The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ප්‍රචණ්ඩ ලංකා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

December 31, 2022 • 4:41 AM

 ප්‍රචණ්ඩ ලංකා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර තුනක් යනු දිගු කාලයකි.
  • ඒ කාලය තුල අප බැචයේ සිටි සිසුන් විවිධාකාර දේ කරමින් සිටි බව සැළ විය.
  • මා ඇතුළු පිරිස තේරුණේ කොළඹ සරසවියට ය.
  • අප එතැනට එන විට, දෙතුන් දෙනෙකු පාර පනිමින් සිටි අතර අප දුටුවේ කොලෙජ් හවුස් දිසාවෙන් විදුලි වේගයෙන් පැමිණි 138 රූටයේ දුවන රෝසා බසයක්, පයිල් කවර ගොන්නක් තම ලයට හොවා ගෙන කහ ඉරෙන් පාර පනින සරසවි සිසුවියක යට කර ගෙන පැත්තකට විසි වී නැවතෙන සැටි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

වසර තුනක් යනු දිගු කාලයකි. ඒ කාලය තුල අප බැචයේ සිටි සිසුන් විවිධාකාර දේ කරමින් සිටි බව සැළ විය.  'නෙක කෝස් හා ඉන්ටකෝස්' යනුවෙන් අප එකල නාමකරණය කළේ ඒ  කරමින් සිටි රැකියා, පාඨමාලා, පිටරට යෑම්,  රස්තියාදු වීම්, විවාහ, දරුවන් සෑදීම්, ආදියට ය. යම් පිරිසක් මේ 'කෝස්' තුල එවන විට ස්ථාපිත වේ සිටි නිසා ඔවුන් සරසවියට ආවේ නැත.

මා ඇතුළු පිරිස තේරුණේ කොළඹ සරසවියට ය. පළමු වසරේ අපගේ දේශණ පැවැතියේ, කොලෙජ් හවුසි වත්තේ කොනක, ටෙනිස් කෝට කිහිපයකට එපිටින් පිහිටි කුකුල් කූඩු පෙළක් වැනි කුඩා කාමරවල ය.    

Screenshot 2022 12 31 at 9.55.52 AM
දවසින් වැඩි කාලයක් ප්‍රධාන කැන්ටිමේ කාලය ගත කර අප කරන්නේ, එහි සිට, හෙමින් හෙමින් පැද්දි පැද්දී තර්ස්ටන් පාර වෙත ඒම ය. තර්ස්ටන් පාර ඇරැඹෙන හරියේ ම, සරසවි ක්‍රීඩා පිට්ටනි පරිශ්‍රයේ පාරට මුහුණ ලා තිබුනේ අපට එකල මහපොළ වාරිකයදෙන කුඩා බැංකු ශාඛාවක් හා පොත් සාප්පුවකි. එතැනින් ය පාර පැනීමට නියමිත සීබ්‍රා-ක්‍රොසිනය පිහිටියේ. අප එතැනට එන විට, දෙතුන් දෙනෙකු පාර පනිමින් සිටි අතර අප දුටුවේ කොලෙජ් හවුස් දිසාවෙන් විදුලි වේගයෙන් පැමිණි 138 රූටයේ දුවන රෝසා බසයක්, පයිල් කවර ගොන්නක් තම ලයට හොවා ගෙන කහ ඉරෙන් පාර පනින සරසවි සිසුවියක යට කර ගෙන පැත්තකට විසි වී නැවතෙන සැටි ය.

කහ ඉර දෙසට දිව ආ අපට දැක ගත හැකි වූයේ, කඩාගෙන සිටි ඇගේ දිගු වරලස යටින් ඇගේ හිස, අත තිබූ පයිල් කවරයක් මෙන් පොලොවට සමතලා වී ඇති බව යි. බලා සිටිය නොහැකි මේ දසුන අප අවට සිටි සෙසු සරසවි සිසුහු මිලි තප්පරයක් තුල වහා ක්‍රියාත්මක වූ හ. නුදුරින් පිහිටි පිට්ටනියේ ගොඩ ගැසී තිබුණු වේලුණු තණකොළ බසය තුලට පැමිණයේ පියාඹගෙන මෙන් ය. ගිනි පෙට්ටියක් ද කොහෙන් හෝ මතු විය. ඊළඟ මිලි තප්පරයේ තණකොළවලට ගිනි ඇවිළුණු අතර, කිරි-කිරි රෝසා බසය මුළු මනින් ම අළු වී යන්න ගත වුණේ විනාඩි කිහිපයකිණි.

