The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අන්ත පරාජය ද ජයග්‍රහණයකි - (කපිල කුමාර කාලිංග ගේ හරබර)

T

The Leader Desk

January 22, 2023 • 8:20 AM

අන්ත පරාජය ද ජයග්‍රහණයකි - (කපිල කුමාර කාලිංග ගේ හරබර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ පෙරේදා සිරි ලංකා ක්‍රිකට් පිල ඉන්දියාවේදී තැබුවේ ඉහත දැක්වූ දෙවැනි ක්‍රමයේ වාර්තාවකි.
  • වාර්තාව තැබුවේ ඉන්දියාව බව සැබෑය.
  • පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ඇතැම් ක්‍රීඩකයන් පරාජය දරාගත නොහැකිව පිටියේ වැටී හඬන අයුරු අපි දුටුවෙමු.
  • ක්‍රිකට් ක්‍රීඩාවෙන් පරාජය වන අවස්ථාවලදී හිත හදාගැනීම සඳහා අප නිතර යොදාගන්නා කියමනක් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ පෙරේදා සිරි ලංකා ක්‍රිකට් පිල ඉන්දියාවේදී තැබුවේ ඉහත දැක්වූ දෙවැනි ක්‍රමයේ වාර්තාවකි. ඔවුහු එක්දින ක්‍රිකට් වාර්තා පොතට එක්වූයේ ප්‍රතිවාදී පිලට වැඩිම ලකුණු ගණනකින් පරාජය වෙමිනි.

 

135r9jc8 sri lanka cricket team afp 625x300 17 January 23

වාර්තාව තැබුවේ ඉන්දියාව බව සැබෑය. එහෙත් ඊට උදව් වූ පිල හැටියට සිරි ලංකාවේ නම ද වාර්තා පොතේ ලියැවෙයි. එක ඕවරයකදී හයේ පහර හයක් ගසන පිතිකරුවා සමඟ ඔහුට පන්දු යැවූ ක්‍රීඩකයා ද වාර්තා පොතට එක්වන්නා සේය.

ක්‍රීඩාවේදී ජය, පරාජය දෙකටම මුහුණ පෑමට සිදුවෙයි. අද ජය ගන්නෝ හෙට පරදිති. පරාජය අමිහිරිය. එහෙයින් ඊට මුහුණ දීම අපහසුය. වේදනාකාරීය. පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ඇතැම් ක්‍රීඩකයන් පරාජය දරාගත නොහැකිව පිටියේ වැටී හඬන අයුරු අපි දුටුවෙමු.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් පරාජය වන අවස්ථාවලදී හිත හදාගැනීම සඳහා අප නිතර යොදාගන්නා කියමනක් ඇත. එනම්, ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවක් බවය. (Nothing is certain in cricket except its uncertainly)

පරාජය දරාගැනීම ක්‍රීඩාවේ මහත්වරුන්ට හුරු දෙයකි. එසේම, අන්ත පරාජයේදී ලජ්ජාවට පත්වීම, අදක්ෂයන්ට හිමිවන දෙයකි. එහෙත් අන්ත පරාජයට පත්වී හෝ වාර්තාවක් පිහිටුවීම, එක්තරා විදිහක නම්බුවකි; ජයග්‍රහණයකි!

 

ක්‍රිකට් පමණක් නොව, සිරි ලංකාවේ දේශපාලනය ද අවිනිශ්චිත ගේමකි.

 

අද ජනාධිපතිවරයා හෙට මන්ත්‍රීවරයෙක් බවට පත්වෙයි. නැතහොත් අධිකරණය හමුවේ වරදකරුවෙක් වී දඬුවම් ලබයි. වන්දි ගෙවයි.

එක් මැතිවරණයකදී එක් පක්ෂයකින් ඡන්දය ඉල්ලන අපේක්ෂකයා, ඊළඟ මැතිවරණයේදී වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වෙයි. අද විපක්ෂයේ හිඳ සිටින්නා, හෙට ආණ්ඩු පක්ෂයේ හිඳගනී.

 

1649140250 Sri Lanka Parliament Chamber L

අද එක ආසනයක් පමණක් හිමිව සිටින පක්ෂ නායකයා, හෙට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි.

සදාකාලික රජවරුන් ලෙස සිතා සිටින ජනපතිවරු හෝ අගමැතිවරු, ජනතා විරෝධයට මුහුණ දිය නොහැකිව, පස්සා දොරින් පලා යති.

