The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තේවා: වැලිමකරුන්ට එරෙහි ජීවිත පරිත්‍යාගය - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

January 6, 2023 • 6:07 AM

තේවා: වැලිමකරුන්ට එරෙහි ජීවිත පරිත්‍යාගය - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලියවුණු සමයේ එය, ‘විකල්ප’ සහ ‘බූන්දි’ වෙබ් අඩවිවල පළවුණු අතර 2011 වසරේ ප්‍රකාශිත ‘ඇහැළ ඇමතුමකට ඇහැරෙමි’ කෘතියට ඇතුළත් විය.
  • මුහුදුවැලි මංකොල්ලය නිසා බරපතල මුහුදු ඛාදනයකටත්, පානීය හා කෘෂිකාර්මික ජල අර්බුදයකටත් මුහුණලා සිටින යාපනය අර්ධද්වීපයේ, ඊට එරෙහිව නිර්භීතව සටන් කළ තේවා, එනිසාවෙන්ම නරුමාකාරව ඝාතනය කර මේ වන විට වසර 13ක් ගතවී ඇත.
  • එපමණක් නොව තවමත් වැලි ජාවාරම ‘ලෙසටම’ සිදුවෙමින් පවතී.
  • (Image: Tamilnet) පේදුරුතුඩුවේ සිට චුන්ඩිකුලම් අභයභූමිය දක්වා මනල්කාඩු, කුඩාතනෛ, නාගර්කෝවිල්, නෙල්ලෛයඩි හරහා වැටී ඇති වෙරළ තීරය යාපනය අර්ධද්වීපයට පමණක් නොව සමස්ථ දූපතටම අතිශය වැදගත් පාරිසරික කලාපයකි.
අකුරු ප්‍රමාණය (Font Size):



‘’මව් බිමත් සමඟ රමනය කළවුන්ට
මව් වුණත් කයක් පමණෙකි හැමිනෙන්ට’’


22708404රට ආර්ථික වශයෙන් කාබාසිනියා කළ දේසපාලන හැතිකරයට එරෙහිව නිතර ළෙලවෙන මේ උපුටනය, අඩංගු ‘නියඟලා කවි’ සැබැවින්ම ලියවුණේ 2010 වසරේ දෙසැම්බර් 31 වැනි දා, උතුරේ වැලිකඳු වෙරළ තීරයේ කුඩාතනෛ නම් නිශ්චිත භූමියේදි, මුහුදුවැලි මංකොල්ලකාරයන් විසින් ඝාතනය කෙරුණු කේතීස්වරන් තේවරාජා නම් නිර්භීත තරුණයා වෙනුවෙනි. ලියවුණු සමයේ එය, ‘විකල්ප’ සහ ‘බූන්දි’ වෙබ් අඩවිවල පළවුණු අතර 2011 වසරේ ප්‍රකාශිත  ‘ඇහැළ ඇමතුමකට ඇහැරෙමි’ කෘතියට ඇතුළත් විය. එහි, ඉහත උපුටනයට කලියෙන් එන කවි දෙපදය මෙයාකාරය.


‘’වැලි කඳුත් ගිලින නැඩ ගිනි මකරුන්ට
ඉඳුමිණක් හැකිද වෙන්කර හඳුනන්ට’’

 

කවිය තුළ එකී නිශ්චිත සංසිද්ධිය හා තේවා නිරූපනය වන අන්දම මෙබඳු විය. මුහුදුවැලි මංකොල්ලය නිසා බරපතල මුහුදු ඛාදනයකටත්, පානීය හා කෘෂිකාර්මික ජල අර්බුදයකටත් මුහුණලා සිටින යාපනය අර්ධද්වීපයේ, ඊට  එරෙහිව නිර්භීතව සටන් කළ තේවා, එනිසාවෙන්ම නරුමාකාරව ඝාතනය කර මේ වන විට වසර 13ක් ගතවී ඇත. ඒත් ඝාතකයෝ තවමත්,  රාජ්‍ය අනුග්‍රහය මත නිරුපද්‍රිතව සිටිති. එපමණක් නොව තවමත් වැලි ජාවාරම ‘ලෙසටම’ සිදුවෙමින් පවතී.

kt 4

(Image: Tamilnet)

 