ඒ සමග ම සිසුන්ට කොහෙන් හෝ අලවංගු හා පාර කොටන උදළු කිහිපයක් ලැබී, දැඩි ආවේගයෙන් කහ ඉරේ දෙපැත්තට වෙන්න වැඩි ගැඹුරු නැති අගලක් වැනි වැනි කුහරයක් පාර පුරා හරහට කැපුවේ වේගය නසන බැරියරයක් ලෙස විය හැක. මේ සියල්ල සිදු වූ පසු ය පොලීසිය හා ගිනි නිවන හමුදාව එතැනට පැමිණියේ.  

 

 නීතිය හා යුක්තිය පසිඳළීම පොලීසිය හා අධිකරණයේ වගකීමක් වූවත්, අපගේ සරසවි සගයින් යට කී සිද්ධියේ දී කළේ, ඒ  ආයතන දෙක ම තම අතට ගෙන, යුක්තිය මහ පාරේ සිට ම, කල් නොතබා, අසුරු සැණින් විසඳීම ය. එක්තරා රක්ෂණ ආයතනයක් අනතුරට ලක් වූ සැණින් 'ඔන් ද ස්පොට්' වන්දිය ගෙවනවා මෙනි. මෙවැනි ඔන්-ද-ස්පොටාකාරයේ යුක්තිය පසිඳළීම් රැල්ලක් දැන් දැන් රට පුර හමන බවක් පෙනෙයි. බීමත් ව සිටි පිරිසක විසින් පදවා ගෙන ආ සුඛෝපභෝගී රියක හැපී ත්‍රීරෝද රියැදුරෙක් මිය ගියේ ද රථයේ සිටි කතකට  කොසු ප්‍රහාරකයක් ලැබුණේ ද ඔන්-ද-ස්පොටාකාරයෙනි.

කොළඹින් රැල්ල හන්තාන පෙදෙසට හමා, හිටපු උප කුලපති වරයෙකුට ද තම ගෙදරට ම දඬුවම 'ඩිලිවරි' වූයේ පොලීසී උසාවී ගානේ මාස ගණන් රස්තියාදුවට යන කාලය හා වියදම නාස්තියක යී ඒ සිසු පිරිස සිතූ නිසා විය හැකි ය. මොටෝ සයිකලයක් පෙරැළීමේ වරදට 'වීසිගේ-පුතා' ලෙස වරෙන්තු  ලැබුණු උප කුලපතිගේ පුත්‍රයාට,අදාළ සිද්ධිය වූ තැන ම දන ගසා වැඳ සමාව ගන්නා ලෙස නියෝග කෙරුණ බව මාධ්‍යට කීවේ නියෝජ්‍ය උප කුලපති ය. එසේ නොකර, 'අඩි-කරණ' ක්‍රියාවලියට සහයෝගය නොදීම හේතුවෙන් සිසු මොබයක් මහේස්ත්‍රාත්වරුන් පිරිසක් විලසින් නිසි නීති නෙළන ලද බව ද වාර්තා විය.           DEWANADHA1



'ප්‍රචණ්ඩ ලංකා' යනු 1971 කැරැල්ල අසාර්ථකව නිම වී වැඩි කලක් යන්නට පෙර, ඉබ්බාගමුවේ යකල්ල ප්‍රදේශයේ දේවසරණාරාමය නමින් ආශ්‍රමයක් ඇරැඹු, යොහාන් දේවානන්ද නම් ඇන්ග්ලිකානු පූජකයෙකු විසින් ලියන
ලද, වයලන්ට් ලංකා නමින් ඉංග්‍රීසියෙන් ලියන ලද දීර්ඝ කවි සංග්‍රහයක සිංහල අනුවාදයේ නම යි.