දේශපාලනයේදී පඩිසන් දෙන්නේ පෙර ආත්මවල කළ වැරදිම නොවේ. මේ ආත්මයේ කරනා වැරදිද දිට්ඨ ධම්ම කර්ම ලෙසින් බලපායි. එය ලෝක ස්වභාවය වුණත්, මෙතන පොඩි පරහක් ද ඇත. එනම්, දේශපාලනඥයන්ගේ කරුම දෝසවලට ජනතාවට ද වන්දි ගෙවන්නට සිදුවීමය.

 

නිදසුනක් වශයෙන් දේශපාලනඥයකු කළ වංචාවකට ඔහු වැරදිකරු වී මුදලින් රුපියල් කෝටි ගණනක් ආපසු රජයට ගෙවන්නට නියම විනැයි සිතමු. එවිට ඔහුගේ ඇම්බැට්ටයන් කරන්නේ ඒ මුදල ජනතාවගෙන්ම සම්මාදම් කර ගෙවීමය. ඒ ආකාරයෙන් අර ලොක්කාගේ පවට කර ගහන්නට පොදු ජනතාවට ද සිදුවෙයි. දේශපාලනය ද ක්‍රිකට් වැනි අවිනිශ්චිත ක්‍රීඩාවකට සමාන කළ නමුදු, දේශපාලන පිටියේදී ලැබෙන වාසියක් වන්නේ තෙවැනි ඉනිමක් හෝ වැඩිපුර ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකි වීමය.

 

සිරි ලංකාවේ නම් ජනාධිපතිවරයකුට තෙවැනි ඉනිමක් ක්‍රීඩා කිරීමට නීතියෙන්ම අවසර නැත. එහෙයින් ඔවුහු මොන උප්පරවැට්ටියක් දමා හෝ තම ඉනිම දීර්ඝ කර ගැනීමට මාන බලති.

විලිලජ්ජා නැතිකම මහ මුදලිකමට නොව ජනපතිකමටත් වඩා ලොකුය. එහෙයින් ඇතැම් ජනාධිපතිවරු ''ලාම්පු - කළගෙඩි'' වැනි දූෂිත මැතිවරණ මගින් තම 'ඉනිම' දිගු කර ගත්හ. තවත් සමහර ජනපතිවරු සාමාන්‍ය මන්ත්‍රී තත්ත්වයටම බසිමින් යළිත් දේශපාලන පිටියට පිවිසියහ. බලය සඳහා ''රිසව් බෙන්ච්'' එකේ හෝ හිඳගන්නට ඔවුන් මැලි වන්නේ නැත.

 

නර කෙසක් දුටු සැණින් තපසට ගියේ මඛාදේව රජුය. යකා වුණත් වයසට ගියාම සිල් ගනිතැයි කතාවක් ද ඇත. එහෙත් අපේ යක්කු නම්, ඇඳි වතේ පහවන තුරුම බලයේ සිටින්නට තැත් කරති. බැරිම තැන යන්නේ හත්පොළේ ගාගෙන, කොරහත් බිඳගෙනය.

 

දේශපාලනඥයන්ට බලය ලැබෙන්නේ මැතිවරණ මගිනි. බලය ලැබුණු පසු ඔවුන් එය ගිජුව භුක්ති විඳින්නේ තමන්ට බලය දුන් ජනතාව අමතක කරමිනි.

සිරි ලංකාවේ හිටපු ජනාධිපතිවරයකුගේ බාබර්වරයා ඔහුගේ හිසකෙස් කැපීමට සැරසෙන හැමවිටම මෙසේ අසයි.

''සර්.. ඡන්දෙ කවදද?''

එක් දිනක් බාබර් මෙසේ අසද්දී ජනාධිපතිට යකා නැග්ගේය.

''මොකද්ද අයිසෙ, තමුසෙ හැමදාම ඡන්දයක් ගැන අහන්නෙ? ආපු වැඩේ කරනවකො.''

''නෑ සර්, මම ඡන්දෙ ගැන අහනකොටම සර්ගෙ ඉසේ කෙස් කෙළින් වෙනවා. එතකොට මට මගෙ වැඩේ පහසු වෙනවා.'' බාබර් සිනාසුණේය.

 

දැන් සිරි ලංකාවේද උදා වී තිබෙන්නේ දේශපාලකයන්ගේ බාබර්වරුන්ට තම කටයුතු පහසු කරවන අවධියකි. බාබර්වරුන්ට වාරයක් ඇත්නම් ඡන්ද දායකයන්ටද වාරයක් හිමි විය යුතුය. ඡන්ද බලය ද දැලි පිහියක් බඳුය. ඉන් කැපිය හැක්කේ හිසකෙස් පමණක්මද නොවේ.



හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...