පේදුරුතුඩුවේ සිට චුන්ඩිකුලම් අභයභූමිය දක්වා මනල්කාඩු, කුඩාතනෛ, නාගර්කෝවිල්, නෙල්ලෛයඩි හරහා වැටී ඇති වෙරළ තීරය යාපනය අර්ධද්වීපයට පමණක් නොව සමස්ථ දූපතටම අතිශය වැදගත් පාරිසරික කලාපයකි. ඉනුත් මනල්කාඩු, කුඩාතනෛ වෙරළ තීර, චිරාත් කාලයක් තිස්සේ හමා එන ඊසානදිග මෝසම් සුළඟේ ස්වභාවී රිද්මය විසින් නිර්මිත වැලිකඳු ය. මෙකී ස්වභාවී වැලිකඳු  අතීතය පුරා බලා උන්නේ අලුත් සහස්‍රකයක ඇරඹුමේ, ටිපර් සහ ලොරි ඇත්තවුන් පැමිණ තමන් පටවාගෙන යන තුරු නොවේ.

 

5f46f9f7 947d 469f 9332 406f01f2bafe

(Image: Tamilnet)

 

ඔබ, මේ වැලි කඳු අතරේ කරක් ගසා ඇතියකු වේ නම්, අවම වශයෙන් ඩී.බී.නිහාල්සිංහගේ ‘වැලිකතර’ සිනමාපටය නරඹා ඇතියෙකු නම්, මේ අසාමාන්‍ය වෙරළ තීර අහිමිව යාමේ වේදනාව බරපතල ලෙස දැනෙන්නෙකු විය යුතු ය. ඉදින්, එහිම ඉපිද, හාර්ට්ලි විදුහලෙන් ඉගෙන, වඩමාරච්චි තැපැල්හලේ සේවය කළ කේතීස්වරන් තේවරාජාට, එය තමන්ගේ ජීවිතයට පර්යාය වූ පරිසර පද්ධතිය වීම කවර අරුමයක්ද? තමා උපන් පරිසර පද්ධතිය හා අනන්‍යවුණු ජීවිතයක් ගත කළ  පරිසරවේදියකු වූ තේවා, ‘දේවානන්දා’ අතුරු කල්ලියක් විසින් මූදුවැල්ල මංකොල්ලකමින් සිදුකෙරුණු පාරිසරික සංහාරයට එරෙහි සටනේ පෙරමුණේරාළ කෙනෙකුන් විය.

 

KT 3

කේතීස්වරන්ගේ ෆේස්බුක් සටහන (Image: Tamilnet)

 

ඍජු මරණ තර්ජන හමුවේ පවා උකටලී නො වූ තේවා, මනල්කාඩු-කුඩාතනෛ වෙරළ තීරය ඇතුළත් ඡායාරූප 102ක ඇල්බමය, “කුඩාතනෛ වෙරළේ සම්පත් සංහාරය” යන අදහස වරනඟමින් සිය ෆේස්බුක් ගිනුමේ පළකරන ලද්දේ 2010 දෙසැම්බර් 11වැනිදා ය.  වැලි මංකොල්ලයට එරෙහි, යාපනේ ජනමාධ්‍යයන්ට, සිවිල් සංවිධානයන්ට එරෙහිව අඛන්ඩව භීෂණය පතුරමින් සිටි ‘මහේෂ්වරී පදනම’ හා අනුබද්ධ අතුරු කල්ලි සමඟ ඊට හරියටම සතියකට පසු කුඩාතනෛ ආ ඩග්ලස් දේවානන්දා ඇමතිවරයා, තේවා ඇතුළු වෙරළ තීරාසන්න නිවැසියන් වෙත ඍජුව තර්ජන කළේ හමුදාව හා පොලීසිය පිරිවරාගෙනමය. ඊට දවස් 10කට පසු තේවා ඝාතනය කෙරුණි.

