The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ බුදුන් ඉන්නෙ අපේ තරමටයි - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

January 13, 2023 • 10:21 AM

අපේ බුදුන් ඉන්නෙ අපේ තරමටයි - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මං බෞද්ධයෙක් නිසා මගේ හිතෙත් බුදු කෙනෙක් වැඩ ඉන්නවා.
  • මං බුද්ධ සංස්කෘතිය ඇතුලෙ හොයාගත්ත මගේ වටිනාකම් වල පරමත්වයක් විදිහට.
  • අපි බුදුන්ගෙ අණට කීකරු වුනු යක්කු.
  • ඕන කෙනෙකුට බුදුන්ගේ සංස්කෘතිය ඇතුලෙන් තමන්ගේ බුදුන් තමයි වඩාත් නිවැරදි කියන්න ඕන තරම් සාධක හොයාගන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මං බෞද්ධයෙක් නිසා මගේ හිතෙත් බුදු කෙනෙක් වැඩ ඉන්නවා. ඒ බුදුන් හරිම රැඩිකල් මනුස්සයෙක්. ඒ කාලෙ පවතින ආගම් බය නැතුව විවේචනය කරපු කෙනෙක්. විකල්ප ජීවිත ක්‍රමයක් යෝජනා කරපු කෙනෙක්. නිදහස හොයාගෙන ගිය කෙනෙක්. ඉතින් මේ බුදුන්ව මං පරිකල්පනය කරනවා. මගේ බුදුන් ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධ කෙනෙක්. ඒවා මෝඩකම් විදිහට බැහැර කරන කෙනෙක්. තමන්‍ගේ මමත්වය පුම්බාගැනීම් විදිහට ඒවා හාස්‍යයට ලක් කරන කෙනෙක්. තමන්ට වැඳුම් පිදුම් කරනවාට අකමැති කෙනෙක්. තමන්ව ප්‍රශ්න කරලා බාරගන්නවාට කැමති කෙනෙක්.

මගේ බුදුන් හරිම හිතුවක්කාර චරිතයක්. රජකම එපා කියල කැලේට ගිය කෙනෙක්. තමන්ගේ බිරිඳ වගේම එදාම උපන් දරුවාත් අත්හැර දාලා ගිය සැමියෙක්. මගේ බුදුන් හොඳ සහ නරක කියන සමාජ සම්මුතීන්ට එහා පවතින කෙනෙක්.

මගේ බුදුන් ඉවසිලිවන්තයි. කිපෙන්නෙ නෑ. මිනිස්සුන්ගෙ මෝඩකම් දන්නවා. තමන්ගේ බණ ඇහෙන අයට විතරක් කියනවා. නෑහෙන අයව අතෑරලා දානවා.

 

ඉතිං ඔහොම බලද්දි මගේ බුදුන් වැඩ ඉන්නෙ මගේ තරමට. මං බුද්ධ සංස්කෘතිය ඇතුලෙ හොයාගත්ත මගේ වටිනාකම් වල පරමත්වයක් විදිහට.

 

තව කෙනෙකුගේ බුදුන් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මෑතක ෆේස්බුක් එකේ කෙනෙක් එයාගෙ බුදුන් ගැන ලියලා තිබුණ. ඒ බුදුන් කුණුහරුපෙන් බනින, ඵරුෂ වචන කියන, හොඳටම කිපෙන බුදු කෙනෙක්. එයාට අනුව බුදුන් එහෙම කෙනෙක් වීම නිසාමයි එයා බුදුන්ට කැමති. ඒ එයා කැමති වටිනාකම්වල පරමත්වය.

 

5914818753 b91bd20d5e b


තව බහුතරයකගේ බුදුන් ජාතිය ආරක්ෂා කරන්න නැගිටින කෙනෙක්. ජාතිය ආරක්ෂා කිරීමේ පිනෙන් දෙව් මිනිස් සැප කෙලවර නිවන් යන්න පුළුවන්. වැදගත් වෙන්නෙ දෙව් මිනිස් සැප කෑල්ලයි. නිවන ටිකක් පහු වුනාට කමක් නෑ. ඒ බුදුන් දඩුවම් කරනවා. තමන්‍ගෙ වර්ගයාට, ඒ කියන්නෙ ඉන්දියාවෙ නෙමෙයි ලංකාවෙ යක්ෂ වංශිකයාට පක්ෂපාතීයි. අපි බුදුන්ගෙ අණට කීකරු වුනු යක්කු.

මීට වඩා වෙනස් වෙනස් බුදුවරුත් ඉන්නවා. එහෙම බුදුවරුන්ගෙන් තැනුනු සම්ප්‍රදායන් තියෙනවා. මහායාන, තන්ත්‍රයාන බුදුවරුන් අපේ ‍ථේරවාද බුදුන්ට වඩා වෙනස්. බුදුන් උපන් රටේ හින්දුන්ට බුදුන් කියන්නෙත් දේවත්වයේ අවතාරයක්.

