The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පක්ෂ ක්‍රමයේ අවසානය සහ ආරම්භය

T

The Leader Desk

January 21, 2023 • 4:17 AM

පක්ෂ ක්‍රමයේ අවසානය සහ ආරම්භය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇගපත රිදුම් දීම තවමත් මුළුමනින් ම අවසන් වී නැත.
  • සමහරු මෙරටට යෙන් බලයෙන් සෙන් වැඩමවන්න උත්සාහ කළ අවස්ථාද ඇත.
  • එහි හරය ලෙස මා තේරුම් ගත්තේ අදාළ අය අදාළ දේ නොව එනම් යුතු දේ නොව අයුතු දේ කෙරෙහි අවදානය යොමු කිරීම අදාළ දෙය අපවිත්‍ර වී විනාශ වීම හෝ පරිහානියට යාම සඳහා හේතුවන බව ය.
  • කමලසිරි හාමුදුරුවෝ අපට පෙන්වා දෙන්නේ ඒ විනාශය බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇගපත රිදුම් දීම තවමත් මුළුමනින් ම අවසන් වී නැත. එක දෙයක් ගැන මනා සිහියෙන් එක දිගට අවදානය යොමු කිරීම අපහසු විය.

                               ඒ සියල්ල ටික ටික අඩුවෙද්දී විශ්වවිද්‍යාලයට ආවේ වැඩට බැස්සොත් රෝගය සහ එහි අමාරුකම් අමතක වේ ය යන හැඟීමෙනි. ඒ ආ විට භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ මා මිත්‍ර අචාර්ය පත්මකුමාර ජයසිංහ කියවා බලන්න කියා දුන් පොත, පොතකට වඩා බෙහෙතක් යැයි සිතේ. මන්ද, මා එක් අරමුණක දිගු වෙලාවක් රඳවා තැබීමට ඒ පොත සමත් වූ නිසා ය. මිස්සක කමලසිරි හාමුදුරුවන්ගේ “මිහිඳු ගිරෙන් හිම ගිරට; යතිවරයෙකුගේ වන්දනා ගමනක මතක සටහන්” යනු මගේ සිතට ඔසුවක් වූ එම පොත ය.


හිමාලය ටිබෙටය ඉන්දියාව ධර්මශාලා නගරය සහ අතරින් පතර චීනයද එබිකම් කරන ඒ පොත තිබ්බතයේ බුදුදහම, මහායානය, හීනයානය, ථෙරවාදය, දළයි ලාමා තුමා පමණක් නොව සොබාදහම පිලිබඳ මවන චින්තන සහ සිතුවම් රමණීය ය. ඒ සියල්ල මැද මා සිත පැහැරගත් අනගි පද කීපයක් විය. “ ජපානයට ගිය බොහෝ දෙනා යෙන් (ජපානයේ මුදල් ඒකකය) පිලිබඳ සොයා බලනවා මිස සෙන් (නැගෙනහිර ආසියාවේ භාවනා සම්ප්‍රදාය) පිළිබඳව සොයා බැලීමක් නොකරති. සමහරු මෙරටට යෙන් බලයෙන් සෙන් වැඩමවන්න උත්සාහ කළ අවස්ථාද ඇත. එවැන්නක් සමාන වන්නේ අවිබලයෙන් බයිබලය වැඩමවීමට යි ” යනු එම පද කීපය ය. එහි හරය ලෙස මා තේරුම් ගත්තේ අදාළ අය අදාළ දේ නොව එනම් යුතු දේ නොව අයුතු දේ කෙරෙහි අවදානය යොමු කිරීම අදාළ දෙය අපවිත්‍ර වී විනාශ වීම හෝ පරිහානියට යාම සඳහා හේතුවන බව ය. කමලසිරි හාමුදුරුවෝ අපට පෙන්වා දෙන්නේ ඒ විනාශය බව ය.