ජෝන් කුරේ නමින් කොළඹ ධනවත් පවුලක උපන් දේවානන්ද පියතුමා කොළඹ රාජකීය විදුහලෙන් හා ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් අධ්‍යාපනය ලදු ව හැටේ දශකයේ ලෝ පුරා පැතිර ගිය විමුක්තිකාමී දේවධර්ම රැල්ලේ බලපෑමෙන් ආගමීක ධර්මය වන්නේ සමාජ දේශපාලන පරිවර්තනය උදෙසා කටයුතු කිරීම යන ආස්තානයේ සිටි අයෙකි.

1971 කැරැල්ලේ නායකයින් වූ සුනන්ද දේශප්‍රිය හා සරත් ප්‍රනාන්දු වැන්නන් හිරෙන් නිදහස් වීමෙන් අනතුරු ව හැදුණේ වැඩුණේ දේවසරණේ ය. අම්බලන්ගොඩ හා මොරටුව/කෑගල්ල වැනි ප්‍රදේශ වලින් පැමිණි දේශප්‍රිය හා ප්‍රනාන්දු ඉබ්බාගමුවේ ගෙවල් දොරවල් හදා ගත්තේ ඒ පසුබිමේ ය.

දේවානන්ද පියතුමාගේ 'ප්‍රචණ්ඩ ලංකා' කවිය පටන් ගන්නේ නැති බැරි අයෙකු පොල් ගෙඩි කිහිපයක් වෙනෙකෙකුගේ වත්තකින් කඩා ගැනුම උසාවියෙන් වරදක් කරනු නමුත් පොහොසතුන් සූක්ෂම ලෙස කරන නීතියට හසු නොවන හොරකම් රැසක ලැයිස්තුවක් සැපයීමෙනි. මෙය අද අර්ථයෙන් පට්ටා ගැසූ ක්ලීශේම ය ප්‍රචාරකවාදී ප්‍රකාශයක් වුව ද එකල විප්ලවීය එකක වූ බවට අනුමාන කළ හැක. දේවානන්ද පියතුමා කවියෙන් ගොරහැඩි ලෙස ගෙන හැර පෑවේ ප්‍රචණ්ඩත්වය ධනපති පංතිය විසින් ව්‍යූහාත්මක ව පවත්වා ගෙන යෑම ය.

321665662 554023466624115 2584368253220341999 n

ජවිපෙ ද පොඩි පොඩි ප්‍රචණ්ඩ වැඩ කළ ද ඔවුන් එසේ කළේ පුද්ගලික වාසි තකා නොව අසාධාරණ ක්‍රමය පෙරලා දැමීමට බව පිටු ගණනක් පුරා දිවෙන කවි පංතියේ අවසානයේ කියැවෙයි.  අවසාන අරමුණ යහපත් හා උදාර නම් එය සාක්ෂාත් කර ගැනුමට භාවිතා කරන මෙවලම -- උදාහරණයක් ලෙස ප්‍රචණ්ඩත්වය -- සාධාරණීකරණය එහි සාරය යි.            

ප්‍රචණ්ඩත්වය ලංකාවේ මුල් ඇද ගත්තේ අද ඊයෙක නොවේ. වසර තිහක යුද්ධයක් පැවැති රටක එසේ වීම පුදුමයක නොවේ. පොලීසියෙන් හා හමුදාවෙන් මුදා හළ ප්‍රචණ්ඩත්වයට නොදෙවෙනි ප්‍රචණ්ඩත්වයක් කොටි සංවිධානය ද කලක් සන්නද්ධ ව සිටි ජවිපෙ ද මුදා හැරියේ ය. කොටි සංවිධානය මුළුමනින් වාගේ යුධමය වශයෙන් පරාජය විය. ජවිපෙ සන්නද්ධ කණ්ඩායම ද එවන් ම මර්ධනයකට ලක් වුනු අතර, ඉතුරු බිතුරු සොයුරු කැල,  අහල පහල ගලන ඇලකින් පීල්ලකින් ලේ ටික සෝදාගෙන හීමිජ්ජන් ලෙස දියවන්නාවට රිංගූ නමුත් ප්‍රොක්සියෙක් දෙන්නෙක් එවනු මිසෙක කොටිනට නිල වශයෙන් ප්‍රජාතත්රවාදී ප්‍රවාහයට එකතු වන්නට නොහැකි විය.