සමහර අයට බුදුන් මෑණියෙක්. තව සමහරෙකුට බුදුන් පියෙක්. බුදුන් සමලිංගිකයි කියලා කවුරු හරි කිව්වොත් බුද්ධාගම ආරක්ෂා කරන්න ඒ කෙනාව iccpr යටතේ ඇප නැතුව හිරේ දාන්න පුළුවන්. ඒ නීතිය අනුව අපේ රටේ පිළිගත් බුදුන් තමන්ට යමෙක් අපහාස කළොත් ඒ අයට දඩුවම් දෙනවා. පලිගන්නාසුලුයි. ඒ හින්දම වීරයෙක්.

බුදුන් වීරයෙක් වෙන්නෙ දස මාර සේනාව පරාජය කළ නිසයි. ගොඩක් අයට ඒක ෆිසිකල් යුද්ධයක්. බුදුන් හොලිවුඩ් වීරයෙක් වගේ අවි අමෝරාගෙන එන මාරයන්ව යමලෝකයට පලවා හරිනවා.

 

ඉතිං මේ විදිහට බැලුවම පේනවා අපි හැමෝටම අපි කැමති වටිනාකම්, අපේ මානයන්, අපේ දෝෂයන් දරන බුදු කෙනෙක් ඉන්නවා. අපි කාගෙවත් බුදුන් සමාන නෑ. ඕන කෙනෙකුට බුදුන්ගේ සංස්කෘතිය ඇතුලෙන් තමන්ගේ බුදුන් තමයි වඩාත් නිවැරදි කියන්න ඕන තරම් සාධක හොයාගන්න පුළුවන්. ඒ හැම බුදු කෙනෙක්ම එකවිට පවතිනවා.

 

අපි කාටවත් බෑ අපේ තරමට එහා බුදු කෙනෙක් දකින්න. ඒ කියන්නෙ අපේ සීමාවන්ගෙන් පිට බුදු කෙනෙක් පරිකල්පනය කරන්න. ඒ කියන්නෙ අපි නොවන බුදු කෙනෙක් ගැන හිතන්න.

 

1 kZCeD66jHs0XouSkFpM4zw

සෙන් දහමෙ කියනවා ඔබ යන මාර්ගයේ බුදු කෙනෙක් මුනගැහුනොත් ඒ බුදුන්ව මරා දමන්න කියල. මේක කිව්වොත් අද ඒ සෙන් ආචාර්යවරයා ඇප නැතුව හිරේ යනවා. ඒත් මේ කතාවෙ අදහස වෙන්නෙ අපි බුදුන්ව නිර්මාණය කරගන්නෙ අපේ දෝෂයන් එකතු කරගෙන කියන එකයි. මේ නිසා ඒ බුදුන් පවා නැවත ඇලීමක් නිර්මාණය කරනවා. ඇලීම දුරු කරන්න නම් අපේ මනසේ නිර්මාණය වුනු බුදුන් පවා මරා දාන්න සිද්ද වෙනවා.

 

අපි කාට වුනත් අපි කැමති බුදු කෙනෙක් පවත්වාගෙන යන්න නිදහස තියෙනවා. ඒත් අපේ බුදුන් බෙදුම්වාදයන් ඇති කරනවා නම්, අපිව ප්‍රචන්ඩත්වයට පොළඹනවා නම්, බුදුන්ගේ ආරක්ෂකයන් විදිහට අපිට අවි අමෝරාගන්න, අනෙක් ආගම් හෝ ජාතීන් සමග ගැටෙන්න උගන්වනවා නම් ඒ බුදුන් උපදින්නෙ අපි තුල ඇති අන්තවාදයන් විසිනුයි.

 

ඒ වෙනුවට නිදහස, සාමය, කරුණාව, මෛත්‍රිය, සියලු සත්වයන් විෂයෙහි පතල කරන බුදු කෙනෙක් රටේ වැඩි දෙනෙකුගේ හිතේ නිර්මාණය කිරීමයි බුදු දහමට තියෙන අභියෝගය වෙන්නෙ.  දැන් පන්සල් බොහොමයකින් ඒ බුදුන් නික්ම ගිහින්. ICCPR අනුව දඩුවම් ලැබෙන හැටි දකිද්දි අපිට තේරුම් ගන්න වෙන්නෙ රටෙනුත් ඒ බුදුන් නික්ම ගිහින් කියන එකයි.



බජට් එකෙන් ගොඩයයිද? - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

324626089 918385229170912 7201319040901185557 n
324439154 1201387417398648 5924478364537045846 n
323437966 728498495221116 5484162484318281039 n


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...