 

KT 1


එය රාජ්‍ය අනුහස සහිත ‘මහේෂ්වරී’ පන්නයේ අලුත් අවුරුදු ‘සුබපැතුමක්’ විය. විශාල හමුදා ගහණයක් සහිත උතුරේ බැරියර පන්නා යා හැකි සන්නද්ධ කල්ලි, ස්ථිර වශයෙන්ම හමුදාවේ ඍජු හෝ වක්‍ර අනුග්‍රහය ලබන්නේ වෙයි. දෙමළ සන්නද්ධ අරගලය පරාජය කර තිබුණෙන් සිංහල රාජ්‍ය හිතවාදී දෙමළ කල්ලි වලට තිබුණේ වන් හෝස් රේස් එකකි. තේවාට වෙඩිතබා මරා දැමීම හරහා ‘වැලි කල්ලිය’ ධ්වනිත කළේ වැලි විරෝධී සියලු විරෝධතා හකුළා ගත යුතු බවය.

 

13

 

‘’උතුරේ ඊනියා වසන්තය’’ නම් වන කොන්ත්‍රාත්කාර පරිච්ඡේදය තුළ ඉදිකිරීමට නියමිත නිවාස සඳහා වැලි සැපයීමේ ඒකාධිකාරය අත්පත් කරගත් ‘මහේෂ්වරී පදනම’ වැලි කඳු ගිල දමමින් මුදල් කඳු ගොඩගසමින් ගෙන ගිය පාරිසරික හා නීතිවිරෝධී වැලි මංකොල්ලය රාජ්‍ය අනුග්‍රහය හා අනුදැනුම මත සිංහල හමුදා රැකවරණය සහිතව සිද්ද වූවක් බව පැහැදිලි කරලීමට ඕනෑතරම් නිදසුන් තිබේ. වැලි ජාවාරමේ තවත් එක් පැතිකඩක් වූයේ ප්‍රවාහනයෙන් ලැබෙන ආධායමයි. වැලි ලොරියක් පාරට දාන්නට නම් මහේෂ්වරී පදනමට මුදල් ගෙව්ව යුතු ය. එය ‘මල්ටි මිලියන’ රුපියල් ඉපැයුණු සරල ගණිත සූත්‍රයක් විය. වැලි ප්‍රවාහණයට බලපත්‍ර ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්නට පවා මහේෂ්වරී පදනමට මුදල් ගෙවූ කුවින්තාසිය තිබ්බ යුතු විය. උතුරේ ගෙවල් යළි ගොඩ නංවනු පිණිස වූ මානුෂීය අවසරයට මුවාවී, ලොරිගත, ටිපර්ගත ‘මනල්කාඩු වැලිකතරේ’ වැලි,  ඒ9 මඟ ඔස්සේ කොළඹට-ගම්පහට පැමිණැවිත් ඇත ද, ඒ ගමන් පිළිබඳ කිසිඳු වාර්තාවක් නැත.

Thevarajah Facebook 4 91295 445

Thevarajah Facebook 1 91283 445

Thevarajah Facebook 3 91291 445

(Image: Tamilnet)

 

චිරප්‍රසිද්ධ රමනීය මනල්කාඩු වැලිකඳු කෙළෙසමින් සිටියදී ජනතාව එක්ව කළ අඛණ්ඩව විරෝධතාවන්ගේ ම දිගුවක් ලෙස ඊට එරෙහිව ලබා ගත් අධිකරණ නියෝගය ඉරාදමූ ‘මහේෂ්වරී’ කල්ලිය, ඊට මඳක් ඔබ්බෙන් වූ කුඩාතනෛ කලාපය මංකොල්ලකන්නට පටන්ගත්තේ රාජ්‍ය ආරක්ෂාව යටතේමය. අධිකරණ අවසර මත, 2010 අගෝස්තුවේදී ශ්‍රී ලංකා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් මෙකී වෙරළ තීරය පරීක්ෂාවට ලක්කිරීමේ නිල කටයුතු ඇරඹීමත් සමඟම, එතැනට කඩාවැදුණු දේවානන්දා වැලිමකර පිල්ලිය, ගිනි පිඹිමින් කළ තර්ජන හේතුවෙන් නිල භූ පරීක්ෂා භූමිදානය විය. තවමත් උතුරේ ලියැවෙමින් පවතින්නේ මෙකී දේවානන්දා ඉතිහාසයමය.

