය. පාර්ලිමේන්තුවේත් අයිස්ය.

 

800px Neko1js

මීට අවුරුදු මිලියන හත්අට සියයකට පෙර ලෝකයේ අයිස් යුගයක් තිබුණි. එකල මුළු පෘථිවියම ඝන අයිස් තට්ටුවකින් වැසී තිබුණු අතර, මිනිස් වාසයක් නොවීය.

අයිස් යුගයෙන් පසු එහි සලකුණු ඉතිරි වූයේ උත්තර හා දක්ෂිණ ධ්‍රුවයන් හි පමණි. එහෙත් දැන් අපේ පුංචි දිවයිනේ නැවත අයිස් යුගයක් ඇතිවී තිබේ. වෙනසකට ඇත්තේ එහි මිනිසුන්ද ජීවත් වීමය.

ශීත ඍතුවක්වත් නොතිබූ ශ්‍රී ලංකාවට අයිස් යුගය ඔරොත්තු නොදීමට ඉඩ තිබේ. ඊට විසඳුමක්, සොබාදම් ඉතිහාසයෙන්ම සොයාගත හැකිය.

හේමන්ත නිද්‍රාව යනුවෙන් හැඳින්වෙන්නේ ශීත කාලයේදී වන සතුන් හා ගහකොළ අක්‍රිය කොට නිදිගත කිරීමේ ස්වභාවික ක්‍රියාවලියකටය. (ඉංග්‍රීසියෙන් Hibernation ය.)



වර්තමාන තත්ත්වය තුළ අපේ රටේ සතුන්ට පමණක් නොව මිනිසුන්ටද හේමන්ත නිද්‍රාවක් අවශ්‍යය. එවිට නොකා නොබී, වැඩට නොයා ගෙදරට වී වක ගැසී බුදියාගත හැකිය. රට පුරා අයිස් පැතිරවීමෙන් සිදුවන්නේ ජනතාව හේමන්ත නිද්‍රාවකට පත් කිරීම විය හැකිය. කාගේ සංකල්පයක් වුවත් එය අගය කළ යුතුය. ජනතාව දැන් සිටින්නේ තාවකාලික නිද්‍රාවක් නොව සදාකාලික නිද්‍රාවකට වුව කැමති වන තත්ත්වයකය.



අයිස්වල නරක පැත්ත වන්නේ අයිස් ගැසීම වුව, හොඳ පැත්තක් ද ඇත.

අයිස්වලට රටක සංස්කෘතියටද යහපත් බලපෑම් කළ හැකිවීම ඉන් එකකි.

සිරි ලංකාවට අයිස් ගෙනාවේ ඉංග්‍රීසින්ය. මුල්ම අයිස් නැව කොළඹ වරායට ආ දා, ඒවා ගබඩා කිරීමට තැනක් නොතිබුණෙන් මෝදර පැත්තේ විශාල වළක් කැපීමට සිදු විය. එදා කොළඹ උසස් ගෙවල්වල උත්සවශ්‍රීයක් ගත්තේලු! කූල් ඩ්‍රින්ක්ස්, අයිස්ක්‍රීම් අපේ ජීවන රටාවට එක්වූයේ ඉන් පසුවය. එළවළු, මස් මාළු කල් තබාගැනීමට හැකිවීමද මහත් වාසියක් විය. අයිස් කොම්පැනි ද බිහිවන්නේ ඉන් පසුවය. දැන් නම් 'අයිස් සංස්ථා' ද තිබෙන බව පෙනී යන්නේ ඒවා ලබන පාඩු ගැන නිතර අසන්නට ලැබෙන නිසාය.

අයිස් ආශ්‍රිත ක්‍රීඩා ද රුසකි. ස්කේටින්, අයිස් හොකී, ස්නෝබෝඩ් ආදී වශයෙනි. වින්ටර් ඔලිම්පික් උළෙලට ඇතුළත් වන්නේ ද එකී අයිස් ක්‍රීඩාවන්ය. මෙතෙක් කල් අපට ඒ ක්‍රීඩා කළ නොහැකි වූයේ අයිස් නොතිබූ නිසාය. දැන් රට පුරාම අයිස්ය. ඒ නිසා නුදුරේදීම අති දක්ෂ අයිස් ක්‍රීඩකයන් බිහිව වාර්තා පිට වාර්තා තබනු නිසැකය.

 

කිසිදා නොගිලෙතැයි කියූ 'ටයිටැනික්' නෞකාව මුහුදුබත් වූයේ අයිස් පරයක ගැටීමෙනි. රටක අයිස් වැඩිවීම නිසා ආණ්ඩුවක් වුවද ගිලෙන්නට බැරි නැත. දැන් මොන්ටිසෝරිවල පවා අයිස් තිබේදැයි සොයන්නට පටන්ගෙන ඇත්තේ ඒ නිසා විය හැකිය.

 

පසුගිය දිනෙක පාසලක අයිස් තිබේදැයි පරීක්ෂා කිරීමට පොලිසියට පැවරුණි. ඒ සඳහා ගිය පොලිස් කාන්තාවක පරීක්ෂාවෙන් පසු ආපසු පැමිණ රාජකාරි වාර්තා පොතේ මෙබඳු සටහනක් තැබුවාය.

''ළමයින්ගේ කෑම පෙට්ටිද පරීක්ෂා කර බැලුවෙමි. ඒවායේ කිසිවක් තිබුණේ නැත. ඒ නිසා ළමයින් අයිස් හෝ කෑමට ගෙන, කුසගිනි නිවාගනු ඇතැයි අපට සිතේ. කෙසේ වෙතත් පරීක්ෂණය සාර්ථකව නිම කළ බව මාධ්‍යයට ඇඟවිය යුතු නිසා පාසලේ ගේට්ටුව අසල සිටි අයිස්ක්‍රීම් වෙළෙන්දාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළෙමි.''


හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිරි ලංකා අයිස් යුගය - (කපිල කුමාර කාලිංග) | The Leader