The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : අලුත් අවුරුද්දේ ⁣එහෙම කරමු ද? මෙහෙම කරමු ද ?

T

The Leader Desk

January 1, 2023 • 12:01 PM

මානීගේ තීරුව : අලුත් අවුරුද්දේ ⁣එහෙම කරමු ද? මෙහෙම කරමු ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මමද අලුත් අවුරුද්දේදී කණගාටු වීම අතහැර දමා සන්තෝෂයෙන් සිටින්නට අධිෂ්ඨාන කර ගතිමි.
  • මට සන්තෝසෙන් ඉන්න බැරි මේ රටේ දේශපාලනේ නිසයි" තමාට මා කී දේ නොවැටහෙන බව බිරිඳ කියා සිටියාය.
  • ඉතින් අපි මොකටද එහෙව් උන් ගැන කරදර වෙන්න කාලෙ ගත කරන්නෙ ?" බිරිඳ මගේ කතාව පිළිගත්තේ නැත.
  • "ඔයයි මමයි ජාතියේ ගැලවුම්කාරයො නෙවෙයිනෙ මුළු රටේම මිනිස්සු ගැන කරදර වෙන්න ?" බිරිඳ කියා සිටියේ අප වටු රැළ මෙන් එකතු වී මේ දැලෙන් ගැලවිය යුතු බවය.
අකුරු ප්‍රමාණය (Font Size):



මමද අලුත් අවුරුද්දේදී කණගාටු වීම අතහැර දමා සන්තෝෂයෙන් සිටින්නට අධිෂ්ඨාන කර ගතිමි.

"ඔයා මෙච්චර කල් මොනව ගැනද කණගාටුවෙන් හිටියෙ?" මගේ අධිෂ්ඨානය දැනගත් බිරිඳ වහාම කලබල වී ප්‍රශ්න කළාය . "ඔයා කනගාටුවෙන් ඉන්නෙ  මාව ඔයාට ගැලපෙන්⁣නෙ නෑ කියලද? එතකොට මේ අවුරුද්දෙ වෙනින් ගෑනියෙක් හොයාගෙනද ඔය සන්තෝසෙන් ඉන්න හදන්නෙ  ?"

" මගුලක් කතා කරනවද ?" මම බිරිඳගෙන් පෙරළා ඇසුවෙමි ."මට තියෙන ප්‍රශ්නෙ තමුසෙ නෙවෙයි ඕයි. මට සන්තෝසෙන් ඉන්න බැරි මේ රටේ දේශපාලනේ නිසයි"

තමාට මා කී දේ නොවැටහෙන බව බිරිඳ කියා සිටියාය.

 

"මම ගැඹුරින් කල්පනා කරල බැලුව හලෝ, ලංකාවෙ මිනිස්සු හැම වෙලාවෙම දුකෙන්, කේන්තියෙන්, ආතතියෙන් ඉන්නෙ මොකද කියල" මම බිරිඳට පහදන්නට පටන් ගතිමි . "එතකොට තමයි මට තේරුණේ අපි දවස පුරාම පත්තරෙන් කියව කියව, රේඩියෝවෙන් අහ අහ, ටෙලිවිෂන්නෙකේ බල බල ඉන්නෙ මොනවද කියල. ඒ ඔක්කොම දේශපාලන කතානෙ. ඒව කියවල , අහල , බලල අපිත් මොකද  කරන්නෙ ? දවස පුරාම දේශපාලනේ කතා කරනව. වාද කරනව. රණ්ඩු වෙනව. ඒ කියන්නෙ අපි මුළු දවසම දුකෙන්, කේන්තියෙන්, ආතතියෙන් ඉන්නෙ මේ මගුල් දේශපාලනේ නිසානෙ "

 

ඒ අසා බිරිඳ දිග සුසුමක් හෙලුවාය.

"බලාගෙන ගියාම ඔයා වෙන කසාදයක් කරගත්ත නම් මීට වැඩියෙ හොඳයි වගේ " බිරිඳ කියා සිටියාය. "රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි එහෙම දෙයක් නෑ වගේ ඉන්න හදන මිනිහෙක් එක්ක ඉන්නවට වැඩියෙ හොඳයිනෙ මිනිහෙක් නැතුව ඉඳිල්ල "

මම බිරිඳගේ කතාවෙන් පසුබට නොවීමි.

