The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගෝටා ද බබල් බ්ලාස්ටර් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

January 22, 2023 • 5:16 PM

ගෝටා ද බබල් බ්ලාස්ටර් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ ආර්ථිකයට වුණු දෙය ගැන මේ වීඩියෝවේ සෑහෙන තාර්කික පැහැදිලි කිරීමක් කරනවා.
  • මේ තත්ත්වය මම නම් තේරුම් ගත්තේ 2010 ටත් පෙර.
  • අදටත් මහපාරේ තුනක් යන්න එකක් යන අලුත්ම මාදිලියේ බෙන්ස් කාර් තොගය දකිනකොට පිට රටින් එන මිනිහෙකුට සැක හිතෙනවා “ඇත්තටම මුන්ට ආර්ථික අර්බුදයක් තියෙනවද?” කියලා… අපි හරිම අහංකාර පම්පෝරි බොරු ෂෝ පප්පලා.
  • මා බොහෝ විට කීවේ “පාරවල් ගොඩනැගිලි හැදුවා ඇති දැන්… හදපුවයින් උපරිම ප්‍රයෝජනයක් ගනිමු.
අකුරු ප්‍රමාණය (Font Size):

 

 

 ලංකාවේ ආර්ථිකයට වුණු දෙය ගැන මේ වීඩියෝවේ සෑහෙන තාර්කික පැහැදිලි කිරීමක් කරනවා. (මේ කරුණුම මා කීවත් මෙතන ඉන්න අතිපණ්ඩිතයන් පිළිගත්තේ නැහැ.) ලංකාව වැනි රටකට ඊනියා දියුණු රටක් වෙන්න බැරි යථාර්ථවාදී හේතු මෙහි පෙන්වා දී තිබෙනවා. මේ තත්ත්වය මම නම් තේරුම් ගත්තේ 2010 ටත් පෙර. නිර්මාල් දේවසිරිත් තේරුම් ගත්තා. තවත් අය තේරුම් ගන්න ඇති.

අධිවේගී මාර්ග, සුවිසල් ගොඩනැගිලි, වරාය නගර හැදීගෙන එනකොටම මට පෙනුණා වැඩේ ලොකුවටම අවුල් වෙන්නයි යන්නේ කියලා. ලංකාව වගේ රටකට දරන්න පුළුවන් දේ නොවෙයි ඒවා. ඒ ගැන මා බොහෝ ලියා තිබෙනවා. 2018 වසරේ වියත්මග සමුළුවේ මා කළ ආරාධිත දේශනය තනිකරම මේ සත්‍යය මත පදනම්ව කළ එකක්. පහුගිය කාලයේ වරාය නගරයට දිගින් දිගටම නිර්දය විවේචන කළේත් මෙන්න මේ පදනම මත පිහිටලයි. අදටත් මම කියන්නේ ඕක හෙනහුරෙක්.

 

මෙතැනදී තමයි මහින්ද චින්තනය තුළ එන සංවර්ධනය පිළිබඳ දැක්ම වරදින්නේ. මා හිතන්නේ එම දැක්ම මහින්ද රාජපක්ෂගේ පුද්ගලික එකකට වඩා ඔහු වටා සිටි පිරිසගේ දැක්මක්. ඔවුන් කළ ලොකුම වරද තමයි දේශීය කර්මාන්තකරුවන් පිළිබඳව තබන අධිතක්සේරුව. ඔවුන් හිතුවා ණය වෙලා හරි යටිතල පහසුකම් හැදුවම රටේ කර්මාන්ත දියුණු වෙලා "හෝ ගාලා" සල්ලි ගලයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. එහෙම කරන්න තරම් ශක්‍යතාවයක් මේ රටේ මිනිස්සුන්ට නැහැ. මේ රටේ ඉන්නේ හරිම මධ්‍යමාන ඉරිසියාකාර කම්මැලි වනචර දරුණු අහංකාර ඉන්බ්‍රෙඩ් මිනිස්සු. උන්ට දියුණු වෙන්න බැහැ.

