The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිදහස ගැන උදහස - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

January 27, 2023 • 6:06 AM

නිදහස ගැන උදහස - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ මාධ්‍ය පෝස්ටු කිහිපයක් මට නම් හිතෙන්නෙ නිදහස කියන්නෙ සැමරිය යුතුම දෙයක්.
  • නිදහසක් ඇතත් නැතත් නිදහසක් සැමරීම වටිනවා.
  • ඇත්තටම පතුලටම වැටිලා ඉඳීමේදී දැනෙන නිදහසත් වටිනා එකක්.
  • මේ දුෂ්කර නරක කාලෙදි නිදහස් උත්සවේවත් පවත්වන්නෙ නැතුව ගියොත් ඒක ලොකු හිස්කමක් ඇති කරන තත්වයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

smp 1

325384981 1653747265058116 374231535564794983 n

smp 2

සමාජ මාධ්‍ය පෝස්ටු කිහිපයක්

 

මට නම් හිතෙන්නෙ නිදහස කියන්නෙ සැමරිය යුතුම දෙයක්. නිදහසක් ඇතත් නැතත් නිදහසක් සැමරීම වටිනවා. ඒක ඒ තරම් වටින අදහසක්. ඇත්තටම පතුලටම වැටිලා ඉඳීමේදී දැනෙන නිදහසත් වටිනා එකක්. අපි මේ වෙලාවෙ ඉන්නෙ තවත් වැටෙන්න තැනක් නැති තැනටම වැටිලා. ණය ගෙවාගන්න බැරි තරමට එරිලා. එතකොටත් කෙනෙකුට දැනෙනවා නිදහසක්. ණය ගෙවන්න බෑ කියල ණයකාරයන්ට කිව්වමත් ඒක නිදහසක්. නැව ගිලුනත් බෑන්චූන් කියන්නෙ ඒ වගේ ආස්වාදයක්. ඒක නරක දෙයක් නෙමෙයි.

පතුලටම වැටුනු කෙනෙකුට නරකම දේ වෙන්නෙ කලකිරීම සහ පසුබෑම. ඒ වෙනුවට විනෝදය, සතුට, නිදහස වගේ දේවල් ආස්වාද කරන එක, සංකල්පකරණය තමයි ඒ වගේ අඳුරු වෙලාවක වැදගත්ම. ඒ හින්ද නිදහස් සැමරුම සමාජ මානසික තත්වය පැත්තෙන් අවශ්‍ය දෙයක් කියලයි මට හිතෙන්නෙ.

independence

මේ දුෂ්කර නරක කාලෙදි නිදහස් උත්සවේවත් පවත්වන්නෙ නැතුව ගියොත් ඒක ලොකු හිස්කමක් ඇති කරන තත්වයක්. පුළුවන් නම් මේ නිදහසේ උත්සවය පුළුල් කරන්නයි ඕන. උතුරේ ජනතාවට නිදහස, සිරකරුවන්ට නිදහස, කාන්තාවන්ට සහ වෙනත් ලිංගකත්වයන්ට, දරුවන්ට ආදී වශයෙන් නිදහස සැමරිය හැකි විවිධ කලාප නිර්මාණය කරන්න පුළුවන් නම් වටිනවා. ජනතාවට නොමිලේ තමන්ගේ දරුවන් සමග ඇවිත් නැරඹිය හැකි දැවැන්ත සැණකෙලියක්, සංගීත ප්‍රසංගයක් ආදිය අනිවාර්යෙන්ම තියෙන්න ඕන. මේ අඳුර බිඳින්න නම් පුළුවන් තරම් සතුට රැස් කරන්න ඕන.

 

හැම සැමරුමක්ම වැදගත්. උපන්දින සැමරුමක් පවා. ආදරවන්තයන්ගේ දින සැමරුම වගේ සුන්දර සැමරුම්. මේවා හිත් ඇතුලෙ සතුට උපද්දන්න නිර්මාණය කරපු සංකල්ප. යම් බැඳීමක්, ‍බෙදාගැනීමක් වෙනුවෙන් හැදුනු මානසික අවකාශ. නොවැදගත් සැමරුම් වෙන්නෙ විරු සැමරුම් වගේ ඒවයි. යුද විරුවන් සැමරීම වගේම විප්ලව විරුවන් සැමරීමත් නොවැදගත්. ඒකට හේතුව වීරයෙක් බිහිවෙන්නෙ දුෂ්ටයෙක් බිහි කරමින් නිසයි. හැම වීරයෙක් නිසාම සතුටු වෙන පිරිසක් වගේම දුක් විඳින පිරිසකුත් ඉන්නා නිසයි. හැම වීරයෙක් කියන්නෙම බෙදීමක් නිසයි.