ලංකාවේ දේශපාලනයට සහ දේශපාලන පක්ෂවලට සිදු වී ඇති විනාශයත් ඒ නිසා රටට අත් වී ඇති මහා විනාශයත් තේරුම් ගැනීමට ඒ පද කීපය ම වුවත් ප්‍රමාණවත් බව මගේ අදහස ය. “සසර උරුමය යටකරගෙන ලේ උරුමය මතුවීම” ගැනද කමලසිරි හිමියෝ කතා කරති. මේ සියල්ල මෙරට දේශපාලනය විග්‍රහ කරගැනීමේ දී අදාළ කරගත හැකි සූත්‍ර වෙති.


පවත්වනවා යැයි කියන ප්‍රාදේශීය ආණ්ඩු ඡන්ද විමසීම කෙරේද නො කෙරේද යන්න සැක සහිතය. එහෙත් ආණ්ඩුව පැත්තෙන් දියත් කරන්නට යන අනුග්‍රාහක ආධාරෝපකාර වැඩසටහන්වලින් පෙනී යන්නේ නියොජිතවරණයක් ළඟ බව ය.

 මේ රට ජනයාට ඡන්ද අයිතිය ලැබුණු දා සිට බලයේ සිටින ආණ්ඩු කල්ලි සහ බලයට ඒමට වෑයම් කරන කල්ලි ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා උපක්‍රමිකව භාවිතා කළේ ඔය ආකාරයේ අනුග්‍රාහක වැඩ සටහන් ය. නැතහොත් එවැනි අනුග්‍රහයන් සම්බන්ද පොරොන්දු ය. පක්ෂ නායකයින්ටවත් ඒවාට ඡන්දය දෙන ජනයාට වත් දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති වැදගත් වූයේ හෝ අදාළ වූයේ නැත. ඒ නිසා රටේ වර්ධනය වූයේ පක්ෂ තිබුනත් දේශපාලන පක්ෂ සංස්කෘතියක් නැති ‘කන්න දෙනවනම් බොන්න දෙනවනම් මොන කෙන්ගෙඩිය ද තව ඕනෑ කියන්නේ’ ජාතියේ විකාර අදේශපාලන හැසිරීමක් ය. වමේ පක්ෂ කීපයක් පක්ෂ සහ ප්‍රතිපත්ති කේන්ද්‍රීය දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගීමට ගත් උත්සාහය ද සාර්ථක වූයේ නැත. ඒවාත් ඉතා කෙටිකලකින් ඉහත කී විකාර හැසිරීම් සහිත අදේශපාලන කල්ලිවල අණසකට යටත් වී ඒ ක්‍රමයටම හැසිරෙන්නට පුරුදු විය.

Catoon222


පක්ෂ යනු හුදු ඡන්ද ලකුණු වර්ණ නිලධාරීන් සහිත වාඩි හෝ තිප්පොළවල් මිස ඉන් එහාට ගිය අර්ථයක් ඒවාට නොවීය. අසූව දශකයේ මුල සිට මේ තත්ත්වය වඩාත් දැඩි විය. එවැනි පසුබිමක පක්ෂවලට කට්ටිය එන්නේ ‘සෙන්’ සොයාගෙන නොව ‘යෙන්’ සොයා ගෙන ය. ඇත්තටම අසූව දශකයේ ආරම්භය යනු ඒවනවිට යම්තම් හෝ ඉතිරි වී තිබුණු මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය අවසාන වීමේ ද ආරම්භය ය. එතැන් සිට වේගයෙන් කඩා වැටුණු පක්ෂ දේශපාලනය මේ වනවිට සොයාගන්නට වත් නැත. දැන් ඇත්තේ පක්ෂ නොව රංචු කල්ලි හවුල් පවුල් සහ ආත්ම කේන්ද්‍රීය තනි පුද්ගල අරමුණු සහිත බල ගැටුම් ය.

