ගුණදාස අමරසේකරගෙ පොත නෙමෙයි, තිස්ස අබේසේකර හදපු සිනමාපටය. ඒකෙ මූලිකවම ඉන්නෙ තාත්තයි ලොකු පුතයි, ලොකු පුතාගෙ මායියයි, පොඩි පුතයි. ඒ කියන්නෙ අනුපිළිවෙලින් සෝමසිරි දෙණිපිටියයි, උපාලි අත්තනායකයි, ගීතා කුමාරසිංහයි, විජය කුමාරතුංගයි.
මේකෙ ඉන්නෙත් තාත්තයි ලොකු පුතයි, ලොකු පුතාගේ ගෑණියි, පොඩි පුතයි. ඒ කියන්නෙ අනුපිළිවෙලින් සරත් කොතලාවලයි, මහේන්ද්‍ර පෙරේරයි, සේමිණී ඉද්දමල්ගොඩයි, ප්‍රදීප් රාමවික්‍රමයි. සමානම නැතත් කතා දෙකේම භූ චිත්‍රයත්, සමාන්තරයි. ප්‍රසන්න ජයකොඩි පත්තුවුණේ කරුමක්කාරයන්ගෙන්ද කියන්න මං දන්නෑ, එහෙම වෙලා වුණත් ඒකෙ අවුලකුත් නෑ. කලාව එහෙම වෙන්නත් පුළුවන්.
කොහොම වුණත් ‘එයා දැන් බැඳලා’ කියන්නෙ කාලෙකින් අතිශය සංතුෂ්ටියක් ‘සිංහලෙන්’ සති අන්තයට එකතු කරන කලාත්මක ප්‍රවේශයක්.
එක තැනක මෙහෙම ඩයලෝග් එකක් යනවා. සුද්දි මනීගෙන් අහනවා ‘’උඹලා දෙන්නම එකම තාත්තගෙ, හැබැයි උඹ සිරීට කතා කරන්නෙ මාමා කියලා. කොහොමද බං එහෙම වෙන්නෙ?’ කියලා.

මනී සුපුදුරු සැහැල්ලුවෙන් සුද්දි පැත්තට හැරෙනවා. ‘’උඹට කියන්න නැන්දෙ, අපේ තාත්තා කියන්නෙම එහෙම් පිටින්ම කුණුහරුපයක්. සිරී කියන්නෙ අපේ තාත්තගෙ පළවෙනි කසාදෙ දරුවා. මේ මනී කියන්නෙ, අපෙ ලොක්කගෙ තුන්වැනි කසාදෙ ගෑණිගෙ කලින් කසාදෙ කෙල්ලට ලොක්කා හදපු දරුවා. මේ මනී’’
මේ ලෝකෙ බලන්න දේවල් හුඟක් තියෙන හින්දා, ඒ බොහෝමයක් ඒවා ඉතා බරපතල සහ කලාත්මක හින්දා ‘සිංහලෙන්’ බලන දේවල් බොහොම අඩුවෙලා තියෙන්නෙ. ඒකට හේතුව, මං හිතන්නෙ අවධාරණයෙන්ම කියන්න ඕනි දෙයක් නෙමෙයි. නමුත් විටින් විට ‘සිංහලෙන්’ බලන දේවල් තිබුණා. මෑතක ‘කූඹියො’, ‘සහෝදරයා, ‘බැද්දෙ කුළවමිය’, ‘තලමල්විල කොල්ලෙක්’,’ වීරයා ගෙදර ඇවිත්’, ‘සත්‍යා’, ‘ගිරිදේවි’ සහ ‘පීතෘ’ බැලුවා. ඊට පස්සෙ තමයි ‘එයා දැන් බැඳලා’ ගැන දැනගන්න ලැබුණෙ.

සෙවණැලි සහ මිනිස්සු භෞතිකවම බලපු පරම්පරාවක මිනිහෙක් නම් කොහොමටවත් ප්‍රසන්න ජයකොඩි අත්හරින්නෙ නෑ. සෙවණැල්ලක් වගේ ලුහුබඳිනවා. ඔහු වේදිකාවෙන් මිදිලා කරක් ගහපු ටෙලි වපසරියෙ ඉමදිය මංකඩ, සඳ අමාවකයි, නිසල විල, හදවිල සක්මන වගේ නිර්මාණ මෙනෙහි කරමින් වුණත් රසවිඳින්න පුළුවන්.
(අතුරු කතාවක් ;- හඳයා කල් බලලා ‘ඇක්ටික් කඩයක මරණයක්’ අරන් වේදිකාවට ආවා. මං හිතන්නෙ ප්‍රසන්නත්, සියලු වැඩ අතරෙ, ආයෙ වේදිකාව වෙනුවෙන් යම් ශ්‍රමයක් දානවනං ඒක විශාල ආලෝකයක් වෙයි. )

