The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගාඩි: රාජධානිය වෙනුවට ආදරය මුණගැසීම - (විමලනාත් වීරරත්න)

T

The Leader Desk

January 27, 2023 • 10:41 AM

ගාඩි: රාජධානිය වෙනුවට ආදරය මුණගැසීම - (විමලනාත් වීරරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්ත්‍රියත් රාජධානියත් යන දෙකම භෞතික සාධක වන අතර ස්ත්‍රිය රාජ්‍යත්වය පිළිබඳ කාරණයේ දී මානව සාධකයක් වී නැත.
  • රාජධානිය සහ ස්ත්‍රිය අතරට මිනිස් හෘදය සාක්ෂිය කැඳවීමට දරන සංස්කෘතික දෘෂ්ටිවාදී ප්‍රයත්නයක් ලෙස ගාඩි හැඳින්විය හැකිය.
  • ගාඩි සංදර්භය දිවෙන්නේ 1814 සහ 1815 අතර කාලවකවානුවේය.
  • තත් කාලයේ රජුට එදිරිව ඇතිවන වංශවතුන්ගේ කැරැල්ල ප්‍රසන්න චිත්‍රපටය තුළ ස්ථානගත කරන්නේ කැපී පෙනෙන දේශපාලන ආස්ථානයක නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):



ස්ත්‍රියත් රාජධානියත් යන දෙකම භෞතික සාධක වන අතර  ස්ත්‍රිය රාජ්‍යත්වය පිළිබඳ කාරණයේ දී මානව සාධකයක් වී නැත.

ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම - (කේ.ඩී. දර්ශන)රාජධානිය සහ ස්ත්‍රිය අතරට මිනිස් හෘදය සාක්ෂිය කැඳවීමට දරන සංස්කෘතික දෘෂ්ටිවාදී ප්‍රයත්නයක් ලෙස ගාඩි හැඳින්විය හැකිය. අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මේ චිත්‍රපටය පුරා සොයා යන මානව ධර්මතාවක් තිබේ. ඔහු යුක්තිය  වෙනුවට පැවැත්ම අභ්‍යාස කර බලන අතර රාජධානිය වෙනුවට ආදරය මුණගැස්වීමට වෙර දරයි.

ගාඩි සංදර්භය දිවෙන්නේ 1814 සහ 1815 අතර කාලවකවානුවේය. තත් කාලයේ රජුට එදිරිව ඇතිවන වංශවතුන්ගේ කැරැල්ල ප්‍රසන්න චිත්‍රපටය තුළ ස්ථානගත කරන්නේ කැපී පෙනෙන දේශපාලන ආස්ථානයක නොවේ. එය ඔහු ඕනෑකමින් ම බැහැර කර කැරැල්ලෙන් නිපන් තත්ත්වය මානව ආස්ථානයක ස්ථාන ගත කරයි. දේශපාලන ආස්ථානය විෂයෙහි එක් දෙයක් පමණක් අධ්‍යක්ෂවරයා අවධාරණය කරනු පෙනේ. එය නම් ඇහැලේපොළ ඇතුළු පිරිවර ආපසු හැරෙන්න බැරි කුමන්ත්‍රණයක් කර ඇත යන්න හා සමාන්තර රැවටීමකට පත්ව ඇත යන්න ප්‍රත්‍යක්ෂ කිරීමයි.

 

Gaadi 1

ඇහැලේපොළගේ භූමිකාවට ප්‍රවිශ්ට රවීන්ද්‍ර රන්දෙණිය, ඔහු රංගාවතරණය කරන සීමිත අවස්ථා කිහිපයේදීම ප්‍රසන්න දරන දේශපාලන මතය වන උඩරට ප්‍රභූන් මහා ඉච්ඡා භංගත්වයකට පත් වීමේ පරිමාණය පරිසමාප්ත ලෙස නිරූපණය කරයි. උඩරට ඉංග්‍රීසි ආණ්ඩුවට අත්පත් කර දීමේ ක්‍රියාවලිය තුළ මෙරට ප්‍රභූන්ගේ දේශපාලනය බරපතළ රැවටීමට ලක්වන බව යථාර්ථයයි.ඇහැලේපොළ චරිතය නිරූපණය කරන රවීන්ද්‍රගේ සෑම රංග ප්‍රයානයක්ම විශ්වාසයෙන් ඩොයිලිගෙන් අසන ප්‍රශ්නයක් සේම ඔහුගෙන් ලැබෙන පිළිතුර අභිමුවේ මතුපිට විශ්වාසය පළ කිරීම හා අභ්‍යන්තර අවිශ්වාසය දෘඩව පලවීම  දක්වා කදිමට ප්‍රසාරණය වෙයි.

