The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අඳුරේ කිමිදී - අඳුරේ සැනහෙමු - (කපිල කුමාර කාලිංග)

T

The Leader Desk

January 8, 2023 • 6:26 AM

අඳුරේ කිමිදී - අඳුරේ සැනහෙමු - (කපිල කුමාර කාලිංග)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එතැන් සිට මේ රටේ විදුලි බලයට ඇත්තේ දිගු කතාවකි.
  • විදුලි කප්පාදුව නොහොත් 'පවර් කට් එක' ජනතාවගේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ.
  • පැය කිහිපයක් හෝ රටක් අඳුරේ තැබීම බරපතළ කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
  • ඇති තරම් හිරු එළිය ලැබෙන මේ රටේ විදුලි බල ලොක්කෝ ගල්අඟුරු එනතුරු බලා සිටින අයුරු දකින සූර්ය දිව්‍ය රාජයාටද කට කොණකින් සිනා පහළ වෙනවාට සැකයක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

එතැන් සිට මේ රටේ විදුලි බලයට ඇත්තේ දිගු කතාවකි. දැන් අප එළඹ සිටින්නේ එහි ඉතාම අන්ධකාර කාල පරිච්ඡේදයටය.

විදුලි කප්පාදුව නොහොත් 'පවර් කට් එක' ජනතාවගේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ. "අද ලයිට් කපන්නෙ කීයටද?" මෙය උදෑසනම හැම නිවෙසකම ඇසෙන පැනයකි.

 

පැය කිහිපයක් හෝ රටක් අඳුරේ තැබීම බරපතළ කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැත. නූතන මිනිසාගේ ජීවිතයේ හැම දෙයක්ම විදුලි බලය හා බැඳී පවතී. අඳුරු පැය ගණන් තුළ මිනිසාට අහිමි වන්නේ ඔහුගේ ආයු කාලයෙන් කොටසකි. ඊට වග කියන්නට, වන්දි ගෙවන්නට කිසිවෙක් නැත.

 

මෙරට දැනට පවතින හැම ප්‍රශ්නයකට මෙන්ම විදුලි කප්පාදුවටද ඩොලර් හිඟයෙන් උත්පාද ආර්ථික අර්බුදය සම්බන්ධය. තාප බලාගාරවලට ප්‍රමාණවත් ගල්අඟුරු හෝ ඉන්ධන නැත. කොපමණ වැස්සත් ජල විදුලියද ප්‍රමාණවත් නැත.

සූර්ය බල විදුලිය ගැන කියන කතා ඇසෙන විට මතකයට එන්නේ "මෙහෙව් රටට මොට පායාද සූරියා" යන කව් පදයය. ඇති තරම් හිරු එළිය ලැබෙන මේ රටේ විදුලි බල ලොක්කෝ ගල්අඟුරු එනතුරු බලා සිටින අයුරු දකින සූර්ය දිව්‍ය රාජයාටද කට කොණකින් සිනා පහළ වෙනවාට සැකයක් නැත.

 

සිරි ලංකාව සිරි කාලකන්නි රටකි. තමන්ට ඇති දෙයින් පල ප්‍රයෝජන නොගෙන උඩ බලාගෙන සිටීම අපේ පුරුද්දය. බොහෝ රටවල මිනිස්සු අව්ව, වැස්ස නැතුව දුක් විඳිති. අපි අව්වටත්, වැස්සටත් බැණ වදිමින් කුසීතව සිටින්නෙමු. ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි විරාදාවලි ලත් සිරි ලංකාව දැන් එහි පාවෙන කොස් ඇටයක් තරමටවත් වටිනාකමක් නැති තැනට ඇද වැටී හමාරය.

 

පුරාණයේ ගමක සිටි මෝඩ පහේ ගැමියකුගේ බිරින්ඳෑ ඔහු සමඟ අමනාපව ගමේ ගියාය. ගැමියා හරි හැටි කෑමක් බීමක් නැතිව දුකින් කල් ගෙවනු දුටු ශ්‍රියා කාන්තාව නොහොත් සිරි දේවිය ඔහුට පිහිට වනු පිණිස ගේ දොරකඩට පැමිණියාය. මේ සිරිබර කත දැක මහත් කලබලයට පත් ගැමියා ඇයට ගසන්නට මෝල් ගස අතට ගත්තේය.

"මගේ ගෑනි ගෙදර නැති වෙලේ උඹල මෙහෙ ආවෙ මට කතාවක් හදල ගමේ ඉඳිල්ලත් නැති කරන්ඩ නේද?"දුකටත්, බියටත් පත් සිරි දේවිය බෙලි වනයට පලා ගියාය.

ඉන් මඳ කලකට පසු ගැමියාගේ නිවෙසට මූ දේවිය පැමිණියාය. දෙවියන් නොවඩින දෙවොලට මොන යකෙක් හෝ කම් නැතැයි කිව්වාක් මෙන් ගැමියා මූ දේවිය බාර ගත්තේය. ජනකතාකාරයා මේ කතා කියා ඇත්තේ කට කහනවාට නොවේ.

 

"නිලයක් ලැබෙනවා නම් නරකාදියෙන් වුණත් හොඳා" යැයි කියුමක් ඇත. මේ රටේද බොහෝ තැන්වල සිටින නිලධාරීන්ද වැඩ කරන්නේ තමන්ගේ වාසියටම මිස රටේ යහපත සඳහා නම් නොවේ. මහා භාණ්ඩාගාරයේ ඩොලර් සංචිත බින්දුවට බහිද්දීත් "ඒ මොන බොරුවක් ද, අපිට ඕන තරම් ඩොලර් තියෙනවා" යැයි රටම ඇන්දවූයේත් එබඳු උදවිය ය. අවසානයේ මුළු රටම අඳුරු නරකාදියක් බවට පත් වුණි. පුදුමය නම් ඔවුන් තවමත් නිරුපද්‍රිතව සිටීමය.

 

විදුලිය නැති රටක ජීවත් වීම මහා කාලකණ්නිකමක්, පාපයක් වුවත් ජනතාව ඊට හුරු වනු ඇතැයි සිතමු. එහෙත් ඉවසා දරාගත නොහැකි කාරණය වන්නේ විදුලිය නැතත් විදුලි බිල ඉස්සීමට කරන වෑයමය.

විෂය දන්නා උදවිය කියන විදිහට නම් විදුලි බිල ඉස්සීම අවශ්‍යම නැත. කළ යුත්තේ විදුලිය අස්සෙ සිදුවන වංචා - දූෂණ නැවැත්වීමය. විදුලි බිල නැංවීමේ යෝජනාව දිනවිය හැක්කේත්, පරාජය කළ හැක්කේත් ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය මැති ඇමැතිවරුන්ටමය.

එහෙත් කරුමය වන්නේ බලය ලබාගත් පසු බලයට ආ හැටි ඔවුනට අමතක වීමය. විදුලි බිලට පක්ෂව අත එසැවුවහොත් ඔවුන් කරන්නේ විදුලි පුටුවට යා යුතු වරදක් බව සිහිපත් කර දීම කාගේ කාගේත් යුතුකමකි.රට යන්නේ ආපස්සටය. මිනිසුන් ලබා සිටි, විඳිමින් සිටි පහසුකම් හා වරප්‍රසාද එකින් එක ගිලිහී යමින් ඇත.

අඳුරේ ජීවත් වන මිනිසුන්ගේ ඇස් පෙනීමද කෙමෙන් දුර්වලව ගොස් ඔවුන් රාත්‍රියේ පමණක් ඇස් පෙනෙන වවුලන්, බකමූණන්, බළලුන් හෝ සිවලුන් වැනි සත්ව පවුලක් බවට පරිණාමය වනු ඇත.

එක අතකට එය හොඳය.

 

මේ රටට සිදුවන දේවල් දැකීමට ඇස් තිබිය යුතු නැත. දැනටමත් ඇස් ගෙඩිවලට හෙණ වැදිලාය. විදුලිය ද ආපසු මුල් යුගයටම ගමන් කරනු ඇත. අවසානයේ ඉතිරි වනු ඇත්තේ පැරණි බ්‍රිස්ටල් හෝටලයේ බිලියඩ් කාමරයේ දැල්වුණු විදුලි බුබුළම පමණි.



හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...