ඒවාට ජාතික අරමුණු හෝ ජාතික ප්‍රතිපත්ති හෝ ජාතික උපායමාර්ග හෝ ජාතික හෘදසාක්ෂියක් නැත. ඇත්තේ රංචු කල්ලි හවුල් පවුල් සහ ආත්මීය තනි පුද්ගල අරමුණු සහ කුටෝපායන් ය. ඒ අනුව දැන් පක්ෂත් නැත, දේශපාලනයත් නැත.


එවැනි පසුබිමක සන්ධාන යනු ආඬින් ගේ කැඳ හැලි ය. එකිනෙකාට ඔරවමින් අනෙකාගේ කකුලෙන් අදින්නේ කොහොමද තමන් අනෙකාට වඩා බැබලෙන්නේ කොහොමද බලවත් වෙන්නේ කොහොමද කියා සිතනවා මිස පොදු ජාතික හෝ සාමුහික අරමුණු සහ ප්‍රතිපත්ති ඒවා ට නැත. දේශපාලන මතයක් තබා අදහසක් වත් නැත. ඇත්තේ තමන් සහ තම කල්ලියට රැකවරණය සහ පැවැත්ම ලබාගැනීමේ සහ එය තහවුරු කර ගැනීමේ පුද්ගල සහ කල්ලිවාදී අරමුණු පමණි. එය අරුමයක් නොවේ. දේශපාලනය අදේශපාලනය වී ‘රන්මසු උයනට වෙල් මාළු පැමිණීම’ වඩාත් වැඩි වුණේ අසූව දශකයේ මුල සිට ය. මේවන විට ඒ රත්තරන් මසුන් සිටි බවට මතකයක් වත් නැති තරමට වෙල්මාළු ගහණය වැඩි වී අදේශපාලනය මත ලගිමින් රටඋලාකන ටැංකි සුද්දන් බලවත් වී ඇත.

මේ රටේ ජනයා කොහොම හිතුවත් මේ ටැංකි සුද්දන්ගෙන් දේශපාලනය සහ යහආණ්ඩුකරණය ඉල්ලා සිටීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්නා සේ ය. සන්ධානගත වන ටැංකි සුද්දෝ එසේ කරන්නේ රට රාජ්‍යය සහ පොදුජන සම්පත් දේපොළ උදුරාගැනීමට සහ උලාකෑමට මිස ජනයාට සුබසෙතක් සැලසීමට නම් නොවේ ම ය.

ටැංකි සුද්දන් ඔවුන්ගේ ඔලුවෙන් ජනයා ගලවා දමා බොහෝ කල් බව අප තේරුම් ගත යුතු ම ය. මේ ටැංකි සුද්දන් කරන්නේ පාලක පරිපාලක ව්‍යාපාරික කල්ලිවලට බෙදී සහ ඒකාබද්ධ වී රට බෙදාගෙන කෑමය, නැතහොත් පරිභෝජනය කිරීම ය.

 

president office 2023
එවැනි පසුබිමක අගනගරයේ රමණීය භූමිවල රුපියල් කෝටි සිය දහස් ගණන් වැයකොට ඉදිකර ඇති අති සුඛෝපභෝගී පාලක මන්දිර (නිලනිවාස) සහ අලුතින් ඉදිවන පාලක මන්දිර දකිනවිට මා සිතට නැගෙන ගැටළුවක් පාඨක ඔබ වෙත ඉදිරිපත් කිරීමට මා කැමතිය. එනම්, මේ තරම් සැපක් විඳින මේ පාලකයින් සහ ඉහළ පරිපාලකයින් එසේ සැප විදින්නේ ඔවුන් මේ රටේ ජනයාට කුමන සැපක් ලබා දුන්නාට වන්දියක් වශයෙන්ද යනු ඒ ගැටලුව ය. ඒ මන්දිර වනාහි, රටේ ජනයාගේ ප්‍රාණය සහ ජීවිත අන්ත අසරණකමකට ඇදදැමූ සහ තවදුරටත් ඇදදමමින් සිටින පාලකයින්ට සහ ඉහළ නිලතලධාරීන්ට ජනසමාජය ලක්වී ඇති ඛේදවාචකය ගැන කිසිදු හෘදසාක්ෂියක් නැති බවට වූ සාක්ෂි අතර එකක් පමණි.