 


නමුත් මා හිතනවා මහින්ද රාජපක්ෂ අවංකවම හිතුවා යුද්ධයෙන් පස්සේ වේගයෙන් මේ රට අර ඊනියා දියුණු රටක් කරන්න. එවක විපක්ෂය වුණු රනිල් වික්‍රමසිංහගේ එජාපය වුණත් මේ ඊනියා දියුණුව පිළිබඳ දැක්මෙන් වෙනස් වුණේ නැහැ. අද වනවිට ජවිපෙ/ජාජබ කථිකයන් මෙරට බොළඳ තරුණයන්ට විකුණන්නේත් එම ඊනියා සංවර්ධන දැක්මම තමයි. මෙයින් වුණේ ලාංකිකයා, විශේෂයෙන්ම තරුණ ලාංකිකයා එවැනි යුටෝපියානු සිහින රාජ්‍යයක් තමන්ගේ ඔළුවේ අටවා ගැනීමයි. හරි ළාමකයි.

බොරතෙල් බිංදුවක් නැති රටේ “හැමෝටම අනිවාර්යයෙන් කාර් එකක් තියෙන්න ඕනා” වගේ අන්තිම අප්‍රායෝගික අවිද්‍යාත්මක අතාර්කික තැනකට අපි වැටුණා. මෛත්‍රීපාල සිරිසේනගේ යහපාලන නාඩගම ඒ හීනය තවත් තීව්‍ර කළා. “මේ දැන් අපි ඇමරිකාවක් වෙයි… මේ දැන්…  ලන්ඩනයක් වෙයි…” කිය කිය තරුණයන් නොඉවසිල්ලෙන් කල් ගත කළා. සැබෑ ලංකාව සහ ලංකාවේ සැබෑ විභවය කාටත් අමතක වුණා.

ඊනියා දියුණු රටක මිනිස්සු වගේ කන්න අඳින්න එළවන්න අපි පටන් ගත්තා. අදටත් මහපාරේ තුනක් යන්න එකක් යන අලුත්ම මාදිලියේ බෙන්ස් කාර් තොගය දකිනකොට පිට රටින් එන මිනිහෙකුට සැක හිතෙනවා “ඇත්තටම මුන්ට ආර්ථික අර්බුදයක් තියෙනවද?” කියලා… අපි හරිම අහංකාර පම්පෝරි බොරු ෂෝ පප්පලා.

cvxsdfwert

ගෝඨාභය මේ යථාර්ථය සෑහෙන දුරකට තේරුම් ගත්තා. මෙහෙම ණය වෙලා කකා බිබී පාරවල් හද හද යන ගමන කෙළවර තිබෙන්නේ විශාල විනාශයක් කියා ඔහු දැක්කා. ඒ ගැන අපි දෙන්නා අවස්ථා ගණනාවක කතා කර තිබෙනවා. මා බොහෝ විට කීවේ “පාරවල් ගොඩනැගිලි හැදුවා ඇති දැන්… හදපුවයින් උපරිම ප්‍රයෝජනයක් ගනිමු. ආර්ථිකය දියුණු වෙනකොට නැවත ගොඩනැගිලි හදමු” කියලයි.

නමුත් මගේ අදහසට විරුද්ධ අදහස් තිබුණු අයත් වියත්මගේ හිටියා. වැඩිපුර හිටියේ ඔවුන්. නාලක ගොඩහේවා වගේ අය මගේ අදහසට විරුද්ධ වුණා. ආර්ථික අර්බුදය පෙනි පෙනිත් ඔහු රාජ්‍ය ඇමතිවරයා ලෙස මහා විශාල කැතම කැත බිල්ඩින් හදන්න පටන් ගත්තා. ප්‍රශ්න කළාම මට බැන්නා. අද එයා සුදනා වගේ කතාව.



ගෝඨාභය මේ අන්ත දෙක බැලන්ස් කරගෙන යන්නයි හැදුවේ. ඒක හරි. එක පැත්තකින් තවත් විදේශවලට ණය නොවී කොහොම හරි රට ඇතුළේ දේශීය කර්මාන්ත හදලා ආර්ථිකය දියුණු කරන්නයි ඔහු හැදුවේ. තව පැත්තකින් වාහන ආනයනය නවත්තලා අධිපරිභෝජනවාදී ජීවන රටාව වෙනස් කරන්නත් ඔහු හැදුවා. ආනයනික පොහොර මාෆියාව කඩලා ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයක් හදන්නත් ඔහු උත්සාහ ගත්තා. නමුත් ඔහුගේ සෞභාග්‍යයේ දැක්ම බොහෝ දෙනා තේරුම් ගත්තේ අර මහින්ද චින්තන රාමුවේ දිගුවක් විදිහට පමණයි. ඒ වෙනස හරියට සන්නිවේදනය කරගන්න අපිට බැරි වුණා. දේශීය කර්මාන්තකරුවාම ගෝඨාභයට “ගෝ හෝම්” කිව්වා. අමනයෝ.



කොරෝනා වසංගතය නොඑන්න ගෝඨාභයට මේ පරිවර්තනය සෑහෙන දුරකට කරගන්න තිබුණාය කියා මා හිතනවා. නමුත් ඒ වගේම මා හිතනවා “සියල්ල වෙන්නේ හොඳටය” කියා. ගෝඨාභය තමයි මේ රටේ මෝඩ මිනිස්සු ජීවත් වුණු “බුබුළ” පුපුරුවා හැරියේ. ඔහුටත් තිබුණා ආව ගමන්ම ලොකුවට විදේශ ණය අරගෙන මේ අවුරුදු පහත් ඇදලා දාන්න. එහෙනම් අනාගතයේ රට වැටෙන්නේ මෙහෙම නොවෙයි.

නමුත් ඔහු කොහොම හරි නිවැරදි දෙයම කළා. එයින් ඔහුටත් අපේ පක්ෂයටත් හානියක් වුණා. කරන්න දෙයක් නැහැ. රටේ දිගුකාලීන සෞභාග්‍යය වෙනුවෙන් එහෙම කැපකිරීම් කරන්න වෙනවා. දැන් අපි රටක් හැටියට ඉන්න යථා තත්ත්වය පේනවා. අපේ පක්ෂයේ මිනිස්සු යථාර්ථය තේරුම් ගනිමින් ඉන්නවා. අනෙක් පක්ෂවල උන්ට එච්චර අවබෝධයක් නැහැ.

අන්ත දක්ෂිණාංශික නව ලිබරල් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් මේ තත්ත්වය තේරුම් ගත් බවක් පේනවා. චුවින්ගම් බ්‍රේස්ලට් කතා අද නැහැ. මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති ලොරි ටෝක් නැහැ. ලංකාවට කවදාවත් ඊනියා දියුණු රටක් වෙන්න බැහැ කියන අවබෝධයට ප්‍රඥාවන්ත කවුරුත් එමින් සිටිනවා. ඒක ඉතාම හොඳයි. ඒ අවබෝධය ඇති කළේ ගෝඨාභයයි. ස්තුතියි.

මේ රටේ මධ්‍යමාන මිනිස්සුන්ට කරන්න බැරි දේවල් ගැන ඔවුන් තුළ සිහින මවන්න නරකයි. මොකද ඒ සිහින බොඳ වුණාම මුන්ට දරාගන්න බැහැ. “සප්‍රායිස්!” කියලා බෙල්ලට පිහියෙන් ඇනලා දුවලා ගිහින් ගඟේ පනිනවා. අතාර්කික සිහින දකින උන්ගේ සිහින බොඳ නොවෙයි කුඩු කරලම දාන්න ඕනා. එතකොට පිස්සුවෙන් වගේ ඒ සිහින හඹා යන උන් ඔය ඊනියා දියුණු රටවලට පිටමං වුණාට පස්සේ “ලංකාව හඳුනන” සැබෑ බෞද්ධ සිංහලයට මේකේ කණක් ඇහිලා නිදහසේ පුළුවන් හැටියකට ඉන්න පුළුවන්.



දැනට මේ අතිශය ප්‍රගතිශීලී “බ්ලාස්ට් වෙමින් තිබෙන බබල්” එකට සෙලෝටේප් අලවන්න ඉන්නේ සමන්ත භද්‍ර හෝ ඩයනා ගමගේ හෝ සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක වගේ “බබල් මේකර්ස්”ලායි. ඔවුන් තවමත් අර පරණ අතාර්කික අවිද්‍යාත්මක අධිපරිභෝජනවාදී කාමසුඛල්ලික සිහිනය මාකට් කරනවා තමන්ගේ දේශපාලනය සඳහා. කොහොමත් පෘතග්ජනයා අලුත් බබල් එකක් හදාගන්නවා.


ධර්මය අපට මග වේවා!


Eranda ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 ජනවාරි 22

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...