උඩරට යටත් වීමේ දේශපාලනය අත්‍යාවශ්‍ය කාරණයක් හැටියට චිත්‍රපටිය තුළ අවධාරණය කරන සිනමාකරුවා සන්දර්භයෙන් හතරෙන් තුනක්ම මානව සංස්කෘතික දේශපාලනය වෙත ඌනනය කරයි. ඒ සඳහා සිනමාකරුවා ප්‍රේක්ෂක මනස මත අතිපිහිත කරන චරිත තුන වන්නේ බුලත්ගම නිලමේ, ටිකිරි කුමාරි සහ විජයා හෙවත් රංකිරාය. චිත්‍රපටයේ දෙවන රූපරාමුව වන්නේ මුහුදු වෙරළත සිට ඩොයිලි,ඇහැලේපොළ හා බුලත්ගම නිලමේ අතර සිදුවන සංවාදයකි. පළමු රූප රාමුවෙන් චිත්‍රපටයේ ක්‍රියාකාරී බිම උඩරට බව පැහැදිලි වන අතර දෙවැනි රූප රාමුවෙන් ඒ  බිමේ සිදු කරන්නට යන ක්‍රියා සන්තතිය සංක්ෂිප්තව සමීකරණය කරයි.

 

ඇහැලේපොළ ඇතුළු  ශ්‍රී වික්‍රමට එරෙහි වුණු ප්‍රභූන්ට තිබුණේ රජු, නායක් පෙළපතේ කෙනෙකු වූ නිසා මතු වූ ප්‍රශ්නයක් නොවේ. තම වරප්‍රසාද නැතහොත් තමන්ට හිමිවන අවකාශය පිළිබඳ ප්‍රශ්නයකි. ඇහැලේපොළ චිත්‍රපටය තුළ  බුදු දහමේ චිරස්ථිතිය ප්‍රාර්ථනා කරන බව ඩොයිලිට කිව්වත් ඇහැලේපොළට තිබුණේ බුදු දහම පිළිබඳ කාංසාවක් නොවේ. රජු යටතේ බුදු දහමට හානියක් සිදු නොවූ බව ඉතිහාසකරුවෝ කියති.

36333319මහාචාර්ය ගනනාථ ඔබේසේකරට අනුව උඩරට ප්‍රභූන්ට තිබුණු එක් ප්‍රශ්නයක් වූයේ වස්තු තන්හාවය.අනෙක දේශපාලන බලය පිළිබඳ මඩනා ලද හැඟීමය. මේ අවශ්‍යතා දෙක විසින් ඕනෑම පාවාදීමක් කිරීමට ඔවුන් පසුබට නොවුනු බව ගනනාථගේ The Doomed king:A Requiem for sri Vikrama Rajasingha (නෙරපූ රජ- ශ්‍රී වික්‍රම ප්‍රත්‍යවලෝකනය, පරිවර්තනය- දයා සිසිර) කෘතියෙහි දක්වයි.

 

එ කරුණ හරියටම ඔප්පුවන එක් අවස්ථාවක් ගාඩි චිත්‍රපටයෙහි දැක්වෙන අතර අනෙක් අවස්ථාව ඇහැලේපොළ විෂයයෙහි ප්‍රදර්ශනය කෙරෙයි. ඒ අවස්ථාව නම් ඇහැලේපොළගේ දරු පවුලට රජු මරණ දඬුවම දෙන බව දැන දැනම ඔහු තමන්ගේ ජීවිතය පමණක් බේරා ගැනීමයි.

 

ගාඩි : ප්‍රසන්න විතානගේ -(චූලානන්ද සමරනායක)

චිත්‍රපටයේ මානව සංස්කෘතික සංකීර්ණය මතු කිරීම සඳහා ප්‍රසන්න විතානගේ භාවිත කරන්නේ චිත්‍රපටය තුළ ඇහැළේපොළගේ ප්‍රධාන සහායකයා ව සිටින බුලත්ගම නිලමේය. කුමන්ත්‍රණය පරාජය වීමෙන් පසු බුලත්ගම නිලමේ ඉංග්‍රීසීන් වෙත පලා ගොස් ආරක්ෂාව සලසා ගනියි. නිවසේ සිටින කුමාරිහාමි ඇතුළු ස්ත්‍රීන් වැවට බිලි කෙරෙයි. වැවට පැන දිවි නසා නොගන්නවා නම් රොඩීන්ට පාවාදීම සිදුවෙයි.

