The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බෙංගාල බොක්ක - (කපිල කුමාර කාලිංග)

T

The Leader Desk

January 1, 2023 • 10:53 AM

බෙංගාල බොක්ක - (කපිල කුමාර කාලිංග)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෙංගාල බොක්ක තිබෙන්නේ ඉන්දියන් සාගරේය.
  • එකට කතත් බොක්ක වෙනස් යැයි කතාවක් ඇත.
  • බෙංගාල බොක්කට අවපාතය සෑදුණු විට ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව ඒ බව දන්වා සිටී.
  • සුළි කුණාටු, නාය යාම් ආදියෙන් පරිස්සම් වන ලෙස මිනිසුන්ට දන්වා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):



බෙංගාල බොක්ක තිබෙන්නේ ඉන්දියන් සාගරේය. එකට කතත් බොක්ක වෙනස් යැයි කතාවක් ඇත. ඒ අනුව ඉන්දියාව අපේ අසල්වැසියා වුණත් බෙංගාල බොක්ක අපට නිතර වෙනස්කම් කරයි. කචල් දමයි. අර වෙරිකාරයාට තද වී තිබුණේ ඒ නිසාය.

බෙංගාල බොක්කට නිතරම ඩිප්‍රෙෂන්ය. මිනිසුන්ටද ඩිප්‍රෙෂන් සැදෙයි. එයට කියන්නේ ආතතිය ය. බෙංගාල බොක්කේ ඩිප්‍රෙෂන් එක අවපාතය නම් වේ.

බෙංගාල බොක්කට අවපාතය සෑදුණු විට ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව ඒ බව දන්වා සිටී. සුළි කුණාටු, නාය යාම් ආදියෙන් පරිස්සම් වන ලෙස මිනිසුන්ට දන්වා සිටී. ධීවරයන්ට මුහුදු යාමෙන් වැළකී සිටින ලෙස අවවාද කෙරෙයි. එවිට ඔවුන්ගේ බොක්ක රත් වෙයි.

 

''ඔක්කොම බොක්කොටමයි'' යනුවෙන් පිරුළක් ද ඇත. එහිදී අදහස් වන්නේ බෙංගාල බොක්ක නොව ආහාර බොක්කය. හරි හම්බ කරන සියලු දේ කෑමට බීමට වියදම් කිරීමට සිදුවීම එම පිරුළේ අරුතය. එය මේ කාලයට නම් නියමෙට ගැලපේ.

 

බොක්කට හොඳ දේ මෙන්ම නරක දේ ද ඇත. කසිප්පු ද බොක්කට අහිතකරය. ඒ නිසා එය 'බොකුදිරා' යනුවෙන් හැඳින්වේ.

සිංහල ජන වහරේ බොකු සහ බොක්ක සම්බන්ධ යෙදුම්, කියුම්, වදන් බොහෝය. මෑත කාලයේ එක්වූ යෙදුමක් වන්නේ යහළුවාට 'බොක්ක' යැයි කීමය. එවැනි අවස්ථාවල එක් මිතුරෙක් තම මිතුරකුව තවත් මිතුරකුට හඳුන්වා දෙන්නේ ''මචං, මූ නියම බොක්ක'' යනුවෙනි. අවංක, හිත හොඳ, විශ්වාසවන්ත වැනි අරුත් එහි ඇත. ('ෆිට් එක' යනුවෙන් කියන්නේද එබඳු මිත්‍රයාටමය.)

කෙසේ වෙතත් සියලුම බොක්කෝ එක වගේ නැත. සමහරු විශ්වාසය කඩ කරති. එකට බිස්නස් කරන සමහර මිත්‍රයෝ මඟදි හැලෙන්නේ අනෙකා අමාරුවේ දමමිනි. ''නරියාට බොක්ක සෝදන්න දුන්නා වාගේ'' යැයි කියන්නේ එවිටය. නරියා බොකු සේදීමට බාරගන්නේ එය කෑමට ඇති ආශාවෙනි.

බොක්කාගේ ස්ත්‍රී ලිංගික වචනය 'බොක්කී' ය. තම බොක්කාට ඉඳහිට කොකු දැමීමද බොක්කියන්ගේ හැටියකි. ඒ නිසා ඔවුන් කොක්කියෝ හෝ කෙක්කියෝ යනුවෙන් හැඳින්වීමේද වරදක් නැත.

බොක්කෙන්ම කතා කරන අවංක බොක්කෝ මෙන්ම බොක්කටම වදින්න කතා කරන්න හපන් බොක්කෝද අප අතර වෙති.

සමහරු කන්න ගියාම බොක්ක පැලෙන්නම කති. කෝප වූ විට ''තොගෙ බොකු බඩවැල් අදිනවා'' යැයි තර්ජනය කිරීම, ගණන්කාර අයියලාගේ හැටියකි.

මැලේ සහ මුස්ලිම් ජාතීන් විසින් සිංහලයාට හඳුන්වා දුන් 'බාබත්' රසවත් ආහාරයකි. හරකාගේ හෝ එළුවාගේ බොක්කෙන් හදන බාබත් කරිය සමඟ පිට්ටුද බඩ පැලෙන කල් කෑ හැකිය. පරිප්පු නැති හෝටලයක් සොයාගත නොහැකිවාක් මෙන්ම, බාබත් නැති නයිට් කඩයක්ද ඇත්තේ නැත.

ලිප් බොක්ක හෝ එහි අළු බොක්ක තරම් සුව පහසු, උණුසුම් යහනක් පූසාට නම් මෙලොව තවත් නැත. එහෙත් උදෑසනම එන ස්වාමි දූව දකින විට ඌ අළු ගසා බසා දිව යන්නේ ඇගෙන් හැඳි මිට පහරක් ද කමිනි.

නව පරපුරේ ගායක කණ්ඩායමක් ගයන 'බොක්ක' නමැති ගීයකට ද මෑතකදී සවන් දෙන්නට ලැබුණි. මේ එහි 'පද-වැලෙන්' උපුටාගත් කොටස් දෙකකි.


මැරුණත් සැපේ ඉඳිල්ලා
එකෙකුට එකෙක් ඉන්නවා
වෙන උන් වගේ නෙවෙයි
බොක්ක අපේ ක්ලීන් තියෙනවා

ටික් ටොක් රෑප සෝබනා
පරදපු කොල්ලො මස්සිනා
මැරිලත් පැයක් මචං
ෆිට් එක නං හිතේ තියෙනවා






මාතර දිස්ත්‍රික්කයට අයත් ඌරුබොක්ක සුන්දර පෙදෙසකි. එක් දිනක් එහි වෙසෙන තරුණියක් ගුවන්විදුලි නාලිකාවකින් ගීතයක් ඉල්ලා සිටියාය. මේ එම සංවාදයයි.

නිවේදක: ගුණවතී නංගි කොහෙ ඉඳලද කතා කරන්නෙ?

තරුණිය: ඌරුබොක්කෙ ඉඳල අයියෙ.

නිවේදක: ෂා.. නියම බොක්ක නෙ. ඔහෙ හුඟක් කරුවලද නංගි?

තරුණිය: නෑ අයියෙ, අපිට ලයිට් තියෙනවනෙ.

නිවේදක: මොකක්ද නංගිට ඕනෙ සෝංග් එක?

තරුණිය: අයියෙ මට 'රස ආහාර කවලා' දෙන්නකො.

නිවේදක: ඕ කේ.. ඌරුබොක්කේ සිට සවන් දෙන ගුණවතීට මෙන්න අපෙන් රස ආහාර! හොඳට දිරවගන්න නංගි... බායි...




අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...