 මේ හේතු මත ප්‍රචණ්ඩත්වය -- ගණකාධිකරණය බසින් කියතොත් -- බොල් ණයක ලෙස කපා හරිනු වෙනුවට,  ඉදිරියට ගෙන ආ ශේෂයක් (ඉ/ගෙ/ශේ) ලෙසට ලාංකීය සමාජයේ ගිණුම් ගත විය. මේ ශේෂ පත්‍ර අගයට නව වටිනාකමක් ඊයේ පෙරේදා ලැබුණේ 'අරගලයේ' එක්තරා අවධියක ය. දේවානන්ද පියතුමන්ලා සිය ගණනක් ගෝල් පීසියේ උපන් අතර, ප්‍රචණ්ඩ ලංකා පන්නයේ කවි පමණක් නොව විරිඳු, ජන ගී, රොක් ගී හා සරල ගී ද ඒ වෙනුවෙන් ගැයිණ. දැන් දැන් ඒ ගීත ඒ ආකාරයෙන් ම නෑසුනත්, ඒවායේ තණුව ට වැයෙන ඉන්ස්ට්රුමැන්ටල් සංගීතයට සමාජයේ යම් කොටසක් ඔන්-ද-ස්පොටාකාරයෙන් යුක්තිය පසිඳලීම මහ පාරේ ම කරන්නේ උසාවි නඩත්තු කිරීම මිල අධික නිසා විය හැක.    

WhatsApp Image 2022 07 10 at 9.29.49 AM

ප. ලි. :

1987-89 භීෂණ සමය තුල ජවිපෙ සන්නද්ධ ප්‍රවේශයකට එළැඹුණු අතර, ඔවුන්ගේ ඝාතන ලැයිස්තුවට වාමාංශික දේශපාලන, වෘත්තීය සමිති හා ජනතා ක්‍රියාධරයන් ද අයත් විය. දේවානන්ද පියතුමා සමග ඉබ්බාගමුවේ දේවසරණ හා ඒ සමග සමීප ව ක්‍රියාකාරී වූ සමස්ත ලංකා ගොවී සම්මේලනයේ ක්‍රියාධරයන්ට ද මරණ වරෙන්තු නිකුත් විණි.  මීට ප්‍රතිචාරයක් ලෙස දේවසරණ පරිශ්‍රය වටා වැලි කොට්ට ගොඩ ගසා බලකොටුවක් සාදන ලද අතර, විශාල පිරිසක් එහි රැඳී සිටියේ ජීවිත ආරක්ෂා කර ගැනුමට ය.  දේවානන්ද පියතුමා ඒ කාලයේ රට හැර ගොස් සිටියේ ද ජීවිත ආරක්ෂාවට ය. ජවිපෙ 1971 සන්නද්ධ කැරැල්ල ගැන සහකම්පිත දේශපාලන පදනමක පිහිටා දීර්ඝ කාව්‍ය රචනාවක ලියූ එතුමාට එම ව්‍යාපාරය විසින් ම තමනට කොකා පෙන්වීම පමණක් නොව කොකා ගැස්සවීමට ද උත්සාහ කෙරුම උත්ප්‍රාසජනක ය. පීඩකයාගේ පමණක් නොව පීඩිතයාගේ ප්‍රචණ්ඩත්වයේ ස්වරූපය ද වැඩි වෙනසක් නොවන බව එතුමාට අවබෝධ වුනා ද යන්න දේවානන්ද පියතුමා ලඟින් ඇසුරු කළ අය දන්නවා විය හැක.

 

Udan

 

 

 

(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com
(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

320723070 553561629955212 5233208659897488127 n

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රචණ්ඩ ලංකා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader