The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මේරි නම් වූ මරියා සහ දළදා පුරාවත - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

January 13, 2023 • 7:49 AM

මේරි නම් වූ මරියා සහ දළදා පුරාවත - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට පෙර කෙටියෙන් හෝ මතක් කළ යුතු අද්දැකීමක් ඇත.
  • සමස්ථ කෘතිය නොව කවරය මත වූ පින්තූරය සහ පසුකවරයේ උපුටනය මූලික කර ගත් චෝදනා ගොනු කිරීම සිදුකර තිබුණේ, මිනිස් සංහතිය තුළට දේවත්වය ‘මාංශගත’ වීම සහ කුරුසිය නියෝජනය කරන ‘ශුද්ධ වූ ත්‍රීත්වය’ යන ඇදහිලි ක්‍රිස්තියානියේ මූලිකම පදනම් දෙකකට මා අභියෝග කර ඇති බව සඳහන් කරමිනි.
  • මගේ අම්මා පවා නියෝජනය කරන ඇදහිලි කිතුනු සංඝයට අනුව බැලූ බැල්මට වුව මා කර ඇත්තේ ක්ෂණිකව නිරයට පළවා හැරිය හැකි වරදකි.
  • ඉතිහාස හා දේශපාලන සාක්ෂරතාව සහිත ශිෂ්ඨ සමාජයක් නම් බැලූ බැල්මට පෙනෙනදෑ අවසානාත්මක පිළිතුරු ලෙස බාර ගන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):



meru mariaඊට පෙර කෙටියෙන් හෝ මතක් කළ යුතු අද්දැකීමක් ඇත. වසර 2000 සැප්තැම්බරයේදී පළ කරන්නට නියමිතව සිටි ‘මේරි නම් වූ මරියා’ කෘතිය, කිතුනු ප්‍රජාවගේ හිත රිදවිය හැකි යැයි අනුමාන කළ් කිතුනු ප්‍රජාවගේ මහා මණ්ඩලය වූ ‘රදගුරු සමුළුව’ විසින් ගත් තීන්දුවක් අනුව එවක රාජ්‍ය නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගෙන් කළ ඉල්ලීමක ප්‍රතිපලය ලෙස මා අත්අඩංගුවට පත් වීමයි.  එකල, ‘සිවිල් සහ දේශපාලන අයිතීන් වෙනුවෙන් වූ ජාත්‍යන්තර සම්මුතිය’ නොතිබුණෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය වූ කුසලා සරෝජිනී රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මා එළියට දැමුයෙන්, රිමාන්ඩ්ගත වීමේ අවස්ථාව මඟ හැරුණි.

සමස්ථ කෘතිය නොව කවරය මත වූ පින්තූරය සහ පසුකවරයේ උපුටනය මූලික කර ගත් චෝදනා ගොනු කිරීම සිදුකර තිබුණේ, මිනිස් සංහතිය තුළට දේවත්වය ‘මාංශගත’ වීම සහ කුරුසිය නියෝජනය කරන ‘ශුද්ධ වූ ත්‍රීත්වය’ යන ඇදහිලි ක්‍රිස්තියානියේ මූලිකම පදනම් දෙකකට මා අභියෝග කර ඇති බව සඳහන් කරමිනි. මගේ අම්මා පවා නියෝජනය කරන ඇදහිලි කිතුනු සංඝයට අනුව බැලූ බැල්මට වුව මා කර ඇත්තේ ක්ෂණිකව නිරයට පළවා හැරිය හැකි වරදකි.

 

ඉතිහාස හා දේශපාලන සාක්ෂරතාව සහිත ශිෂ්ඨ සමාජයක් නම් බැලූ බැල්මට පෙනෙනදෑ අවසානාත්මක පිළිතුරු ලෙස බාර ගන්නේ නැත.

 

ඇදැහිලි ක්‍රිස්තියානියට යටත් නොවුණු විමුක්ති ක්‍රිස්තියානිය අනුදත් යම් පමණක ගිහි-පැවිදි කිතුනු ප්‍රජාවක් මගේ කෘතිය සංවාදයට බඳුන් විය යුතුය යන ස්ථාවරය ගත් බව ගෞරව පූර්වකව සිහිපත් කළ යුතු ය. සිරිල් එඬේරමුල්ල බඳු ජ්‍යෙෂ්ට කිතුනුවකු පවා සිටියේ මේ කියන ස්ථාවරයේ ය. මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ප්‍රමුඛ මගේ සාක්ෂි සහෝයෝගීතා ලැයිස්තුව ඉතා අනගි අධිකරණ ක්‍රියාවලියකට පේ වෙමින් සිටිය ද, මෙකී නාමාවලිය සකසා අධිකරණය බාර දුන්, ස්වේච්ඡාවෙන් මා වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්න ජීවිතයට සමුදීම නිසා  ‘නඩුව’ බරපතල ආර්ථික අගාධයකට ඇද වැටුණි.

 

IMG 1800

 

‘මේරිට’ ස්තීර තහනම ලැබුණේ, අධිකරණ ක්‍රියාවලියක රැඳී සිටීමට තරම් ආර්ථික ශක්තියක් නොතිබුණ පසුබිමක ය; අධිකරණ විවාදයට පෙර ය. ඒ අනුව ‘මේරි’ කෘතිය විසින් පෙර කී ආගමික සංකේතයන්ට පරිභව කර තිබේ ද නොතිබේ ද යන්න තවමත් විවෘතව ඇති සංවාදයකි.

 

සේපාල් අමරසිංහගේ යූ ට්‍යුබ් වැඩසටහන් ක්‍රමිකව විමසන විට ‘දළදා ප්‍රවාදය’ වෙත එළඹෙන්නේ, බොහෝ ආගමික භාවිතයන්ට එරෙහි අඛන්ඩ ක්‍රියාවලියක, විවාදයක, ප්‍රතිපළයක් ලෙස  බව පෙනී යයි.  එය බෞද්ධ කේන්ද්‍රීය විරෝධයක් ම නොවේ. සියලු ආගම් එක මිටට ගත්, ඔහුටම අනන්‍ය දැඩි රීතියක පිහිටා සිදුකළ දැඩි විවේචනයන් ය. ඔහුගේ ස්වරය, අහඹු හෝ යූ ට්‍යුබ චැනලයේ ‘සබ්ස්ක්‍රයිබ’ සහ ‘වීව්ස්’ වැඩි කර ගනු පිණිස සිදුකළ උප්පරවැට්ටියක් නොවන බව සේපාල් ඇසුරු කළ හෝ ඔහු ගැන දන්නා අයට හෝ අරුමයක් නොවේ. දළදා ස්වරය ඔහුගේ අඛන්ඩ භාවිතයේ ම දිගුවකි.

 

 

picture 0041එෆ් එම් නාලිකාවල ආරාධිතයන් කොර වෙන ප්‍රශ්න අසන, කෙරුමන් දෙදෙනෙකු වූ පානදුරේ ලාල් සහ බෙල්ලන්විල සේපාල් ගැන මතක ඇති අය සිටිනවා විය යුතු ය.  මා සියත පත්තරයට කැඳවන විට ඔහු ගත කරමින් උන්නේ ලංකාදීප පත්තරයට ‘රිද්දනසුළු’  ආකර්ශනීය සාහිත්‍ය විචාරය ලියූ සමයයි.  යූ ට්‍යුබ්කරුවෙකු වීමට පෙර අභ්‍යාස කරමින් සිටි ‘පැපරාසියා’ සඟරාව තුළ පවා ඔහුගේ දළදා ස්වරය අඛන්ඩව පැවතුණි. දළදා ප්‍රවාදය ඒ අඛන්ඩතාවයේ ප්‍රකාශනයක් වන්නේ එබැවිනි. නමුත් ප්‍රශ්නය එය නොවේ. සේපාල්ගේ දළදා ප්‍රවාදය තුළින් කාගේ හෝ හිත් රිදීමක් සිදුවී ද යන්න යි.

 

අප හමුවේ සැබෑ ලෙසම  පවතින්නේ ආත්මයේ සහකම්පනය ඇතිවන කලාපය සහමුලින්ම අහිමිකරගත් වරදකාරී සමාජයකි.  ඕනෑම  සංසිද්ධියක් විනෝදය සහ ප්‍රමෝදය ලෙස ගෙන තලුමරනවා හෝ ගොසිපමය ආකෘතියක තබා බාර ගන්නවා මිස ඉන් සහකම්පනයක් සිදු වන්නේ නැත. ඒ අනුව සේපාල්ගේ දළදා උද්දෘතය විසින් කිසිවකු තුළ කම්පනීය හැඟීමක් පහළ කරන්නට ඉඩ නැත.  සිංහල බසට එවන් බලයක් තියෙනවා නම්  ඥානසාර භික්ෂුව ඉස්ලාමීය දෙවියන්ට ඒ වචනයම උපුටන විට සිංහල බසින් ම ඊට බලවත් විරෝධයක් මතු විය යුතු ය. 

 

පිටිදූවේ සිරිධම්ම භික්ෂුවගේ ඌරු දන්ත ප්‍රකාශයෙන් මහජන කැළඹීමක් ඇතිවිය යුතු ය. නමුත් එසේ කිසිවක් සිදුවූයේ නැත. ඒ ඔවුන් භික්ෂූන් නිසා නොවේ. ඒ වචනයන්හි අරුත් වරනඟන භාෂා පදනම අහෝසි වී තිබීම නිසා ය.

 

ඥානසාර භික්ෂුවගේ පෙර කී  ආමන්ත්‍රණය ම ඉස්ලාම් භක්තිකයන්ගේ මූල දෙවියන්ට එරෙහිව පවසන විට එය සෘජුවම අපහාස අර්තයෙන් ගත හැකි ය. මන්දයත් එම භික්ෂුවගේ සමාජ භාවිතය මුළුමනින්ම ඉස්ලාම් විරෝධී ඉතිහාසයක තිබෙන බැවිනි. නමුත් ගලබොඩ අත්තේ බෞද්ධ භික්ෂුව නිරුපද්‍රිත ය.

 

එසේ නම් සේපාල්ගේ දළදා ප්‍රවාදය ඔහු කුදලාගෙන ගොස් හිරේ විලංගුවේ දමන තැනට පත් වන්නේ ඇයි? සැබැවින්ම බෞද්ධ හිත් රිදුණු නිසා නොව ඉන් දේශපාලන සංසිද්ධියක් ව්‍යුත්පන්න වන නිසා ය. එය සත්‍ය ලෙසම පවතින්නේ බෞද්ධ සන්දර්භයට අදාලත්වක් නැති ඔහුගේ සෙසු වීඩියෝ මැදිහත්වීම නිසා ය. සැබෑ සිත් රිදවීම තිබෙන්නේ දන්ත ධාතුව තුළ නොව ඉන් පිටත ය.

 

ආගම් බවට ඌණනය කරනු ලද දාර්ශනික හා දේශපාලන අදහස් පද්ධති, යළි සහජ ස්වරූපයෙන් දැක ගන්නට අවශ්‍ය සමාජ කතිකාව ගොඩ නැංවීම වෙනුවෙන් මැදිහත් වීම  අත්හළ නොහෙන සමාජ වගකීමකි. කිතුනු සන්දර්භය තුළ මා පවා අඛන්ඩව කරමින් සිටින්නේ එයයි. භාෂාව විසින් අහිමි කර ගැනුණු ජීවය යලි භාෂාව වෙත කැඳවනු ලැබිය හැක්කේ අධිනිෂ්චයවීම් වලට එරෙහිව ගොඩනඟන සවිඥානික මැදිහත්වීම් විසිනි. අර්බුද පැණ නැඟෙන්නේ වුව, අවමාන-ගැහැට විඳින්නට සිදුවන්නේ වුව  එය අඛන්ඩව සිද්ධ විය යුතු ක්‍රියාවලියකි.

 

මා ඇතුළත් වන්නේ ජීවිතය පිළිබඳව පීඩිතයාගේ ආත්මය හරහා සමාජය විමර්ශනය කිරීමේ හැකියාව අත්පත් කර ගත් දකුණේ පරම්පරාවකට ය. ලිවීමේ කැඳවීම පවා එන්නේ මහා සංහාරයකින් පසු ඉතිරිවූවන්ගේ සාමුහික හෘදය සාක්ෂියේ කොටස් කරුවෙක් ලෙස ය. එයට භාෂාව කෙරෙහි ඇතිවුණු සක්‍රීය මෙන්ම සජීවි බලයක් ලෙස පැවතුණි. නමුත් වසර කිහිපයක ඇවෑමෙන් භාෂාව කෙලෙසීම ඇරඹුණි.මෙකී සාමුහික මතකය ඉදිරි පරම්පරාවන්ට සම්ප්‍රේෂණය වනු නොදෙන දේශපාලනයේ පෙර ගමන්කරුවන් වුණේ ද, කැරැල්ල නියෝජනය කළ සහ සංහාරයෙන් දිවි ගළවා ගත් පිරිසම බව සිංහලෙන්ම ලියා තැබිය යුතු ය. ඉක්බිති සංකල්ප සංඛේත පැටලෙන්නට පටන් ගැණුනි. නිදසුන් ලෙස ‘සොල්දාදුවා’ හෝ ‘මව්බිම’ යන්න ගතහොත් ඒවා වරනැඟුනේ කලින් පැවති අරුතෙන් නොවේ. සාමුහික මතකය දේශපාලන උවමනාව වෙනුවෙන් අත් හැර දැමුණේ එසේ ය. එය ‘කිරිබත්’ යන වචනය ඇසුණු විට සුදු පාට වෙනුවට රතුපාටින් ලේ ගලා යාම දක්වාම දිග්ගැස්සුණු භාෂා නාෂක ක්‍රියාවලියක් විය. අවශේෂ වූයේ මහා සිංහල වංශකතාවේ සිංහලයන් විසින් කාබාසිනියා කරන ලද බසකි.

 

සේපාල්ගේ දළදා ප්‍රවාදය ඉස්මත්තට ගෙන ආවේ, මාධ්‍ය දේශපාලනය විසින් සහ ඒ  පසුබිමෙහි වන මජර දේශපාලනය විසින් මිස සැබෑ ලෙසම හිත රිදුණු කිසිවකුත් විසින් නොවේ.  සැබෑ ලෙසම හිත රිදෙන්නට විදිහක් නැත. හිත රිද්දනසුළු කිසිවක් දළදා ස්වරය රැගත් ඒ භාෂා සන්දර්භය තුළ නොවන බැවිනි. ‘සන්දර්භයෙන් වෙන් කර ‘ලබ්බ’ තේරුම් ගත නොහැකි යැයි’ මා මෙහි ලියූ පළමු වැකියට අදාල සන්දර්භය නම් මෙයයි.

 

bashana 250රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයා නිතර පවසන පරිදි අප එකිනෙකා අතර එකිනෙකා සම්බන්ධයෙන් සහෝදරත්වය, ආදරය, සහයෝගීතාව පළ කරනු පිණිස පවතින ප්‍රධාන මෙවලම වන භාෂාවට, එකී හැගුම් පළ කිරීමට ඇති බලය, අප විසින්ම විනාශ කෙරුණු පසු, ඒ භාෂාවට කළ හැක්කේ ඝෝෂාව ඇති කිරීම පමණකි; එවන් බසකට අර්ථ උපදවනු නොහැකිය.

සේපාල්ගේ දළදා පුරාවත මෙන්ම ඊට එරෙහිව නැඟෙන කයි කතන්දර  මතුවන්නේ භාෂාව විනාශ කර දැමුණු සන්දර්භයක ය. එබැවින් මේ සියලු කතා හුදු ගෝෂාවන් මිස අර්ථ උපද්දන භාෂා වළංගුතාවකින් තොර බව ඉතිහාසය විසින් සහතික කෙරෙනු ඇත.


විමුක්ති ක්‍රිස්තියානිය හා නත්තල - (මංජුල වෙඩිවර්ධන)(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwardena@gmail.com


(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත 2023 ජනවාරි 15)


320723070 553561629955212 5233208659897488127 n

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...