"ඔයාට මැන්ටල්ද මෙයා "මම බිරිඳට මගේ අප්‍රසාදය පළ කළෙමි. "අපේ ප්‍රශ්න විසඳන්න ඕන නීතිරීති හදන්න යවපු සැට්ටෙකේ උනන්දුවක් නැතිම දේ නේද රටේ ප්‍රශ්න. උන් උනන්දු තමන්ගෙයි, දරු පවුලෙයි, හෙංචයියන්ගෙයි ගොඩ ලොකු කරගැනිල්ල ගැන විතරයි නේද. ඉතින් අපි මොකටද එහෙව් උන්  ගැන කරදර වෙන්න කාලෙ ගත කරන්නෙ ?"

බිරිඳ මගේ කතාව පිළිගත්තේ නැත.

 

"හරි, හරි අපේ නියෝජිත⁣යො නොකරන එකම දේ අපිව නියෝජනය කිරීම තමයි. ඒත් ඒක ඉතින් ඔයාගෙ සොයාගැනීමක් නෙවෙයිනෙ. ඒක දත්තයනෙ" බිරිඳ මට කියා සිටියාය. "අපේ ඡන්දෙන් ගිහින් ඉන්න උන් කමකට නැති නිසා තමයි අපි ඊළඟ සැරේ ඕකුන් එලවන්න ලෑස්ති වෙන්න ඕන, හැමදාම මේ විදිහට ඉන්නෙ නැතුව. අපි එකතු වෙලා මේ රට ජීවත්වෙන්න හොඳ තැනක් කරගන්න ඕන නැද්ද ?. නැතුව උන් ගැන කරදර නොවී තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න පුළුවන්ද තමන්ගෙ දරුමුණුබුරෝ ගැනවත් හිතන කෙනෙකුට?"

 

"දරුමුණුබුරන්ගෙ අනාගතය ආරක්ෂා කරන්න කියල අපේ ජීවිතේ කාළකණ්නි කරගෙන හරියනවද මනුස්සයො?" මම බිරිඳගෙන් ඇසුවෙමි. "අපි දරුමුණුබුරන්ට ආදරේ නම් කරන්න තියෙන්නෙ බෝට්ටුවක නැගගෙන හරි මේකෙන් පැනගනිල්ල කියල උන්ට තේරුම් කිරිල්ලයි"

"මරු විසඳුම" බිරිඳ අවඥාවෙන් කියා සිටියාය. "එහෙනම් අපි අපේ පුතයි මුණුබුරයි ගැන විතරක් කරදර වුණාම හරි?"

"ඔව්! අනිත් මිනිස්සුන්ටත් අපිට තේරෙන හරිය තේරෙනව නම් උනුත් කියන්න ඕන උන්ගෙ දරුමුණුබුරන්ට මේකෙන් ගැලවිලා පලයල්ල කියල " මම සාහසිකව කියා සිටියෙමි . "ඔයයි මමයි ජාතියේ ගැලවුම්කාරයො නෙවෙයිනෙ මුළු රටේම මිනිස්සු ගැන කරදර වෙන්න ?"

 

බිරිඳ කියා සිටියේ අප වටු රැළ මෙන් එකතු වී මේ දැලෙන් ගැලවිය යුතු බවය. මා කියන්නේ අප තනියම දැල ඉරාගෙන හෝ බේරී යායුතු බවය. බිරිඳ දිගටම සිය මතයේ එල්ලී සිටියාය . මමද මගේ මතය අත් නොහැරියෙමි.

 

මේ උදාවන අලුත් අවුරුද්දේ අප කළ යුතු යැයි ඔබ සිතන්නේ කුමක්ද? බිරිඳ කියන දේද? මා කියන දේද? අවංකවම කියන්න.


මානීගේ තීරුව : ජම්පිං ශ්‍රී ලංකා ! - (සුන්දර නිහතමානි ද මැල්)(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...