 

ගාඩි චිත්‍රපටයේ හිල - (දීප්ති කුමාර ගුණරත්න)

චිත්‍රපටයේ දැක්වෙන ටිකිරි කුමාරි රොඩීන්ට පාවා දෙන අවස්ථාව අතිශයින්ම විචිත්‍රවත්ය. රොඩියෝ උඩරට ගොවිගම සුකුමාර ස්ත්‍රීන්ට ලොල් වෙති. ඔවුහු වැවට ස්වෙච්ඡාවෙන් බිලි නොවූ ටිකිරි කුමාරි හඹා පිහිනා වැව තරණය කරන්නේ මහා චිත්ත ප්‍රහර්ෂයකිනි. ටිකිරි හිමිවන්නේ පළමුවෙන්ම පිහිනා එන රොඩීන් අතර සිටින වඩාත් ශක්ති සම්පන්න තරුණයා වන විජයාටය. මේ සිදුවීම් දාමය කීන බලු රැළක් ගොදුරක් හඹා යන සරළ හා පුහුණු අභ්‍යාසයක් ලෙස ඔවුන් අතර සිදු වුවත් එය මහත් වගකීමක් භාර ගැනීමක් බව විජයාටම ඒත්තු යන්නේ ඔහුගේ සිතෙහි පැන නගින ඇයට රැකවරණය දිය යුතුය යන සිතුවිල්ලත් සමගය. ඇය සහ රොඩීන් අතර ප්‍රතිවිරෝධීතාව සමනය කරන්නේ කෙසේද යන්න ඔහු මුහුණ දෙන බරපතළම ප්‍රශ්නයයි.

 

ගාඩි චිත්‍රපටයේ හිල - (දීප්ති කුමාර ගුණරත්න)

ඉදින් මේ ස්ත්‍රිය සමග රංකිරාට ප්‍රතිවිරෝධතාවක් නැද්ද? තිබේ.එහෙත් ඔහු ඉන්නේ ඉක්මනින් හඟින්නට පටන් ගන්නා ඇය පිළිබඳ වගකීම විසින් ඔහු තුළ පැන නගින ප්‍රතිවිරෝධීතාව මුළුමනින් ක්ෂය කළ ස්ථාවරයකය.

චිත්‍රපටයේ ආසන්න අතීත රූප රාමුවක් මෙබඳුය. ඇහැලේපොළ සමග කැරුණු කුමන්ත්‍රණය උච්චස්ථානයට පත් අවස්ථාවක බුලත්ගම සවස් යාමයේ සිය වලව්වට එයි. ටිකිරි කුමාරි ඔහුගේ දෙවැනි බිරිඳ බව එහිදී සංඥා වන අතර ඇය නිවසට සපැමිණි දා පටන් කිසිවක් නොවැරදුණු බවද බුලත්ගම කියයි.
එහෙත් අතිශයින්ම පුරුෂ කේන්ද්‍රීය උඩරට ප්‍රභූ විවාහ සංස්ථාව තුළ ස්ත්‍රිය සැතපෙන්නේ පුරුෂයාගේ මහේක්ෂ සයනය පාමුළ අතුල පැදුරකය. ටිකිරි කුමාරි පිළිබඳව නිලමේ කරන ඉහත අගැයීමෙන් පසු ඇයට පැදුරෙන් සයනයට ඒමට අවස්ථාව හිමිවෙයි.ඊට පෙර වුව ඇඹේනියට සයනයට ඒමට අවස්ථාව හිමිවනු ඇත්තේ නිලමේට පැදුර මත සම්භෝගයේ යෙදෙනු අපහසු නිසා වන්නට පුළුවන. නිලමේ ඇය කෙරෙහි ළතෙත් වන්නේ ආදරය නිසා නොවේ. බුලත්ගම නිලමේට සිය අරමුණු කරා යාමට ටිකිරි කුමාරි උපකාරී වන වටා පිටාව තුළය. එකී විවාහ සංස්ථාව තළ ස්ත්‍රිය ඕනෑ සංසර්ගයට හා ස්වකීය වාසනාව උරගා බැලීමේ උපකරණයක් වශයෙන් පමණි.

