The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සපත්තු කුට්ටමක කතාව - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

January 6, 2023 • 10:25 AM

සපත්තු කුට්ටමක කතාව - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ විදිහ කියන්නෙ අපේ තෝරාගැනීම.
  • ඇත්තටම මං නොදැනුවත්වම වුනත් කරගෙන අධිපරිභෝජන රටාවක් මට තේරුම් ගියා.
  • ඒත් ඒකට අලුතෙන් යමක් ගැනීමට, වෙනසට ඇති ආශාව, පෙළඹවීම එක්ක සටන් කරන්න වෙනවා.
  • මං සපත්තු මහන්නා ළග පෝලිමේ ඉන්න සිද්ද වුනු බලහත්කාරය ඇතුලෙ මං‍ නොදැනුවත්වම අනුගත පරිබෝජන විලාසිතාවක් ප්‍රශ්න කරමින් හිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

 

ඒ විදිහ කියන්නෙ අපේ තෝරාගැනීම. ඒක අපේ ජීවිතය නිර්මාණය කරන දැක්ම අනුව සිද්ද වෙන දෙයක්. කෙනෙකුට බරපතල වචනෙන් කියන්න පුළුවන් දෘෂ්ටිවාදය කියල. ඒත් මේ දැක්ම හෝ රාමුව එහාමෙහා කරන්න පුළුවන් නම් අපිට ජීවිතේ තරමක් විශාලව දකින්න විදින්න පුළුවන්. නැත්තං අපි අපිම නිර්මාණය කරගත්ත රාමුවක හිරකාරයො වෙනවා. ඊට පස්සෙ බොරුකාරයො වෙනවා.

 

මේ දවස්වල සපත්තුවක් කැඩුනොත් බඩු බනිස්. හොඳ සපත්තු ආනයන සීමා නිසා මිළ අන්තිම ඉහළයි. සමහර විට ඉහළ මිළකට වුනත් ගන්න නෑ. මේ කාලෙම සපත්තුව කැඩුන හින්ද මං ගියා සපත්තු මහන්නා ළගට. මීට අවුරුදු ගානකට මෙහා මං සපත්තු මහන්නෙක් ළගට ගිහින් නෑ. අඩිය ගැලවුනොත් සපත්තු දෙක විසි කරලා අලුත් දෙකක් ගන්නවා. ඒත් පවතින තත්වය විසින් මගේ චර්යාව වෙනස් කරන්න බලකරලා තිබුන.

ඉතිං මං ගියා සපත්තු මහන්නා ළගට. වෙනදට වේලි වේලි තියෙන තැන අද දිගට පෝලිම. මිනිස්සු වාහන නවත්තලා සපත්තු කුට්ටම් අතේ තියාගෙන පෝලිමේ ඉන්නවා. එක්කෙනෙක් අතේ කැඩුනු බ්‍රෑන්ඩඩ් සපත්තු ජෝඩු තුන හතර තියෙනවා. සපත්තු මහන්නාට දින දීගන්න බැරුව ඔලුව කහ කහ ඉන්නවා.

 

ff

ඇත්තටම මං නොදැනුවත්වම වුනත් කරගෙන අධිපරිභෝජන රටාවක් මට තේරුම් ගියා. ඒ විසි කරන සපත්තු මහගෙන නැවත පාවිච්චි කරන චර්යාව මගේ ජීවන රටාවෙන් බැහැර වෙලා තිබුන. අලුත් සපත්තු කුට්ටමක් අරන් අලුත් වීමේ ආසාව ප්‍රබල වෙලා තිබුණ. ඒකට කියනවා  ‍fast fashion කියල. අපි අලුතෙන් ට්‍රෙන්ඩ් එකක් හෝ ෆැෂන් එකක් ඉක්මණින් අනුගත කරගනිමින් ජීවිතයට වටිනාකමක් දෙන එක. මේක ඇමරිකානු සිතීමේ නැඹුරුවක්. යුරෝපියානු සිතීමේ තියෙනවා යම් ආකාරයක circular approach එකක්. ඒ කියන්නෙ re-use, repair, recycle කියන භාවිතයන් පවත්වාගෙන යාම. (ටෙක්නිකල් වචන රන්දුලාගේ පාරිභාෂිකයෙනි)

 

khas

පොඩි කාලෙ ඉඳන් පරණ සපත්තුම දාපු මට අලුත් සපත්තු ගැනීමේ පෙළඹවීම වැඩවීම ස්වභාවිකයි.
ඒත් මගේ මේ පුරුද්ද  නිසා සපත්තු කුට්ටම් ආනයනය වැඩි වෙනවා.

හොඳ සපත්තු කුට්ටමක් නැවත නැවත පිළිසකර කරමින් පාවිච්චි කිරීම ලස්සන පුරුද්දක්. ඒත් ඒකට අලුතෙන් යමක් ගැනීමට, වෙනසට ඇති ආශාව, පෙළඹවීම එක්ක සටන් කරන්න වෙනවා. නැත්තං ඒක ගොඩක් වෙලාවට සිද්ද වෙන්නෙ එක්කො අපිට සල්ලි නැත්තං, නැත්තං රටේ බඩු ගන්න නැත්තං. එතකොට ඒක අපේ තෝරාගැනීමක් නෙමෙයි බලහත්කාරයක්. මං සපත්තු මහන්නා ළග පෝලිමේ ඉන්න සිද්ද වුනු බලහත්කාරය ඇතුලෙ මං‍ නොදැනුවත්වම අනුගත පරිබෝජන විලාසිතාවක් ප්‍රශ්න කරමින් හිටියා.