අප මේ මොහොත මනාව තේරුම්ගත යුතු ය. රටේ දේශපාලන පක්ෂ නැත. ඇත්තේ රංචු කල්ලි හවුල් සහ පවුල් ය. ඔවුන් අපට කියා සිටින්නේ ඒවා පක්ෂ කියා ය. අප මුලාවේ වැටුනා හොඳටම ඇති ය. එසේම මේ කල්ලිවලට තමන්ලා ගැන මිස ජාතික සමාජ දේශපාලන හෘදසාක්ෂියක් නැත. සන්ධානගත වීම් යනු ඔවුන්ගේ පැවැත්ම සඳහා කරන්නක් මිස ජනසමාජය වෙනුවෙන් සිදුකරන්නක් නොවේ ය. මේ සියල්ල මැද රටේ දේශපාලනයක් හෝ යහආණ්ඩුකරණයක් නැත. ඇත්තේ මවාපාන ඡායා පමණි. 1948 මේ රටේ පාලකයින්ට බලය සහ නිදහස ලැබුණු දා සිට රටට අත්කරදුන් විනාශයට මේ සියලු පාලකයින් වගකිව යුතු ය. එහෙත් ඔවුන් නැවත නැවත බලය ම ඉල්ලා සිටී. රට සහ ජනසමාජය තව දුරටත් මුඩුබිමක් කිරීමට වරම් ඉල්ලා සිටී.

depositphotos 191996132 stock photo politicians participating in political debate


තත්ත්වය එසේ නම් අවශ්‍ය වන්නේ මේ මුඩුබිම අස්වද්දා බිජු වපුරා සරු අස්වැන්නක් සඳහා ජනසමාජය සංවිධානය වීමය. දේශපාලනය නැති පොළොවේ දේශපාලනය පැල කළ යුතු ය. ආණ්ඩුකරණය යහපත් කළ යුතු ය. දේශපාලන පක්ෂ මියගොස් ඒවායේ නම් සහ සලකුණු පෙන්වා වැජඹෙන ගන්ධබ්බයන්ට පෙරේතයින්ට පිසාචයින්ට මුලා නොවී සැබෑ දේශපාලන පක්ෂ ක්‍රමයක් රටේ සථාපිත කිරීමට මේ නම් හොඳම මොහොත ය. පැරණි පක්ෂ සහ ඒ ක්‍රමය අවසන් වී ඇත.

රට ගොඩගැනීමට නම් දේශපාලනය නැති බිමට දේශපාලනය අවශ්‍ය වන්නා සේම පක්ෂ නැති බිමට පක්ෂ අවශ්‍යමය. මේ මොහොත වනාහි පැරණි පක්ෂක්‍රමයේ අවසානය සහ ඇදවැටීම කදිමට ප්‍රදර්ශනය වන මොහොතය. සියලු ආකාරයේ සන්ධාන පෙන්නුම් කරමින් සිටින්නේ ඒ අවසානය ය. අනිත් අතින් මේ මොහොත සැබෑ පක්ෂක්‍රමයක ආරම්භක මොහොත කරගත හැකි බව අප වටහා ගත යුතු ය. නිසිලෙස ඒ සඳහා සුදානම් වීම අප කාගේත් වගකීම ය. ඉතින් අපි දේශපාලනය නැති රටකට දේශපාලනයත් පක්ෂ නැති රටකට පක්ෂත් ගෙන ඒමේ කාර්යයේ කසකරුවන් විය යුතුය යන්න මෙවර මගේ ‘කිවි දා දැක්ම’ ය.

 

DhammaD

 

 

 

 

 

(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ධම්ම දිසානායක)
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශය

( කිවි දා දැක්ම/ලංකාදීප.)

dhammadissa@gmail.com

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...