 

gaadi 231

කුමන්ත්‍රණය පරාජය වීමෙන් පසු සමීපතම ඥාතීන්ට නියත මරණය අත්වන බව බුලත්ගම නිලමේ නොදන්නේ නැත. ගෙදරට පැමිණි දා පටන් තමන්ට වාසනාව අත්කර දුන් ටිකිරි කුමාරිටත් වැවේ ගිලී මැරෙන්නට සිදුවන බවත් ඔහු නොදන්නවා නොවේ. එහෙත් ආදරය වෙනුවෙන් ජීවිතය පරදුවට තැබීමට බුලත්ගම නොපැමිණෙයි. ටිකිරි කුමාරියේ දිවි තොර නොවූවත් ඇය රොඩීන්ට පාවා දී ඇති බව බුලත්ගමට රහසක් නොවේ. එහෙත් බුලත්ගමට වැදගත් ස්ත්‍රිය හෝ ආදරය නොවේ. කොන්දේසි විරහිතව දේශපාලන බලය වෙනුවෙන් අන් සියල්ල යටත් කිරීම මෙහි ඇති අනිවාර්යයි. උඩරට යටත් කර ගැනීමෙන් පසු සිංහල සහ ඉංග්‍රීසි ප්‍රභූන් පිනවීම සඳහා පැවැත්වෙන රොඩීන්ගේ සංදර්ශනය අවස්ථාවේදී එක් නිමේෂයකදී ටිකිරි කුමාරිත් බුලත්ගමත් සම්මුඛ වෙති. බුලත්ගම වික්ෂිප්තභාවයට හා අපහසුතාවකට පත් වෙනවා හැර අන් යමක් එහි සිදු වන්නේ නැත.

 

බලය වෙනුවෙන් ස්ත්‍රිය අතහැරිය හැකිය.එ හෙත් ස්ත්‍රිය වෙනුවෙන් බලය අත හැරිය හැකි ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී සිත සසල කර ගැනීමට සිදුවෙයි. දුටුගැමුණුගේ පුතා සාලිය ස්ත්‍රිය වෙනුවෙන් රාජ්‍යත්වය අත්හළ අතර දුටුගැමුණුගේ සහෝදර සද්ධාතිස්සගේ පුත් වලගම්බා රාජ්‍යය වෙනුවෙන් ස්ත්‍රිය අතහැර පලා ගියේය. කොහොමටත් ලංකාවේ රාජාවලිය තුල ස්ත්‍රිය උපකරණයක් මිස පුරුෂ ආදරයේ කේන්ද්‍රය හෝ තේමාව වූයේ නැත.

 

ප්‍රසන්න විතානගේ රාජධානිය පිළිබඳ පුරුෂ ප්‍රශ්නයට ස්ත්‍රිය හරහා මානයක් ලබාදෙයි. ඒ මානය පුරුෂයා කැඳවන්නේ කවර තැනකට ද යන්න පිළිබඳව විවාදයක් තිබිය හැකිය.

විවාදය නම් රාජ්‍යත්වය යනු පොදු ජනයා සුඛිත කරවන උපකරණය යන්නය. එහි කවර විවාදාපන්න තත්වයක් තිබුණත් වලගම්බා, දේවිය අතහැර දිවි ගලවා ගැනීමෙන්  වසර දාහතරකුත් මාස හතකට පසු සිරිලක රජු බවට පත්වන අතර ඔහු මහජන වීරයා බවට පත් වන්නේ ස්ත්‍රිය වෙනුවට රාජ්‍යය තෝරාගත් ක්‍රියාවලිය තුළය. සාලිය කුමරු ආදරයේ රොමෑන්ටික් වීරයෙකි. රොමෑන්තික වීරයාද, රාජ්‍යත්වයට පත් විරුවාද වඩා වැදගත් යන්න පිළිබඳ විවාදයේදී  බොහෝ දෙනෙක් රාජ්‍යත්වය දිනාගත් වීරයාට මනාපය පල කරනු ඇත.

ඇහැලේපොළ අදිකාරම හෝ බුලත්ගම නිළමේ වළගම්බාගේ පරිමාණයෙහි තබන්නට වර්තමානිකයෝ සූදානම් නොවන්නට පුළුවන. මේ විවාදය කවර අතකට පෙරලුනත්  ප්‍රසන්න විතානගේ අදහස් කරන මානීය තත්ත්වය මිනිස් සබඳතා සහ ආදරය බව ප්‍රේක්ෂකයාට හා වර්තමානිකයාට පසක් කරන සාධකය වන්නේ රංකිරා හෙවත් විජයාය.

 

ගාඩි : තන වැස්ම කුල වැස්ම දක්වා - (චින්තන ධර්මදාස)

බුලත්ගම, ටිකිරි කුමාරි සහ රංකිරා අතර ත්‍රිකෝණය අපූර්ව දෙබෙදුමක් නිර්ණය කරයි. රංකිරා ආදරය වෙනුවෙන් වේදනාභරිතව වුව කුල පරාමිතියෙන් දුරස් ආගන්තුක දිවිසැරියකට යටත් වෙයි. ඒ ගමනේදී ඔහු හැමවිටම ටිකිරි කුමාරි ගේ ආරක්ෂාව ගැන තත්පර වෙයි වනාන්තරයෙන් දඩයම් කරුවන්  (රාජ උදහසට ලක් වූවන්) කිහිපදෙනෙකු මුණගැසුණු අවස්ථාවේ ඔවුන් එහි රැය ගත කිරීමේ සිට දිමි ගොටු දමා පහර කෑමට ලක්වන සිදුවීම පසුකර ඉංග්‍රීසීන් බලය අත්පත් කර ගැනීමෙන් ඉක්බිතිව පැවැත්වෙන සංදර්ශනයේ කලබැගෑනිය දක්වා සෑම අවස්ථාවකදීම රංකිරා ටිකිරි කුමාරි වෙනුවෙන් දක්වන දයානුකම්පාව හා ආදරය විසින් ඇය රංකිරාගේ ක්ෂූද්‍ර භෞතික ලෝකයේ ප්‍රේමාදර විශාලත්වයට බැඳ තබයි. ඒ බව රංකිරාට වැටහී යන සහ ප්‍රේක්ෂකයා තුළ තහවුරු කරන වාචිකමය අවස්ථාව වන්නේ රාජ උදහසට ලක්ව පලා යන පිරිස අතර සිටි පුද්ගලයකු දිසාවේ කෙනකු බව ටිකිරි කුමාරි රහසේ රංකිරාට පවසන අවස්ථාවය. එතැන් සිට ඔවුන් දෙදෙනා තත්වාකාර සාම්ප්‍රදායික පවුලක් ලෙසද පෙනෙන්නට පටන් ගනියි.

 

ගාඩි : තන වැස්ම කුල වැස්ම දක්වා - (චින්තන ධර්මදාස)

ප්‍රේමයේ සිහින් ප්‍රහර්ෂයක් රංකිරා තුළ දිගටම බල පැවැත්වුවත් ඔහු ඊට ඇය අස ඉගිලෙන්නට ඉඩ නොදෙයි. කුළු හරකුන් අල්ලා වනයේ දිවි ගෙවන කෙටි සමයේ දිනක් රැයේ රංකිරා තෙමේම සතුටුවනු පිණිස නැටුමක යෙදෙන අවස්ථාව වන විට ඔහු  ප්‍රේමවන්තයෙක් වී හමාරය. එහෙත් ඒ වන විටත් ඇය මේ බුහුටි රොඩියා පිළිබද පරිවේෂණීය මැනීමක පසුවන්නියක් පමණි. ඇය ඔහු සමඟ එක්වන අලුත් පරම්පරාවක් ගොඩනගන ස්ථාවරයට පියවර තබන්නේ රංකිරා පිළිබඳ කාල තරණයක සහ චිත්ත පරිවර්තනයක සාක්ෂි සාධනයකින්  පසුවය.

ටිකිරි කුමාරිගෙන් හා රංකිරාගෙන් බිහිවන පරපුර හුදු රොඩියෝද සිංහලයෝ ද නොවෙති. ලාංකීය භූමියට අවශ්‍ය මනුෂ්‍ය ජාතියක් මිස අනන්‍යතා අර්බුදයකින් පෙළෙන ජන කොටසක් නොවන බවත් රාජධානිය පිළිබඳ මජර ආශාව ඛේදවාචී අරුතක් නිපදවන බවත් ගාඩි තුළින් ප්‍රසන්න නිශ්චය කරන බව දිසේ.



wimalanath weera(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී
wimale.ravaya@gmail.com


ගාඩි : වෙනත් ලිපි

ගාඩි : තන වැස්ම කුල වැස්ම දක්වා - (චින්තන ධර්මදාස)

ගාඩි : ප්‍රසන්න විතානගේ -(චූලානන්ද සමරනායක)

ගාඩි චිත්‍රපටයේ හිල - (දීප්ති කුමාර ගුණරත්න)

ගාඩි ජාත්‍යන්තර සම්මානයක් දිනයි


JW

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...