පාවිච්චි කරපු දේවල් නැවත පාවිච්චි කිරීම කියන එක දුප්පත්කමක් වෙනුවට විලාසිතාවක් කරන එකයි වැදගත්. ඒකට වැලියු ඇඩඩ් අනන්‍යතාවයක් නිර්මාණය වෙන්න ඕන. මං දන්න කොළඹ පාරම්පරික ප්‍රභූ පවුලක් හිටියා කිසි දවසක අලුත් වාහනයක් මිළදී නොගන්න. ඒ අය ගත්තෙම කවුරුන් හෝ විසින් පාවිච්චි කරපු වාහනයක්. අලුත් වාහන ගැනීම ඒ අයට ලැජ්ජාවක් වගේ වුනා. ඒ වෙනුවට මිළදී ගන්නා වාහනය පිටිපස්සෙ තියෙන කතාව, ඒ කලින් පාවිච්චි කළ අයගේ ඉතිහාසය වගේ දේවල් තමයි ඒ අය වටිනාකම් විදිහට ගත්තෙ.

 

නැවත පිළිසකර කරමින් පාවිච්චි කිරීම ගැන අපිට ඕන වෙනවා ලෝබකමට එහා ගිය දැනුවත් භාවිතාවක්/ චර්යාවක් ගැන අදහසක්. ඇත්තටම අපි රටක් විදිහට ණයට පාවිච්චි කරමින් ඉන්න දේවල්වල තරම ගැන මේ අර්බුදයට කලින් මට වුනත් ඇඟට දැනෙන දැනීමක් තිබුනෙ නෑ. ඒ වගේම ආර්ථිකය එක්ක අපේ චර්යාවන්ගේ සම්බන්ධය මේ තරම් තදට දැනුන කාලයක් තවත් නෑ. ඒ හින්දම ජීවිතේ ගොඩක් කලාපයන්වල මං නොදැනුවත්වම කරමින් හිටපු පරිභෝජනවාදී ඇබ්බැහි ගණනාවක් ගැන මං සවිඥානක වුනා. බයිසිකලය ඒ විදිහට මං නැවත ජීවිතේ ඇතුලට ගෙනාපු නිදහසක්. සපත්තු මහන්නා කියන්නෙ තවත් එකක්.

 

නැවත නැවත පාවිච්චි කිරීම ගැන අදහස නිසාම මීට පස්සෙ මං ගන්න සපත්තුව ගැනත් වැඩියෙන් හිතනවා. ඒක අවුරුද්දකින් හෝ දෙකකින් විසි කරන බලාපොරොත්තුවකින් නෙමෙයි මං මිළදී ගන්නෙ. ඒක නිෂ්පාදනයේ අපේක්ෂාවටත් වැඩි කාලයක් පවත්වාගෙන යාමේ උවමනාවක් මා සතුයි.

මං පරිභෝජනවාදයට එරෙහි කෙනෙක් නෙමෙයි.

 

1621355724806

 

ආර්ථිකයක වගේම සමාජයක මිනිස් මානසිකත්වයේ සංවර්ධනයටත් පරිභෝජනවාදය අත්‍යාවශ්‍යයි කියල මං හිතනවා. ඒත් පරිභෝජනය සවිඥානක චර්යාවක් කරගැනීම අවශ්‍ය දෙයක්. එතකොට අපිට පුළුවන් වෙනවා නාස්තිකාර පරිභෝජන වියදම් වලින් වෙන වෙන ඵලදායී වැඩ කරන්න. ඇත්තටම ඒ සවිඥානක වීම සතුටක් ඇති කරන ක්‍රියාවලියක්.

 

ඒ සපත්තු මහන්නා දක්ෂයෙක්. කැඩුන සපත්තුව තිබුණටත් වඩා හොඳට පිළිසකර කරන්න එයාට පුළුවන්. ඇත්තටම සපත්තු කුට්ටමක කාලය දීර්ඝ කිරීම මත පවතින වෘත්තියක් සපත්තු අලුත්වැඩියාව. මේ රෙපෙයාර් සංස්කෘතිය අදහසක් ඇතුව ප්‍රවර්ධනය කළ යුතු එකක්. අලුත් එකක් ගැනීමෙන් දැනෙන හැගීමට සමාන හැගීමක් තමන් කැමතිම සපත්තු ජෝඩුවෙ ජීවිත කාලය තවත් ටිකක් දික් කිරීමෙන් ලබන්න පුළුවන්. ඒත් වෙළඳපොල ඇතුලෙ ඒ ආශාව ප්‍රවර්ධනය වෙන්නෙ නෑ.

මේ අර්බුදය හින්ද මං ක්ෂණික මිළදී ගැනීමේ ආශාවෙන් කල්පවතින ප්‍රතිභාවිත සංස්කෘතියට මාරුවෙමින් හිටියා. ඒක ඇත්තටම ප්‍රමාණාත්මක බව වෙනුවට  ගුණාත්මක බවෙහි තෝරාගැනීමක්.

මේක සපත්තු මහන අයට හොඳ කාලයක්.

ගෙදර පැත්තකට දාලා තියෙන අනිත් සපත්තු කුට්ටම් දෙකත් ආපහු අරන් පෝලිමට එන්න හිතාගෙන මං ආපහු හැරුණ.


එකා වගේ ගොඩයන්න - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

320723070 553561629955212 5233208659897488127 n


JW
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සපත්තු කුට්ටමක කතාව - (චින්තන ධර්මදාස) | The Leader