image bd4bb0093d

 

ඒත් නිදහස කියන්නෙ සුන්දර බැඳීමක සැමරුමක්. අපි හා බටහිරයන් අතර තිබුණු ඉතිහාස බැදීම. අපි සහ අනෙක් යටත්විජිත අතර තිබුණු කලාපීය බැඳීම. අපි සහ අනෙක් ජාතීන් අතර තිබුණු සහෝදර බැඳීම. මේ බැඳීම නැත්නම් පාලම සැමරීමක් විදිහටයි නිදහස අරුත් ගැන්විය යුත්තෙ. එහෙම නැතුව තාප්පයක්, වෙන්වීමක් සමරන නිදහසකින් අවැඩක් මිස වැඩක් නම් නෑ.

අපි හැමෝටම නිදහස ගැන එක එක අදහස් තියෙනවා. ඒ හැම අදහසක්ම සම්පූර්ණ වෙන දවසක නිදහස සමරන්න හිටියොත් ඒක සිද්ද වෙන දෙයක් නෙමෙයි. නිදහස් දවස ඒ අපි හැමෝගෙම එක එක නිදහස ගැන ප්‍රාර්ථනාවක් වෙන්න පුළුවන්. සමාජ මාධ්‍යවල දකින පෝස්ට් වලින් පේන්නෙ ඒ අයට නිදහස කියන්නෙ අවසානයක්, ගමනාන්තයක් බවයි. ඒත් ඇත්තටම නිදහස කියන්නෙ බලාපොරොත්තුවක්. අපි නිදහස කියලා සමරන්නෙ අපේ බලාපො‍රොත්තුව.

 

ඒ වගේම අපිට නිදහස ගැන ආර්ථික පැත්තෙනුත් කල්පනා කරලා බලන්න පුළුවන්. අපි මත පැටවිලා තියෙනවා දරාගන්න බැරි රාජ්‍ය සේවයක බරක්. අපිට පුළුවන්ද ඒ බරෙන් නිදහස් වෙන්න. මේ ආයතන පෞද්ගලික අංශයට පවරා දීම කියන්නෙ රටට ආර්ථික නිදහසක්. ඒ වගේම ආයෝජනවලට නිදහස ලබාදෙන පරිසරයක් ඇති කරන්න. ජාතිවාදයෙන් වර්ගවාදයෙන් ලිංගවාදයෙන් මේ මිනිස්සුන්ගෙ මනස් නිදහස් කරන්න. එහෙම නිදහසකට පුළුවන් අපි වැටිලා ඉන්න තැනින් ගොඩයන්න උදව් වෙන්න.

 

ඒ වෙනුවට අපි නිදහස කියල හිතන්නෙ දේශපාලකයන්ට දඩුවම් කරන එක, හොරු අල්ලන එක, ආණ්ඩු පෙරළන එක වගේ දේවල් නම් අපේ නිදහස ගැන අදහස තියෙන්නෙ ජනප්‍රියවාදී ප්‍රතිචාරාත්මක තැනක. අපි කල්පවතින නිදහසක් ගැන නෙමෙයි හිතාගෙන ජීවත් වෙන්නෙ. ඒ වෙනුවට අපේ නිදහස යම් කෙනෙක් විසින් හොරාගෙන ඇත කියන බොළඳ අදහසකයි අපි ඉන්නෙ.

අපේ නිදහස වෙනුවෙන් වැඩකරන්න තියෙන්නෙ අපිට. මට මතක් වෙනවා රිතිකා කොඩිතුවක්කු මෑත සංවාදයකදි කියපු කතාවක්.
‘මට කවදාවත් නිදහස නෑ කියල මට හිතිලා නෑ’

 

අපේ නිදහස අපිට අහිමි වූ දෙයක් විදිහට හිතනවා වෙනුවට ඒක අපි සතු දෙයක් කියල හිතද්දි ඒ නිදහස සතුට උත්පාද කරනවා. අපේ නිදහස අන් කෙනෙක් විසින් හොරාගෙන ඇත කියල හිතද්දි ඒ නිදහස වෛරය උත්පාද කරනවා. අපිට පුළුවන් සතුටේ නිදහස හෝ වෛරයේ නිදහස කියන දෙකෙන් කැමති එකක් තෝරගන්න.



එකා වගේ ගොඩයන්න - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

320723070 553561629955212 5233208659897488127 n


JW

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිදහස ගැන උදහස - (චින්තන ධර්මදාස) | The Leader