 

Thevarajah Facebook 2 91287 445

(Image: Tamilnet)

 

තේවා ඝාතනය කළ සමයේ මා ලීවේ ඔහුගේ ඝාතනය ගැන සොයා බලා ලියූ කිසිඳු මාධ්‍යවේදියකු දකුණේ නො සිටි බව ය. කිසිදු පරිසරවේදියකු හෝ පරිසර සංවිධානයක් ඔහු වෙනුවෙන් වචනයක් හෝ නොලී බව ය.  ඔහුගේ ප්‍රාණ පරිත්‍යාගය අර්ථපූර්ණ වන්නේ, වැලි මකරුන්ට එරෙහිව ඔහු ගෙන ගිය අරගලය අඛන්ඩව ඉදරියට ගෙන යාම ඔස්සේ බව ය.

 

 

නමුත් ඔහුගේ මරණයන් 10වසරකට පසු මා ඔහු වෙනුවෙන් ලියූ ‘නියඟලා කවි’ පදනම් කර ගනිමින් උපුල් ශාන්ත සන්නස්ගල ‘අපේ සිංහල පංතිය’ යූ ට්‍යූබ චැනලය ඔස්සේ කේතීෂ්වරන් ගැන කතා කරනා තුරුම කිසිවකුත් ඒ ගැන කතා කෙරුවේ නැත.

 

 

 

දස දහසින් සවන්, තේවාගේ ජීවිත පරිත්‍යාගයේ ගැඹුර අත්දුටුවේ, සන්නස්ගලගේ කැඳවීම මත නදීක වැලිගොඩපල සහ දිනූපා කෝදාගොඩ, සංගීතානුභාවීවැ ‘නියඟලා කවි’ ගැයීමෙන් ඉක්බිතිව ය. ඒ කෙසේ වුව තවමත් තේවා ජීවිත පරිත්‍යාගයෙන් කළ උතුරුකර වෙරළ තීරයේ පරිසර අරගලය, පොදු අරගලයක් බවට පරිවර්ථය වී නැත.

 

පණමෙන් රැකිය යුතු ‘මීගසක්’ කපා දැමීමට එරෙහිව නැඟුණු ‘දේවානි’ පන්නයේ පාරිසරික රණකාමී ශබ්ද තරංග, පණමෙන් රැක්ක යුතු වුවත් ‘දේවානන්දයෙන්’ කෙළෙසෙන මනල්කාඩු හෝ කුඩාතනෛ පිළිබඳ මුනිවත රකී. තේවා ප්‍රාණය පරිත්‍යාග කළ සංසිද්ධිය පරිසර සටනක් ලෙස දකුණු බාර නොගෙන ඉන්නට ප්‍රධාන වූ කරුණු තුනක් ‘තවමත්’ ඇත.  අංක එක තේවා දෙමළකු වීම ය. දෙක, ඔහු සටන් කළ පරිසර කළාපය නොහොත් භූමිය ‘තමන්ගේ’ නො වීම ය. බරපතලම කරුණ තුන්වැන්න ය; ඔහු අත සිංහල මනස තැති ගැන්මට ලක් කෙරෙන නියඟලා මලක් තිබීම ය.

 Ketheeswaran Thevarajah RATH

 

මුදලිඳු එච්. ඊ. අමරසේකර කතරගම දෙවියන් හා බෞද්ධයන් අතර වන සහසම්බන්ධය ප්‍රවාදගත කර ඇත. මුදලිඳු අමරසේකර ප්‍රවාදය සනාත කරනා මහාචාර්ය එස්. පත්මනාදන් පවසන්නේ මුරුගන් වනාහී සිංහල-බෞද්ධයන්ගේ රැකවල් දෙවියා බව ය. ඒත් අප දිගින් දිගට ම දේශපාලනිකව අත්විඳිමින් සිටින්නේ කුමක්ද? කේතීස්වරන් තේවරාජා අතවූයේ ද, සිංහල-බෞද්ධ සභ්‍යත්ව විඥානය තුළ මෙසේ රැකවල් ලා සිටින මුරුගන් අත වන නියඟලා මලම බව, තැතිගත් සිංහල මනසට නො දැනීමේ උත්ප්‍රාසය නොවේ ද?

 

KT 5

නෙල්සනීය ප්‍රවාද - (මංජුල වෙඩිවර්ධන)(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී
mwediwardena@gmail.com

(බල්සාක් කැෆේ - 2023 ජනේරු 8 අනිද්දා පුවත්පත)  


320723070 553561629955212 5233208659897488127 n


JW
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...