‘එයා දැන් බැඳලා’ ගැන මං කොහෙ හරි දකිද්දි කොටස් කිහිපයක් විකාශය වෙලා. මං ඒ මිස් වුණු කොටස් කිහිපයත් බලලා ස්වේච්ඡාවෙන්ම, සති අන්තයක් පාසා මේ අලුත් කරුමක්කාර කතාවෙ චරිත එක්ක කරක් ගහන සහෘදයෙක් බවට පත්වුණා. මහේන්ද්‍ර, සරා, සේමිණී සහ ප්‍රදීප්ගෙ සතර අභිනයන් ගැන කතා ඕනිම නෑ, ගහේ බඩු. මේ කියන්නෙ සිරිල්, අප්පච්චි, සුද්දි සහ මනී ගැන.
මනීගේ රංගන හුරතලේ ඇතුළෙ මට පේන්නේ පොඩි ඇප්‍රෙන්ටිස් ගතියක්. ඒ තමයි ඒ චරිතෙ. මනී. මනීගෙ කතාව - ඒ පඩත්තල හිනාව - ඒ නැටුම. ගති. ඒ ජීවන වේදනාව ඇතුළෙ තියෙන ෆන් එක ඒ විදිහට ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් ප්‍රදීප්ටම විතරයි කියලා හිතෙන්න එක එපිසෝඩ් එකක් බැලුවම ඇති. ප්‍රදීප් රාමවික්‍රම කියන්නෙ වේදිකාවෙ ශිල්ප දක්වපු මරු බඩුවක්. ඒ වගේම ඇක්ටර් ට්‍රේනර් කෙනෙක්. ඔහු මේතාක් ලද පුහුණුව හරි පරිස්සමට විය පැහැදම් කරන හැටි තමයි මනියා තුළින් පෙනෙන්නෙ.

සිරිල් ගෙදර නැති වෙලාවක මනියා සුද්දිව පෙරල ගන්න හදනවා. හැබැයි චාන්ස් ලැබෙන්නෑ. මනියාට මළ පැනලා කියනවා සිරිල් මාමාට කලින් මමයි උඹත් එක්ක හිටියෙ ඒ හින්දා ‘’මමයි එක’’ කියලා. එතකොට සුද්දි මනීට කියනවා ‘’උඹ එක වෙන්න කලින් තව ගොඩක් ඉල්ලක්කං තිබුණා’’ කියලා.
ඉලක්කං ඇතුළෙ ජීවිතය දකින්නත්, ඉලක්කං ඇතුළෙ ඉල්ලං හොයන්නත් ප්‍රසන්න ජයකොඩි දන්නවා. ඔබ, ‘එයා දැන් බැඳලා’ ඉන්න හැටි බලල නැති කෙනෙක් නම් මිස් වුණු එපිසෝඩ්ස් ටික බලලා සති අන්තෙට සෙට් වෙන්නෙ අලුත් ම එපිසෝඩ්ස් දෙක බලන්න. සිද්ධ වේගෙන යන දේ ගැන මං මුකුත් කියන්න යන්නෑ. බලලම තේරුම් ගන්න. රිද්දගන්න. කැළඹන්න. හිනාවෙන්න. අඬන්න. අනන්‍යවෙන්න. කලාවෙන් මූලිකවම සිද්ධ වෙන්නෙ ජීවන පරිඥානය නම් ‘එයා දැන් බැඳලා නෑ’ කියන්නෙ ඒක හොඳටම සිද්ධ වෙන වැඩක්.
(මංජුල වෙඩිවර්ධන)ප්‍රවීණ සාහිත්‍යවේදී
mwediwardena@gmail.com
2023 ජනේරු 15
(උපුටා ගැනීම මංජුල වෙඩිවර්ධනගේ ෆේස්බුක් පිටුවෙන් )




සෙවණැලි සහ මිනිස්සු භෞතිකවම බලපු පරම්පරාවක මිනිහෙක් නම් කොහොමටවත් ප්‍රසන්න ජයකොඩි අත්හරින්නෙ නෑ. සෙවණැල්ලක් වගේ ලුහුබඳිනවා. ඔහු වේදිකාවෙන් මිදිලා කරක් ගහපු ටෙලි වපසරියෙ ඉමදිය මංකඩ, සඳ අමාවකයි, නිසල විල, හදවිල සක්මන වගේ නිර්මාණ මෙනෙහි කරමින් වුණත් රසවිඳින්න පුළුවන්.